2021 ජනවාරි 16 වන සෙනසුරාදා

හාන්සි වූ සංචාරක ව්‍යාපාරයටත් “එන්නත්” ඕනෑ

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

සංචාරක කර්මාන්ත ආශ්‍රිතව සංචාරකයන්ට පහසුකම් සැපයූ  සියල්ලන්ගේම ආර්ථික තත්ත්වය මුළුමනින්ම අර්බුදයට ලක්ව තිබේ. පසුගිය සතියේ වාර්තා වූ පරිදි ලොකු කුඩා සංචාරක හෝටල් ඇතුළුව දෙස් විදෙස් සංචාරකයන්ට කාමර පහසුකම් සැපයූ ආයතන හත් දහසකට අධික ප්‍රමාණයක් කඩාවැටෙමින් තිබේ. මේ වනවිට සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන නමුත් සමස්ත පද්ධතියේ ඇති අර්බුදයට එය ප්‍රමාණවත් විසඳුමක් නොවේ. එනිසාම වර්තමාන තත්ත්වය පිළිබඳ නිවැරැදි කියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා සමඟ සංවාදයක් ඇති කර ගතිමු.

සනත් උක්වත්ත මහතාට අනුව පැවසෙන්නේ මෙරට ගෝලීය වසංගතය නිසා සංචාරක කර්මාන්තය බිඳවැටී මාස නවයක් ගතවී ඇතත් ලබන වසර වනතුරුත් කර්මාන්තයේ පූර්ණ නැගී සිටීමක් බලාපොරොත්තු විය නොහැකි බවය.

“දැනට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා බෙන්තොට අවට සංචාරක කලාපය තුළ හෝටල් කිහිපයක. ඊට අමතරව සංචාරකයන් පැමිණීම සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන්නේ. රජයෙන් අනුමැතියක් ලැබිලා තිබෙනවා සංචාරකයන් පැමිණීම සඳහා ජනවාරි මස අවසානය වනවිට ගුවන් තොටුපළ විවෘත කරන්න. ඒක ලොකු දෙයක්. දැනට ශ්‍රී ලංකාව තුළ සෘජුව සහ වක්‍රව ලක්ෂ තිහක් පමණ දෙනා සංචාරක ව්‍යාපාරයෙන් යැපෙනවා. සංචාරකයන් රට විවෘත වීමත් සමඟ යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න අපිට පුළුවන්.”

ගුවන්තොටුපළ විවෘත වුවද එකවර විශාල සංචාරක ආකර්ෂණයක් බලාපොරොත්තු නොවිය යුතු බවද සනත් උක්වත්ත මහතා හේතු සහිතව පෙන්වා දෙයි. කොළඹ හැරුණු කොට දිවයිනේ සෙසු සංචාරක කලාපවලට වැඩිපුර පැමිණෙන්නේ බටහිර යුරෝපීය රටවල සංචාරකයෝය. කෝවිඩ් දෙවැනි රැල්ල සමඟ එම රටවල ජනතාවට සිය රටින් බැහැරව යාමට නොහැකි වන පරිදි සංචාරක සීමා පනවා තිබේ. උදාහරණ ලෙස මෙරට වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් සඳහන් කළ හැකිය. යුරෝපා රටවලට අමතරව චීනය වැනි මෙරට විශාල සංචාරක ආකර්ෂණයක් ඇති රටවල්ද තම පුරවැසියන්ට සංචරණ සීමා පනවා තිබේ.

“මෙවන් තත්ත්වයක් තුළ වුවත් මෙරට සංචාරක කර්මාන්තට සම්බන්ධව ලෝකය තුළ අපි ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළයුතු වෙනවා. දැනටමත් එවන් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. කවුරුන් කෙසේ කීවත් ලංකාව කෝවිඩ් වසංගතය මර්ධනය කිරීමට දැරූ උත්සහය පිළිබඳ ලෝකය තුළ පිළිගැනීමක් තිබෙනවා. සංඛ්‍යාලේඛන දත්ත අනුවත් මේ කාරණාව සත්‍යයක්. ප්‍රතිශක්තිකරණය වර්ධනයට අපේ දේශීය ආයතන සම්බන්ධව සහ ඖෂධ සම්බන්ධව ලොකු පිළිගැනීමක් සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයට යහපත් විදිහට භාවිතා කරන්න පුළුවන්.”

වසංගත අභියෝග මැද ආරම්භ වන සංචාරක කර්මාන්තයේ හැඩය තරමක් වෙනස් කරගතයුතුව තිබේ. උක්වත්ත මහතා පැහැදිලි කරන්නේ එයයි. සංචාරක කර්මාන්තයේ තිබෙන ආයුර්වේද හෝටල් මෙන්ම සෙසු හෝටල් තුළද මීට අදාළ උපාය උපක්‍රම භාවිතා කළ හැකිය.

සංචාරක කර්මාන්තයේ පිබිදීම පිළිබඳ ධනාත්මක ප්‍රවේශයකින් බලන අතර වර්තමාන බිඳවැටීම සම්බන්ධව සාකච්ඡා කළයුතු බව ලංකා හෝටල් සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි. ඔහුට අනුව වර්තමාන බිඳවැටීමේ ආරම්භ පාස්කු ප්‍රහාරයයි. ත්‍රස්තවාදය තිස වසරක් පුරා මුහුණ දුන්නද සංචාරක හෝටල් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් වූයේ පළමු වතාවටය. ඉන් ඇතිවූ බලපෑම සුළුපට නොවූ අතර මෙරට ආරක්ෂිත රටක් ලෙස සලකා බොහෝ රවවල් සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරක නොකරන ලෙස අවවාද කළේය. 2020 ජනවාරි මාසය වනවිට කර්මාන්තයේ යම් පිබිදීමක් වුවද බොහෝ සංචාරක හෝටල් පාඩු ලබමින් සිටියේය.

“ගිය වසරේ ජනවාරි වෙනකොට යන්තමින් නැවත ව්‍යාපාර ගොඩ නැගීමට අපිට හැකිවුණා. නමුත් මාර්තු වෙනකොට වසංගතයත් එක්ක අපි සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. මේක ගෝලීය අර්බුදයක්. අපි තනිව මුහුණදෙන තත්ත්වයක් නෙවෙයි. ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යම් බලාපොරොත්තු සහගත තත්ත්වයක් අපිට ඇති තිබෙනවා. එහි සාර්ථකත්වය මත ලබන වසරේ සංචාරක කර්මාන්තය සුපුරුදු ස්වභාවයට පැමිණෙයි කියලා බොහෝදෙනෙක් බලාපොරොත්තු වෙනවා.”
කර්මාන්තයේ බිඳවැටීම සම්බන්ධව දැනට රජය ලබාදී ඇති සහන සම්බන්ධව සංගමයක් ලෙස බොහෝදුර තෘප්තිමත් වන බව සභාපතිවරයා පෙන්වා දෙයි. 2021 සැප්තැම්බර් මාසය දක්වා ණය සහන කාලය මේ වනවිටත් දීර්ඝ කර තිබේ. දැනට ක්‍රියාත්මක නැතත් මුල් අදියරේදී අප්‍රේල් මැයි මාස සඳහා සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් සහන ණය ක්‍රමවේදයක්ද රජය විසින් ක්‍රියාත්මක කළේය. කෙසේ නමුත් මේ වනවිට සේවක වැටුප් ගෙවීම සම්බන්ධව හෝටල් හිමියන් සිටින්නේ අර්බුදයකය. යම් සහන ක්‍රමවේදයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතත් තවම එය ක්‍රියාත්මක වී නොමැත.

“ඇත්තෙන්ම මේ සම්බන්ධව බල කිරීමට අපි අකමැතියි. රටේ ආර්ථික අපහසුතා සම්බන්ධව අපි දැනුවත්. අදාළ අංශ සම්බන්ධව දැනුවත් කරලා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තිබෙනවා. තවමත් පිළිසරණක් නෑ. 2019 ඉඳන් අතින් තමා වැටුප් ගෙවන්නේ. දැන් ඒ හැකියාවත් අවසන් වෙමින් තිබෙනවා.”

සනත් උක්වත්ත මහතාගේ හෙළිදරව්වට අනුව හෝටල් ක්ෂේත්‍රයේ සියයට විස්සක පමණ දෙනාගේ රැකියා මේ වනවිටත් අහිමි වී තිබේ. බොහෝ තරුණ කොටස් හෝටල් රැකියා අතහැර යමින් වෙනත් ජීවන උපායන් සොයමින් සිටිති. හුදෙක්ම මෙය සේවක පාර්ශ්වයේ ගැටලුවක්ම නොවේ. පුහුණු ශ්‍රමිකයන් කර්මාන්ත අතහැරයාම අනාගතයේ අර්බුදයකට හේතු විය හැකියි. මන්ද සංචාරක කර්මාන්තයේ පුහුණු ශ්‍රමය ගොඩනගා ගැනීම පහසු කර්තව්‍යයක් නොවේ.

“අපේ ලංකා හෝටල් සංගමයේ ඉන්නවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් 240 ක්. නමුත් ඉන්ෆෝර්මල් සෙට් එකේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. සංචාරක මණ්ඩලයට සම්බන්ධ නොවුණු අය. ලැගුම්හල් වගේම කාමර පහසුකම් ඇති නිවාස හිමියන් දහස් ගාණක් ඉන්නවා. මේ අයට නිසි පිළිගැනීමක් නොමැති නිසා සහන ලබාගැනීමට නොහැකි වෙලා. ඔවුනුත් ඉන්නේ විශාල ආර්ථික අපහසුතාවල. අපි ඔවුන්ටත් සාධාරණයක් විය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා.”

සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් අතරින් සහන ලැබුණේ පිළිගත් ආයතන සහ පිළිගත් වෘත්තීය පදනමක් ඇති මාර්ගෝපදේශකයන්ට පමණි. එහෙත් ලක්ෂ සංඛ්‍යාව පිරිසක් මේ හරහා පීඩාවට පත් වී සිටිති. ඔවුනට බැංකු ණයක් හෝ ලභා ගැනීමට හැකියාවල් නොමැත. පෙන්වන්නට සුදුසුකමක්ද නැත. වෙරළ වෙළෙඳුන්, රියැදුරන් වෙරළ නියාමකයන්, සමහරු සිහිවටන අලෙවිසල් හිමියන්, බතික් ආදී කර්මාන්තකරුවෝ මේ අතර වෙති. සංචාරක කර්මාන්ත නැවත යථා තත්ත්වය පත්වෙන තුරු මෙවන් පිරිස්වලටද යම් සාධාරණයක් ඉටුවිය යුතු බව උක්වත්ත මහතා පෙන්වා දෙයි.

සංවාද ඇසුරින් සටහන - චමිඳු නිසල් ද සිල්වා

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00