2021 ජනවාරි 09 වන සෙනසුරාදා

උදයංගයි ප්‍රසන්නයි පැටළුණු යුක්‍රේන සංචාරක බුබුළ

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

මේ දවස්වල කොරෝනා කතා නැත, මුට්ටි කතා නැත, පැණි කතාද නැත. මේ දවස්වල ඇත්තේ උදයංග වීරතුංග ගෙන ආ යුක්‍රේන සංචාරකයන් ගැන කතාය. එක පැත්තකින් හොඳය, අනෙක් පැත්තෙන් පතුරු යන බැණුම්ය. තියෙන කරදර මැද තවත් කරදර දාගත්තා යැයි ඇතැම් අයගේ චෝදනාය. එහෙත් උදයංගද අත අරින්නේ නැත. උදයංග කියන්නේ මෙලෙස හෝ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීම ජයග්‍රහණයක් කියාය. එපමණක් නොව මෙරට සංචාරකයන්ට පනවා ඇති නිරෝධායන නීතිද සැර වැඩි බව ඔහුගේ මතය වී ඇත.

විපක්ෂයේ අය පමණක් නොව දැන් පක්ෂයේ අයද උදයංගේ වැඩවලට විරුද්ධව කටයුතු කරන තැනට පත්ව තිබේ. එහෙත් උදයංග මේකට සම්බන්ධ වුණේ කෙසේද? යුක්‍රේන ජාතිකයන් මෙරටට රැගෙන ආවේ උදයංගද? උදයංගට ඇති සම්බන්ධය කුමක්ද? උදයංගත් විෂය භාර ඇමැති ප්‍රසන්නත් අතර හැලහැප්පිලිද? මේ කියන්නේ ඒ යුක්‍රේන කතාව ගැනය.

2020 සැප්තැම්බර් මාසයේ එක්තරා දිනෙක අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත් එක්ව කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළෝය. එහි සඳහන් වූයේ රුසියානු සංචාරකයන් 54000ක් ලංකාවට ගෙන එමේ ව්‍යාපෘතියකි. පසුව ඒ සඳහා අවසර ලැබුණු අතර ඊට අනුව එම වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සකස් කරනු ලැබීය. එහෙත් ඇතිවුණු දෙවැනි රැල්ලත් සමඟ එය අවසානයේ යට ගියේ නියමු ව්‍යාපෘතිය පවා අත්හරිමිනි.

නැවතත් මේ සංචාරක වැඩසටහන ඉස්මතු වන්නේ නොවැම්බර් මාසයේ සිටය. එනම් නැවතත් රුසියානුවන් ගෙන්වීම සඳහා කතාබහ කරළියට පැමිණීමත් සමඟය. මේ සියල්ල පිටුපස සිටියේ රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගය. ඔහු රුසියාව ඇතුළු ඒ අවට රාජ්‍යවල තිබූ හිතවත්කම් මත මෙම සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරන බව ප්‍රකාශ විය.

එහෙත් ඔහුට පෞද්ගලිකව එම සංචාරකයන් ගෙන්වීමට නොහැකි නිසා ඊට අදාළව සංචාරකයන් ගෙන්වන ආයතන තුනක් සඳහා අවසරය ලබා දෙන්නට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබුණි. ඒ සියල්ල පිටුපස සම්බන්ධය තිබුණේ උදයංග වීරතුංග හරහාය. හේතුව ඔහුගේ හිතවත්කම මත ගෙන්වන සංචාරකයන් වීමය. ඒ අනුව සංචාරකයන් ගෙන්වන්නටත්, එය බබල් එකක් තුළ ක්‍රියාත්මක කරන්නටත්, සංචාරය සඳහා ස්ථාන 12ත් 14ත් අතර සංඛ්‍යාවක් ලබා දෙන්නටත්, යම් අයකුට කොවිඩ් වැළඳුණහොත් කොතලාවල ආරක්ෂක පීඨයට අයත් රෝහලේ නවත්වා ප්‍රතිකාර කරන්නටත්, එම වැයවන මුදල රක්ෂණාවරණයෙන් ලබාගන්නටත් කටයුතු කෙරුණි.

සංචාරකයන් ගෙන්වීමෙන් පසුව අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කර තිබුණේ සංචාරක සංවර්ධන අධිකාරිය විසිනි. ඒ අනුව සංචාරකයන් යන එන තැන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම්, සම්බන්ධ කරදීම් සියල්ල එම අධිකාරියට පැවරී තිබුණි.
මේ අතර ගැටලුව ආරම්භ වන්නේ යුක්‍රේන ජාතිකයන්, මිරිස්ස සහ යාල ප්‍රදේශයේ සංචාරයට රැගෙන යාම හරහාය. එනම් ඔවුන්ට එම ප්‍රදේශවල සංචාරය කිරීමට අවසර ලැබුණද, ඒ  පිළිබඳව සංචාරක සංවර්ධන මණ්ඩලය දැනුවත් කිරීම නියත වශයෙන්ම සිදුවිය යුතු දෙයක් විය. එහෙත් එලෙස දැනුවත් කිරීමකින් තොරව සංවිධායකවරු මේ සංචාරක පිරිස එම ස්ථාන දෙකට රැගෙන ගියහ. එය ඉතාම වැරදි ක්‍රියාවක් මෙන්ම එම ව්‍යාපෘතියේ ක්‍රමවේදයෙන් පිටත සිදු කළ ක්‍රියාවක් බව සංචාරක අමාත්‍යංශයට පැමිණිලි ලැබෙන්නට විය. එයට හේතුව එම සංචාරකයන් එම ස්ථානයට පැමිණෙන විට දේශීය සංචාරකයන්ට එම ස්ථානවල සංචාරය කිරීමට නොහැකි වීමය. එහෙත් පුදුමය නම් ඒ බව දැන දැනත් දේශීය සංචාරකයන් යන අවස්ථාවේ මෙම යුක්‍රේන ජාතිකයන් ද එම ස්ථාන කරා රැගෙන ගොස් තිබීමය. 

මේ ක්‍රියාව පිටුපස උදයංග වීරතුංග සිටින බව දැනගත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි කළේය. ඒ සංචාරක අමාත්‍යංශයේ ක්‍රමවේදයට පිටින් ක්‍රියා කරන බව දන්වමිනි. කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් උදයංග වීරතුංගට අවවාද කර තිබුණු බව දැනගන්නට ඇත.

මේ අතර යාල සෆාරි රියැදුරන්ගේ අවුලට ද ප්‍රධාන හේතුව වුණේ මේ සිද්ධියයි. සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබුණේ යුක්‍රේන ජාතිකයන් රැගෙන ගිය පසු සෆාරි රියැදුරන් මේ සංචාරක බුබුළ සඳහා ඇතුළු කර ගැනීමටය. එය ඔවුන්ගේ කැමැත්ත මතය. එසේ කිරීමෙන් පසුව ඔවුන්‍ට දේශීය සංචාරකයන් ගෙන යාමට නොහැකි වන බැවින් ඔවුන් කටයුතු කළ යුත්තේ මේ සංචාරක බබල් එක තුළය. එහෙත් දැනුවත් නොකර යාම හේතුවෙන් අවසානයේ එම සෆාරි ජිප් රථ රියැදුරන් නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුවිය. එය ඔවුන්ට පූර්ව දැනුම් දීමක් හරහා සිදු නොවුණු ක්‍රියාවකි. දැන් ඔවුන් දවස් 14ක් නිරෝධායනය වන්නේ අදාළ නැති දෙයකට සම්බන්ධ වූ පිරිස් ලෙසය. මේ නිසා ඔවුන් ආණ්ඩුවට දොස් නගන අතර තමන්ට සිදු වූ අසාධාරණය ගැන මැසිවිලි නගති.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ කිමාලි ප්‍රනාන්දු මහත්මියද ප්‍රසන්න රණතුංග මහතාට පැමිණිලි කර තිබිණි. ඒ ඔවුන්ගේ දැනුමකින් තොරව ගමන් කළ බව සඳහන් කරමිනි.

මේ අවුල එන්න එන්නම ඉහළ ගොස් ඇති අතර දැන් උදයංගගේ වැඩවලට සංචාරක අමාත්‍යංශයේ උදව්වක් නැතිවන තරමට පත්ව තිබේ. එයට හේතුව උදයංග අමාත්‍යංශයේ වැඩ කටයුතුවලට පිටින් වැඩ කරන බැවිනි.

මේ අවුල නිසා පසුගියදා සංචාරකයන් ගමන් කිරීමට නියමිතව තිබූ තැන් පවා නවතා දැමුණි. සංචාරක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සිදුවිය යුතු මෙකී වැඩ කටයුතු මේ ආකාරයෙන් සිදුවීම එක් පැත්තකින් රටට අවදානමකි. සංචාරකයන් ගෙන්වන්නට ඕනෑ වුවත් යම් නියමු වැඩසටහනක් සිදු කරන විට එයට පිටින් ගමන් කරමින් විවිධ පුද්ගලයන්ගේ බලපුළුවන්කාරකමට කටයුතු කිරීම ජනතාව අමාරුවේ දැමීමකි. අද සෆාරි රියැදුරන් ගෙවන්නේ ඒ වගකීම් සහගත නොවූ ක්‍රියාවේ ප්‍රතිඵලය.

එහෙත් මේ සංචාරකයන් තව තවත් ඉදිරියේදී මෙරටට පැමිණෙනු ඇත. මේ ආකාරයෙන්ම රටේ විවිධ ප්‍රදේශවල ගමන් කරනු ඇත. කඩා වැටුණු සංචාරක ව්‍යාපාරයට මේ ආකාරයෙන් හෝ හුස්ම පොදක් වැටීම යහපතක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ප්‍රශ්නය එය නොවේ‍. යම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දී තිබියදී ඊට පිටින් ක්‍රියා කිරීමය. 

මේ බබල් එකට අදාළ ව්‍යාපෘතිය අවසන් වන තෙක් ක්‍රියාත්මක වනවා නම් එය ඒ ආකාරයෙන් සිදුවිය යුතුය. එහෙත් පුදුමය නම් උදයංග වීරතුංග ඒ සංචාරක බබල් එකෙන් ගැලවී විත් මාධ්‍ය සාකච්ඡා තබමින් හැසිරීමය. එවිට එම බබල් එක පුපුරා ගොස් ඇත. කළ යුතු දේ ඉතාම වගකීමෙන් ඉටු කළහොත් මෙය ඉතාම වටිනා ක්‍රියාවක් වනු ඇත. එමෙන්ම ජයග්‍රහණයක් වනු ඇත. එහෙත් එසේ නොවී හිතුමතේට සිදු කිරීමට යාම නැති ප්‍රශ්න රැසකට අත වැනීමක් පමණි. අපි සංචාරකයන් එනවාට විරුද්ධ නොවෙමු. ඔවුන් මේ රටේ ලස්සන තැන්වල සැරිසැරුවාටද කමක් නැත. එහෙත් ඒ සියල්ල නිසි ක්‍රමයකට අනුව සිදුවිය යුතුය. එසේ නොමැතිව දකුණු අත කළ දේ වම් අත නොදන්නවා නම් මෙතන ඊට වඩා බරපතළ ප්‍රශ්න ඇතිවනු ඇත. දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් යන සැකයක් තවම රට පුරා පැවතීම නිසාය.

 ගයාන් ගාල්ලගේ