2021 ජනවාරි 16 වන සෙනසුරාදා

වට්ස් ඇප් එන්න හදන්නේ මොකාටද?

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

මේ අනුව පෙබරවාරි 8 දායින් පසු වට්ස්ඇප් යෙදුම භාවිතා කිරීමට නම් වට්ස්ඇප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමඟ එකඟ වියයුතු අතර එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා පසු වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම භාවිත කිරීමේ හැකියාව අහිමි වනු ඇත.

වට්ස් ඇප් පරිශීලනය කරන පිරිස බිලියන 2 කට අධික බව පැවසේ. 2021 පෙබරවාරියේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම නව කොන්දේසි සම්බන්ධයෙන් තාක්‍ෂණ විශේෂඥයන්, රහස්‍යතා උපදේශකයන්, ප්‍රකෝටිපති ව්‍යවසායකයන් සහ රාජ්‍ය ආයතන තුළින් දැඩි විරෝධයක් පැන නැඟී තිබේ. වට්ස් ඇප් හිමිකරුවන් පවසන්නේ අනෙකුත් ෆේස්බුක් වැඩසටහන් සමඟ වඩා හොඳින් ඒකාබද්ධ වීමට මෙම වෙනස අවශ්‍ය බවයි.

වට්ස්ඇප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්ස්ඇප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට අවස්ථාව ලැබෙන අතර සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම සදහා ඉඩලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ  සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්   පෙන්වා දෙයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ මෙරට විශේෂඥයන්ගේ මතය වන්නේ වට්ස් ඇප් නව ප්‍රතිපත්තිය තුළින් තම දත්ත වාණිජ අරමුණු සඳහා එම සමාගම් භාවිත කරන ආකාරය මෙරට සමාජ මාධ්‍ය පරිශීලනය කරන ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් නොදන්නා බවයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි  මෙම ක්‍රියාවලිය තුළින් පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන වට්ස්ඇප්, එහි මව් සමාගම වන ෆේස්බුක් සමඟ පෞද්ගලික දත්ත බෙදා ගැනීමට පරිශීලකයන්ට බල කරනු ඇතැයි සඳහන් කර තිබේ.

ෆේස්බුක් සහ එහි පරිපාලිත සමාගම් විසින් පරිශීලක දුරකථන අංක, සම්බන්ධතා දුරකථන අංක, ස්ථාන ඇතුළු වට්ස්ඇප් දත්ත එක්රුස් කිරීමට ඉඩ දීමට පරිශීලකයන් එකඟ විය යුතු යැයි වට්ස් ඇප් ආයතනය පසුගිය සතියේ පරිශීලකයන් වෙත යවන ලද නිවේදනයක සඳහන් කර ඇතැයි වාර්තා වේ. පෙබරවාරි 8 වන විට පරිශීලකයන් එකඟ නොවන්නේ නම්, ඔවුන්ට එහි ප්‍රවේශය අහිමි වනු ඇති බවද වට්ස්ඇප් තහවුරු කර තිබේ. ෆේස්බුක් සමඟ දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය කලක සිට පැවතියද  නව ක්‍රමය අනුව පෙබරවාරි 8 සිට එය අනිවාර්ය කරුණක් බවට පත්වනු ඇත.

වර්තමානයේ වට්ස්ඇප් මාධ්‍යයට සුවිශේෂි වූ අන්අයට කියවිය නොහැකි පෞද්ගලික සංවාද (chat) සංකේතනය (encrypted ) කර ඇත, එහෙයින් කිසිවකුට ඒවාට ප්‍රවේශ විය නොහැකිය. මෙම පරිශීලක තොරතුරු නිරීක්ෂණය කිරීමක් හෝ බෙදා හැරිමක් සිදු නොකරන බවට වට්ස්ඇප් සමාගම ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද ඉදිරියේදී වට්ස්ඇප් භාවිතකරන පුද්ගලයකුගේ‍ සම්බන්ධතා ලැයිස්තුව, ස්ථාන, මූල්‍ය තොරතුරු සහ භාවිත දත්ත මෙන්ම දුරකථනයේ අනන්‍යතාවය,  අයි පී ලිපිනය වැනි තොරතුරු මෙටාඩේටා නමින් හැඳින්වෙන ක්‍රමවේදය අනුව බෙදාහැරීමක් සිදුවිය හැකිය. ඇපල් ඉන්කෝපරේෂන් හි ඇතැම් යෙදුම් (ඇප්) මගින් පුද්ගලයන්ගේ අනන්‍යතාව හා සම්බන්ධ විය හැකි අතර නව ප්‍රතිපත්තිය අනුව එම දත්ත ෆේස්බුක් සමඟ බෙදා ගැනීමට එකඟතාව පළකිරීමක් සිදුවේ.

යුරෝපා සංගමයට අයත් රටවල පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අවසරයකින් තොරව ලබා ගැනීමේ අයිතියක් නොමැති හෙයින්  මෙම නව ප්‍රතිපත්තිය යුරෝපා සංගමයට අයත් වට්ස්ඇප් පරිශීලකයන්ට බලනොපානු ඇත. යුරෝපීය සංගමයේ දැඩි රහස්‍යතා නීති යටතේ යුරෝපීය සමාගම් විසින් එම නීති රීති උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ගේ ගෝලීය වාර්ෂික ආදායමෙන් 4% ක දඩයක් පැමිණවිය හැකිය. 2016 දී වට්ස්ඇප් පරිශීලක දත්ත හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් යුරෝපීය දත්ත ආරක්ෂණ බලධාරීන්, දැඩි අවධානයක් යොමු කර තිබිණි. ෆේස් බුක් ආයතනය මගින් වට්ස්ඇප් ආයතනය පවරා ගැනීම සම්බන්ධයෙන් 2014 සිදු කෙරුණු සමාලෝචනයේදී ඔවුන් නියාමකයන් නොමග යැවීමට කටයුතු කර තිබීම මත  යුරෝපා සංගම් ප්‍රතිභාර බලධාරීහු 2017 දී ෆේස්බුක් සමාගමට යූරෝ මිලියන 110 ක් (ඩොලර් මිලියන 134) දඩ නියම කළහ. එහෙත් එම ආයතන දෙක ඒකාබද්ධ කිරීමේ අනුමැතිය අවලංගු කළේ නැත. සමාලෝචනයේදී ෆේස්බුක් ආයතනය යුරෝපා සංගම් ප්‍රතිභාර බලධාරීන්ට පවසා තිබුණේ තාක්‍ෂණිකව වට්ස්ඇප් දත්ත වෙනත් සේවාවන් සමඟ ඒකාබද්ධ කළ නොහැකි බවය.

ෆේස්බුක් සමාගම මෙලෙස පුද්ගල දත්ත ලබා ගැනීමට කටයුතු කරනුයේ තමන් විසින් පරිශීලකයන්ට ලබා දෙන සේවා හොඳින් ක්‍රියාත්මක කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව පවසමිනි. 2020 තෙවැනි කාර්තුවේදී ෆේස්බුක් සමාගම මගින් උපයන ලද ඩොලර් බිලියන 21.5 ක සම්පූර්ණ ආදායම හිමිවී ඇත්තේ ෆේස්බුක් වෙළඳ දැන්වීම්වලින් වන අතර වට්ස් ඇප් මගින් කිසිවක් උපයා නොමැති යැයි ඔවුන් ප්‍රකාශ කර තිබේ.. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන පුද්ගලයන්ට වට්ස්ඇප් භාවිත කිරීමට පෙළඹවීමෙන් ඉලක්කගත වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සපයා ගැනීමට ෆේස්බුක් සමාගමේ අරමුණ වී තිබේ.

නව රහස්‍යතා ප්‍රතිපත්තිය පුද්ගලයකුගේ මිතුරන් හා පවුලේ අය සමඟ සිදුකරන පණිවිඩවල පෞද්ගලිකත්වයට බලනොපාන බව ෆේස්බුක් සමාගම පවසා තිබේ. යාවත්කාලීනය බලපාන්නේ වට්ස් ඇප්හි ව්‍යාපාරික ගිණුම් වෙත යවන ලද පණිවිඩවලට පමණක් යැයි සඳහන් කරයි. එය විකල්ප අංගයක් ලෙස එක් කෙරෙන අතර වට්ස් ඇප් සහ ෆේස්බුක්වලට කිසිවකුගේ පෞද්ගලික පණිවිඩ දැකිය නොහැකි බවද කියා තිබේ.

මෙම නව ප්‍රතිපත්තියත් සමඟ තුර්කි ජනාධිපති රිසෙප් ටයියිප් එර්ඩොගන්ගේ මාධ්‍ය කාර්යාලය සහ එරට ආරක්ෂක අමාත්‍යංශය තමන් වට්ස්ඇප් අතහරින බැව් ප්‍රකාශ කර තිබේ. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන එලොන් මස්ක් ඔහුගේ මිලියන 42ක් පමණ වන ට්විටර් අනුගාමිකයන්ට වෙනත් යෙදුම් භාවිත කරන ලෙසට ඉල්ලා තිබේ. මේ හේතුවෙන් වට්ස් ඇප් සේවාවේ යම් බිඳවැටීමක් පෙන්නුම් කරන බව පැවසේ. ජනවාරි 10 වන දින ට්විටර් පණිවිඩයක් නිකුත් කළ එලොන් මස්ක් &ෆේස්බුක් හි නව කොන්දේසිවලට ජනතාව කොතරම් අකැමැතිද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු.” යැයි සඳහන් කර තිබිණි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00