2021 ජනවාරි 09 වන සෙනසුරාදා

දෑතට විලංගු වැටුණු ඊ.ටී.අයි. සහෝදරවරු

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන රැසක් සම්බන්ධයෙන් වසර ගණනාවක පටන් ජනතාවට පැවතියේ අප්‍රසාදයකි. ඒ වෙන කිසිවක් නිසා නොව තමන්ගේ තැන්පතු ලබාගත් එම සමාගම් මුහුණපා තිබූ මූල්‍ය අර්බුද නිසාය. මේ හේතුවෙන් කඩා වැටුණු මූල්‍ය සමාගම් ගණනාවකි. ප්‍රමුඛ ඉතිරිකිරීමේ බැංකුව, ගෝල්ඩන් කී හා සක්විති රණසිංහ සිදුවීම ඊට සාධකය. මේ අතරට එක්වූ ETI හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනය ද එවැන්නකි.

24,700කට අධික ETI ගනුදෙනුකරුවන්ගේ රුපියල් බිලියන ගණනක මුදල්වලට වූ අසාධාරණයට එරෙහිව සංවිධානය වූ ETI තැන්පත්කරුවන් සුරුකීමේ ස්වාධීන සංගමය තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබිණ. බහුතර තැන්පත්කරුවන් පිරිසක් අපහසුතාවයට පත් කරමින් ඊ.ටී.අයි. අර්බුදය ආරම්භ වී දැනට වසර අටක් පමණ ගත වී තිබේ. එහෙත් ගැටලුව බරපතළ තත්ත්වයකින් සමාජගත වූයේ ඊට පසු කලකය. ඒ එම මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් මහ බැංකුව සිදු කළ විමර්ශනයකට පසුව නිකුත් කළ නියෝග හා සිහිකැඳවීමේ ලිපි කිහිපයකට පසුවය. 

අර්බුදයෙන් වසර කිහිපයක් ගතවූ පසුව එතෙක් සිදු කළ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හා ස්වර්ණමහල් ආයතනයන්හි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන එකම පවුලේ සහෝදර සහෝදරියන් අත්අඩංගුවට ගෙන තිබිණි. නාලක එදිරිසිංහ පැමිණ බාර විය. මේ සිව්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

එහිදී මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් එක් අයකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීරඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කරනු ලැබීය. මේ අතර දෙසතියකට වරක් එළැඹෙන ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණ.

මේ අතර සිකුරාදා (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සිව්දෙනා යළි අත්අඩංගුවට ගනු ලැබූහ.

නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් අනුව ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 1370ක් පමණ මුදල් නීතිවිරෝධීව ලබාගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පිරිසෙන් තිදෙනකු පසුගිය 5 වැනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර නාලක එදිරිසිංහ මහතා බාර වී තිබුණේ 6 වැනිදා පෙරවරුවේය. කෝටි 1370ක් වටිනා මුදල් සාවද්‍ය පරිහරණය සඳහා කුමන්ත්‍රණය කිරීම හරහා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යටතේ මුදල් විශුද්ධිකරණ පනත අනුව මෙකී විමර්ශන සිදු කර තිබේ. 

සැකකරුවන්ට එරෙහිව 2012 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත අනුව චෝදනා ගොනු කර තිබිණි. එම පනත ප්‍රකාරව සැකකරුවන්ට ඇවිදීමේ හැකියාවක් ඇතැයි මහේස්ත්‍රාත්වරයා කියා තිබිණි. එහෙත් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීම හා නියම කළ දිනවලදී අදාළ වේලාවන් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි. විදෙස් ගමන් බලපත්‍ර අධිකරණ භාරයට පත් කරන ලෙස නියෝග කර තිබිණි.

මෙම පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රියාස් බාරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, මූල්‍ය විමර්ශන අංශය 1 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර යන නිලධාරීහු අධිකරණයේ පෙනී සිටියහ.

ඊ.ටී.අයි. ආයතනයේ සහ ස්වර්ණමහල් ආයතනයේ ගැටලුව විමර්ශනය සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ආරම්භ කෙරිණි. එම නිර්දේශ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රබල සහායක් වී තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබුණේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණි. එහිදී පෙන්වා දී ඇත්තේ අදාළ සමාගම් ද්විත්වය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත හෙළිදරව් නොකළ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් බිලියන 68,480ක මුදල් තැන්පතු පවත්වාගෙන ගොස් ඇති බවය. එමෙන්ම සීමාසහිත ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික සමාගම මහ බැංකුවේ ලියාපදිංචියක් හෝ අවසරයකින් තොරව නීතියට පටහැණි ආකාරයෙන් මහජනතාවගේ මුදල් රුපියල් බිලියන 7.2ක් පමණ ලබාගෙන ඇති බවය.

සැකකරුවන්ට අධිකරණය විසින් ඇප ලබාදෙන අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත. එහිදී සැකකරුවන් විමර්ශනවලින් මගහැර යා හැකි බවට තර්ක කෙරුණද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ මෙම විමර්ශන 2018 වසරේදීත් සිදු කර ඇති බවය. එහෙත් කිසිදු අවස්ථාවක සැකකරුවන් අධිකරණය මගහැර ගිය බවක් වාර්තා නොවූ බවය. කෙසේ වෙතත් සැකකරුවන්ට ඇප ලබාදුන් අවස්ථාවේ අධිකරණයට පිට රැඳී සිටි පැමිණිලිකාර පාර්ශ්වයේ ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන් විරෝධතාව ප්‍රකාශ කර තිබිණි. ඒ ඔවුන් සතුව පවතින හද පාරන කඳුළු අතීතය හා සිය සන්තකයේ වූ මූල්‍ය වටිනාකම විනාශ කිරීමේ වේදනාවටය.

ඊ.ටී.අයි. සමාගම මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවති බැංකු නොවන මූල්‍ය සමාගමකි. වාර්තා වන පරිදි එවැනි සමාගම් 49ක් මෙරට පවතී. එම ආයතන මුහුණපෑ මූල්‍ය අර්බුද හේතුවෙන් කඩා වැටුණු ආයතන ගණනාවකි. ප්‍රමුඛ ඉතිරිකිරීමේ බැංකුව 2002 වර්ෂයේදීත්, ගෝල්ඩන් කී සිදුවීම 2012 වසරේදීත්, සක්විති රණසිංහ සිදුවීම 2008 වර්ෂයේදීත් ඉස්මතු විය.

කෙසේ නමුත් ඊ.ටී.අයි. ආයතනය හා ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය මෙරට කීර්තිමත් ව්‍යාපාරික පවුලකට අයත් වූවකි. මාධ්‍ය ජාලයකද හිමිකරුවන් වූ ඔවුන් ජනතා විශ්වාසය මනාව තහවුරු කරගෙන වැඩි පොලියක් ලබාදෙන අයුරින් මූල්‍ය ගනුදෙනු සිදු කර තිබේ. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩලය හා පාලනාධිකාරිය හරහා ගනුදෙනුකාර භවතුන්ගේ මුදල් සාවද්‍ය පරිහරණය හරහා විදේශීය වශයෙන් දේපල රැස් කිරීමට හා පෞද්ගලික සුඛ විහරණය සඳහා වියහියදම් කොට ඇතැයි පැමිණිලිකාර පාර්ශ්වයෙන් තවදුරටත් චෝදනා එල්ල කෙරේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00