2021 ජනවාරි 09 වන සෙනසුරාදා

රන්ජන්ගේ සල්ලි දන්සල

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 17

ජනතා මනාපයෙන් තේරී පත් වී පාර්ලිමේන්තුවට යන බොහෝ දේශපාලකයන් කෙරෙහි ජනතාව තුළ ඇත්තේ නොපැහැදීමකි. තමන්ගේ මනාපයෙන් තේරී පත් වී පාර්ලිමේන්තුවට යන ඇතැමෙකු මනාපය ලබාගත් පසුව ඡන්ද දායකයන් අමතක කරන බවට බොහෝ දෙනෙක් චෝදනා කරති. එහෙත් ජනතා මනාපයෙන් තේරී පත් වී ජනතාවට සේවය කරන මන්ත්‍රීවරුද සිටිති. එවැනි මැති ඇමතිවරුන්ට පෙර කී ජනතා චෝදනාව වලංගු නොවේ.

කලා ලෝකයේ මෙන්ම රටේ ජාතික දේශපාලනයේද පුවත් මවන්නකු ලෙස රන්ජන් රාමනායක ප්‍රකටය. එහෙයින් ඔහුට සිදු වූ අකරතැබ්බ ගණනාවක්ද ඇත. දිවුලපිටියේ පස් ජාවාරමට ඔහු එරෙහි වූයේ විපක්ෂයේ සිටියදීය. රටෙහි විවිධ පුද්ගලයන් සමඟ පැවැත්වූ දුරකථන සංවාද පටිගත කිරීම නිසා ඔහුට පසුගිය කාලයේ සිරගත වීමටද සිදුවිය. එහෙත් ඇතැමෙක් ඔහුගේ එම ක්‍රියාව අනුමත කළහ. කලින් කල දේශපාලනයේ පුවත් මවන්නකු වූ රන්ජන් රාමනායක පසුගියදා ඔහුගේ යූ ටියුබ් නාළිකාව හරහා තවත් අපූරු හෙළිදරව්වක් සිදුකළේය. ඒ සිය පාර්ලිමේන්තු දීමනාව ජනතාව අතරේ බෙදාදෙන බවය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරයකුට හිමිවන දීමනා තමන් ලබා නොගත් නිසා ඒවා තැන්පත් කර තිබූ බවත් මෙසේ බෙදා දෙනු ලබන්නේ එකී මුදල් බවත් මන්ත්‍රීවරයා කියා තිබේ. රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් මූලිකව තමන් බෙදාදීමට කටයුතු කරන බවත් තවත් ආධාර මුදල් ඉදිරියේදී ලැබෙන බවත් ඔහු පැවසීය.‍

“මීට අවුරුදු හතරකට කලින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් දුන්නා. ඒ වගේම පැමිණීමේ දීමනාව රුපියල් 500 සිට 2500 දක්වා වැඩිකළා. මම එදා ඉඳන් ජනතා මනාපයෙන් පත්වුණ මන්ත්‍රීවරයෙක් ලෙසට ජනතාවගේ කලාකරුවෙක් හැටියට මට ලක්ෂරි ජීවිතයක් තිබුණේ නැහැ. මම නැවතිලා ඉන්නේ මන්ත්‍රී නිවාස සංකීරණයේ. ඉතින් මම පූර්වාදර්ශයක් වෙලා එම ලක්ෂය එපා කිව්වා. මොකද මම සරල ජිවිතයක් ගතකරන නිසා. ඉතිං මගේ ඒ මුදල පසුගිය කාලයේ රාජ්‍ය භාණ්ඩාගරයට ගියා වැඩක් වුණේ නැහැ කාටවත්. ඊටපස්සේ අපේ පක්ෂයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මගේ හිතවතා කිව්වා ඒ මුදලින් මොනව හරි කරන්න කියලා. ඊටපස්සේ මම පාර්ලිමේන්තු මහ ලේකම්තුමාගෙන් ඒ මුදල ඉල්ලුවා. ඊටපස්සේ එතුමා ලිපියක් නීතිපති කාර්යාලය යොමුකරාට පස්සේ නීතිපති එකෙන් පාස්වෙලා මට මේ ලක්ෂ ගාණක මුදල ලබා දුන්නා.

මම මට ලැබුණ වාහන පර්මිට් එක විකුණලත් කලාකරුවන් ඇතුළු විශාල පිරිසකට උදව් කළා. මම මේ ලක්ෂ 40ක මුදල ජනතාවට දෙන්නේ නැවත බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ වගේම ඊළඟට වාහන පර්මිට් එකක් දුන්නත් මම මේකම තමයි කරන්නේ. ඒක විකුණලා ජනතාවට උදව් කරනවා.

සිය යූ ටියුබ් නාලිකාව හරහා ලැබෙන මුදල්ද ජනතාවට ලබාදෙන බවත් මෙම අරමුදලට දානපතියන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවත් එසේ නොමැති වුවද තමන් මේ කාර්යය සත්භාවයෙන් කරගෙන යන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. එමෙන් මේ මොහොතේ අත්‍යවශ්‍යම ජනතාවට මෙම මුදල් ලබාදෙන්නේ අධික්ෂණයකින් පසුවයි.

මෙම මුදල් ලබාදීමේදී රටවිරුවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර කලාකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට සිය අවශ්‍යතාවය අනුව තමන්ගේ ලේකම්වරයා හරහා මෙම මුදල් ලබාගත හැකි බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා විසින් ජනතාවගේ අවශ්‍යතා මත ලබාදීමට තිබෙන මෙම ලක්ෂ හතළිහක මුදල ලබාගැනීමට මේ වනවිටත් රටපුරාම ජනතාව දුරකථන ඇමතුම් ලබාදෙන බවත් ඔවුන් සැබවින්ම මුදල් අවශ්‍යතාවයක් තිබෙනා ජනතාවද යන්න සොයා බලා මෙම මුදල් කඩිනමින් ලබාදෙන බවත් දේශයේ අප කළ විමසීමකදී මන්ත්‍රීවරයාගේ ලේකම්වරයා පැවසීය.

 සටහන: හසිත් අංජන

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00