2021 ජනවාරි 09 වන සෙනසුරාදා

වසර 123ක් පැරණි නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127
මෙරට පැරණි නීති අතර ඉතාමත් වැදගත් මෙන්ම, කාලෝචිත නීති අදටත් බලපැවැත්වෙන අතර, එම සමහරක් නීති වසර 100කට පෙර සම්මත කරන ලද නීති වේ. මේ සම්බන්ධව හොඳම උදාහරණය වන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතයි.
 
මෙම ආඥා පනත සම්මත කොට ඇත්තේ වසර 123කට පමණ පෙරය. එනම් 1897 වසරේදීය. 1897 අංක 03 දරන මෙම ආඥා පනත 1917 අංක 07, 1919 අංක 14, 1920 අංක 20, 1936 අංක 13, 1939 අංක 11, 1941 අංක 15, 1952 අංක 38 සහ අවසාන වශයෙන් 2005 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් සංශෝධනය කර ඇත. 
මෙම පනතේ 05 වැනි වගන්තිය අනුව මෙම ආඥා පනත යටතේ වරදක් කරන තැනැත්තකු මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැරදිකරැවකු වූ විට මාස 06කට නොවැඩි කාලයක් සඳහා සිරදඬුවමකට හෝ රුපියල් දහස (රු. 1,000/-) කට නොවැඩි දඩයකට හෝ එම දෙකටම යටත් වේ.
 
මෙම රුපියල් දහස (රු. 1,000/-) ක දඩ මුදල, 2005 අංක 12 දරන පනත මගින් රුපියල් දෙදහස (රු. 2,000/-) කට අඩු නොවන සහ රුපියල් දස දහස (රු. 10,000/-) කට නොවැඩි දඩයකට යටත් වන බවට සංශෝධනය කර ඇත.
මෙහිදී දැනට අවුරුදු 100කට පෙර පනවන ලද දඩය 2005 දී සංශෝධනය කරන ලද දඩ මුදල හා සංසන්දනය කිරීමේ දී, දැනට පනවා ඇති දඩ මුදල ඉතා සුළු දඩයක් බව පැහැදිලි වේ. අවුරුදු 100කට පෙර අතීතයේ රුපියල් දහස (රු. 1,000/-) ක් යනු ඉතා විශාල මුදලකි. මන්ද, එකල ගනුදෙනු කරන ලද්දේ සතය, දෙක, තුන, හතර ආදී මුදල් ඒකකවලින් බැවිනි. එහෙයින්, එවැනි විශාල දඩ මුදලක් එම කාලයේ දී පනවා තිබීම මගින් එම වරදේ ඇති භයානක ස්වභාවය මෙන්ම බෝවන රෝග වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලද බව පෙනේ. 
 
එමෙන්ම, එවැනි විශාල දඬුවමක් ලබා දීමෙන් ව්‍යවස්ථාදායකය අදහස් කර ඇත්තේ එවැනි බෝවන රෝග වැළැක්වීම සඳහා ඉතාමත් දැඩි පියවරක් ගෙන ඇති බවයි.                                                  
මෙම පනතේ ඇති ප‍්‍රතිපාදන අනුව ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා, බෝට්ටු සහ නැව්වලින් පැමිණෙන තැනැත්තන් සහ භාණ්ඩ විෂබීජහරණය කිරීමට ද, එම භාණ්ඩ ගොඩබෑම තහනම් කිරීමට ද, ඒ සඳහා වන වියදම් ලබාගන්නා විධි නියම කරමින් රෙගුලාසි සෑදීමට ද අමාත්‍යවරයාට බලය ඇත.
 
නිරෝධායන ස්ථාන පිහිටුවමින්, ඒවා පාලනය කිරීම සඳහා රෙගුලාසි පනවමින්, එවැනි ස්ථානවල නවාතැන්ගෙන සිටින තැනැත්තන්ගේ වියදම් නියම කරමින් සහ එම වියදම් ලබාගන්නා විධි නියම කරමින් සහ එම ස්ථානවල නවාතැන්ගෙන සිටින තැනැත්තන් නඩත්තු කිරීම සඳහා වන වියදම් අයකර ගන්නා ක‍්‍රම නියම කිරීමට අමාත්‍යවරයාට  බලය ඇත. 
 
එමෙන්ම, දුම්රියෙන් හෝ වෙනත් ආකාරයෙන් ගමන් කරන රෝගී තැනැත්තන් පරීක්‍ෂා කරමින් ඔවුන් ආරෝග්‍යශාලාවල රඳවාගැනීම සඳහා නියමයන් කිරීමට ද, සියලුම ආකාරයේ රෝග ස්ථාන හෝ රෝගීන් හුදකලා කරමින් ද, රෝගී වූ තැනැත්තන් ආරෝග්‍යශාලාවලට හෝ වෙනත් ස්ථානවලට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට සහ මහජනතාවගේ ආරක්‍ෂාව සැලසෙන තෙක් එම තැනැත්තන් මුදා නොහැර රඳවා තබාගනිමින් ද නියෝග සෑදීමට බලය ඇත. 
එමෙන්ම, ඉතාමත්ම වැදගත් සහ කාලීනව දැනට මුස්ලිම් ජනතාව උද්ඝෝෂණය කරන රෝගයෙන් මියගිය යම් තැනැත්තකු භූමදානය කිරීම හෝ ආදාහනය කරන විධි නියම කරමින් අමාත්‍යවරයාට නියෝග සෑදීමට බලය ඇත.
තවද, යම්කිසි වාසස්ථානයක ජීවත් වීමට ඉඩ දෙන තැනැත්තන් සංඛ්‍යාව නියම කරමින් ද, එවැනි රෝග බෝකරන ප‍්‍රදේශවලින් හමුවන තැනැත්තන් නිරීක්‍ෂණය කිරීම සඳහා එම ප‍්‍රදේශවලින් වෙනත් ස්ථානවලට ඉවත් කිරීමෙන්, රෝගී වූ තැනැත්තන් ආරෝග්‍යශාලාවක හෝ වෙනත් ස්ථානවලට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට ද සහ මහජනතාවට ආරක්‍ෂාව සැලසෙන තෙක් එම තැනැත්තන් මුදා නොහැර රඳවා තබා ගැනීමට ද, යම් කිසි රෝගී වූ තැනැත්තකු වාසය කළ ගොඩනැගිල්ලක, නිවෙසක හෝ වෙනත් ස්ථානයක අපිරිසුදු තත්ත්වයේ ඇති කාණු, කසළ කාණු, පල්දොරැ පිරිසුදු කිරීම හා විෂබීජහරණය කිරීම සුදුසු යැයි කල්පනා කරන්නේ නම් සහ යම්කිසි රෝගී වූ තැනැත්තකු විසින් ස්පර්ශ කළ භාණ්ඩ හෝ රෝග බෝ කිරීමට ඉඩක් ඇතැයි කල්පනා කරන භාණ්ඩ, විෂබීජහරණය කිරීම සහ අවශ්‍ය යැයි සිතන්නේ නම් වන්දි ගෙවා හෝ නොගෙවා විනාශ කිරීමට ද බලය ඇත.
 
මෙම ආඥා පනත යටතේ පළ කරන ලද රෙගුලාසි උල්ලංඝණය කරමින් ගොඩබාන ලද භාණ්ඩ විනාශ කිරීමට, ඉවත් කිරීමට හෝ ඒවා රඳවා ගැනීමට, අත්අඩංගුවට ගැනීමට, පාලනය කිරීමට නියම කරමින් සහ භාණ්ඩ අයිතිකරු, බඩු භාරදෙන්නා හෝ බඩු භාරගන්නා හෝ ආනයනය කරන්නාගේ වගකීම් නියම කිරීමට ද, එම භාණ්ඩ ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට සහ ඒවා රඳවා ගැනීමට අත්අඩංගුවට ගැනීමට ද සහ එම ක‍්‍රියාවලිය සඳහා වූ වියදම් සම්බන්ධ වගකීම් නියම කරමින් ද රෙගුලාසි පැනවීමට ද හැකිය. 
 
යම්කිසි නිවෙසක හෝ වාසස්ථානයක එකී නිවෙසේ හෝ වාසස්ථානයේ බැරූරැම් අසනීප තත්ත්වයක් සිදුවන බව එකී නිවැසියා හෝ වාසය කරන්නා රෙගුලාසි මගින් නම් කරන ලද නිලධාරියා හෝ නිලධාරින්ට වාර්තා කිරීමට සහ එම නිලධාරියා හෝ නිලධාරීන් එම වාසස්ථානයට ඇතුළු වී සෝදිසි සිදු කිරීමට ද නියම කරමින් රෙගුලාසි සෑදිය හැක.
කිසියම් තැනැත්තකු නීත්‍යානුකූල අධිකරණයක් හෝ නිදහසට කරැණක් නොමැතිව (ඔප්පු කිරීමට යටත්ව) මෙම ආඥා පනතේ විධි විධාන හෝ මෙම ආඥා පනත යටතේ පළ කරන ලද රෙගුලාසි උල්ලංඝණය කරමින් සිදු කරන හෝ නොකර හරින හෝ මෙම ආඥා පනත යටතේ පත් කරන ලද පරීක්‍ෂකවරයකුට හෝ වෙනත් නිලධාරියකුට බාධා කරන හෝ වළක්වන හෝ යම් බාධා කිරීමක් හෝ වැළැක්වීමට උපකාර කිරීම සහ යම්කිසි පොලිස් නිලධාරියකුට බාධා කිරීම හෝ ඔහුගේ රාජකාරියට බාධා කිරීම මෙම ආඥා පනත යටතේ වරදක් වන්නේය. 
 
මෙම පනත යටතේ වරදක් කරන හෝ වරදක් කිරීමට කටයුතු කරනවා යි සාධාරණ ලෙස සැක කරන තැනැත්තකු පරීක්‍ෂකවරයා හෝ මෙම පනත යටතේ බලය පවරන ලද නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු වරෙන්තුවක් නොමැතිව ඔහුව නවත්වා රඳවා ගැනීමටත්, ඔහුගේ නම සහ ලිපිනය නොදන්නේ නම් ඔහුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමටත් හැකිය. 
පරීක්‍ෂකවරයකු හෝ මෙම පනත යටතේ පත් කර ඇති වෙනත් නිලධාරියකු හෝ මෙම පනත යටතේ විධි විධාන හෝ පළ කරන ලද රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමේ දී යම්කිසි තැනැත්තකු බාධා කරන්නේ නම් හෝ වළක්වන්නේ නම් හෝ එසේ බාධා කිරීමට හෝ වැළැක්වීමට ආධාර කරන්නේ නම්, එම පරීක්‍ෂකවරයා අනෙකුත් නිලධාරියකුට හෝ පොලිස් නිලධාරියා ඔහුට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිය. 
ඉහත සඳහන් වන්නේ දැනට වසර 123කට පෙර සම්මත කරන ලද පනතේ අමාත්‍යවරයාගේ බලතල සහ ඒ යටතේ වන වැරදිය. 
එමෙන්ම, මෙම පනතට 1914, 1925, 1930, 1933, 1936, 1938, 1939, 1940, 1943, 1946, 1947, 1953, 1954, 1960 යන වසරවල දී පනතේ 02 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාට දෙන ලද බලය පරිදි නියෝග සාදා ඇති අතර ඒවා දැනටමත් වලංගුය. 
 
ඉන්පසු මෙම පනතේ 02 සහ 03 වගන්ති යටතේ සෞඛ්‍ය හා දේශීය සේවා අමාත්‍යවරයා විසින් 2020 මාර්තු 25 වැනි දින 2168/6 සහ 2020.04.11 වැනි දින අංක 2170/08 දරන ගැසට් පත‍්‍රය මගින් රෙගුලාසි සාදා ඇත. 
තවද, මෙම කාලය තුළ වසූරිය, කොළරාව සහ අනෙකුත් බෝවන රෝග වැළැක්වීම සඳහා විධිවිධාන පනවමින් රෝග ස්පර්ශකාරක පනතක් සම්මත කර ඇත (මේ පිළිබඳව ඉදිරියක සාකච්ඡා කිරීමට අදහස් කරයි).
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00