2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ටියුෂන් පන්තිත් රෙඩි!

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

වසරකට ආසන්න කාලයක් තිස්සේ රටම වෙලාගෙන ඇති කොවිඩ් වසංගතය හමුවේ තවමත් රට තිබෙන්නේ අවදානමකය. අප රට පමණක් නොව මුළු ලෝකයේම තත්ත්වය එබඳුය. එහෙත් කොවිඩ් වසංගතයටම ඉඩ දී රට නිද්‍රාශීලීව හැමදාමත් පවත්වාගෙන යෑමට රජයට හැකියාවක් නැත. රටේ ආර්ථිකය යළි යථාවත් කළ යුතුය. ජන ජීවිතය නැවත නංවාලිය යුතුය. රටත් ජනතාවත් යළි පෙර තත්ත්වයට ගෙන ඒම සඳහා අප රටට ද ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නව මං සෙවිය යුතුවාක් මෙන්ම ජන ජීවිතය, සිසු ජීවිත සුරකිමින් ඔවුන් යළි සමාජගත කිරීමට පිළිවෙත් සකස් කළ යුතුය.

ලාංකික පාසල් අධ්‍යාපනයේ සියලු කඩයිම් අද්දර ටියුෂන් හෙවත් උපකාරක පන්ති අධ්‍යාපන ක්‍රමයද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ඒ නිසාම කොරෝනා කාලේ පාසල් වැසීම මෙන්ම උපකාරක පන්ති වසා දැමීමද බොහෝ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කඩඉම් සඳහා එල්ල කර ඇත්තේ විශාල බලපෑමකි. පසුගිය වසරේ මාර්තු දෙවැනි සතියේ පාසල් වසා දැමීමට සමගාමීව මෙරට සියලු උපකාරක පන්ති ද නවතා දැමීමට උපකාරක පන්ති ගුරුවරු කටයුතු කළහ. 

මේ වන විට වරාය විවෘතය. වෙළහෙළඳාම් හා ප්‍රවාහනය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එය අද වන විට සම්පූර්ණයෙන්ම පෙර තත්ත්වයට පත්වීමට අවශ්‍ය කටයුතු රජය විසින් සූදානම් කොට තිබේ. ඒ අනුව මෙරට ලක්ෂ සංඛ්‍යාත සිසු පරපුරට පසුගිය සඳුදා සිට පාසල් විවෘත කෙරිණි. ඒ රජය විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂක නීතිරීතිවලට අනුගත වෙමිනි.

ලංකාවේ විභාග පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් පැවතීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපකාරක පන්තිවලට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. බොහොමයක් සිසුහු පළමු වසරට පිවිසි දා සිට උපකාරක පන්ති හෙවත් ටියුෂන් පන්තියේ සහාය පතන්නේ ප්‍රධාන කඩඉම් විභාග තුන සමත්වීමේ මූලික අරමුණෙනි. මේ නිසා ලංකාවේ පාසල් පද්ධතිය සේම පාසල් දරුවන්ගේ දෙවැනි අධ්‍යාපන කඩඉම වූ ටියුෂන් හෙවත් උපකාරක පන්තිවලින් ලබන්නා වූ අධ්‍යාපනයටද හිමිවූයේ විශේෂ සැලකිල්ලකි. නමුත් අද මේ සියල්ල බිඳ වැටී ඇත්තේ නොසිතූ පරිදිය. කොරෝනා හේතුවෙන් උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරුන් බොහෝමයක් අද අතරමංය. 

වෘත්තීමය වශයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකම සංගමය වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) පවසන පරිදි ලංකාවේ බොහෝමයක් උපකාරක පන්ති ගුරුවරු මේ සංගමයේ ලියාපදිංචිය ලබා සිටිති. උතුරු, නැගෙනහිර, මඩකළපුව හා ත්‍රිකුණාමලය යන පළාත්වල උපකාරක පන්ති ගුරුවරුන් හැරෙන්නට මේ සංගමයේ ලියාපදිංචිය ලත් ප්‍රමාණය 4000කි.

එම සංගමය පවසන පරිදි මේ වන විට ලංකාවේම සමස්ත උපකාර පන්ති පවත්වන ගුරුවරු ලක්ෂ එකහමාරක් පමණ සිටිති. මෙයින් පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ගුරුවරු වෙති. වෙනත් වෘත්තියන්හි නියැලෙමින් උපකාරක පන්ති පවත්වන පිරිසක් ද මේ අතර සිටිති. තවත් පිරිසක් ටියුෂන් පන්තිවලින් පමණක් ඉගැන්වීමෙන් ආදායම් උපයා ගන්නා ගුරුවරු වෙති. එම පිරිසෙන් ටියුෂන්වල පමණක් යෙදෙන ගුරුවරුන් 60,000 - 70,000ක් අතර පිරිසකි. කෙරෝනා වසංගතය හේතුවෙන් අද බලවත් පීඩාවකට පත්ව ඇත්තේ මේ පිරිස්ය.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ලියාපදිංචි වූ 4000න් යම් ආර්ථික පසුබිමක සිටින්නේ 500ක් වැනි සුළු පිරිසකි. ආර්ථික අතින් මැද පන්තියේ 1000ක් පමණ සිටින අතර 2500ක්ම සිටින්නේ පහළ ආර්ථික තත්ත්වයක වන අතර ඔවුන් සිය ජීවිකාව කරගෙන යන්නේ මෙම උපකාරක ගුරු වෘත්තියෙන් ලැබෙන ආදායමෙන් පමණි.

කෙසේ වෙතත් ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී පසුගිය (08) පැවසීය.
ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ නීති අනුව පටන්ගන්න සූදානම්

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) හි ලේකම් කමල් ප්‍රියංකර

පසුගිය වසරේ මාර්තු 12 වැනිදා පාසල් නිවාඩු දුන්නාම අපේ සංගමය සාකච්ඡා කර උපකාරක පන්ති පැවැත්වීමත් නතර කළා. මේ වන විට වසරකට ආසන්න කාලයක්  වෙනවා. මෙයින් උපකාරක පන්ති ක්ෂේත්‍රයම කඩා වැටුණා. ඒ වෙනකොට පසුගිය වසරේ මාර්තු වැටුප පවා බහුතර ගුරුවරුන් පිරිසකට ලැබී නැහැ. අප්‍රේල් මාසයේදී පන්ති පැවැත්වූයේ නැති නිසා ඒ වැටුපත් ලැබුණේ නැහැ. සමහරක් අයට මාර්තු මස භාගයක වැටුප ලැබුණා. ඒත් ඉදිරියට එහෙම ගෙවාගන්න විදියක් නැහැ. මේ නිසා පන්ති ආරම්භ කරනකම් මේ අයට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඒ වගේම උපකාරක පන්තිවල අනධ්‍යයන සේවක පිරිස් විශාල වශයෙන් සිටිනවා. අද මේ අයටත් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ටියුෂන් පන්ති අති බහුතරය පවත්වන්නේ කුලියට ගත් ගොඩනැගිලිවල. මේවායේ මාසික කුලිය 30,000 සිට ලක්ෂ 3ක් පමණ වෙනවා. මේ හිමිකරුවන් මාර්තු මාසයේ කුලිය සියයට 90කගෙන් පවා අරගෙන තිබුණා. සමහර ගුරුවරු ඒ මුදල ගෙවා තිබුණේ රත්තරන් බඩු උගස් කරලයි. ඒ වගේම මුදල් යම් පමණකින් ගෙවීමට හැකි ආයතන ප්‍රධානීන් කෙසේ හෝ වැඩ කරන සේවකයන්ට පසුගිය මාසවල යම් මුදලක් ලබා දුන්නා නමුත් දැන් එහෙම දෙන්නත් අමාරුයි. ඒ නිසා ඉක්මනින් කුමක් හෝ පියවරක් රජය විසින් ගන්නවනම් හොඳයි. රජය පනවන සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුව උපකාරක පන්ති පැවැත්වීමට අපි සූදානම්.

සෞඛ්‍ය උපදෙස් ලබාගෙන අවසර දීමට බලාපොරොත්තු වෙනවා

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා  

කොවිඩ් වසංගතය මුළු ලෝකයටම තිබෙන විශාල ප්‍රශ්නයක්.  කොවිඩ්  හේතුවෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යම් බාධා පැමිණියා. කෙසේ වෙතත් රජය මේ වන විට දිවයිනේ හුදෙකලා කර තිබෙන  ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ හැර සියලු පාසල් ආරම්භ කරනු ලැබුවා. ජනවාරි 25 වන විට බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම පාසල් අපි විවෘත කරනු ලැබුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට අනුකූලව. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් අනුව අපි 25 වැනිදා උපකාරක පන්ති ඇරඹීමට උපදෙස් ලබාදෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

සටහන: හසිත් අංජන