2021 ජනවාරි 16 වන සෙනසුරාදා

රටේ නමටත් වෙනසක්: ඇල්ලේ හිමිගේ යෝජනා

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

තුනෙන් දෙකක බහුතරයක් සහිතව වර්තමාන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සූදානම් වෙමින් සිටියි. මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව ඒ වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විද්වත් කමිටුවක්ද පත්කර තිබේ. මෙම කමිටුව වෙත විවිධ පාර්ශව සිය යෝජනා ඉදිරිපත් කර ඇත. උතුරේ දෙමළ සංධානය ඇතුළු බලවේගද දකුණේ විවිධ සංවිධාන සහ පුද්ගලයන්ද සිය යෝජනා ඉදිරිපත් කරනු අපි දුටුවෙමු. ඒ අතර ඇල්ලේ ගුණවංශ හිමියෝද සුවිශේෂී යෝජනාවලියක් ඉදිරිපත් කොට ප්‍රසිද්ධ කළහ. ඇල්ලේ හිමිගේ එම යෝජනාවලිය දකුණේ ගාමක ජාතික බලවේගවල පොදු අදහස් පිළිඹිබු වන්නක් බව පෙනී ගියේය. එම නිසාම ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සංවාදයක් ඇතිකර ගනිමින් නව ව්‍යවස්ථා යෝජනා පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.

පසුගිය තිස්වැනිදා අපි මේ යෝජනාවලිය කමිටුවට යැව්වා. මේ සඳහා මා සමඟ හිතවත් දේශප්‍රේමී කටයුතුවලට සම්බන්ධ වන නීතීඥ මහත්වරුන් පිරිසක් සම්බන්ධ වුණා. මගේ උපදෙස් පිට තමා යෝජනා සකස් වුණේ. අපි යෝජනා භාරදුන් පසු දේශප්‍රේමී ජාතික ව්‍යාපාර ඇතුළේ ඉන්න තවත් අය අපිට යෝජනා ගෙනැවිත් භාරදුන්නා. ඇත්තෙන්ම අපි මේ යෝජනාවලිය ඒ වනවිටත් භාරදීලා.

ගුණවංශ හිමියන්ට අනුව ජනතාවගේ සිතුම් පැතුම් අනුව බලාත්මක විය යුතු ස්වතන්ත්‍රී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරට සම්පාදනය විය යුතුය. වසර දහස් ගණනක් තිස්සේ අප රටේ පැවැති ආණ්ඩුක‍්‍රම හා පරිපාලන මූලධර්ම හා ප‍්‍රතිපත්තීන් වත්මන් සමාජ තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට හැඩගස්වා ගැනීමද සිදුවිය යුතුව තිබේ. මෙම යෝජනාවලියේ පළමු යෝජනාවම අන්දෝලනාත්මකය.

යෝජනා:

• රාජ්‍ය ව්‍යුහය

1 වැනි ව්‍යවස්ථාව

දැනට භාවිත වන ඉංග‍්‍රීසි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව සිලෝන් යන නාමයෙන්ද හඳුන්වා තිබේ.

Article 1

Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent and Democratic Socialist Republic and shall be known as the Democratic Socialist Republic of Sri Lanka.

දැනට පිළිගෙන තිබෙන සිලෝන් යන වචනයේ මූලය වන්නේ සිහලදීප හා හෙලදිව යන වචනයි (Ceylon>Zielan>Serandip>Sihaladipa>Heladiva) එබැවින් සිංහල පිටපතටද දෙමළ පිටපතටද රටේ නම ලෙස සිහලදීප යන්න ඇතුළත් කරන මෙන් යෝජනා කර සිටිමු.

මෙම යෝජනාව වාර්ගික පදනමක් මත සිදුකරනු ලැබූවක්ද යන්න අපි ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් විමසුවෙමු.

අපේ රට සිංහලේ කියලා තමා ඈත අතීතයේ ඉඳලා හඳුන්වනු ලැබුවේ. සිංහල දෙමිළ මිනිස්සු සමඟ සහයෝගයෙන් හිටිය අපේ රජවරු මුස්ලිම් ජනයාට උදව් කළේ මේ රට ඇතුළේ. ඉතින් එදා ඉඳලා සිහලදීපය, හෙළදිව කියලා තමා මේ රට ලෝකයම හැඳින්වූවේ. දැන් වෙලා තියෙන්නේ වැරුදි වටහාගැනීමක්. යම් පුද්ගලයෙක් තමන්ගේ ජාතිය පිළිබඳ අන්‍යතාව අභිමානය ගැන කතා කරනකොට පිරිසක් ඒක ජාතිවාදය කිය හිතනවා. ඇත්තට අපි විරුද්ධ වෙන්න ඕනෑ ජාතිබේදවාදයට.

ඒ අනුව හිමියන් පෙන්වා දෙන්නේ මෙය වාර්ගික මත පදනම්ව බෙදීමක් ඇති කිරීමේ අරමුණින් සිදුකළ යෝජනාවක් නොවන බවයි. ඒ අතර රාජ්‍ය භාෂාව සහ ජාතික ගීතය පිළිබඳව ඉදිරිපත්ව ඇති යෝජනාවද මේ සමඟම අපි සංවාදයට ගත්තෙමු.

යෝජනා:

• ජාතික ගීය (7 වැනි වගන්තිය)

ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය පමණක් වන බවට නියම කළ යුතු අතර එහි පරිවර්තන ජාතික ගීය ලෙස සැලකීමත්, එවැනි පරිවර්තන ජාතික ගීය වෙනුවට ගායනා කිරීමත් තහනම් කළ යුතුය.

• භාෂාව

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතුය. ශ්‍රී ලංකාව පුරා බලපැවැත්වෙන පරිපාලන භාෂාව සිංහල විය යුතුය. උතුරු හා නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව ලෙස දෙමළ භාෂාවද භාවිත කළ හැකිය.
සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වීම පිළිබඳ ගුණවංශ හිමියෝ දීර්ඝ ලෙස පැහැදිලි කරති.

එදා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න කියලා කතා කළේ දෙමළ සහෝදර ජනතාවට විරුද්ධව නෙවෙයි. ඉංග්‍රීසීන් මේ රටෙන් යනකොට අවුරුදු දහස් ගණනක් සිංහල භාෂාවට තිබුණු තැන නැවත ලබාදෙන්න කියලයි එවකට දේශප්‍රේමී භික්ෂූන් වහන්සේලා සහ ගිහි කොටස් උද්ඝෝෂණ කළේ. එදා හිටපු ඇතැම් වාමාංශික කොටස් වැරදි මත ඇතිකරලා දේශපාලන වාසී ලබාගන්න හැදුවා. ඉන්දියාවේ හින්දු භාෂාව රාජ්‍ය භාෂාව කරනකොට අනෙක් ජාතීන් විරුද්ධව සටන් කළේ නෑ. භාෂා තිස් ගාණක් ඉන්දියාවේ තිබුණා. අපි මේක කළේ දෙමළ ජනතාවට විරුද්ධ නෙවෙයි.

මීට අමතරව පරිපාලන නීති ක්ෂේත්‍ර අධිකරණ පද්ධතිය ආදී බොහෝ විෂය පථයන්ට අදාළ යෝජනා මෙම යෝජනාවලියේ ඇතුළත් වේ. ඒ අතරින් අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ දක්වා ඇති යෝජනාවලිය සම්බන්ධව අපි විමසුවෙමු.

යෝජනා:

• අධිකරණය

අධිකරණයේ ස්වාධීන බව තහවුරු කිරීම සඳහා සියලු අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීම හා උසස් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පිළිගත් පොදු නිර්ණායකයක් හා පටිපාටියක් තිබිය යුතුය. අධිකරණයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා අධිකරණවල සේවය කරන සියලු නිලධාරීන්ගේ හා විනිසුරුවරුන්ගේ සේවය සම්බන්ධයෙන් ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ හා කාර්යසාධනය කිරීමේ ක‍්‍රමවේදයක් ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුතුය.

නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පරිච්ඡේදයක් පැවතිය යුතු අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන හා අපක්ෂපාතී ආයතනයක් ලෙසත් (රජයේ දූෂිත නිලධාරීන්ව ආරක්ෂා කිරීමේ ආයතනයක් ලෙස නොව) මහජන සුභසිද්ධිය පිණිස පමණක් කි‍්‍රයාකරන ආයතනයක් බවට ව්‍යවස්ථාවෙන් සහතික කළ යුතුය. පොදු ජනතාවට තම වත්පොහොසත්කම නොතකා ඕනෑම අධිකරණයක පිහිට පැතීමට සම අවස්ථාවක් ලබාදීම සඳහා ව්‍යවස්ථාවෙන් ක‍්‍රමවේදයක් හඳුන්වා දීය යුතුය.
මෙම යෝජනා සම්බන්ධව පැහැදිලි කිරීමේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටින්නේ පසුගිය කාලේ මුහුණ ඇතැම් අභියෝග මීට පදනම වූ බවයි.

යහපාලන ආණ්ඩුව පවතින සමයේ මම නඩු හයක් දැම්මා ආණ්ඩුවට විරුද්ධව. දැනුත් එෆ්.සී.අයි.ඩී. එකට විරුද්ධ දාපු නඩුව තිබෙනවා. විනිශ්චයක් නෑ. ඒ වගේම නීතිපති එක තමන්ගේ දේශපාලන බලය තහවුරු කරන ආයතයක් වෙන්න බෑ. පසුගිය යහපාලන රජය යටතේ ඒක තමා සිදුවුණේ. භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ආදී අයට විරුද්ධව කටයුතු කළා. දැන් ඒ අයටත් ඒවා මතක නෑ.

රාජ්‍ය සේවය සම්බන්ධව මෙම යෝජනාවලිය තුළ සාකච්ඡා වෙයි. ඇල්ලේ ගුණවංශ හිමියන්ට අනුව අතීතයට සාපේක්ෂව වර්තමාන රාජ්‍ය සේවය තුළ බිඳ වැටීමක් දැකගත හැකිය. නිලධාරීන් දුර්වලවීම රටේ සිදුවන බොහෝ නොකටයුතුකම්වලට හේතුව වී තිබේ.

යෝජනා:

• රාජ්‍ය සේවය

රාජ්‍ය සේවකයන්ට බලපාන නිශ්චිත හා පාරදෘෂ්‍යභාවයෙන් යුත් පත්වීම්, මාරුකිරීම් හා උසස්වීම් පටිපාටියකට අවශ්‍ය නීතිමය පදනම අන්තර්ගත කළ යුතුය. රාජ්‍ය සේවකයන්ට දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව රාජ්‍ය ප‍්‍රතිපත්ති හා මූලධර්ම ඉලක්ක කොටගෙන සේවය කිරීමට බලය හා හැකියාව ව්‍යවස්ථාවෙන් සහතික කළ යුතුය. බලය අවභාවිත කරනු ලබන, රාජ්‍ය දේපළවල හා ජාතික සම්පත්වල සුරක්ෂිතභාවයට හානිවන ආකාරයෙන් තීරණ ගනු ලබන හා දූෂිත ක්‍රියාවල යෙදෙන රාජ්‍ය සේවකයන් හඳුනාගැනීමට හා ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට විශේෂ ක‍්‍රමවේදයක් හඳුන්වා දිය යුතු අතර විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කොට ඒ සඳහා විශේෂ බලාධිකාරියක් පිහිටුවීමට යෝජනා කර සිටියි. එවැනි අයථා ලෙස ක්‍රියාකරන රාජ්‍ය සේවකයන්ට එරෙහිව පැමිණිලි කිරීමට පුරවැසියන්ට අයිතිය තිබිය යුතු අතර එවැනි පැමිණිලි ඉහත කී ආකාරයේ බලාධිකාරියක් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට හා එමගින් සහන ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය. රාජ්‍ය සේවකයන්ගේ අයථා කි‍්‍රයාවන් හා නොකර හැරීම් හේතුවෙන් අතෘප්තියට පීඩාවට හා අගතියට පත් ජනතාවට සහන අප‍්‍රමාදව ලබාදීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතුය.

මීට අමතර මෙවන් සාධනීය යෝජනාවක් මෙරට දේශසීමා සම්බන්ධවද ඇල්ලේ හිමියන් සිය යෝජනාවලිය ඇතුළත් කර ඇත.

යෝජනා:

• දේශ සීමාව (5 වැනි ව්‍යවස්ථාව)

ශ්‍රී ලංකාවේ දේශ සීමාවට දේශීය ජල තීරයෙන් සීමාවන දිස්ත්‍රික්කවලට පමණක් සීමා කිරීම වෙනුවට ජනතාවගේ පරමාධිපත්‍ය බලය බලාත්මක වන වපසරිය වන ශ්‍රී ලංකාවට අයත් සියලුම භූමිය, දේශීය ජල තීරය, ඉන් එපිට පිහිටි සමූද්‍ර ආර්ථික කලාපය හා එහි පිහිටි දූපත්ද, ජාත්‍යන්තර නීතියට අනුව ශ්‍රී ලංකාවට අයත් අහස හා අභ්‍යවකාෂයේ ඇති චන්ද්‍රිකා රුඳවුම් ස්ථානද ඇතුළත් වන පරිදි ව්‍යාප්ත කරන ලෙසට යෝජනා කර සිටිමු.

මේ ආදී වූ යෝජනා රුසක් මෙහි ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ නව ව්‍යවස්ථා යෝජනාවලියේ ඇතුළත්ය. කෙසේ නමුත් ගුණවංශ හිමියන් පවසන්නේ පළාත් සභා මැතිවරණයට පෙර මෙම ව්‍යවස්ථා ක්‍රියාවලිය සිදුකොට අවසන් කළයුතු බවයි. එසේ නොවුණහොත් ආණ්ඩු කෙරෙහි ජනතාව තබා සිටි අපේක්ෂාවන් තවදුරටත් බිඳවැටෙනු ඇති බව උන්වහන්සේ කියා සිටිති.

යෝජනාව වලිය සහ සංවාද ඇසුරින් සටහන: චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00