2021 ජනවාරි 16 වන සෙනසුරාදා

‌පා‌ෙලීසියෙන් ගැලවෙන ප්‍රභූ ආරක්ෂාව

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

ප්‍රභූ ආරක්ෂාව යන්න ඇසුණත් මතකයට එන්නේ මාර්ග නීති හා රථවාහන නීති තුට්ටුවකට මායිම් නොකොට අධික වේගයෙන් යන රථ පෙළකි. පාරේ අයිතිය ඔවුන් නතු කොටගෙන විදුලි ලාම්පු දල්වාගෙන නලා හඬෙන් ඉදිරියට යන වාහන සෙසු වාහනවලටත් ජනතාවටත් හිරිහැරයකි. සියල්ලට අනුබල දෙමින් එම රථවලම නැගී නිලඇඳුම් ලාගත් ආරක්ෂක නිලධාරීන්ය. කාගේත් කෝපයට ලක්වන මේ ප්‍රභූ ආරක්ෂකයන් පිළිබඳව හැමදාමත් පැවතියේ ලොකු විවේචනයකි.

දශක තුනක් මෙරට පැවති යුද්ධය නිසා එවක ප්‍රභූවරුන්ගේ මෙන්ම මහජනතාවගේ ආරක්ෂාවත් අනතුරක තිබිණි. එවැනි තත්ත්වයක් වර්තමානයේ නොවන බැවින් සාමාන්‍ය මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි ප්‍රභූ ආරක්ෂාව පවත්වාගෙන යා යුතුය. විශේෂයෙන් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබෙන මේ මොහොත උදෙසා මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශයක් හේතු වී තිබේ. පසුගිය දිනක ඒ මහතා කියා තිබුණේ දැනට ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සියලුම දෙනා ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවත් ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමට අදහස් කරන බවත්ය.

ඒ අනුව දැනට ප්‍රභූ ආරක්ෂාව සඳහා අනුයුක්ත කොට සිටින පොලිස් නිලධාරීන් 44,000ක් පමණ ඉවත් කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එවැනි ප්‍රමාණයක සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් පිරිසක් යෙදවීමට පියවර ගැනෙනු ඇති අතර එය පියවර කිහිපයක් යටතේ සිදු කිරීමට තීරණය කර තිබේ. දැනට පොලිස් සේවයේ නිරත නිලධාරීන් 80,000කට අධික ප්‍රමාණයකින් අඩකට වඩා ඉහත ආරක්ෂක රාජකාරීන් වෙත අනුයුක්ත කොට තිබීම පොලිස් රාජකාරියට ද බාධාවකි. මේ හේතුවෙන් අමාත්‍ය සරත් වීරසේකර සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

මේ හරහා පිරිස් බලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පොලිස් සේවයේ කටයුතු අඩාලව පැවතියත් නව තීරණය හරහා එය මගහැරෙනු ඇති බවද සැලකිල්ලට ගෙන ඇත. මෙසේ විධිමත් පොලිස් සේවාවක් සඳහා ඉඩකඩ සැලසීම අරමුණ වේ. එහිදී පළමු වටයේදී මෙතෙක් ප්‍රභූවරැන්ගේ නිවෙස්වල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ ආකාරයට එම නිලධාරීන් කොටස් වශයෙන් යළිත් පොලිස් සේවාවට අනුයුක්ත කිරීමට පියවර ගැනෙනු ඇත. ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ විශේෂ පුහුණුව ලත් බලඇණියක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නියමිත පුහුණුවක් ලබා දී ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමට නියමිතය.

වසර ගණනාවකට පෙර ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදා භටයන්ය. ඒ පැවති යුද සමයේදීය. අනතුරුව වසර හයක් පමණ අදාළ රාජකාරිය යුද හමුදාව විසින්ම සිදු කළ අතර 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ එම කටයුතු සඳහා විශේෂ කාර්ය බලකාය කැඳවනු ලැබීය. මෙහිදී ජනාධිපති, අගමැති, ඇමැතිවරැන්, මන්ත්‍රීවරුන්, අධිකරණ විනිශ්චයකරුවන් වශයෙන් හඳුන්වන පිරිස්හි ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂකයන් යොදවනු ඇත.
මෙතෙක් පැවති ක්‍රමය අනුව ප්‍රභූ ආරක්ෂකයන් සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලීසිය මගින් ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීම් කර තිබේ. සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් යෙදවුවද ඔවුන්ට එම බලකාය මගින් වැටුප් පිරිනමයි. එහෙත් නිලධාරීන්ගේ රාජකාරිය අතුරතුර ඇතැම්විට සිදුවන්නේ ප්‍රභූවරැන්ගේ පවුල්වල සෙසු කටයුතු සිදු කිරීමට ද ඔවුන් යොමු කිරීමය. එය ගෙදරදොර කටයුතු මෙන්ම අනවශ්‍ය ගමන් බිමන් ආදියද විය හැකිය. මේවා රාජකාරියට අයත් නොවන කටයුතු නිසා ප්‍රභූවරැන් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද සඳහන්ය.

කලින් කලට ප්‍රභූ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් තීන්දු තීරණ වෙනස් වන බව දකින්නට ලැබේ. ලංකාවේ මේ තත්ත්වය දේශපාලන කාරණයක් මත පදනම් වන බව දැකිය හැකිය. එය විශේෂයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ එවැනි අපේක්ෂාවකින් නොකෙරෙන බව පෙනෙන්නට තිබේ. මෙරට හිටපු දේශපාලනඥයන් තනතුරෙන් හා බලයෙන් පහවීමත් සමඟ වෙනත් පාර්ශ්වයකට ආණ්ඩු බලය හිමි වූ අවස්ථාවලදී ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක කටයුතු පිළිබඳ අවබෝධයකට වඩා  දේශපාලනමය කාරණා මත බවද පෙනෙන්නට ඇති කරැණකි. වරෙක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂකයන් ඉවත් කිරීම හා වරෙක හිටපු ජනපති තනතුරෙන් පරාජය ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට සිදු වූයේද එවැන්නකි.

ප්‍රථමයෙන් සටහන් කළ පරිදිම ප්‍රභූ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නිකුත් කරන ගිනිඅවි හා රථවාහන රටේ සිවිල් ජනයා භීතියට පත් කර ඔවුන්ගේ දිවියට බාධා කරමින් ගමන් ගන්නා ආකාරය දැකිය හැකිය. එය ජනතාවට කරදරයකි. එබැවින් ප්‍රභූන් යැයි කියන කවරකු වුවද තැනට ගැලපෙන සුදුසු ආරක්ෂාව පමණක් භාවිත කිරීමට පියවර ගැනීමද කළ යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර