2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ආයුර්වේද රෝහල්වල කොවිඩ් නේවාසික ප්‍රතිකාර

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

කොවිඩ් රෝගීන් සඳහා නේවාසික ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේදී පසුගියදා පැවැත්වුණි.

“දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම, දැනුම් පද්ධති නැවත ඉස්මතු කර ගන්න අවස්ථාවක්. විශේෂයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට පිළිගත් නිෂ්පාදන, නිෂ්පාදිත ඖෂධ ඒ වගේම අපේ කොවිඩ් මර්දනය පිළිබඳ දේශීය වෛද්‍ය ජාතික කමිටුව මඟින් නිර්දේශිත ප්‍රතිකර්ම තුළින් කොවිඩ් රෝගයෙන් පීඩිත ජනතාව වෙත ප්‍රතිකාර කිරීම අපේ අමාත්‍යංශයේ යුතුකමක්. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් අප අමාත්‍යංශයෙන් ලබාදීමට කටයුතු කරනවා” යැයි මේ සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් පැවසීය.

මෙම සාකච්ඡාවේදී නාවින්න ආයුර්වේද පර්යේෂණ ශික්ෂණ රෝහල තුළ කොවිඩ් රෝගීන් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් දේශීය වෛද්‍ය විද්වත් කමිටුව සමඟ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබුණි.

ඒ සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය සේනක පිලපිටිය, අධ්‍යක්ෂක වෛද්‍ය ස්වර්ණා කළුතොට යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

මේ අනුව ආයුර්වේද ප්‍රතිකාර, සංගීත චිකිත්සාව, යෝග අභ්‍යාස, මානසික ඒකාග්‍රතාවය සුරුකෙන රසාස්වාදන වැඩසටහන් තුළින් කායික සහ මානසික සුවය ඇති කරලමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නියමිතය.

“මෙහිදී මූලික වශයෙන්ම කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළේ මධ්‍යම පළාතට අයත් පල්ලෙකැලේ ආයුර්වේද රෝහලෙයි. මහනුවර රෝහලේ ආසාදිත වූ නිලධාරීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය තමයි මුලින්ම ප්‍රතිකාර ලබන්නට එතැනට යොමුකරලා තියෙන්නේ. මේ වනවිට එම ආයුර්වේද රෝහලේ එම ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියම එතැන ක්‍රියාත්මක වෙනවා. එම ආරම්භයත් සමඟ අනිකුත් ආයුර්වේද රෝහල් කරා ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට මෙම කාර්යය අධ්‍යයනය කරන්නට බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනය කමිටුවක් පත්කරල තිබෙනවා. මේ පර්යේෂණ ආයතනයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවක් ආරම්භ කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මීට අමතරව නොබෝ දිනකින් නාවින්න ආයුර්වේද රෝහලේදීද කොරෝනා රෝගීන් සඳහා වාට්ටුවක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක්ද පවතී. මේ වනවිට පත්කර ඇති කොරෝනා මර්දන කිරීමේ දේශීය වෛද්‍යවරැන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවේ නිර්දේශිත ඖෂධ පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා ලබා දේ.

පසුගිය කාලයේ බන්ධනාගාර රැඳවූවන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරුණු කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා මෙම ජාතික කමිටුව නිර්දේශය කරන ලද ආයුර්වේද ප්‍රතිකාර ලබාදුන් අතර මෙම බන්ධනාගාරවල කොවිඩ් පොකුර ඉතා ඉක්මනින් පාලනය කර ගැනීමට හැකිවූ බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් දේශයට පැවසීය. ඉතා ඉක්මනින් බන්ධනාගාර පොකුර පාලනය කරගැනීමට හැකිවීමත් සමඟ මෙම ප්‍රතිකාර සාර්ථක යැයි ඔවුහු විශ්වාස කරති.

“පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ ඇඳන් සියයක වාට්ටුවක් මෙම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කරල තිබෙනවා. එහිදී විශේෂයෙන් වෙනත් සංකූලතා නැති රෝගීන්ව තමයි මෙම වාට්ටුව සඳහා ඇතුළත් කරගනු ලබන්නේ. මෙම රෝහලේ ඒ සඳහා විශේෂිත උපකරණ පහසුකම් නැහැ. ඒ නිසා අප රෝහලේ නේවාසිකව නතර කර සිටින්නේ සංකූලතා රහිත කොවිඩ් රෝගීන් පමණයි. මෙම රෝගීන්ට යම් සංකූලතා තත්ත්වයන් මතු වුවහොත් ඔවුන්ව විශේෂිත රෝහල් කරා යවන්නට අපිට සිදුවෙනවා. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නවා. බොහෝවිට මේ රෝගීන් රෝහල් කරා යොමුවන්නේ වෙනත් රෝගවලට ප්‍රතිකාර ලබාගැනීමටයි. ඔවුන් කොවිඩ් රෝගීන් ලෙස අපට හඳුනාගැනීමට හැකිවන්නේ කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුවයි.”

මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ් ආසාදිතයකුගෙන් රෝග ලක්ෂණ මතුවන්නේ තමන්ගේ ශරීරයේ ඇති අනිකුත් ලෙඩ රෝගවල තත්ත්වයත් සමඟමය. බොහෝ කොවිඩ් ආසාදිතයන් තුළින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරේ. බොහෝවිට නිරෝගී යැයි සිතනා ඇතැමුන් තුළින්ද කොවිඩ් ආසාදිතයකු මුණගැසිය හැක. බොහෝ කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල දත්තවලට අනුවය. 

පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් බහුතරයක් තුළින්ද රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරේ. ඔවුන් තුළින් පෙන්නුම් කළ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ආහාර පානවල රසයක් නොදැනීම සහ ගඳ සුවඳ නොදැනීම පමණි.

මේ අනුව මේ සඳහා දියයුතු සම්මත බෙහෙතක් තවමත් සොයාගෙන නැත. කොවිඩ් රෝගීන් ටික දවසකින් නව සංකූලතා තත්ත්වයකට මුහුණ දිය හැක. එම සංකූලතා වළක්වා ගැනීමට බටහිර වෛද්‍ය ක්‍රමයේ විශේෂිත ක්‍රමයක් නොමැති වුවද මෙහිදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව “සුවධරණි” ඖෂධය දිනකට දෙවරක් ලබාදීම සිදුකෙරේ. ඊට අමතරව මුඛ ශෝධනයන්ද විශේෂිත ආයුර්වේද බෙහෙත් පද්ධතියකට අනුව සැකසූ ඖෂධයකින් දුම් ඇල්ලීමද සිදුකෙරේ. මොවුන් කොවිඩ් ආසාදිතයන් බැවින් ආයුර්වේද ජාතික කමිටුව සහ අනිකුත් කණ්ඩායම් සාකච්ඡා කොට නිර්දේශිත කසාය වර්ගද පානය කිරීමට ලබාදේ. එක් එක් රෝගියාගේ රෝග ලක්ෂණ හා රෝගී තත්ත්වය අනුව මේ ප්‍රතිකාර ක්‍රමද වෙනස් වේ.

“කොවිඩ් රෝගයේ විශේෂිත රෝග ලක්ෂණයක් එක්වරම කාටවත් හඳුනා ගැනීමට බැහැ. සංකූලතා වළක්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. කොවිඩ් රෝගීන් කළමනාකරණය කරගැනීමට අති විශාල මුදලක් වැයවෙනවා. එය රජයට දරන්න බැරි බරක්. එක රෝගියකු වෙනුවෙන් විශාල මුදලක් වැයවෙනවා. රෝහලකට රෝගියකු ගෙනා ගිලන් රථය පිරිසිදු කොට විෂබීජහරණය කිරීමේදීත් ඇල්කොහොල් ලීටර් හතරක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා කොවිඩ් ආසාදිතයකු නොවී සිටීමට ජනතාව වගබලා ගතයුතු වෙනවා. කොවිඩ් රෝගයෙන් මිය යන්නේ නැහැ. නමුත් ඒ රෝගය ආසාදනය වීමෙන් වෙනත් බෝ නොවන රෝග ඇති අයගේ රෝග උත්සන්න වී මියයාමට පුළුවන්.” යැයි මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න