2021 ජනවාරි 09 වන සෙනසුරාදා

මේ ආණ්ඩුවේ සංදර්ශන, ප්‍රදර්ශන, බැනර්, කටවුට්, පෝස්ටර් නැහැ

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොරෝනා එන්නත් කමිටු සභාපති - ලලිත් වීරතුංග

එන්නත ගැන ලලිත්ගෙන් ප්‍රශ්න කරමු

  • එන්නත ගේන්න සල්ලි නැහැ කියන එක විපක්ෂ ප්‍රචාරයක්
  • එන්නතේ වියදමෙන් හතරෙන් එකක් ලැබෙන්නෙ පෞද්ගලික අංශයෙන්
  • ඉන්දීය සහ චීන නායකයන්ගෙන් ජනාධිපතිතුමා ලිඛිතවම ඉල්ලීම් කළා
  • පාසල් දරුවන්ටත් ගර්භනී මව්වරුන්ටත් එන්නත දෙන්නෙ නැහැ
  • මධ්‍යම පන්තියේ මතවාදය පාවෙනවා
  • පාඩු ලබන ආයතනත් බෝනස් ගෙවන ලෝකයේ එකම රට ලංකාවයි
  • පසුගිය කාලෙ මම පීඩාවට පත්වුණත් කැලැල් ඇතිකර ගත්තෙ නැහැ
  • රාජ්‍ය සේවයේ කිසියම් අසතුටක් තිබෙන බව පෙනෙනවා
  • මේ පාර කැබිනට්ටුව හදන්නත් ගම සමඟ පිළිසඳර හේතුවුණා
  • පෙබරවාරි තුන්වැනි සතියේ එන්නත ඒවි

ප්‍රශ්නය:- කොරෝනා කිව්වම අපට එකපාරටම මතක් වෙන්නෙ එන්නත. එන්නත කිව්වම එකපාරටම මතක් වෙන්නෙ ඔබ. රටේ හැමෝම අහන්නෙ කවදද මේ එන්නත අපේ රටට ගේන්නෙ කියලයි?

පිළිතුර:- කොයි එන්නතද මුලින්ම ගේන්නෙ, කවදද ඒක එන්නෙ කියල තවම අවසන් තීරණයක් නැහැ. අමෙරිකාවෙ ෆයිසර් එන්නත හදනවා. ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් එන්නත හදනවා. රුසියාවත් චීනයත් තවත් එන්නත් දෙකක් හදනවා.

ප්‍රශ්නය:- එතකොට මේ ඉන්දියන් එන්නත් ගේනවා කියන්නෙ?

පිළිතුර:- ඉන්දියාවෙ හදන ඔක්ස්ෆර්ඩ් එන්නත තමයි අපට පහසුවෙන්ම ගන්න පුළුවන් එන්නත. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒක නිර්දේශ කරාවි කියල මම හිතනවා. ඒ නිර්දේශය අපට ඉතාම වැදගත්. නමුත් ඔය ඔක්ස්ෆර්ඩ් එන්නතට රටවල් ගණනක් දෙසැම්බර් 30 සිට අනුමැතිය දීලා දැන් භාවිතය පටන් අරන්.

ප්‍රශ්නය:- අපට කිට්ටුව තිබෙන ඉන්දියාවෙන් මේ එන්නත ඉක්මනට ගන්න බැරිද?

පිළිතුර:- පුළුවනි. ඒ ගැන කරපු කතාබහ දැන් බොහෝ දුර ගිහිල්ලා. ඉන්දීය විදේශ ඇමැතිතුමා එක්කත් අපි මේ ගැන කතා කළා. චීන තානාපතිතුමා සමඟත් මම චීන එන්නත ගැන කතා කළා. මේ එන්නත් දෙකම 90%ක සාර්ථකත්වයක් ඇති එන්නත්. ඒ රටවල පෞද්ගලික සමාගම් මේ එන්නත හැදුවත් ඒ ආණ්ඩුවලට පුළුවන් අපට ඒක කලින් ලබා දෙන්න බලපෑමක් කරන්න.

ප්‍රශ්නය:- ඔය පසුබිමේ ජනතාව අහන්නෙ කවදද හරියටම එන්නත ගේන්නෙ කියලයි?

පිළිතුර:- දැනට තිබෙන තත්ත්වය අනුව පෙබරවාරි තුන්වැනි සතිය වෙනකොට අපට මේ එන්නතේ පළමුවැනි තොගය ලබාගන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය:- ඇතැම් විද්වතුන් කියා තිබුණා ඔය කියන ඔක්ස්ෆර්ඩ් එන්නතේ සාර්ථකත්වය 70% කියලා?

පිළිතුර:- ඒක වැරදියි.. ඒක විදින පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ හැකියාව මත 60% සිට 92% දක්වා එන්නත සාර්ථකව වැඩ කරනවා. 90% සාර්ථකයි කියන ෆයිසර් එන්නත නිසා සමහර රටවල මරණ පවා සිදුවෙලා. නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නත නිසා එවැනි තත්ත්වයක් හටගෙන නැහැ.

ප්‍රශ්නය:- අපට දැගන්න ලැබුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ එන්නත් ලබාගැනීම ගැන ඉන්දීය අගමැතිතුමාටත් චීන ජනාධිපතිතුමාටත් පෞද්ගලිකවම ඉල්ලීම් කළ බව. ඒක ඇත්තද?

පිළිතුර:- ඔව්. ඒ දෙකම සිද්ධ වුණා. අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතවම ඉල්ලුවා. ඉන්දීය විදේශ ඇමැතිතුමා අපට කිව්ව ඒ ඉල්ලීම සලකා බලන බව. එපමණක් නෙවෙයි මාත් සමඟ මෙරට එන්නත් වැඩසටහන සම්බන්ධීකරණයට ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුත් පත් කරන බව එතුමා මට කිව්වා.

ප්‍රශ්නය:- ඔබ එන්නත් කමිටුවෙ සභාපති වුණත් ඔබට මේ ගැන වැඩ කරන්න වෙන්නෙ මෙරට සෞඛ්‍ය බලධාරීන් එක්ක. ඔය කාරණාව ගැන පළවූ සමහර මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ සමහර සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මේකෙදි කකුලෙන් අදින වැඩ අඩාල කරවන තත්ත්වයක් ඇති බවයි. මේක ඇත්තද?

පිළිතුර:- ඕන කෙනකුට මත ප්‍රකාශ කරන්න පුළුවනි. මගේ රාජකාරිය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කරන දේම කිරීම නෙවෙයි. මම මේ කටයුතු ගැන සෞඛ්‍ය විෂයට අදාළ ඇමැතිවරු සහ නිලධාරීන් එක්ක කතා කළා. ඒ අය අවශ්‍ය පූර්ව සූදානම් කිරීම් කරන බව මට විශ්වාසයි. දැනට නම් කවුරුවත් කකුලෙන් අදින්නෙ නැහැ. අනිත් කාරණා ගැන නම් මම දන්නෙ නැහැ.

ප්‍රශ්නය:- නමුත් කොරෝනාවෙන් සිදුවන මුස්ලිම්වරුන්ගේ මරණ භූමදාන කරනවාද, ආදාහන කරනවාද කියන කාරණාව වගේ ප්‍රශ්න සෞඛ්‍ය බලධාරීන් ඇද්ද වැඩි නැත්ද?

පිළිතුර:- ඒක මගේ විෂය නම් නෙවෙයි. නමුත් මට හිතෙනවා ඒ ගැන මීට වඩා ඉක්මනින් ගත්ත තීන්දුව ප්‍රකාශ කළා නම් අවුලක් නැතුව නිරවුල්ව යන්න තිබුණා කියලා.

ප්‍රශ්නය:- අපි මේ එන්නත් ගැන කතා කළාට මදි. ඒවා මිලදී ගන්න අවශ්‍ය අරමුදල් තිබෙනවද? මේ වැඩේට කොපමණ වියදමක් යනවද?

පිළිතුර:- මට දන්වල තිබෙන විදිහට මේ සඳහා රජය ඕනෑම මුදලක් වියදම් කරන්න සූදානම්.

ප්‍රශ්නය:- නමුත් විපක්ෂය චෝදනා කරනවා අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මුදල වෙන් කරලා නැති බවට?

පිළිතුර:- ඒකට තමයි පරිපූරක ඇස්තමේන්තු තිබෙන්නෙ. හදිසියකදි පරිපූරකයක් මගින් පාර්ලිමේන්තුව ලවා මුදල් අනුමත කරවාගන්න පුළුවනි. එච්චර විතරක් නෙවෙයි මේ වගේ හදිසි කටයුතුවලට භාවිත කරන්න මහා භාණ්ඩාගාරයේ තිබෙනවා හදිසි අවස්ථා අරමුදල. (අවිනිශ්චිත අරමුදල) ඒකෙනුත් මුදල් ගන්න පුළුවනි. මේ යෝජනාව පාර්ලිමේන්තු ගෙනාවත් හැම පක්ෂයක්ම ඊට එකඟ වේවි කියලා මම හිතනවා.

ප්‍රශ්නය:- ඊට අමතරව ආණ්ඩුව කලින් කිව්වා එන්නත ගේන්න අපට ලෝක ආධාර ලැබෙනවා කියල. කෝ ඒවා. ඒවා මාධ්‍ය වාර්තා විතරද?

පිළිතුර:- නැහැ. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැනටමත් උදව්වට ඇවිත් තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිටත් අප රටට අමෙරිකානු ඩොලර් මිලියන 84ක් එන්නත් ගන්න වෙන් කරලා. එයාල අපට පොරොන්දුවෙලා තිබෙනවා ඩොලර් මිලියන 200ක් දක්වා සහන ණය දෙන බවටත්. ඒ වගේම W.H.O නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටේ මුළු ජනගහනයෙන් 20%කට එන්නත නොමිලේම දෙන්නත් පොරොන්දු වෙලා ඉවරයි.

ප්‍රශ්නය:- මෙරට පෞද්ගලික අංශයත් එන්නත් මිලට ගැනීමට දායක වන බවට ලැබුණු ආරංචිය සත්‍යද?

පිළිතුර:- ඔව්. ඇඟලුම් හා වෙනත් ව්‍යාපාරවල සේවක සේවිකාවන්ට එන්නත ලබා දෙන්න අවශ්‍ය අරමුදල් ලබාදෙන බව බ්‍රුන්ඩික්ස් සමූහ ව්‍යාපාර සභාපති අෂ්රොප් ඕමාර් මහතා මට සහතිකයක් දීල තිබෙනවා. එයාලා අපට අද වුණත් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් මේ සඳහා ලබාදෙන්න සූදානම් බව මට දැන්නුවා. සම්පූර්ණයෙන්ම එන්නත් ගේන්න අප රටට ඩොලර් මිලියන 200ක් විතර යාවි. එයින් 50ක් පෞද්ගලික අංශය දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව 84ක් දීල. ඒ වගේම ජනතාවගෙන් 20%කට නොමිලයේම W.H.O. එන්නත ලැබෙනවා නම් රජයේ වියදම සෑහෙන්න සීමා වෙනවා. මේ තරම් අපි මේකට සූදානම්ව සිටියදී විපක්ෂය මේකට මුදල් නැහැ කියන එක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක්.

ප්‍රශ්නය:- හොඳයි. අපි එන්නත ගෙනාව කියමු. මොකද්ද රටේ ක්‍රියාත්මක කරන්න යන එන්නත්කරණ සැලසුම?

පිළිතුර:- මම වෛද්‍යවරයකු නොවන නිසා මට හරියටම නූලට යමක් කියන්න අමාරුයි. නමුත් මා දන්නා විදියට ඉතාම සරල සැලසුමක් සකසමින් යනවා. දැනට රටේ රජයේ ආරෝග්‍යශාලා 1050ක් තියෙනවා. මෙයින් වාට්ටු සහිතව ඇති මේ වැඩසටහනට පාවිච්චි කරන්න පුළුවන් රෝහල් ගණන 950යි. ජනතාව එක තැනකට එක්රුස් කරල තොග පිටින් මෙම එන්නත දෙන්න බැහැ. මොකද සමහරුන්ගෙ සෞඛ්‍ය තත්ත්වය අනුව අහිතකර ප්‍රතික්‍රියාවක් සිදුවුණොත් වහාම එයා රෝහලකට දාන්න ඕන. ඒ නිසා එන්නත්කරණ කටයුතු කරන්න යන්නෙ රෝහල් ආශ්‍රිතවයි.

ප්‍රශ්නය:- එතකොට එන්නත් කිරීම වට කිහිපයකට කරන්න සිදුවේවි නේද?

පිළිතුර:- ඔව්. මුලින්ම දෙන්නෙ ඉදිරිපෙළ සේවය කරන සෞඛ්‍ය සේවකයන්ට. ඒ අය 1,55,000ක් විතර ඉන්නවා. ඊළඟට පොලීසිය හා හමුදාව. එතන තවත් 1,27,000ක් ඉන්නවා. ඒ වගේම නගර පිරිසුදු කරන්නන්. ඒ වගේ අවදානම් රුකියා කරන පිරිස සේරම ලක්ෂ තුනක් විතර වෙනවා.

ප්‍රශ්නය:- වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලැබෙන්නෙ කොහොමද

පිළිතුර:- ඊළඟට ඉන්නෙ ඒ අය තමයි. එතන ඉන්නවා 32,50,000 (තිස් දෙලක්ෂ පනස් දාහක්) විතර. මේ සියලුම දෙනා එකතු කරල රටේ ජනගහණයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 18%ක් විතර වෙනවා. ඒ වගේම පාසල් දරුවන් හා ගර්භනී මාතාවන්ට එන්නත ලබා දෙන්නෙ නැහැ. පාසල් දරුවො ඉන්නවා ලක්ෂ 42ක්. රටේ සමස්ත ජනගහණය වන දෙකෝටි විසි දෙලක්ෂයෙන් ලක්ෂ 42ක් විතර ඉවත් වුණාම එක් කෝටි අසූ ලක්ෂයකට විතර එන්නත දෙන්නයි අපේ සැලසුම. එතනදි අවදානම වැඩි අය. මුලින් අවදානම අඩු අය දෙවනුව ඊට තෝරාගන්නවා.

ප්‍රශ්නය:- කොරෝනා වැළඳුණු අය, වැළඳී සුව වුණු අයටත් මේක දෙනවද?

පිළිතුර:- රෝගය වැළඳී සුව වුණු අයට දෙනවද කියන කාරණාව පසුව සලකා බලන්න වෙයි.

ප්‍රශ්නය:- එන්නත්කරණ සැලසුම හරි නම් මුදල් හරි නම් ඊළඟට අහන්න තිබෙන්නෙ එන්නත් ගබඩා කිරීම, ප්‍රවාහනය වගේ යටිතල පහසුව ගැනයි?

පිළිතුර:- ඒක අපි සොයා බැලුවා. අවශ්‍ය පහසුකම් සේරම හරි. ඔක්ස්ෆර්ඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කරන්න පුළුවනි. සෙන්ටිග්‍රේට් අංශක 9ක උෂ්ණත්වය මේකට සෑහෙනවා. ඒත් අපට අංශක ඍණ 20ට යන ගබඩාවක් තිබෙනවා. මේ දවස්වල සේවකයන් එන්නත් දීමට පුහුණුව, අවශ්‍ය අයට ඒවත් කරගෙන යනවා. එන්නත් ප්‍රවාහනයට ආරක්ෂක අංශ අපට උදව්වට එනවා. අපේ සෞඛ්‍ය සේවයේ දියුණුව නිසා මේ කලාපයේ අනිත් රටවලට වඩා ඉතා හොඳට එන්නත්කරණ කටයුත්ත අපට කර ගන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය:- ඔබ දෙන සුබදායී පණිවුඩය අනුව මෙවර සිංහල අලුත් අවුරුද්ද අපට කරදරයක් නැතුව ගත කරන්න පුළුවන් වේවිද?

පිළිතුර:- ඒ ගැන ඉතාම සුබදායී අදහස් තිබෙනවා. රෝගය වළක්වා ගැනීමයි අපේ එකම අරමුණ.

ප්‍රශ්නය:- අපි ඉක්මනට ගන්න යන ඉන්දීය ඔක්ස්ෆර්ඩ් එන්නත ගන්න රටවල් පෝලිමේ නැත්ද

පිළිතුර:- නැත්තෙ මොකද? දැනටමත් රටවල් ගණනාවක් විශාල පෝලිමක ඉන්නවා

ප්‍රශ්නය:- එතකොට අපට මොකද වෙන්නෙ?

පිළිතුර:- ඊයෙ පෙරේදා කොළඹට ආපු ඉන්දීය විදේශ ඇමැතිතුමා කිව්ව වචනම මම කියන්නම්. ලෝකය වෙනුවෙන් මේ ගැන අපට තිබෙන වගකීම අපි තේරුම් අරන් තියෙනවා. කියලයි එතුමා කිව්වෙ. තායිලන්තය විතරක් එන්නත් මිලියන 59ක් ඉල්ලල. බංග්ලාදේශය තවත් මිලියන ගණන් ඉල්ලල. ඒ කොහොම වුණත් අපේ රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමට ඉන්දීය අගමැතිතුමත් චීන ජනාධිපතිතුමත් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා ඉක්මනින් එන්නත දෙන බව මට විශ්වාසයි.

ප්‍රශ්නය:- අපි කොරෝනාවෙන් බැහැර ප්‍රශ්න කිහිපයකට යමු. ඔබ පසුගිය කාලෙ හිටපු ජනාධිපති ලේකම්වරයා ලෙස අධිකරණයෙන් විමර්ශනයට භාජනය වූ පසුව ඒ චෝදනාවලින් නිදහස් වූ කෙනෙක්. ඔබට සිදුවූ එම සිදුවීම රජයේ තීරණ ක්‍රියාත්මක කරන සෙසු රාජ්‍ය නිලධාරීන්ට සිද්ධවීම වැළැක්වීමට නීතිමය රුකවරණයක් දෙන බව මේ ආණ්ඩුව මුලදී කිව්ව. ඒ වුණාට දැන් ඒ ගැන කතාවක් නැහැනේ?

පිළිතුර:- නැහැ. නැහැ. ඒ ගැන යමක් සිදුවෙනවා. අධිකරණ ඇමැතිතුමා මට ඒ ගැන කිව්වා. වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක් නම් තවම හදල නැහැ. අපි ගතවූ මාස 9ක කාලෙ සම්පූර්ණ වියදම් කළේ කොරෝනා වසංගතය වෙනුවෙන්. ඒ නිසා හුඟක් දේ කල් ගියා. නමුත් ඒ කටයුත්ත ඉතා ඉක්මනින් සිදුවේවි. රාජ්‍ය සේවකයෙක් හැටියට මම පීඩාවට පත් වුණාට කැළැල් ඇතිකර ගත්ත කෙනෙක් නෙවෙයි. ඔය නඩු හබවලින් මට තුවාල වුණෙත් නැහැ. මම දන්නව මම නිර්දෝෂී බව. එච්චරයි.

ප්‍රශ්නය:- කොහොම නමුත් අද රාජ්‍ය සේවකයන් සමඟ කතා කරන විට ඔවුන් ඉතා කලකිරීමෙන් ඉන්න බව පේනවා. මන්දෝත්සාහී වෙලා. පසුබාන ගතියක් පේනවා. ඇයි මේ?

පිළිතුර:- බොහෝ දෙනෙක් කලකිරීම මන්දෝත්සාහී වීම දකිනවා. මමත් දකිනවා කිසියම් අතෘප්තිකරභාවයක් තිබෙන බව. 1977 ඉඳලා කලින් කලට මම මේ කතාව අහලා තියෙනවා. මේක අමුතු දෙයක් නෙවේ. කොරෝනා නිසා රජයටත් මේවා ගැන අවධානය යොදවන්න අමාරු වෙන්න ඇති. නමුත් දැන් ආණ්ඩුව සොයා බැලිය යුතුයි ඇයි මෙහෙම වුණේ කියලා. ඇත්තටම එහෙම දෙයක් තිබේද කියලත් එතකොට දැනගන්න පුළුවන්. සමහරු බොරුත් ප්‍රචාරය කරනවනේ.

ප්‍රශ්නය:- රටේ මහජන සේවා කටයුතු රාජ්‍ය පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බවට විපක්ෂය පැත්තෙන් ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා?

පිළිතුර:- රටේ පාලනයක් නැහැ කියන එක අමූලික බොරුවක්. තීන්දු ගැනීම නම් කඩිනමින් කෙරෙනවා. ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීම නියාමනය නම් ටිකක් අඩුද කියල මට හිතෙනවා.

ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ගේන්න මහන්සි වූ හාමුදුරුවරු, දේශපාලනඥයන් හා වෙනත් බලවේග ඇයි ආණ්ඩුවට බණිමින් සිටින්නෙ?

පිළිතුර:- එක කණ්ඩායමක් බණිනවා අපේක්ෂා ඉටු නොවීම නිසා. ඉහළ තනතුරක් බලාපොරොත්තු වුණා. ඒක ලැබුණෙ නැහැ. තවත් අය වාහන, ගෙවල්, ඉඩම් වගේ වෙනත් වරප්‍රසාද බලාපොරොත්තු වුණා. ඒක කෙරුණෙ නැහැ. තවත් අය කියනවා අපි ආණ්ඩුව ගේන්න වියදම් කළා.. ඒවා හොයාගන්නවත් අපට බැහැනේ.. වගේ කතා. තවත් පිරිසක් කියනවා ජනාධිපතිතුමා අපේ පැත්තෙ ආවෙවත් නැහැ කියල. ඉතින් ඔය හැම එක්කෙනෙක්ම දොස් කියනවා ඇති. එතුමා මුලින්ම කිව්ව තියෙන රාජකාරි නිසා මඟුල් ගෙවල්, මළගෙවල් වගේ ඒවට එන්න අමාරු බව.

ප්‍රශ්නය:- ආණ්ඩුවට බලයට එන්න උදව් කළ නාගරික, අර්ධ නාගරික, මධ්‍යම පන්තියත් ඉන්නෙ ලොකු විවේචනයක?

පිළිතුර: ඇත්ත. මධ්‍යම පන්තියෙ තිබෙන්නෙ පාවෙන මතවාදයක්. කොවිඩ් නිසා ඒ අයගෙත් සමහර අපේක්ෂා ඉටු වුණේ නැහැ. ලෝකයේ සමහර රටවල රාජ්‍ය සේවකයන්ගේ පවා වැටුපෙන් ½ක් කපල. නමුත් අපේ රටේ එහෙම නැහැ. ලංකාව තමයි පාඩු ලබන ආයතනත් සේවකයන්ට බෝනස් ගෙවන ලෝකයේ එකම රට. ඒ වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන අරමුණින් සමහර මතවාද ප්‍රචාරය කරනවා. ඒක හැබැයි රටේම මතය නම් නෙවෙයි. දැන් බඩු මිල ගන්න. ලාභ දෙයක් ගැන කවදාවත් කතාවක් නැහැ. ගණන් ගියපු දේ ගැන විතරයි කතා කරන්නෙ. ඒ අතින් අපේ රජය කරන දේවල් ගැන කරන ප්‍රචාරණය බිංදුවයි. සංදර්ශන, ප්‍රදර්ශන, බැනර්, කටවුට්, පෝස්ටර් නැහැනේ.

ප්‍රශ්නය:- හැම සතියකම ඔබ ජනාධිපතිතුමා සමඟ රටේ දුප්පත්ම ගමකට යනව ගම සමඟ පිළිසඳරට. මේ වැඩසටහනේදි ජනතාවට දෙන පොරොන්දු ඒ විදියටම ඉටු වෙනවද?

පිළිතුර:- ඔව්. නිශ්චිතවම අපි ඒවා පසුවිපරම් කරනවා. මේ අවුරුද්දෙ අපි මේ වැඩසටහන යටතේ රටේ දුප්පත්ම ගම් 50කට යනවා. මේ රටේ රාජ්‍ය සේවයේ කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ළඟදි මට කිව්වා ජනාධිපතිතුමා දුප්පත්ම ගමකට යන වැඩසටහන කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ සංදර්ශන, ප්‍රදර්ශන නැති ඉතාම සරල ප්‍රශස්ත ව්‍යායාමයක් බව. කෙළින්ම මිනිස්සු ළඟට ගිහිල්ල ජනතාවගේ ප්‍රශ්නයට රාජ්‍ය නායකයා සවන්දීල තේරුම් ගැනීමම ලොකු දෙයක්. මේ පාර අලුත් කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර කැබිනට් විෂයන් සකස් කළෙත් ඔය වැඩසටහනේදි ජනතාව ඉදිරිපත් කරපු ප්‍රශ්න ආදිය සලකා බලමිනුයි.

  රන්ජිත් ආනන්ද ජයසිංහ

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00