2021 ජනවාරි 09 වන සෙනසුරාදා

අමෙරිකානුවන් කණපිට හැරවූ ලැරී කිංටත් කොරෝනා

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

සුප්‍රකට අමෙරිකානු රූපවාහිනී මාධ්‍යවේදියකු වන ලැරී කිං ද කොරෝනා රෝගයට ගොදුරුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ලැරී කිං මින් දෙසතියකට පමණ ඉහත රෝහල් ගතකර තිබුණේ රැධිර ගමනාගමනය සම්බන්ධයෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි. ගතවූ මාස කිහිපය තුළ වරින්වර අසනීප වූ ඔහු පසුගිය නොවැම්බරයේ 87 වැනි උපන්දිනය සැමරුවේද රෝහලේය. පසුගිය ඉරිදා ඔහුට කොවිඩ් වැළඳී ඇති බවට අනාවරණය වූ අතර එතෙක් ප්‍රතිකාර ලබමින් සිටි ලොස් ඇන්ජලිස්හි සෙඩාර්ස් සීනයි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට කොවිඩ් සඳහා ප්‍රතිකාර කරන වෙනත් අංශයකට යොමු කර ඇති අතර ඔහුට කොවිඩ් වැළඳී ඇත්තේ සෞඛ්‍ය සේවකයකුගෙන් බවට සැක කෙරේ.

ලැරී කිං නමින් ප්‍රකට ඔහුගේ මුල් නම ලෝරන්ස් හාවි සීගර්ය.  1933 බෘක්ලින්හි උපත ලද ඔහු ඇමරිකානු රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවේදියකු වන අතර දක්ෂ කථිකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.  ඔහුගේ මව වූ ජෙනී ගිට්ලිට්ස් ලිතුවේනියානු ජාතිකයකු වන අතර පියා ඔස්ට්‍රියානු ජාතික අවන්හල් හිමියකු වූ ආරොන් සීගර්ය. ඔහුගේ මාපියන් සම්ප්‍රදායික යුදෙව්වන් වූ අතර එම පවුලේ. දරූ දෙදෙනාගෙන් වැඩිමලා වූයේ ලෝරන්ස්ය.

ලැරී කිං මාධ්‍යවේදියකු වූයේ අහම්බයෙනි. අමෙරිකානු ගුවන්විදුලි සහ රූපවාහිනී ආයතනයක් වන සීබීඑස් ආයතනයේ නිවේදකයකු ඔහුට අහම්බයෙන් මුණගැසුණු අතර, ෆ්ලොරිඩාවට පැමිණෙන ලෙස ඔහු ලැරීට ආරාධනා කළේය. ඔහුගේ ඇරියුමින් මියාමි වෙත ගිය ලැරීට ඩබ්ලිව්.ඒ. එච්.ආර් නමැති කුඩා ගුවන් විදුලි ආයතනයක කළමනාකරුවකු ලෙස පළමු රුකියාව හිමි විය. එම ගුවන් විදුලි ආයතනයේ නිවේදකයකු හදිසියේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට ලැරීට පැවරීමට ආයතන ප්‍රධානියා පියවර ගත් අතර ඔහුගේ පළමු ගුවන් විදුලි විකාශය ගුවනට මුසු වූයේ 1957 මැයි 1 දාය. එතැන් සිට ඔහු දිනපතා දහවල් ප්‍රවෘත්ති විකාශ දෙකක් සහ ක්‍රීඩා විකාශයක් ද ඉදිරිපත් කළේය. ඔහු‍ට සතියකට ඩොලර් 50 ක දීමනාවක් ලැබිණි. ඔහුගේ නම වූ ලෝරන්ස් හාවි සීගර් යන්න ලැරී කිං ලෙස වෙනස් කෙරුණේ එම නාලිකාවේ සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලීම මතය. සීගර් යන වාසගම මතක තබා ගැනීමට අපහසු බැවින් නිවේදන කාර්යය සඳහා වෙනත් නමක් භාවිත කරන ලෙසට ඔහු ඉල්ලා සිටියේය. තම පළමු වැඩසටහන ප්‍රචාර වීමට සුළු මොහොතකට පෙර ලෝරන්ස් සීගර් යන නම ලැරී කිං ලෙස වෙනස් කළේය. ඉන් දෙවසරකට පසු එම නම නීත්‍යානුකූල ලෙස වෙනස් කළ ඔහු ලැරී කිං නමින් ප්‍රසිද්ධියට පත් විය. 

මුල් කාලයේ ඔහු ගුවන් විදුලිය සඳහා මියාමි බීච්හි විවිධ පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. මහ මඟ හමුවන ඕනෑම අයකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව අවන්හලක වේටර්වරයකු සමඟ විය. දිනක් මියාමි හි ප්‍රසංගයක් පැවැත්වීම සඳහා පැමිණි ගායක බොබී ඩැරින්, කිංගේ ගුවන් විදුලි වැඩසටහන අසා ඔහු හමුවීමට ගියේය. කිං විසින් ප්‍රකට පුද්ගලයකු සමඟ පවත්වන ලද පළමු සම්මුඛ සාකච්ඡාව බොබී ඩැරින්  සමඟ විය.
කිං වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 1978 දී ආරම්භ කළ රාත්‍රිය පුරාම විකාශය වූ ලැරී කිං ෂෝ නමැති ශ්‍රාවකයන් හා සෘජුවම සම්බන්ධවෙමින් කරන ලද ගුවන්විදුලි වැඩසටහන මෙ‍ෙහයවන්නා ලෙසිනි. 1985 සිට 2010 දක්වා ඔහු ජනාධිපති අපේක්ෂකයන්, කීර්තිමත් පුද්ගලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිනමා තරු වැනි විවිධ පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වමින්  වසර 25 ක් සී.එන්.එන් රෑපවාහිනී නාලිකාවේ  ලැරී කිං ලයිව් නමැති සම්මුඛ සාකච්ඡා වැඩසටහන මෙහෙයවීය. සී.එන්.එන් රූපවාහිනියෙන් විශ්‍රාම ගන්නා විට ඔහු “ලැරී කිං ලයිව්” වැඩසටහන්  6,000 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා තිබිණි.

2010 සීඑන්එන් නාලිකාවෙන් ඉවත් වූ ඔහු 2012 සිට 2020 දක්වා හුලූ සහ ආර්.ටී රූපවාහිනී නාලිකාවන්හි ලැරී කිං නව් නමැති සතිපතා දේශපාලන සංවාදමය  වැඩසටහන මෙහෙය වීය. පසුගිය අගෝස්තු මාසයේදී, අමරිකානු ජ්‍යෙෂ්ඨයන් ඉලක්ක කර ගනිමින් රාජකීය යුගය නම් මාර්ගගත (On line)  අධ්‍යාපනික වැඩසටහනක් ඉදිරිපත් කළේය  වයස අවුරැදු 60 ට වැඩි පුද්ගලයන්ට වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු සහ ඉන් ආරක්ෂාවීමට උපදෙස් ලබා දීම එහි අරමුණ විය. 
1987 දී දරැණු හෘදයාබාධයකට ගොදුරැ වූ ලැරී කිං හට සිව් වතාවක් බයිබාස් සැත්කම්වලට මුහුණ දීමට සිදු විය. 2017 දී ඔහු පෙනහළු පිළිකාවකට ගොදුරැව සැත්කමකට භාජනය කෙරිණි.  ඉන් පසු සේවයට පැමිණි ඔහු “ මගේ හුස්ම ටික රූපවාහිනී වැඩසටහනක් කරන අතරතුර නවතිනු ඇත .බොහෝ ලෙඩ රෝග  මම පරාජය කර ඇත්තෙමි. මට විශ්‍රාම ගැනීමට කිසිදු අදහසක් නොමැත.” යනුවෙන් සඳහන් කළේය.  2019 දී යළි හෘදයාබාධයකට ලක් වූ. ඔහු දියවැඩියා රෝගයටද ගොදුරැ වී සිටියේය.. එහෙත් ඔහු කිසි දිනෙක විශ්‍රාම ගියේ නැත.

සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැති අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ලැරී කිං හෘද පදනම ඔහු ආරම්භ කළේ තමා මුහුණ දුන් රෝග පීඩා පිළිබඳ ලද අත්දැකීම් අනුවය.
ලැරී කිං සත් වරක් විවාහ වී තිබේ. ඔහුගේ සත්වැනි බිරිය වන ෂෝන් ද වසර 22ක විවාහ ජීවිතයෙන් පසු ඔහුගෙන් දික්කසාද වීමට 2019දී ඉල්ලුම් කළ අතර දික්කසාදය ලැබෙන තෙක් ඔහුගෙන් මසකට ඩොලර් 33,100ක් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ඔහුට දරුවන් පස් දෙනෙකි. ඉන් දෙදෙනෙක් 2020 ජූලි, අගෝස්තු මාසවලදී, සති තුනක් ඇතුළත මිය ගියහ. ඔහුගේ පුත් 65 හැවිරිදි ඇන්ඩි ජූලි මාසයේ හෘදයාබාධයකින්ද, 51 දියණිය චියා අගෝස්තු මාසයේදී පෙනහළු පිළිකාවකින්ද මරණයට පත්වූහ.
පසුගිය අගෝස්තු මාසයේ ෆේස්බුක් සටහනක් තැබූ ඔහු. “මියගිය ඔවුන් දෙදෙනාම යහපත් හා කාරුණික හදවත් ඇති දරුවන්ය. ඔවුන් නොමැති අඩුව මට බෙහෙවින් දැනෙනු ඇත.. කිසිදු මව්පියකුට තමන්ගේ දරැවකු මිහිදන් කරනු දකින්නට නොලැබේවා යැයි කියා තිබිණි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා