2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ලංකාවේ Good Market එකෙන් ලෝකෙටම කතා කරන අචලා

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 398

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන නිෂ්පාදකවරුන්ට තම නිෂ්පාදන අතරමැදියන් නොමැතිව අලෙවි කර ගැනීමට සුදුසු වෙළෙඳසලක් ටික කලකට කලින් කොළඹ 07 ප්‍රදේශයේ ඉදිවිය. (Good market) නමින් හඳුන්වන මෙම වෙළෙඳපොළ හරහා ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදන සඳහා වැඩි ඉඩකඩක් සහ පාරිභෝගිකයන්ගෙන් වැඩි ඉල්ලුමක් ද පවතී.

“බොහෝ ගම්වල ගැමියන් බොහෝ නිෂ්පාදනයන් කිරීමට දක්ෂයි. ඇතැමුන් චට්නි හදනවා. කොස් වේලනවා. නමුත් ඔවුන්ට තියෙන ලොකුම ගැටලුව වන්නේ ඒ සඳහා සුදුසු සාධාරණ වෙළෙඳපොළක් නොමැතිකමයි. ගමේ මිනිස්සුන්ට ගමේ ගහේ කොස් ටික එතරම් වටිනාකමක් නැතිවෙන්න පුළුවන්. නමුත් ඒ ගමේ දේ වටිනා තැනකට ගෙන ඔවුන්ගේ මහන්සියට සරිලන වටිනාකමක් ලබාදීම Good market එකේ අරමුණයි. ග්‍රාමීය ව්‍යවසායකයාට කිසිදු අතරමැදියකු නොමැතිව තමන්ට ලාභය ලබාගත හැකි වේදිකාව Good market හරහා ලබාදීම අපේ අරමුණයි.” යැයි Good market හි සම නිර්මාතෘ අචලා සමරදිවාකර මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසුවාය.

ග්‍රාමීය ව්‍යවසායකයන් හරහා ග්‍රාමීය හොඳ නිෂ්පාදන නගරයට ගෙන ඒමේදී ගමේ දේ ආදරයෙන් වැළඳගන්නා, ගමේ නිෂ්පාදනවලට ඇලුම් කරන වැඩි පාරිභෝගිකයන් පිරිසක් ගැවසෙන වෙළෙඳපොළක් කෙරෙහි Good market හි අවධානය යොමුවිය. ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව මෙම වෙළෙඳපොළ ඉදිකිරීමට ඔවුන්ගේ හිත වැඩි වශයෙන් යොමුවිය. කොළඹ 07, කුරුඳුවත්ත පොලීසිය ආසන්නයේ (ගුඩ් මාර්කට්) වෙළෙඳසල පිහිටුවීමට ඔවුහු අදහස් කළහ. 2012 වසරේදී ඇරැඹි (ගුඩ් මාර්කට්) වෙළෙඳසලට වර්තමානයේදී ඉතා ඉහළ ඉල්ලුමක් සහ වැඩි පාරිභෝගිකයන් පිරිසක් ඒකරාශී වී සිටිති.

“ගමේ ඉන්නා සාමාන්‍ය ව්‍යවසායකයන්ට ඒ ගමේ තියෙන මට්ටමම මෙම වෙළෙඳපොළට ගෙන එන්න බැහැ. විශේෂයෙන් ඔවුන්ගේ නිෂ්පාදනයට ප්‍රමිතියක් තිබිය යුතු වෙනවා. එය ඉතා වැදගත්. පාරිභෝගිකයන් ඕනෑම නිෂ්පාදනයක ප්‍රමිතිය පිළිබඳව සොයා බලනවා. සුපිරි වෙළෙඳසලක මිලදී ගන්නා ඕනෑම නිෂ්පාදනයක මිල, එහි අන්තර්ගතය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය ආදී සියල්ලම සඳහන්ව පවතිනවා. ග්‍රාමීය නිෂ්පාදනයක එවැනි දේ සඳහන් වන්නේ නැහැ. නමුත් (ගුඩ් මාර්කට්) වෙළෙඳපොළ සම්බන්ධ වන සියලුම නිෂ්පාදනයන්හි ඒ සියලුම දෑ සඳහන් කිරීම වැදගත් වෙනවා.” අචලා සමරදිවාකර මහත්මිය සඳහන් කළාය.

ග්‍රාමීය ව්‍යවසායකයාට ඉතා කුඩා තැනේ සිට පරිසර හිතකාමීව ව්‍යාපාරය කිරීම සඳහා (Good market) ඉතා කදිම තෝතැන්නක් විය. නිවෙසේ සිදු කරන නිෂ්පාදන සඳහා විදුලිය යොදා වේළීම වෙනුවට අව්වට වේළීම සඳහා වැඩි ඉඩකඩක් ලැබුණි. පොලිතීන් ආවරණ වෙනුවට පරිසරයට හිතකාමී ලෙස කිතුල් කොළය, පත් කොළය ආදිය යොදා ගැනීමට වැඩි කඩකඩක් ලැබිණි. ඒ අනුව අලුත් ව්‍යාපාරයක් රට තුළින් බිහිකිරීම Good market එහි අරමුණ විය. එවැනි අලුත් ඇසුරුම් වෙළෙඳපොළට හඳුන්වාදීම හරහා  එම විසිතුරුභාවයත් සමඟ අලුත් පාරිභෝගිකයන් පිරිසක් ද නිරන්තරයෙන් ඒ නිෂ්පාදන වටා ඒකරාශී වෙති.

ඇතැම්හු කුඩා වීදුරු බඳුන්වල පිරිසුදු චට්නි, ජෑම් නිෂ්පාදනය කර Good market වෙළෙඳසලේ අලෙවි කරති. පාවිච්චි කර අවසන් වූ හිස් චට්නි සහ ජෑම් බෝතල් නැවත ඔවුහු එකතු කර ගනිති. ගමේ ඉවතලන පුවක් කොළපත් මසා ඇතැම්හු අලංකාර ආවරණ සාදති. ගෝනි රෙද්දෙන් තවත් ආවරණ සාදති. මේ විසිතුරැභාවයට සහ පෙනුමට ඉතා ඉහළ ඉල්ලුමක් Good market වෙත එන පාරිභෝගිකයන්ගෙන් ලැබෙයි.

“මේ ව්‍යවසායකයන්ව Good market වෙත යොමුකර ගන්නේ අයැදුම්පතක් හරහායි. ඒ අයැදුම්පතට අනුව ඔවුන් අත්‍යවශ්‍ය වියදම සහ නාස්තිය අවම කොට නිෂ්පාදනය කරන අන්දම මෙන්ම වගා කරනු ලබන වගාවන් අනිවාර්යයෙන්ම කාබනික නිෂ්පාදන විය යුතුයි. ඔවුන්ගේ වගාවන් පිළිබඳව නිරන්තරයෙන් අපේ කණ්ඩායමක් සොයා බැලීම් කරනවා. එහිදී ඒ වගාවේ පස, ජලය ලැබෙන්නේ කෙසේද, නිෂ්පාදනය සිදුවන්නේ කෙසේද ආදී සියලු කරුණු පිළිබඳවම නිරීක්ෂණය කරනු ලබනවා. ඒ හැම ගහක් පිළිබඳවම තොරතුරු අපි ළඟ තියෙනවා. Good market වෙත එන පාරිභෝගිකයන් සමඟ චාරිකා සංවිධානය කොට ඔවුන්ට තමන් මිලදී ගනු ලබන නිෂ්පාදන වගා කරනු ලබන ගොවිපොළවල් බැලීමට අවස්ථාද උදා කරල දෙනවා. ඒ හරහා ගොවියන්, පාරිභෝගිකයන්, එක් කරන පාලමක්ද අපි ගොඩනංවා තිබෙනවා. එමගින් පාරිභෝගිකයන්ට ලබාගන්නා බෝග වගා කරන ගොවිපොළවල් දැකබලා ගැනීමේ අවස්ථාද උදාවෙනවා.” අචලා සමරදිවාකර මහත්මිය වැඩිදුරටත් පැවසීය.

වියළි කෑම කිසිවකට කල්තබා ගැනීමේ රසකාරක පාවිච්චි කිරීම නොකළ යුතුය. එයින් මේ කිසිදු ආහාරයක් බියක් නොවී ආහාරයට ගැනීමේ සහතිකය ලැබේ. 2012 වසරේදී මෙය ආරම්භ කරන ලද්දේ ව්‍යවසායකයන් තිස් දෙදෙනකුගෙනි. අද වන විට මේ වටා ව්‍යවසායකයන් එක්දහස් හයසියයකට වඩා පිරිසක් ඒකරාශී වී සිටිති. 2012 වසරේදී අචලා සහ ඇගේ යෙහෙළිය අමන්දා මෙය ආරම්භ කළද, සංකල්පයක් බිහිවීමට නායකත්වයක් තිබිය යුතු වුවද, එය පිටුපස බොහෝ පිරිසක් සිටිනා බව අචලා පවසන්නීය. ඔවුන් මේ සඳහා නායකත්වයක් ලබා දුන්නද, මෙය සාර්ථක වීමට බොහෝ දෙනකුගේ මහන්සිය ඉවහල් විය. දවසින් දවස එකතුවන පාරිභෝගිකයන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් ද ඔවුහු අලුත් දෙයක් ඉගෙන ගනිති. එබැවින් Good market යනු ප්‍රජාවකි. නිරත්නරයෙන් පරිසර හිතකාමී හොඳ දෙයක් කරන අතරතුර රටේ දේශීය ආර්ථිකයට උදව් කිරීමට ඔවුහු සූදානමින් සිටිති.

Good market සමඟ අත්වැල් බැඳගත් ග්‍රාමීය ව්‍යවසායකයෝ මුළු ලංකාව පුරාම විසිරී සිටිති. Good market වෙළෙඳසල සමඟ විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ ද එක්ව සේවය කරති. ඒ හරහා ඔවුන්ට අමතර ආදායමක් මෙන්ම අධ්‍යාපනය ද ලබාගැනීමේ හැකියාව පවතී. කාබනික සහතිකය ශ්‍රී ලංකාවේ ගැටලුවක් වී පැවති කාලයක, අහිංසක ගොවියකුට එම සහතිකය ලබාගැනීමට අසීරු කාලයක, මොවුහු ඒ සම්බන්ධ දැනුමක් ඇති පිරිසක් ඒකරාශී කොට ඉතා අඩු මුදලකට එම කාබනික සහතිකය ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසූහ. එය ඉතා වටිනා සහතිකයකි.

“Good market වෙත වැඩි වශයෙන් විදේශිකයන් පැමිණෙනවා. ඒ වගේම ලංකාවේ ඇති තානාපති ආයතනවල ජීවත් වන අය මෙන්ම කොළඹ සුපිරි නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාව ද වැඩි වශයෙන් පැමිණෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම හොඳ දේ ආහාරයට ගැනීමට කැමතියි. ඒ වගේම ඒ අය අපි තොරතුරු ලබා දෙනවාටත් හරි කැමතියි. ඒ අයත් අපිත් එක්ක ඒ ගොවිපොළවල් බලන්න යන්න එනවා. මම මේ ආයතනයේ ප්‍රධානියෙක් වුණාට මමත් මෙතනින් යම් වැටුපක් විතරක් ගන්න සේවකයෙක්. මට මේක අයිති නැහැ. මේක හැදුවේ මිනිස්සු වෙනුවෙන්. මේ වගේම වෙළෙඳපොළවල් මිනිස්සු වෙනුවෙන් තව ඇතිවෙනවා නම් මම කැමතියි. එහෙම වුණොත් තමයි මේ ගොවීන් දියුණු වෙන්නේ.” යැයි අචලා මහත්මිය පැවසුවාය.
Good market යනු මෙහි මව් ආයතනයයි. එය යටතේ අනු ආයතන කිහිපයක් ඇත. කොළඹ තුරඟ තරග පිටියේදී සෑම සෙනසුරාදාවකම උදෑසන නවයේ සිට සවස පහ දක්වා (Good market) පොළ පැවැත්වේ. Good market හා සම්බන්ධ වන සියලුම ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන පළමුව අලෙවි කිරීමට අවස්ථාව ලැබෙන්නේ මෙම පොළ හරහාය. එහිදී අලෙවි නිෂ්පාදකයන්ට තම පාරිභෝගිකයන් සමඟ ඍජුවම සම්බන්ධ වීමේ හැකියාව ලැබේ. පසුව නිසි ප්‍රමිතියට ඇති, තෝරාගත් නිෂ්පාදන සඳහා (Good market) වෙළෙඳසල තුළ ඉඩ වෙන් කෙරෙයි. එය සෑම දිනකම උදෑසන අටේ සිට රාත්‍රී අට දක්වා කුරැඳුවත්ත පොලීසියට යාබද (Good market) වෙළෙඳසලෙන් මිලදී ගත නිෂ්පාදන හැකිය. Good market තවත් ශාඛාවක් නොබෝ කලකින් රාජගිරිය නගරයේ විවෘත කිරීමට නියමිතය.

2017 වසරේදී කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ප්‍රදානය කළ “නැගී එන තරුණ ව්‍යවසායිකාව”ට හිමි සම්මානය අචලා සමරදිවාකර මහත්මියට හිමිවූ අතර “නැගී එන ව්‍යාපාරය”ට හිමි සම්මානය Good market වෙත හිමිවිය.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ- සුමුදු හේවාපතිරණ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00