2021 ජනවාරි 16 වන සෙනසුරාදා

කොවිඩ් මාරකෙන් ගැලවෙන්න දේශිය වෙදකමේ පිහිට සොයන රටවල්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

අපේ කාලයේ ලෝක වසංගතය මේ වනවිට කෝටි 09කට වැඩි පිරිසක් සිය ග්‍රහණයට ගෙන හමාරය. ලොව පුරා මරණ සංඛ්‍යාව 1,988,967+ පන්නා තිබේ. වසංගතයෙන් මිදීම සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් නැත. අලුතෙන් සෑදු එන්නත්ද සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන ලකුණු තවමත් පහළ වී නැත. මේ නිසාම ලොව රටවල් බොහොමයක හුදී ජනයා තමන්ට හුරුපුරුදු දේශීය වෙදහෙදකමේ ආරක්ෂාවද සොයන්නට පෙළඹී හමාරය. පොදු ජනයා පමණක් නොව වසංගතයේ මහා ප්‍රහාරය හමුවේ බොහෝ රටවල ආණ්ඩුද තමන්ගේ දේශීය උරැමයන් වූ ශාකසාර ඖෂධ වට්ටෝරු ලහිලහියේ එළියට ගන්නට කටයුතු කර තිබේ.

බටහිර වෙදකමේ දෙවියන්නාන්සේ ලෙස සැලකෙන ලෝක සෞඛ්‍ය සංවිධානයද දේශීය පාරම්පරික වෙද වට්ටෝරු ආශ්‍රිත ප්‍රතිකාර ක්‍රම වසංගතය මර්දනය උදෙසා හොඳින් සොයාබලා භාවිතය අනුමත කර තිබේ. එම ඖෂධ සංයෝගයන්හි ආරක්ෂිත බව, රෝග මර්දන හැකියාව, අසාත්මිකතා අතුරු ආබාධ රහිත බව මෙන්ම, සඵලතාව ගැන සෑහීමකට පත්වන කරුණු පැහැදිලිව ඇති නම් ඒවා භාවිතයේ වරදක් නැති බව ඔවුන්ද දැන් නිර්දේශ කර තිබේ. ඒ සඳහා ඖෂධ තෝරා බේරා ගැනීමට මාර්ගෝපදේශද ලබාදී තිබේ. සියවස් ගණනක් තිස්සේ පරම්පරාගත - සමාජ භාවිතය මගින් යහපත් ප්‍රතිඵල ඔප්පුකර ඇති ශාකසාර ඖෂධ ගණනාවක්ම මේ නිසා බොහෝ රටවල ප්‍රසිද්ධියේම මේ වනවිට භාවිතයට ගනු ලැබේ.

චීනය පෙරමුණේ

දේශීය වෙදකම කොවිඩ් 19 සඳහා  හොඳින්ම සහ තදින්ම  භාවිතා කරන්නේ චීනයයි.  පාරම්පරික බෙහෙත් ඖෂධවලින් ලැබෙන ආරක්ෂාව සහ ඒවායේ සඵලතාව සම්බන්ධයෙන් ස්ථිරසාර විද්‍යාත්මක සනාථ කිරීම් ලැබී නැතත් චීනය ඒවා බටහිර වෙදකම හා සමෝසමේ වසංගතය මතුවූදා සිටම භාවිත කරයි. WHO වාර්තාවන්ට අනුව චීනයේ සියයට 85ක්ම කොවිඩ් රෝගීන්හට මේ දෙමුහුම් ප්‍රතිකාරය ලබාදෙයි. ඒ සඳහා ආණ්ඩුවම ඉදිරිපත්ව සිටියි. ඔවුන් සිය ඉපැරැණි වට්ටෝරු සිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර ලෙස හවුලේ යොදවනවා පමණක් නොව අන්තර්ජාතික සෞඛ්‍ය සේවා ආධාර සැපයීමේදී ඉරානය, ඉතාලිය වැනි වෙනත් රටවල භාවිතය සඳහාද යොදාගනියි. රටේ ඉහළ පෙළේ නිලධාරි අංශ මෙන්ම රාජ්‍ය මාධ්‍ය මගින්ද කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්ති වර්ධනයට සහ රෝග ලක්ෂණ සමනයට සමත් යැයි පාරම්පරික අත්දැකීම් මත  පදනම්ව අගය තහවුරු කළ බෙහෙත් වට්ටෝරු භාවිතය පිළිබඳ නිතර උනන්දු කරවනු ලැබේ. එමගින් කොවිඩ් 19 මරණ අවම කර ගනිමින් පුද්ගල ප්‍රතිශක්තිය වර්ධනය කර රෝගය තවදුරටත් පැතිරීම පාලනයට සහ රෝග ලක්ෂණ මගින් ඇතිවන අපහසුතා සමනය කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබේ. චීන සෞඛ්‍ය බලධාරීන් ඇතැම් පුරාණ වට්ටෝරුගත ඖෂධ කිහිපයක සඵලතාව පිළිබඳව පර්යේෂණද සිදුකර තිබේ.

මැඩගස්කර “පැණිය”

මැඩගස්කරයේ ජනාධිපතිවරයා තමන්ම ඉදිරිපත් වී රටේ ඉපැරැණි වට්ටෝරුගත පැණියක් ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු අරඹා තිබුණි. රටේ මාධ්‍ය මෙන්ම සමාජ ජාලා මගින්ද නිරතුරුව මේ පැණියේ වරුණ ප්‍රචාරය කරන්නට යෙදුණි. දින 06න් ඕනෑම මට්ටමක කොවිඩ් රෝගියෙකු සහමුලින්ම සුව කිරීමට සමත් බව කියමින් මේ පාරම්පරික වට්ටෝරුගත ශාකසාර පැණිය ජනාධිපති ඇන්ඩ්‍රී රජෝවෙලීනාගේ  මූලිකත්වයෙන් ජනතාව අතර බෙදාදෙයි. රටේ පාසල් විවෘත වූ දින සැම දරුවෙක්ටම  “මාස්ක්” එකක් සහ මේ පැණි කුප්පියක් බෙදා දී තිබුණි. ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ මෙය තුළ ප්‍රධාන ලෙසම ඇත්තේ සිංහලෙන් නාගදමන ලෙස හැඳින්වෙන Artemisia, නමැති ආයූර්වේද පැළෑටියේ මුලේ යුෂ බවය. මේ තිත්ත යුෂය මැලේරියා මර්දන බෙහෙතක් ලෙස පාරම්පරිකව භාවිතා කරන්නකි. කෙසේ වුවද “මැඩගස්කර පැණිය” WHO සමඟ ආරෝවකටද මඟ පෑදුවේය. ඒ සිය පැණිය “COVID Organics (CVO)” ලෙස නම් කර අසල්වාසී ගිනිබිසව්, ගිනීයා වැනි රටවලට ලබාදීමට ඒ රට කටයුතු කිරීමත් සමගය. WHO මේ පැණිය සම්බන්ධව විද්‍යාත්මක දත්ත ඉල්ලා සිටි අතර හිතුමතේ පැණි බීමේ අනිටු විපාක ගැන අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

ඉන්දියානු සාර්ථකත්වය

දේශීය සහ පාරම්පරික ඖෂධ අතරින් සුදුසු ඖෂධයක් හෝ සංයෝගයක් වෙන්කර හඳුනාගැනීම සඳහා ඉන්දියාවේ මේ වනවිටද  මුල්පෙළ  පර්යේෂණ 68ක් ආයතන 122ක සිදුවෙමින් පවතී. ඉන් පර්ෙය්ෂණ 4ක් ඒවායේ අවසන් සායනික මට්ටම පසුකර හමාරය. ඔවුන් පරීක්ෂාවට ලක්කළ පාරම්පරික සහ දේශීය ඖෂධ රාශිය අතරින් රසකිඳ, තිප්පිලි සහ අශ්වගන්ධ මුල් යන ඔසු වර්ග වෛරස එරෙහි ප්‍රතිශක්තීකරණය වර්ධනයටත්, උණ සහ ප්‍රදාහ තත්ත්ව සමනයටත් ඉහළ සඵලතාවයකින් යුතු සාර්ථකත්වයක් දක්වන බව දැන් සනාථ වී තිබේ. විශේෂයෙන්ම පාරම්පරික අශ්වගන්ධ ඔසු ශාඛය සතුව කොවිඩ්19 සාදන SARS COV 2 වෛරසය මිනිස් සෛල හා සම්බන්ධ වන ACE2 ප්‍රතිග්‍රාහක ස්ථාන ආවරණය කර ඒවා සිරුරු ගතවීම වැළැක්වීමේ ඉහළ හැකියාවක් ඇති බව සනාථ වී තිබේ. දැනට බටහිර ප්‍රතිකාර ක්‍රමවලදී ප්‍රබලව භාවිතා වන Favipiravir, Lopinavir / Ritonavir සහ Remdesivir වැනි ඖෂධවලට වඩා ප්‍රබල සඵලතාවක් මෙම ඔසුව සතු බව සනාථ වී හමාරය. අශ්වගන්ධ ඔසු ශාඛය ගැන සොයා බැලූ එම පරීක්ෂණය සඳහා පමණක් ලක්ෂයකට වැඩි පිරිසක් යොදාගෙන ඇත.

අප්‍රිකාවේ දෙමුහුම් බෙහෙත් 

අප්‍රිකාවේ සෑම 500 දෙනෙකුටම, 01 වෙද ගුරුන්නාන්සේ කෙනෙකු බැගින් සිටින බව ප්‍රකටය. මේ නිසාම තෙල් බේත් යන්ත්‍ර මන්ත්‍ර වෙදකම ඒ කලාපයේ ජන ජීවිතයේම කොටසකි. ඒ නිසාම අප්‍රිකානු රටවල දේශීය වෙද හෙදකම් හා ශාඛසාර ප්‍රතිකාර රැසක්ම වසංගත මර්දනයට ප්‍රසිද්ධියේම රාජ්‍ය අනුග්‍රහය මැද භාවිත වෙයි. කොවිඩ් 19 හේතුවෙන් ඇතිවන විවිධ විෂම රෝග ලක්ෂණ වලින් සහනය ලබා ගැනීම සඳහා මේ දේශීය ශාඛසාර ඖෂධ මහඟු ආධාරයක් බව සනාථ වී හමාරය. WHO මේ කලාපයේ දේශීය පරීක්ෂණ සඳහා අතහිත දීමට ඉදිරිපත්ව සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් සඳහා වූ නියෝජිත සහ අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝන් නෙන්ගාසොන්ග්ට අනුව අප්‍රිකානු ගෝත්‍රික බෙහෙත් සායනිකව අත්හදා බැලීමේ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවති. ප්‍රතිශක්තිය වර්ධනය කරන කැස්ස කිවිසුම සමනය කරන හිසේ රුදාව සහ උණ බස්සන, පෙනහළු සහ ස්වසන මාර්ගය පැහැදිලි කර හුස්ම ගැනීම පහසු කරවන, පාරම්පරිකව විශ්වාසය ගොඩනඟා ඇති ඔසු ‌මේ සඳහා යොදා ගැනෙයි. අප දන්නා කියන ඔවුන්ගේ එම භාවිතයන් අතරට සින්කෝනා Cinchona, අත් කහ Curcuma longa, අරන් කහ, පැඟිරි මානා, තිත්ත කෝමාරිකා Aloe ferox, මුරුංගා Moringa oleifera, වැනි ප්‍රතිවෛරස ගුණ ඇති  ප්‍රතිශක්තිජනක ශාඛ අයත්ය.

මාලි රටේ කැස්ස පැණිය

මාලි රාජ්ජයේ සම්ප්‍රදායික වෙදකම පිළිබඳ දෙපාර්තමේන්තුව (DMT), ඒ රටේ ෆාමසි සංගමය හා එක්වී ඉපැරණි කැස්ස පැණියක් BALEMBO Syrup නමින් දැනටමත් නිකුත් කර ඇත්තේ කොවිඩ් 19 රෝගීන් පෙළන වියළි කැස්සෙන් සහනය ලබාදෙනු පිණිසය. පුංචි රටක් වන මාලි රටේ මේ වනවිට නව පර්ෙය්ෂණ කෙටුම් පතක් සකස්කර පර්යේෂණ කටයුතු ආමාත්‍යාංශයට ලබාදී ඒ අනුව බිම් මට්ටමේ පාරම්පරික ජන ඥානය ගවේෂණය කරමින් දේශීය ඖෂධයක් සොයා වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා හමාරය.

බ්‍රසීලයෙන් වයින් - තේ 

බ්‍රසීලය වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ අතර එහි පාරම්පරික ගෝත්‍රික දේශීය ජනයාද බුරුතු පිටින් මේ වසංගතයට ගොදුරු වූහ. නමුත් සමහර ගෝත්‍රික ජන කොට්ඨාස මේ වසංගතය මැදද ජීවිතය රැක ගන්නට සමත්වූහ. ඒ සිය පැරුණි වෙදහෙදකම් අනුවය. රටේ රජය මෙන්ම සෙසු ලෝකයෙන්ද අත්හැර දැමූ මට්ටකට ඇදවැටුණු ඇමේසනය බද ජනයා බුරුතු පිටින් වනවැදී සිය පාරම්පරික වෙදහෙද දැනුම අනුව කොවිඩ් 19 විවිධ රෝග ලක්ෂණ එකිනෙක සඳහා සුදුසු පිළියම් හැටියට එකිනෙක ශාඛවලින් පංචාංගය සූරාගෙන තම්බා පෙරාගත් “විශේෂ තේ” උදේ හවා බී දිවි බේරා ගත්හ. විශේෂයෙන්ම ඉපැරුණි ගෝත්‍රයක් වන කයාපෝ ගෝත්‍රිකයෝ ඔවුන්ගේ ඉපැරුණි දැනුමෙන් තේරූ “පැළෑටි සාරයෙන් තෑනූ සැර වයින් - තේ” වඩිය බැගින් බී නිදා ගැනීමෙන් පමණක් එක් දිනකින් කොවිඩ් 19 අඩපන කර තිබුණි. මෙම “වයින් - තේ” බීවූ සැණින් ඇඟපත පණ නැතිවී ඇස් රතු වී ඉහේ රුදාවක්ද හට ගන්නා නමුත් ඒ සමග එන මත්වීමෙන්ම නින්දට ගොස් පසුදා නැගිටින විට සියලු රෝග නිට්ටාවටම සුව වී තිබෙනු දක්නට හැකි බව කයාපෝ ගෝත්‍රිකයන්ගේ අපූරු බෙහෙත පරීක්ෂා කළ සාඕ පෝලෝ සරසවියේ වෛද්‍ය ඩගලස් රොඩ්‍රිගස්  කියා තිබුණි. වයින් තේ වඩියේ ගුණ කෙතරම්ද යත්, පාරා ජනපද වාසී කයාපෝවරුන් 12000ක් අතරින් මේ වනතුරුත් කොවිඩ්19 මරණ වාර්තා වී ඇත්තේ 20 කටත් අඩුවය‍.
බ්‍රසීලය මෙන්ම කොලොම්බියා, මෙක්සිකෝ, පේරු සහ කියුබාව වැනි රටවල බහුතරයද යැපුනේ ඒ ලෙසිනි. පපුව හිරකරන විට දුම් ඇල්ලීමට ශාඛ ඔසු  භාවිතයත්, උණ සමනයට ගස්පොතු කොළ මුල් තැම්බීමත් මේ රටවල ජනයාගේ ගැලවිල්ල විය. ආණ්ඩුවට කළහැකිව තිබුණේ ඒ රටවල සීමිත වූ සම්පත් දේශීය වෙදහෙදකම සමඟ සමෝසමේ භාවිතයට ගැනීම පමණි. 

මිථ්‍යා බේත් වට්ටෝරු

පාරම්පරික වෙද කලාව වඩාත් ප්‍රචලිත ආසියාවේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජීවිතාශාවෙන් පිස්සු වැටී සිටින මිනිස්සු අරුම පුදුම ඔසු පිළිවෙත් සඳහා යොමුව ඇති ආකාරයද දකින්නට හැකිය. විශේෂයෙන්ම වියට්නාමය, කාම්බෝජය, ඉන්දුනිසියාව, මැලේසියාව, තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් මේ දියුණු කාලයේ සිදුවෙතැයි බලාපොරොත්තු නොවිය හැකි අමුතු වෙදහෙද පිළිවෙත් වාර්තා වී තිබේ. සුදුලූනු යුෂ, ජාමූ යුෂ හෝ පොල්තෙල් මගින් නාසය තෙත මාත්තු කිරීම, සුදුලූනු තැම්බූ වතුර, සේර තැම්බූ වතුර බීමට ගැනීම එයින් කිහිපයකි. 

පර්ෙය්ෂණාත්මක ඔසුවක් සොයා මෙහෙයුම් සිදුවන අතරේම අන්තර්ජාලය මගින් විවිධ කූට සිරප්, කසාය, ගුලි, පැණි, තරලසාර පිළිබඳ නොමග යවන සුළු වාර්තාද ඉදිරිපත්වීම නිසා මේ රටවලදීද දේශීය වෛද්‍ය ක්‍රමයේ සැබෑ ඖෂධ හඳුනාගෙන ඉදිරියට ගෙන ඒමට ඇති ඉඩකඩ ඇහිරි ගොස් හමාරය. එසේ වුවද කොවිඩ් සඳහා නිශ්චිත සුවදෙන ප්‍රතිකර්මයක් සොයා පාදාගන්නට හැකිවනු ඇත්තේද මේ පාරම්පරික වට්ටෝරු, තෝම්බු ඇසුරෙන්මය.

 සුගත් පී. කුලතුංගආරච්චි