2021 ජනවාරි 09 වන සෙනසුරාදා

අලි මදිවට කොටි

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7

ගතවූ 2020 අවුරුද්ද මානවයන් වූ අපට පමණක් නොව කොටින්ටද අපල කාලයකි. මදු ඇටවීම් හා වෙඩි තැබීම් නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල දී මියගිය කොටි සංඛ්‍යාව 13ක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටී. ඒ අතරින් 10 දෙනකුම වාර්තා වී තිබෙන්නේ මධ්‍යම කඳුකරය ආවරණය කරන මධ්‍යම වනජීවී කලාපයෙනි.

මෑතකදී කොටි මස් ලබාගැනීමට කොටි දෙදෙනෙක් මරාදමා ඇත්තේ හඟුරන්කෙත අධිකාරිගම ප්‍රදේශයේදීය. මහනුවර සහ ගම්පොළ ප්‍රදේශයෙන්ද කොටි මරණ වාර්තා වේ. වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර සඳහන් කරන්නේ මධ්‍යම කඳුකරයේ කොටි ගහනය ආරක්ෂා කිරීමට ගැමියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි. මාස කිහිපයක සිට වනජීවී නිලධාරීන් දැනුවත් කිරීම් සිදුකළද ඒවා කවුරුවත් කනකට ගත් බවක් නම් නොපෙනේ.

මිනිසාගෙන් මරණයට පත්වීම නොඉවසන කොටි, මිනිස්සු දඩයම් කිරීමටද පටන්ගෙන ඇත. පසුගිය 30දා වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම සැලවඑළිය වෙල්යායේ පැලක සිටි ගොවියකු මරා දැමූ කොටියෙක් ගැනයි. ජනවාරි 1දාත් එම සිදුවීමට ආසන්න ස්ථානයකදී තවත් ගොවියකු කොටි ප්‍රහාරයට ලක්වූ අතර ඔහු පොතුවිල් රෝහලට ඇතුළත් කර සිටී. මේ කොටි කුමන වනෝද්‍යානයේ සිට වගාබිම්වලට පැමිණෙන බව ගැමියෝ පවසති. මේ අතර කුපිත වූ ගම්වාසීන් තම ප්‍රතිචාරය දක්වා ඇත්තේ පානම වනජීවී කාර්යාලයට පහර දීමෙනි. මේ කොටියා පසුගිය 2දා රාත්‍රියේ වනජීවී නිලධාරීන්ගේ උගුලකට අසුවූ අතර ඌ රුගෙන ගොස් කි.මී. 50ක් ඈත වනාන්තරයට මුදාහැර තිබේ. 

පසුගිය අගෝස්තු මාසයේදී ද කොටි මරණ පිළිබඳව කතාබහක් සමාජයේ පැතිර ගියේය. ඒ අගෝස්තු වනවිට එම අවුරුද්දේ කොටි 8 දෙනෙක් මරණයට පත්ව තිබූ නිසාය. 8 වැනි කොටි මරණය වාර්තාවූයේ ගම්පොළ දොළුව පෞද්ගලික ඉඩමකදී මන්දකට හසුවී අවුරුදු දෙකක් වයසැති කොටියකු මියගොස් තිබුණි. ඊට පෙරද ගම්පොළ ප්‍රදේශයේ කොටි මදුවලට හසුවී මියගොස් ඇති අතර හක්කපටස් කා මියගිය කොටියකුගේ සිරුරක්ද හමුව තිබේ.

2020 අවුරුද්දේ කොටි ඝාතක මදුකරුවන්ගේ ම්ලේච්ඡත්වයේ ප්‍රතිඵල ජනවාරි 3 දාම වාර්තා විය. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් යටියන්තොටින් එම කොටි මරණය වාර්තා වී තිබුණි. පෙබරවාරි - මාර්තු කාලය කොටින්ට යහපත් වුවත් යළිත් අප්‍රේල් සිට කොටි මරණ වාර්තා වන්නට පටන්ගෙන තිබේ.

අප්‍රේල් 2දා නාවලපිටියේ තේ වතු ආශ්‍රිතව කොටි මරණයක් වාර්තා විය. අප්‍රේල් 29දා මස්කෙළියේදී ද මැයි 29දා නල්ලතන්නියේදී ද කොටි මරණ සිදුවිය. මැයි මාසයේ දුර්ලභ කළු කොටියෙක් මන්දකට හසුව තිබී වනජීවී නිලධාරීන්ට හමුවූ අතර ඒ කළු කොටියෙක් මිනිස් ඇසට ලක්වූ ප්‍රථම අවස්ථාව විය. මේ කොටියා ප්‍රතිකාර කිරීමට රැගෙන ගියද මැයි 29දා මරණයට පත්ව තිබේ. ජූනි 2දා දකුණේ නෙළුවේදී මරාදැමූ තවත් කොටියෙක් හමුවිය. ජූනි 2දා හෙල්බොඩ වතුයායේදී කොටි දෙදෙනෙක් මන්දකට හසුව සිටින බවට ආරංචියක් ලැබුණි. වනජීවී නිලධාරීන්ට එක් කොටියකු බේරාගැනීමට හැකියාව ලැබුණු අතර, එහි සිටි කොටි දෙන මියගොස් සිටියාය.

ජූලි 30දා තවත් කොටි මරණයක් වාර්තා විය. ඒ නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයෙනි. නොවැම්බර් 9දා ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මුල්ලේගමින් කොටි සමක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනුණි. අපේ රටට ආවේණික වනාන්තරයේ අලංකාරම ක්ෂීරපායී සත්වයා වශයෙන් සැලකෙන්නේ කොටියාය. සංචාරකයන් දැකගැනීමට පෙරුම් පුරන සතෙකි. අප රටේ කොටි 700-950ක් පමණ ප්‍රමාණයක් ජීවත්වන බවට සැලකේ. ඒ අතරින් 650ක් රක්ෂිත වනාන්තර තුළද තවත් 150කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිතවලින් බැහැර තේවතු ආදිය ආශ්‍රිතවද වාසය කරන බව විශ්වාස කෙරේ. සත්ව කොටස් ලබාගැනිම සඳහා දඩයම් කිරීමත්, වෙනත් සතුන්ට අටවන මදුවලට හසුවීමත් කොටි මුහුණදෙන ප්‍රධානම තර්ජනයයි.

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකි. ඌ ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත ලැයිස්තුවේද සිටින සතෙකි. කොටියකු මරණයට තැත් කිරීම,  ඒ සඳහා උගුල් ඇටවීම, සතාගේ ශරීර කොටස් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. වරදකරුවකු වන අයෙකුට රු.30,000 සිට 100,000 දක්වා දඩයක් හෝ වසර දෙකකට නොඅඩු වසර හයකට නොවැඩි සිරදඬුවමකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

බහුතරයක් කොටි ඝාතන වාර්තා වන්නේ මධ්‍ය කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. තේ වතු ආශ්‍රිත කුඩා කැලෑ කුට්ටි මෙන්ම සමනළ අඩවිය අභය භූමියද කොටින්ගේ වාසස්ථාන බවට පත්ව තිබේ. පසුගිය අවුරුද්දේ වාර්තා වූ සෑම කොටි මරණයකටම හේතුව මදු තැබීමයි.

“කොටි ඝාතනයට නීතිය ක්‍රියාත්මක කිරීම අසීරු වී තිබෙන්නේ පෞද්ගලික ඉඩම්වල මේ ඝාතන සිදුවීම හින්දයි. වරදකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට වතු අධිකාරිවරුන්ගේ සහායත් අවශ්‍ය වෙනවා.” පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන දේශයට පැවසුවේය.

පසුගිය පස් වසර තුළ නුවරඑළිය හා නල්ලතන්නිය අවට තේවතුවලින් පමණක් වාර්තා වූ කොටි මරණ සංඛ්‍යාව 14කි. පසුගිය මාස කිහිපයේදීම වනජීවී නිලධාරීන් විසින් නල්ලතන්නිය අවට කොටින් මදුවලට ගොදුරැවීම වළක්වා ගැනීමට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විණි.

තේ වතු අධිකාරිවරු, වතු කාර්ය මණ්ඩලය හා වතු ජනතාවට කොටියෙක් මදුවලට හසුවූ විට ඒ සතා මරණයෙන් මුදවා ගැනීමට වනජීවී නිලධාරීන් එනතුරු කටයුතු කළයුතු ආකාරය ගැනද උපදෙස් ලබාදීම සිදුවිය.

මෙසේ බල්ලන් බළලුන් ගාණට කොටි මරණද ඉහළ යාම කනගාටුදායකය. ලෙපර්ඩ් ට්‍රස්ට් සංවිධානයේ රුක්ෂාන් ජයවර්ධන පවසන්නේ මෑතක සිට ශරීර කොටස් ලබාගැනීමට කොටියාම ඉලක්ක කර මදු තැබීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වන බවයි.
වනජීවීන් රැකගැනීමට සිටින වනජීවී නිලධාරීන් සංඛ්‍යාව සීමිත වීමද වනසතුන්ගේ ජීවිත අවදානම ඉහළ යාමට හේතුවකි. ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල සිටින වනජීවීන් රැක ගැනීමට සිටින්නේ ක්ෂේත්‍ර නිලධාරීන් 883 දෙනෙක් පමණි. නීතිඥ ජගත් ගුණවර්ධන පවසන්නේ වනජීවීන්ට නිසි ආරක්ෂාව ලබාදීමට නම් මේ සංඛ්‍යාව 6000 දක්වාවත් ඉහළ නැංවිය යුතු බවයි.

තවත් අවුරුද්දක් ඇරඹී තිබේ. මේ අවුරුද්දේවත් වනයේ අලංකාරම ක්ෂීරපායියාගේ ජිවිත අවදානම අවම කිරීමට ක්‍රියාත්මක විය යුතුව ඇත.

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙන්

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00