2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ආදාහනය සහ භූමදාන ප්‍රශ්නයට තීන්දුවක්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

කොවිඩ් වෛරසයේ අවදානම ගැන පසුගිය සතිය පුරාම කීවේ උත්සව සමයේ සියල්ල අමතක වී ජනතාව වීදිපුරා සැරිසරන්නට වූ නිසාය. එකා පිට එකා තෙරපෙමින් උත්සව සැමරීමේ අවසානය ඛේදවාචකයක ආරම්භයක් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. එහෙත් ඒ සියල්ල කනකට නොගත් ජන‍යා හැසිරුණේ කොවිඩ් වෛරසයක් රටේවත් නැති ගාණකටය.

කෙසේ වෙතත් මේ වනවිට ඒ හැසිරීම්වල ප්‍රතිඵල දැන් එකින් එක ලැබෙන්නට පටන් ගෙන ඇත. රටපුරාම ගමින් ගමට කොවිඩ් රෝගීන් එකා දෙන්නා හමුවන්නට පටන්ගෙන ඇත. නැවතත් ඇඟලුම් කම්හල් තුළ කොවිඩ් රෝගීන් හමුවන්නට පටන් ගෙන ඇත. මේ සියල්ලම පසුගිය කාලයේ වගකීම් විරහිත හැසිරීමේ ප්‍රතිඵලය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා උදෑසන මෙරට පළමුවරට පාර්ලිමේන්තු සාමාජිකයකුහට කොරෝනා ආසාදිත පුවතක් වාර්තා වන්නට විය. ඒ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටය. ඔහුට රෝගය හැදුණු ආකාරය නිශ්චිතව සඳහන් නොවුණත් ඔහු කාර්යාලයේ වැඩකටයුතු සඳහා  දින ගණනාවක් සහභාගී නොවූ බව දැනගන්නට ඇත. එසේම ඔහුගේ පවුලේ අයද මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇත. කෙසේ වෙතත් සිකුරාදා සවස වනවිට අමාත්‍යවරයා හික්කඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා විය.

මේ අතර තවත් සිද්ධියක් වාර්තා වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ය. එනම් දැනටත් සිදුකරන පරීක්ෂණ කිහිපයකට රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවන්ට කොරෝනා රෝගය වැළඳී තිබුණි. ඒ අනුව පාස්කු සිද්ධියට රඳවාගෙන ප්‍රශ්න කරන හිජාස් හිස්බුල්ලා, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණවලට සම්බන්ධ කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී තිබේ. පසුව මේ ආකාරයෙන් රෝගය වැළඳීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී හේතුවී ඇත්තේ එකම වැසිකිළිය සියලුදෙනා භාවිත කිරීම බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ වනවිට මේ තත්ත්වය රහස් පොලීසියට පවා ප්‍රශ්නයක් වී ඇත.

එසේම මීට අමතරව පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් දින නියමයක් නැතිව වසා දැමිණි. ඒ එම කොමිසම තුළින් කොවිඩ් රෝගියෙක් හමුවීම නිසාය. මේ ආකාරයෙන් තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක්ද සිකුරාදා වසා දැමූ අතර එහි රෝගීන් 40 කට එහා සිටින බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් එහි රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි බවද දැනගන්නට ඇත.

• ධම්මික පැණිය

හැමදෙනාම කතාවන, එක එක අවස්ථාවල හැමදෙනාගෙන්ම නෝක්කාඩු අසන ධම්මික පැණිය නැවතත් පසුගිය සතියේ කරළියට ආවේය. ඒ එම පැණිය සායනික පරීක්ෂණ සඳහා යොමුකිරීමත් සමඟය. මේ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කළේ සති දෙකකින් එහි ප්‍රතිඵලය දැනුම් දෙන බවය.

එහෙත් ඒ සියල්ල එසේ සිදුවන විය කෑගල්ල පුරා කොවිඩ් රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන්නට පටන් ගෙන තිබුණි. ඇතැම් මාධ්‍යවල සඳහන් වූයේ ධම්මික මහතාගේ පැණිය පානය කළ අයටද රෝගය වැළඳී තිබුණු බවය. එහෙත් ඒ තුළ සත්‍ය අසත්‍යතාව අප නිශ්චිතවම දන්නේ නැත. එය පානය නොකළ අයත් මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් පැතිරීමට උත්සාහ ගන්නේද යන්න ඇතැම් අයට සැකයක් ඇත. එහෙත් ලෝකයක් මේ කොවිඩ් රෝගයට ලහි ලහියේ එන්නත් සොයන විට තවමත් මේ ධම්මික පැණිය ගැන විවිධ පරීක්ෂණ සිදුකරන ලංකාවත් ඒ ගැන විශ්වාසය තබා එය ලබා ගැනීමට පෝලිම් ගැහෙන ජනතාවත් ගැන ඇත්තේ දුකක් සහ කනගාටුවකි.

• කොවිඩ් මළසිරුරු ගැටලුව විසඳේ

පසුගිය කාලය පුරාම ප්‍රශ්නයක් වී තිබූ කොවිඩ් මළසිරුරු භූමදානයද ආදාහනයද යන ගැටලුවට විශේෂඥ කමිටුවේ නිර්දේශය වූයේ තවදුරටත් ආදාහනය කරන ලෙසය. එනම් භූමදානය කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව මෙතෙක් ඉස්ලාම් ජනතාව විසින් ඉල්ලමින් සිටි අයිතිය ඒ අනුව ඉවත් වුණු අතර විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේද කොවිඩ් මරණ ආදාහනය කරනු ඇත. එහෙත් මේ අතර එකවර ඉස්මතු වෙමින් අසාද් සාලි මහතා කියා සිටින්නේ ඉස්ලාම් ජනතාවට ඒ අයිතිය ලබාදෙන්න කියාය. මේ අතර ඔහු අන්තවාදී අදහස් ප්‍රකාශ කරන බව සඳහන් කරමින් අත්අඩංගුවට ගන්නා ලෙසත් ආණ්ඩු හිතවාදී පිරිස් සඳහන් කර තිබිණි.

• සංචාරකයන්ට අලුත් නීති

ඉදිරි සතියේදී ගුවන් තොටුපළ විවෘත වීමත් සමඟ සංචාරකයන්ට පැමිණීමේ ඉඩකඩ ලබාදී තිබේ. ඒ අනුව එසේ පැමිණෙන සංචාරකයන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ රුසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් පැය 96 කට කලින් ලබාගත් පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇත. එසේම මෙරටට පැමිණි පසුව නැවතත් පීසීආර් පරීක්ෂණයක් සිදුකරන අතර එම වාර්තා ලබාගෙන ගිය පසුව දින 14ක් නිරෝධායනය විය යුතු බව දන්වා ඇත. එසේ නිරෝධායනය වන අය එම දිනවලින් පසුව සංචාරය කරනවා නම් ඒ අය මෙරට සංචාරකයන් සමඟ නොගැටී සිටීමටත් කටයුතු කළයුතු බව දන්වා ඇත. මේ ආකාරයෙන් එම ක්‍රියාවලිය අනිවාර්යයෙන් සිදුකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබේ.

මේ ආකාරයෙන් සියල්ල අලුතින් නැවත සුපුරුදු ක්‍රමයට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 21 වැනිදා සිට පෞද්ගලික පන්ති ආරම්භයත් තීන්දු කර ඇත. රට සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබේ. එහෙත් ගැටලුව නම් එසේ සියල්ල විවෘත වනවිට නැවතත් කොවිඩ් වෛරසය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබීමය. එයට හේතු ගණනාවකි.

ප්‍රධාන වශයෙන් දැකගත හැක්ෙක් ජනතාවගේ අවදානම පිළිබඳ අදහස මගහැරී යාමය. පසුගිය දින කිහිපයේම පැවති විවාහ උත්සව, දාන ගෙවල්, අවමංගල්‍ය උත්සව, මත්පැන් සාද රුසක් මෙකී වෛරසය ව්‍යාප්ත වීමට හේතු වී තිබේ. ඒ නිසා විනෝදවන්නට එකතුවන්නට එපා යැයි කියන්නේ නැත. එහෙත් වෛරස ව්‍යාප්ත විය හැකි මාර්ග ඉඩ සලසා නොදීමට අප වගබලා ගතයුතුය. එසේ නොකරනතාක් මෙය වළක්වා ගත නොහැකි වනු ඇත. එහෙත් දැන් සිදුවී ඇත්තේ මේක හැදුණා නම් ඉවරයි යන මතයේ සමහරුන් සිටීමය.

කෙසේ වෙතත් රජය හැකි ඉක්මනින් වෛරසයට එරෙහි එන්නත් ගෙන්වීමට කටයුතු කරමින් සිටී. එහෙත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ චෝදනා ඇත. ඒ වැඩිමුදලට අදාළ එන්නත් ගැනීමට කටයුතු කරන බවටය. එසේම ඉන්දියාවෙන් එන්නත් ගෙන්වීම ගැනද චෝදනා කරති.

එහෙත් මේ සියල්ල මැද දුක් විඳින්නේ අහිංසක ජනතාවය. එන්නත මෙරටට ගෙන ආවත් නොමිලේ ලබාදෙන්නේ සීමිත පිරිසකට බවත් වැඩි පිරිසකට එය මුදලට ගන්නට සිදුවනු ඇති බවත් ඒ රජය තවමත් එම එන්නත නොමිලේ ලබාදෙන බවට ප්‍රකාශ කර නැත්තේ එනිසා බවත් ඔවුහු කියති. 

ඕනෑම රෝගයකට අදාළ බෙහෙතකින් සංකූලතා ඇතිවීම සාමාන්‍ය දෙයකි. ඒ හරහා ඒකට වඩා තවත් බෙහෙතක් හොඳයැයි කියන්නට හැකියාවක් නැත. එහෙත් මෙරට ඇතැම් මාධ්‍ය පෙන්වන්නට උත්සාහ ගන්නේ අරකට වඩා මේක හොඳ යැයි කීමටය. එසේ කියන්නේ තවමත් එන්නතක් ලංකාවට පැමිණ නැති මොහොතකය. එහෙත් වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කරන තොරතුරු හැර වෙනත් දේ ප්‍රසිද්ධ කළයුතු නැත.

  ගයාන් ගාල්ලගේ