2021 ජනවාරි 09 වන සෙනසුරාදා

සේනා දළඹුවාට වැඩේ දෙන රුවන්ඩා ප්‍රහාරය

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

සේනා දළඹු උවදුර මෙරටින් පළමු වරට වාර්තා වන්නේ 2018 මාස් කන්නයේය. එවකට බලයේ සිටි රජය වසංගතය තාවකාලික ලෙස මර්දනය කළ ද ස්ථාවර විසඳුමක් සපයා ගත්තේ නැත. එහි ප්‍රතිඵලය ලෙස තවත් වසර දෙකකට පසුව සේනා දළඹු වසංගතය නැවත මතුවී තිබේ. මේ දිනවල අපේ කෘෂිකර්මයේ ප්‍රධාන ගැටලුව සේනා දළඹුවාය. පළාත් කිහිපයක බඩඉරිඟු වගාව මුළුමනින්ම පාහේ විනාශ කිරීමට සේනා දළඹුවා සමත් වී ඇත. රට පුරාම බඩඉරිඟු වගාව කෘමි වසංගතයට ගොදුරු වෙමින් පවතින අතර ඒ සඳහා යෙදූ එක් පිළියමක්වත් සාර්ථක වී නැත. මේ වන විට වට්ටක්කා, කුරක්කන්, කවුපි වැනි වගාවලට ද වසංගතය කාන්දු වන්න පටන්ගෙන තිබේ..

අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, කෑගල්ල, බදුල්ල යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාව මුළුමනින්ම පාහේ වසංගතයට ගොදුරු වී ඇති අතර ගොවියෝ බලවත් අසීරැවකට පත්වී සිටිති. කෘෂිකර්ම නිලධාරීන් විශේෂ කෘමිනාශකයක් හඳුන්වා දී තිබුණ ද ඉන් දළඹුවාගේ ව්‍යාප්තිය නතර වී නැතැයි ගොවිහු මැසිවිලි නගති.

ලෝකයේ ජනප්‍රිය වගාවන් පාලනය කරන මාෆියා සංවිධාන ඇති බව රහසක් නොවේ. මේ සංවිධාන ඇතැම් රටවලට පළිබෝධනාශක හඳුන්වා දෙන්නේ වගාවට රෝග ඇතුළත් කිරීමෙන් පසුවය. ඇතැම් රටවල වගාව විනාශ කොට තවත් රටවල වගාව වර්ධනය කිරීමට ද ඔවුහු පියවර ගනිති. බිබිලේ පැණි දොඩම් වගාව විනාශ වූයේ එබඳු උපාය මාර්ගයක් නිසා යැයි කියති. අද බිබිලේ පැණි දොඩම් නැත. එහෙත් පිටරට පැණි දොඩම් ඇත. වගාවන් ගැනද, ඒවාට යොදන පොහොර හා කෘමිනාශක ගැන ද නිරන්තර පරීක්ෂාවක් අවශ්‍ය වෙයි. එහෙත් අපේ රටේ එය සිදුවන්නේ නැත. ඒ අනුව ඉතා පහසුවෙන් රෝගවලට පැතිර යා හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බඩඉරිඟු ඇතුළු වගාවන්ට හානි කරන සේනා දළඹුවා පිළිබඳව සොයා බැලීමට රුවන්ඩා හමුදා බ්‍රිගේඩියර් ජනරාල්වරයකු ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක්  පසුගියදා ලංකාවට පැමිණියහ. මෙලෙස බෝග සියයකට පමණ හානිකාරක තර්ජනයක් වී ඇති ආක්‍රමණශීලි හා නිරෝධායන පළිබෝධකයකු වන ‘සේනා දළඹුවා’ විනාශ කිරීම සඳහා රුවන්ඩා හමුදා කෘෂි විශේෂඥයන් විසින් (පයිරෙත්‍රම්) නම් කෘෂි රසායනයක් හඳුන්වා දීමට නියමිත බව ආරංචි මාර්ගවලින් අසන්නට ලැබේ. 

රුවන්ඩා ජාතික හමුදා විද්‍යාඥයන් සමඟ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට විශේෂ දැනුම් දීමක් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත්, ‘පයිරෙත්‍රම්’ (pyrethrum) භාවිතයේ ප්‍රතිඵල පැහැදිලි කර දී ඇතැයි වාර්තා වේ. 

භාවිතයට පෙර හොඳටම සොයා බැලිය යුතුයි
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත්

සේනා දළඹු උවදුර පාලනය කරන්න රුවන්ඩා හමුදාවේ කෘෂි නිලධාරීන් විසින් හඳුන්වා දෙනු ලැබූ කෘෂි රසායනිකය මෙරට බෝග සදහා හිතකර කෘමීන්ට අහිතකර වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම එම කෘමිනාශකය මෙරට පරිසරයට බලපෑමක් ඇති කරන්නත් පුළුවන්. මෙම කෘමිනාශකය කෘත්‍රීම පයිරෙට්‍රොයොඩ් නැමති කෘමිනාශකයට සමානයි. ඒ නිසා මේ කෘමිනාශකය පිළිබඳ යළිත් වතාවක් අවධානය යොමු කරන ලෙසට අපි දැනුම් දී තිබෙනවා.

ජෛව විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දිය යුතුයි
ප්‍රගතිශීලී ගොවිජන සමිතියේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස

බහුජාතික සමාගම් විසින් නිර්දේශ කරන කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමට ගොවීන්ට රජය උපදෙස් ලබාදීම නිසා මේ බඩඉරිඟුවල විස තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ දළඹුවා මර්දනය වීමක් සිදුවන්නෙත් නැහැ. රජය විසින් පර්යේෂණ පවත්වා මේ උවදුර නැති කිරීමට නිසි වැඩපිළිවෙළක් සිදු කළ යුතුයි. නමුත් දැන් රජය එහෙම කරන්නේ නැතුව කරන්නේ විවිධ රටවල කෘෂි පර්යේෂකයන් ගෙනවිත් රටට අහිතකර කෘමිනාශක හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි රජය මේ විවිධ වර්ගයේ පළිබෝධනාශකවලට මුල් නොවී මෙම දළඹුවා විනාශ කිරීමට ජෛව විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දිය යුතුයි.

තිබෙනවාට වඩා ලොකු හානියක් වෙන්නත් පුළුවන්
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

ලෝකයේ රටවල් 44ක මෙම සේනා දළඹුවා ව්‍යාප්ත වෙලා තියෙනවා. 2017 වසරේ තමයි මේ දළඹුවා ඉන්දියාවෙන් හමුවෙන්නේ. මේ දළඹුවා මුළු ජීවිත කාලයේ බිත්තර 1500කට වඩා දානවා. ඒ වගේම මේ දළඹුවා නොනිමෙන බඩගින්නකින් පෙළෙන සතෙක් බවට දැනට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ දළඹුවා විවිධ කෘෂි රසායනවලට අනුවර්තනය වෙන සතෙක්. ඉතාමත් බරපතළ හානියක් මේ දළඹුවාගෙන් සිදු වෙනවා. දැන් ඒ හානිය මඩින්න රජය විසින් රැවන්ඩාවෙන් පිරිසක් ගෙන්නුවා. නමුත් ඔවුන් නිර්දේශ කරපු කෘමිනාශකයෙන් ඊට වඩා බරපතළ හානියක් ඉදිරියේදි සිදුවෙන්න පුළුවන්. එහෙම වු‍ණොත් මේ රටේම කෘෂිකර්මාන්තය කඩා වැටීමට පුළුවන්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා තාවකාලික විසඳුම් නැතුව මේ සදහා සුදුසු වැඩපිළිවෙළක් යොදන්න කියලා.

සමහරු බොරු මත ප්‍රකාශ කරනවා
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 

මේ පාර බඩඉරිඟු වගාවේ හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා, හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක් පමණ වගා කරන්න කටයුතු කරලා තියෙනවා ගොවීන් විසින්. බලාපොරොත්තු නොවූ පරිදි සේනා දළඹුවා බඩඉරිඟු වගාවට බාධා එල්ල කරලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තාක්ෂණ නිලධාරීන් සම්බන්ධ කරගෙන ගොවීන් දැනුවත් කරලා, අවශ්‍ය නාශක ද්‍රව්‍ය ටික දීලා මේක පාලනය කර ගන්න යම්තාක් දුරට කටයුතු කරලා තියෙනවා. සමස්ත හානිය වගාවෙන් 5% පමණ තමයි සිදුවෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ පවත්වලා හානියක් සිදුවෙලා තියෙනවා නම් ඒ සඳහා වන්දි ගෙවන්න අපි කටයුතු කරලා තියෙනවා. රජයේ ඉල්ලීම මත රුවන්ඩාවෙන් කණ්ඩායමක් ලංකාවට පැමිණිලා තිබුණා. ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවකට. සාකච්ඡාවෙන් පසු ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ නිරීක්ෂණයක් සිදු කළා. නමුත් මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා, රැවන්ඩාවෙන් බෙහෙත් ගෙනල්ලා මෙහේ බෙදුවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඔවුන්ගේ වියදමින් මෙහෙට ඇවිල්ලා අපිට සහාය දීමක් පමණයි සිදු කළේ. සේනා දළඹුවාගේ බලපෑම නතර කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රජය හැටියට කටයුතු කරගෙන යනවා.

 සටහන: හසිත් අංජන