2021 ජනවාරි 16 වන සෙනසුරාදා

කොවිඩ් නීති නැවූ යුක්රේන සංචාරක අවුල

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇතිවූයේ ඔවුන් නිසි සෞඛ්‍ය ක්‍රියාවලියට අනුගත නොවන පසුබිමක් තුළය. මෙරටට ආදායම් උපයා දෙන ප්‍රධානතම කර්මාන්තයක් වන සංචාරක ව්‍යාපාරය බිඳවැටුණේ කොවිඩ් වසංගතය ලොවටම එල්ල කළ ප්‍රහාරය හේතුවෙනි. සංචාරක කර්මාන්තයෙන් යැපෙන දහස් ගණනකට ජීවනෝපාය මාර්ග අහිමි වූ අතර රජයට ලැබෙන විදේශ විනිමයද අවම විය.

එහෙයින් යළිත් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය. එහි පළමු පියවර ලෙස පසුගිය දෙසැම්බර් 28 දා යුක්රේනයේ සිට පළමු සංචාරක කණ්ඩායම මත්තල ගුවන් තොටුපළින් මෙරටට ළඟාවූහ. 2020 මාර්තු 19 වෙනි දින සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ වසා දැමීමෙන් අනතුරැව ශ්‍රී ලංකාවට සංචාරකයන් ලඟා වූ පළමු අවස්ථාව එය විය.

මෙම සංචාරකයන් මෙරටට ගෙන ආවේ නියමු ව්‍යාපෘතියක් ලෙසය. එය ජෛව බුබුලක් ලෙස ක්‍රියාත්මක කරන බවට බලධාරීහු ප්‍රකාශ කළහ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු සංචාරකයන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්විය යුතු බවත් අවම වශයෙන් දින 14ක කාලයක් මෙරට රැඳී සිටිය යුතු බවත්, ඔවුන් සංචාරක බුබුලක් ලෙස කටයුතු කරන බවත්ය. සහතික ලත් හෝටල් 131ක් මෙම සංචාරකයන් සඳහා වෙන්කර තිබිණි. 

සංචාරකයන් පීසීආර් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු සංචාරය සඳහා විශේෂ ස්ථාන 12 ක් හදුන්වා දී තිබිණි. දළදා මාලිගාව, යාල ජාතික වනෝද්‍යානය,  මින්නේරිය වනෝද්‍යානය, සීගිරිය, දඹුළු විහාරය, උඩවලව, හෝර්ටන් තැන්න, සිංහරාජ වනාන්තරය, පේරාදෙණිය උද්භිද උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, තල්මසුන් නැරඹිය හැකි ස්ථාන සහ සළුසල එම ස්ථාන ලෙස නම් කර තිබිණි. සංචාරකයන් සම්බන්ධීකරණය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සිදුවිය යුතු බවද පැවසිණි. මෙම ස්ථානවලදී සංචාරකයන් සහ මෙරට ජනතාව සම්බන්ධවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු විය.

කෙසේ වුවද මෙරටට පැමිණි පළමු යුක්රේන සංචාරක පිරිසට 186 දෙනකු අයත් වූ අතර ඉන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීමත් සමඟ කිසියම් කැළඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය විය.  යුක්රේන සංචාරකයන්ගේ සංචාර සම්බන්ධීකරණ කටයුතු සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සම්බන්ධීකරණය කළයුතු බවට තීරණය කර තිබූ අතර. අධිකාරිය මගින් සකසන ලද රියැදුරු, ගයිඩ් සහ සහායකවරැන්ගේ ලැයිස්තුවකට අනුව ඔවුන්ගේ සේවය ලබාගත යුතු විය. සියලුදෙනා “ජෛව ආරක්ෂක බුබුළක්” වශයෙන් ක්‍රියාකළ යුතුව තිබිණි. එහෙත් යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී හා සංචාරය කිරීමේදී නිර්දේශ කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වී ඇති බව පැහැදිලිවම දැකිය හැකි විය.

මෙරට පැමිණි යුක්රේන සංචාරකයන්ගෙන් ඇතැමෙක් මුව ආවරණ පැළඳ සිටියේ නැත. ඇතැමෙක් නිදහසේ විවිධ තැන්වල ඇවිද තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනිවාර්ය නිරෝධායන දින 14 සීමාව දින 07 දක්වා අඩුකර තිබිණි. පළමු පී.සී.ආර්. පරීක්ෂණ නෙගටිව් නම් “ජෛව ආරක්ෂක බුබුළක” ආකාරයෙන් හඳුනාගත් නැරඹුම් ස්ථාන කරා යාමටද අවසර හිමිවිය. එහෙත් ඇතැම් සංචාරක ස්ථාන වෙත ඔවුන් රැගෙන ගොස් තිබුණේ නිරෝධායන කාලය වන දින 7 සම්පූර්ණ වීමටත් පෙරය. මෙවැනි ක්‍රියාවලින් වන්දි ගෙවන්නට සිදු වූයේ එම පිරිස යාල වනෝද්‍යානයේ සෆාරි සඳහා කැඳවාගෙන ගිය බස්රථ හා ජීප් රථ රියැදුරන්ටය. ඔවුන් දින 14ක කාලයකට නිරෝධායනය කිරීමට පියවර ගැනීම හේතුවෙන් අර්බුදයක්ද නිර්මාණය විය.
සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මෙලෙස ප්‍රකාශ කළේය. “අපේ රටේ සංචාරක කර්මාන්තයෙන් යැපෙන පිරිස ලක්ෂ තුනකට වැඩියි. ගතවූ වසර මුළුල්ලේම සංචාරක ව්‍යාපාරය බිඳවැටුණා. එයින් මේ පිරිස අසරණ වුණා. මෙතනදී සංචාරකයන් යළි ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වුණා. මනා සෞඛ්‍ය නීති රීති යටතේ යම් ක්‍රමවේදයකට අනුව ටිකෙන් ටික සංචාරක කටයුතු සඳහා රට විවෘත කරන්න තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන්ම යුක්රේන සංචාරකයන් ගෙන්වීමට පියවර ගත්තා. එහෙත් මෙතනදී අඩුපාඩුවක් සිදු වුණා. එම අඩුපාඩු නිවැරදිව හඳුනාගෙන ඒවා නැවත සිදු නොවන පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරකයින් ගෙන්වීමට කටයුතු කරනවා”
යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ මේ වනවිට කලාපයේ සියලු රටවල සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කර ඇති බවය. “අපට රට වහගෙන ඉන්න බැහැ. ක්‍රමානුකූල විවෘත කිරීමක් කළ යුතුයි. යුක්රේන සංචාරකයන් යනු අත්හදාබැලීමක් පමණයි. එවැනි අත්හදාබැලීම් වලදී අඩු වැඩි වශයෙන් චෝදනා හා යෝජනා ලැබෙනවා. ඒවා නිරාකරණය කර ගනිමින් ඉදිරියට යා යුතුයි.” යනුවෙන් ඔහු කියා සිටියේය.

යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේගේ විරෝධතාවක් ඇති විය. සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න  හිමියන් පැවසුවේ ශ්‍රී ලංකාවටත් වඩා දිළිඳු රාජ්‍යයක් වන යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමෙන් සංචාරක කර්මාන්තයට සෙතක් සිදු නොවන බවයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට යැයි පවසමින් හිඟන්නන් ගෙන්වීමෙන් එය කළ නොහැකි බවයි. මෙවැනි පිරිස් නොගෙන්විය යුතු යැයි ආණ්ඩුවේ ඇමැතිවරු ජනාධිපති තුමාට උපදෙස් දිය යුතු යැයිද සංචාරකයන් ගෙන්වන්නේ නම් රටට ප්‍රතිලාභයක් ගෙන ආ හැකි පිරිස් ගෙන්විය යුතුයැයිද උන්වහන්සේ ප්‍රකාශ කරති.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය “ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් කොරෝනාවලින් මුදල් ඉපයීම ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. යුක්රේනයෙන් පළමුවරට සහ දෙවැනි වරට පැමිණි අයගෙන් පිරිසකට කොරෝනා පොසිටිව් කියල හඳුනාගත්තා. එහෙ ඉඳන් එනකොටම ඔවුන්ට කොරෝනා. ඒ වුණාට එම ගුවන් යානයෙන් පැමිණි අනෙක් පිරිස නිරෝධායනයට ලක්කළේ නැහැ. කොවිඩ් 19 වසංගතයට අදාළව රටේ එක නීතියක් නැහැ. එක් පිරිසකට එක් විදිහකටත් තවත් පිරිසකට තවත් විදිහකටත් සලකනවා.” යැයි ප්‍රකාශ කළේය.

යුක්රේන සංචාරකයන්ගෙන් යළි කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවට ජනතාව අතර බියක් පැතිර ගියේය. ඇතැම් ප්‍රදේශවලට සංචාරකයන් පැමිණීම සම්බන්ධයෙන් විරෝධතා ඇති විය. විශේෂයෙන් මහනුවර දළදා මාලිගයට ඔවුන් පැමිණි අවස්ථාවේ බෞද්ධ හිමිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ විරෝධය මතුවිය. මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සඳහන් කර තිබුණේ මෙම සංචාරය පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බවය. සංචාරක මණ්ඩලය සැලසුම් කළ කාර්යයක් බැවින් එසේ දැනුම්වත් කිරීම අනවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව එම කාර්යය සිදුවන බැවින් අනාරක්ෂිත තත්ත්වයක් තිබේද යන්න සෞඛ්‍ය අංශ මගින් තීරණය කරනු ඇතැයි ඔහු කියා තිබිණි.
යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය මෙහෙයවන ලද්දේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විසිනි. අපේක්ෂිත අයුරින් සංචාර කළ නොහැකි වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ඔහු මෙලෙස අදහස් දක්වා තිබිණි.
“සංචාරක බුබුල යටතේ රජයේ නිරෝධායන නීතිරීති අනුව හා දැඩි පරීක්ෂාවකින් පසුව දළදා මාළිගයේ සංචාරය කිරීමට යුක්රේන සංචාරකයන්ට අවස්ථාව හිමි විය. පින්නවල අලි අනාථාගාරය නැරඹීමටද සූදානම් කර තිබූ අතර සංචාරකයන් 209 දෙනකු විසින් රුපියල් 627,000ක මුදලක් ප්‍රවේශපත්‍ර ගාස්තු ලෙස ගෙවීමට පියවර ගෙන තිබිණි. එහෙත් ඒ සඳහා ලැබිය යුතු සේවය අලි අනාථාගාරයෙන් නොලැබෙන තත්ත්වයක් උදා වූ හෙයින් එම සංචාරය අවලංගු කිරීමට පියවර ගත් බව” ඔහු කියා තිබිණි. 

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් හඳුනාගත් ගැටලු පිළිබඳව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ අවධානය යොමු කෙරුණු අතර ඔහු සඳහන් කළේ ජනවාරි මස අගදී ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු මෙවැනි ගැටලු මතු නොවන ලෙස කටයුතු කළ යුතු බවය. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ගෝපදේශ, සංචාරකයන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආයතනවලට ලබාදෙන බවද ප්‍රකාශ කළේය. සංචාරකයන් සහ මෙරට ජනතාව සම්බන්ධවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමතිවරයා උපදෙස් දී තිබේ සංචාරකයන් පැමිණෙන ප්‍රදේශයන්හි සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම මත මේ වනවිට යුක්රේනය ලොක්ඩවුන් කර තිබේ. එවන් පසුබිමක් තුළ පසුගිය 12 දාද එරට සංචාරකයන් 165 දෙනෙක් මෙරටට පැමිණියහ. මෙරට සංචාරය අවසන් කළ යුක්රේන ජාතිකයන් 178 දෙනෙක් එදින මෙරටින් පිටව ගියහ. මේ වනවිට යුක්රේනයෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1169කි.

ජනවාරි 21 දා කටුනායක ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට නියමිතය. එංගලන්තයේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු විවිධ රටවලින් පැමිණෙන සංචාරකයන්ගෙන් නව වෛරස මෙරට ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙයින් සෞඛ්‍ය නීති රීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. සංචාරකයන්ගෙන් ලැබෙන ඩොලර් කිහිපයක් වෙනුවෙන් මෙරට ජනතාව බිල්ලට නොදීමට ආණ්ඩුව පියවර ගත යුතුය.

♦ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා