2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ගඳ ගහන උරුලෑවන් යොදා හදන ලෝකේ මිලාධිකම සුවද කෝලි

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

කෝපි ලුවැක් ලෙස හැඳින්වෙන්නේ ලෝකයේ භාවිත කරන කෝපි අතරින් මිල අධිකම කෝපි විශේෂයයි. මුල් යුගයේ මේ කෝපි ස්වභාවිකව නිපදවුවත් දැන් ඒ සඳහා සත්ත්ව විශේෂයකට කූඩූ වී දුක් විඳින්නට සිදුව තිබේ. මිනිසාගේ අමුතු දේ සොයා යාමේ නොනිත් ආසාවේ ප්‍රතිඵලයක් හැටියට මේ කෝපි ලුවැක් හොඳ උදාහරණයක් සපයයි.

කෝපි ලුවැක් (Kopi luwak) සාමාන්‍ය කෝපිම විශේෂ පැසීමකට ලක්කර සාදා ගන්නා විස්මිත පානයකි. මේ පානය හදන්නට කෝපි පැසෙන්නට යොදා ගන්නේ පණ ගැහෙන ස්වභාවික යන්ත්‍රයකි. සාමාන්‍යයෙන් ඒ තරම් පිළිගැනීමට ලක් නොවන සතකුගේ ආහාර මාර්ගය මේ කෝපි පල් කරන මැසිම ලෙස ක්‍රියා කරයි. බළලෙක් තරම් වූ ලේන් මුහුණක් ඇති සිරුරේ ඉරි හෝ තිත් සහිත වඳුරකුගේ බඳු දිගු වලිගයක් ඇති මේ සතා ගිය මගක යන්නට සතුන් පවා සාමාන්‍යයෙන් අකැමැතිය. ඒ ඌ හටම ආවේණික ගඳ නිසාය. නමුත් උගේ බඩේදී අඩක් දිරවා පිටතට පහ කෙරෙන කෝපි ඇටයට නම් ලැබී ඇත්තේ අමුතුම රසයකි. කවුරුත් සොය සොයා එන අපූරු සුවඳකි. එසේම ලේසි පහසු කෙනකුට දරන්නට බැරි තරමේ අධික මිලකි. ඒ නිසාම මේ කෝපි බොන උදවිය වෙනම උසස් පෙළේ පැලැන්තියකට අයත් ප්‍රභූන් සේ ගරු සැලකිලි ලබති‍‍‍‍. නමුත් මේ කෝපි බොන්නට වරම් ලබන බොහෝ දෙනා නොදන්නා කාරණාව නම් මේ සුවිශේෂී කෝපි වර්ගය Paradoxurus hermaphroditus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන උරුලෑ විශේෂය යොදාගෙන නිපදවන බවය.

මෙම උරුලෑවන් හට කෝපි ආහාරයට ගැනීමට ඉඩ සලසා ඉන් පසුව එම සත්ත්වයා කෝපි ජීර්ණය කර පිට කරන මළපහ තුළ ඇති කෝපි ඇට යොදාගෙන මෙම කෝපි ලුවැක් (Coffe Luwak) නම් කෝපි විශේෂය නිර්මාණය කරනු ලබයි. සතාගේ බඩවැල තුළදී කෝපි අර්ධ ජීර්ණයකට ලක් වේ. එහි ඇති ආම්ලික ගති පහව ගොස් මෟදු ස්වභාවයක් ලැබේ. ඒ හේතුවෙන් අමුතු රසක් සහ සුවඳක් කෝපිවලට ලැබේ. එය ඩොලර් යහමින් උනන සුවඳකි. රසකි. මෙම උරුලෑ කෝපි විශේෂයේ කිලෝ එකක වත්මන් මිල අමෙරිකානු ඩොලර් 770ක්, එනම් ශ්‍රී ලංකා මුදලින් කිලෝ එකක මිල රුපියල් 138,600ක් පමණ වෙයි. අමෙරිකාවේ මේ කෝපි කෝප්පයක මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 15043.74ක් පමණ වෙයි.

මේ විශාල ආදායම නිසාම අතීතයේදී සාමාන්‍ය ලෙස ස්වභාවික පරිසරයේ උරුලෑවන් දමා ගිය මළපහ තුළින් ලබාගත් කෝපි ඇටවලින් කෝපි නිර්මාණය කළත්, දැන් උරුලෑ ජරාව එක්කිරීමේ මහා ජාවාරමක් ලෙස මෙය ක්‍රියාත්මකය. ඉහළ මූල්‍ය අගයක් ලැබීම නිසා කෝපි නිෂ්පාදකයන් දැන් මෙම සතුන් සිරගත කර ගනිමින් කූඩු කර කෝපි නිෂ්පාදනය කිරීමේ සජීවී මැෂින් ලෙස යොදාගෙන තිබේ.

ක්ෂීරපායී සත්ත්වයකු වන මෙම උරුලෑ විශේෂය බොහෝ විට ජීවත් වන්නේ ඉන්දුනීසියාව  ඇතුළු නිරිතදිග ආසියානු  කලාපයේත් උප සහරානු අප්‍රිකානු කලාපයත් ආශ්‍රිතවය. කුඩා කෘමි සතුන්, උරගයන් මෙන්ම කෝපි වැනි බෙරි වර්ග, අඹ වැනි පළ ආහාරයට ගන්නා, නිශාචර සත්ත්වයකු වන මෙම සත්ත්වයා මෙම කෝපි නිෂ්පාදන ක්‍රියාවලියේ සිරකරුවකු බවට අද පත්ව හමාරය. නිදහස ඇති කාලයේ විවිධ ආහාර සහ තමන්ගේ පුරුදු චර්යාවන් ගත කරමින් කාලය ගත කරන මෙම උරුලෑවන් දැන් කෝපි නිෂ්පාදන ක්‍රියාවලියේ සිරගතකොට කෝපි පමණක් ආහාරයට ගැනීමට පොළඹවා තිබේ. සුපුරුදු ආහාර රටාවන් සහ චර්යාවන් අහිමිවීම නිසා මෙම සත්ත්වයන් මේ වන විටත් ජීවිත තර්ජනයන්ට පවා මුහුණ දී ඇති බව සඳහන් වේ. මේ දහස් ගණන් ගෙවා විඳින රසය පසුපස ඇත්තේ අමානුෂික සත්ත්ව හිංසනයක කඳුළු කතාවකි. මේ වන විටත් ලොව සත්ත්ව අවිහිංසා ක්‍රියාධරයන්ගේත් වනජීවී සංරක්ෂකයන්ගේත් විරෝධය මේ බලහත්කාර කෝපි අස්වනු නෙළීමට එරෙහිව නැගී විත් හමාරය.

 සුගත්