2021 ජනවාරි 16 වන සෙනසුරාදා

කොරෝනා සමඟ දිව ඔසුවක් වූ මී පැණි

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

කොවිඩ්-19 වෛරසය ආසාදිත වූ රෝගීන් මෙරටින් වාර්තා වීමත් සමඟ මෙම රෝගයෙන් වැළකී සිටීම සඳහා විවිධ ක්‍රම සහ විධි ප්‍රතිකාර බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරු අත්හදා බැලූහ. ඒ අතරින් මේ වන විට කොරෝනා සමඟ ඉස්මතු වූ දිව්‍ය පැණිය ලෙස ඇතැම්හු මී පැණි හැඳින්වූහ.

මී පැණි යනු ස්වභාවධර්මයෙන් මනුෂ්‍ය වර්ගයා වෙත ලබා දෙනු ලබන තිළිණයකි. පසුගියදා ගාල්ල පිලාන ප්‍රදේශයේ පැවති උත්සවයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ද මී පැණිවල ගුණ පිළිබඳව මෙසේ පවසා තිබුණි.

“බොහෝ දෙනා කොවිඩ් රෝගයට මී පැණි බිව්වාට වරදක් නැද්ද කියලා අහනවා. මී පැණි බිව්වට වරදක් නැහැ. නවසීලන්තයේ මී පැණි හදන්නේ මල් තුනකින්. මෙහේ එක මී මැස්සෙක් පැණි හදන්න මල් පන්සියකටත් වැඩි ප්‍රමාණයක් ගන්නවා. මේ මී පැණි ලෝකයේ හොඳම මී පැණි”

නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගීකම ආරක්ෂා කිරීම හා රෝගී වූ විට ඖෂධීය ප්‍රතිකාර සිදු කර රෝගී බවින් මුදවීම යන මූලික අරමුණු දෙක පෙරදැරි කොටගත් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි පුද්ගල නිරෝගී බව රැකගැනීමට මී පැණි අනිවාර් යෙන්ම පරිභෝජනය කළ යුතු ආහාරයක් ලෙස දක්වා ඇත. මෙය ප්‍රතිශක්ති වර්ධන ආහාර අතරින් ඉදිරියෙන්ම ඇති ආහාරයකි. එබැවින් කොවිඩ්-19 වසංගතයෙන් බේරීමට, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඉතා ගුණදායක ඔසුවක් ලෙස ද මී පැණි හැඳින්විය හැකිය.

Apis cerna, Apis mellifera, Apis floria, Apis dorsata, Apis audreniformis යනාදී මී මැසි විශේෂ මගින් මී පැණි නිපදවන අතර මෙයින් අපරදිග මී මැස්සා Apis mellifera හා පෙරදිග මී මැස්සා Apis cerlna යනුවෙන් විශේෂ දෙකක් දක්නට ලැබේ. මෙයින් ශ්‍රී ලංකාවේ යොදාගනු ලබන්නේ Apis cerana indiea නම් උප විශේෂයයි.

අඹ, කජු, මොර, මාදං, සියඹලා, වීර, පලු, කෝන්, දිවුල්, ගල්සියඹලා වැනි ශාක මෙන්ම බුරුත, ගම්මාලු, කුඹුරු මාර ආදී දැවමය ශාක ද සාර්ථක පැණි වහනයක් ලබා දෙයි. මීට අමතරව පොල්, පුවක්, තල්, කිතුල්, ඇහැල, රණවරා, ඉපිල් ඉපිල්, ඇනේෂියා වර්ග, කෝපි මෙන්ම තල, මුං, කව්පි, සූරියකාන්ත, බඩඉරිඟු වැනි කෘෂිකාර්මික බෝග මෙන්ම තවත් බොහෝමයක් ශාක මගින් මී මැස්සෝ ආහාර සපයා ගනිති. එමෙන්ම වල් පැළෑටි, තණ, අලංකාරය සඳහා වවන මල් වර්ග ද මී මැස්සන්ට පැණි ලබා දෙයි.

ලංකාවේ දේශගුණික රටාව අනුව ශාකවල මල් පිපීම මෝසම් වර්ෂාව අවසානයේ එළඹෙන වියළි කාලගුණයක් සහිත මාස දෙක තුනකට සීමාවෙන බැවින් ඉතා කෙටි කාලයක් තුළදී වැඩි පැණි නිෂ්පාදනයක් ලැබේ. එහෙයින් එම කාලය හොඳින් වටහාගෙන ජනපද සූදානම් කිරීම මගින් වැඩි පැණි නිෂ්පාදනයක් ලබාගැනීමට හැකියාව ලැබේ.

මී පැණිවල සංයුතිය සලකා බැලීමේදී කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය ප්‍රෝලයින් නම් ඇමයිනෝ අම්ලය විශාල ලෙස අඩංගු වේ.) ඛනිජ ලවණ (කැල්සියම්, යකඩ, සින්ක්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, සෙලනියම්) ප්‍රති ඔක්සිකාරක අඩංගුය. (ෆ්ලැවනොයිඩ්ස් - තද පැහැ මී පැණිවල ප්‍රති ඔක්සිකාරක අධිකව අඩංගු වේ.) මී පැණිවල කොලෙස්ටරෝල් අඩංගු නැත.

ආයුර්වේද ශාස්ත්‍රයේ ප්‍රධාන වශයෙන් පරිහරණය කරන ‘චරක සංහිතාව’ට අනුව මී පැණි වර්ග හතරකි.

මාකෂික - රතු පැහැ මී මැසි විශේෂ නිපදවයි. තල තෙල් පැහැතිය. සිරුරේ සියුම් ස්ථාන කරා ක්‍රියාත්මක වේ. දිරවීමට ඉතා පහසුයි. මෙය ගුණයෙන් ඉහළ මී පැණි වේ.

භූමර - සුදු පැහැතිය. ලිස්සන සුළුය. දිරවීමට අපහසුය. අධික පැණි රසය.

කෙෂෟද්‍ර - කුඩා මී මැසි විශේෂ මගින් නිපදවයි. දිරවීමට පහසුය. ශීත ගුණැතිය.

පෛත්තික - විශාල මී මැසි විශේෂ මගින් නිපදවයි. ගිතෙල් පැහැතිය. වියළිය. වාත, පිත, දෝෂ, කුපිත කරවයි. බඩ පපුව දැවිල්ල ඇති කරවයි.

සුශ්‍රැත සංහිතා ශුන්‍යාව අනුව මී පැණි පැරුණි වීමේදී නව මී පැණිවලට වඩා ගුණයෙන් වෙනස් වේ.

නව මී පැණි - ශරීරය පෝෂණය කරයි. මළ පහසුවෙන් පිට කරයි.

පැරණි මී පැණි - ශරීරයේ මේදය අඩු කරයි. ස්ථුල පුද්ගලයන්ට ගුණදායක වේ. අතීසාර රෝගවලට ලබා දෙයි.

මේ අනුව එක් එක් රෝග අවස්ථා සඳහා ඉහත ප්‍රභේදවලින් සුදුසු ප්‍රභේද තෝරා පරිහරණය කිරීම කළ යුතු වේ.

උදාහරණ ලෙස අති ස්ථුල පුද්ගලයකු පරිහරණය කළ යුත්තේ පැරණි මී පැණිය.

“ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී බොහොමයක් ඖෂධ සමඟ මී පැණි අනුපාතයක් ලෙස යොදා ගන්නවා. ඊට හේතුව වන්නේ මී පැණිවලට ශරිරයේ සියුම් ස්ථාන කරා පැතිරීමේ තියෙන හැකියාවයි. ඒ නිසා ප්‍රධාන ඖෂධය ඒ සමඟ මිශ්‍ර කර දීමේදී එහි ඖෂධීය ගුණය ඉතා ඉක්මනින් පැතිරීමේ හැකියාව පවතිනවා.” යැයි ආයුර්වේද වෛද්‍ය එල්.එච්.එම්. සෝමවීර මහත්මිය දේශයට පැවසුවාය.

මී පැණි භාවිත නොකළ යුතු අවස්ථා පිළිබඳවද ආයුර්වේද වෛද්‍යවරිය සඳහන් කරයි. ඒ අනුව මී පැණි රත් නොකළ යුතුය. අධික උණුසුම් ආහාර සමඟ මිශ්‍ර නොකළ යුතුය. අධිකව තාපයට නිරාවරණය වන උණුසුම් පරිසරයක නොතැබිය යුතු අතර මී පැණි ගිතෙල් සමාන මාත්‍රාවෙන් නොගත යුතු බව සඳහන් වේ.

මේ අනුව මී පැණි උෂ්ණ සංයෝගයක් ලෙස විෂ බවට පත්විය හැකිය. කසායකට වුවත් මී පැණි එක් කරනු ලබන්නේ එය නිවුණු පසුවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද පර්යේෂණ විද්‍යායතනයේ පර් යේෂණ කණ්ඩායම කොවිඩ්-19 රෝග තත්ත්වය සඳහා සිදු කළ පර්යේෂණයේදී සුදර්ශන චූර්ණයේ ඇති මී පැණි එහි ප්‍රතිශක්ති ගුණය වැඩි කරලීමට සමත් වී ඇති බව කියැවේ.

“ආහාරයක් ලෙස මී පැණි භාවිත කිරීමේදී ආහාර දිරවීමේ හැකියාව වර්ධනය කරනවා. ශරීර ශක්තිය වර්ධනය කරනවා. ලේ පිරිසුදු කරනවා. ප්‍රති ඔක්සිකාරක ගුණය ඇති බැවින් වයසට යාම පාලනය කරනවා. ඊට අමතරව මෙය හොඳින් මළපහ පිට කිරීමටද උදව් කරනවා.” යැයි ආයුර්වේද වෛද්‍ය සෝමවීර මහත්මිය දේශයට වැඩිදුරටත් පැවසීය.

“ආයුර්වේද හා දේශීය ඖෂධ බොහොමයකදී ඖෂධයක් ලෙස මී පැණි භාවිත කරනවා. වැඩි වශයෙන් එය භාවිත කරන්නේ (අනුපාතයක්) ලෙසයි. එනම් ප්‍රධාන ඖෂධය සමඟ මිශ්‍ර කිරීමට යොදාගනු ලබන ද්‍රවයක් ලෙසයි. එමගින් ප්‍රධාන ඖෂධයේ ගුණය ශරීරයේ සියුම් ස්ථාන කරා ඉතා ඉක්මනින් පතුරවාලනවා. මේ නිසා මී පැණි බොහොමයක් රෝග සඳහා ඖෂධයක් ලෙස ක්‍රියා කරනවා.” ආයුර්වේද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ අනුව මෙමගින්,
• උණ අඩු කිරීමේ හැකියාව පවතී.
• මළ හොඳින් පිට කරයි.
• ආසාදන සමනය සඳහා ක්‍රියාකාරී වේ.
• හිමොග්ලොබින් ඌණතාවය නිසා ඇතිවන පාණ්ඩු තත්ත්වවලදී ගුණදායක වේ.
• තුවාල ඉක්මනින් සුව වේ. 
• ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
• සමේ තෙතමනය රඳා පවතී.
• සෑම චර්ම රෝගයකටම ගුණදායක වේ.
• ගර්භනී කාලයේදී පළමු මාස තුන තුළ ඇතිවන වමනයේදී උදෑසන ආහාරයට පෙර මී පැණි ගැනීමෙන් එම තත්ත්වය මඟහැරේ.
• මානසික ආතතිය දුරලයි. 

එමෙන්ම තවත් රෝග තත්ත්ව බොහොමයකටම මී පැණි ගුණදායක වේ.

“ආයුර්වේදයේ සෙම් රෝග, චර්ම රෝග, උණ රෝග වැනි බොහොමයක් රෝගවලට මෙම මී පැණි භාවිත කිරීම මීට අවුරුදු ගණනාවකට පෙර සිටම සිදු කර ඇති අතර එය වර්තමානය වන විට නවීන විද්‍යානුකූලව ද තහවුරු වී ඇති බව සඳහන් කළ යුතු වෙනවා. මේ නිසා කොවිඩ් රෝගය සඳහා ද මී පැණි ඉතා ගුණදායක ඖෂධයක්. නමුත් වර්තමානයේදී කූට ව්‍යාපාරිකතයන් යම් යම් අපද්‍රව්‍ය හා අධික සීනි මිශ්‍රිත මී පැණි හා මී පැණි ආශ්‍රිත නිෂ්පාදිත වෙළෙඳපොළේ නිකුත් කර ඇති බැවින් හොඳ මී පැණි පමණක් භාවිත කළ යුතු බව මතකයේ තබාගැනීම ඉතා වැදගත් වෙනවා.” ආයුර්වේද වෛද්‍ය එල්.එච්.එම්. සෝමවීර මහත්මිය දේශයට වැඩිදුරටත් පැවසීය.

මී පැණි බිංදුවක් පිරිසුදු ජලයට දැමූ විට එය ජලයේ විසිරී නොයා බිංදුවක් ලෙසම පතුලට වැටීමත් බුලත්විට කන හුණු ස්වල්පයක් අල්ලට දමා මී පැණි බින්දුවක් මිශ්‍ර කළ විට අල්ලම පිළිස්සෙන ස්වභාවයක් දැනීමත් සිදුවෙයි නම් එය හොඳ මී පැණි වර්ගයක් ලෙසත් හැඳින්විය හැකිය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00