2021 ජනවාරි 09 වන සෙනසුරාදා

මහ බැංකුවේ “අලුත්” දර්ශනය

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 10

නව වසරක් සඳහා ආර්ථික දර්ශනය ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළේය. මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලකෂමන් සඳහන් කරන අන්දමට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුම ආර්ථික හා සමාජ අර්බුදය උදා වී තිබේ. කොවිඩ් -19 වෛරසයේ බලපෑම ඉතාම තියුණු තත්ත්ව මතුකර ඇති අතර ආදායම අඩුකර වියදම ඉහළ නංවන බරපතළ තත්ත්ව නිර්මාණය කර ඇත. රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට එන්නට  ගතවිය හැකි කාලය ගැන මෙම පෙර දැක්මේදී සැක පහළ කරන අතරවාරයේ යහපත් හෙට දවසක් සඳහා අපේක්ෂා ඇති කරවයි.

ලෝකයේ අනෙක් රටවල තත්ත්වයෙන් ඇති වූ බලපෑම, සංචාරණය සීමා කිරීමෙන් උද්ගත වූ තත්ත්වය සමඟ ජන ජීවිතය හා ආර්ථික ක‍්‍රියාකාරීත්වය පසුගිය වසරේ දෙවැනි කාර්තු‍වේදී කිසි කලෙක නොතිබුණ පසුබෑමකට ලක් වූ අතර තෙවැනි කාර්තුව වනවිට කිසියම් පිබිදීමකට යා හැකි වූ බව මෙහි දී සඳහන් කර ඇත. මුදල් ලිහිල්කරණය, පොලී අනුපාත පහත හෙළීම, බදු අඩු කිරීම හා ඉලක්ක ගත සහනාධාර ක‍්‍රමවලින් රජය හා මහ බැංකුව එකතු වී පුද්ගලයන්ට හා ආයතනවලට ප‍්‍රකාශයට පත්කරන ලද සහන ගණනාවක් බව මෙහිදී පෙන්වා දී ඇත. ඉදිරියටත් බලපෑම පවතින අතර මහත් කැපවීමක් අවශ්‍ය වනු ඇති බව ඉඟිකර තිබේ. දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීමට සිදුවීම හා ශ්‍රේණිගත කිරීමේ ආයතන දක්වන නිර්දේශ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වයි. 

• අවස්ථානුකූලව ගලපා ගැනීමේ ප‍්‍රයත්නය 

කොවිඩ් තර්ජනය දොරට තට්ටු කරන තෙක් ශ‍්‍රී ලංකාව හැසිරී ඇති ආකාරය ගැන පශ්චාත්තාපයක් මහ බැංකුවට තිබේ. ව්‍යුහාත්මක දුබලතා ගණනාවක් දක්වයි. දේශීය නිෂ්පාදන ගැන නොසලකා හැරීම එයින් එකකි. වෙළෙඳ පොළ කිහිපයක් සඳහා අපනයන කේන්ද්‍රගතවීම, ආනයන මත පදනම් වන නිෂ්පාදනය හා පරිභෝජනය, දරිද්‍රතාවය හා ජංගම ගිණුමේ පමණක් නොව අයවැය සම්බන්ධයෙන් පවා පවතින හිඟය විශේෂයෙන් දක්වා ඇත. දේශීය හා විදේශීය ආයෝජන මත පදනම් වූ ආයෝජන සහ වඩාත් තාර්කික දැක්මක් සහිත අපනයන ක‍්‍රියාවලියක් අයවැය මගින් යෝජනා කර ඇති අතර කෘෂි නිෂ්පාදනය හා ඒවායේ අගය වැඩිකරන පියවර වෙනුවෙන් ලැබෙන සහාය ආර්ථිකය නගා සිටුවීමට වැදගත් වනු ඇතැයි අවධාරණය කර තිබේ. ස්වාධීන මූල්‍ය උපදේශනයක් සැපයිය යුතු මහ බැංකුව මෙතෙක් කාලයක් ජාතික නිෂ්පාදනය හෝ අපනයන විවිධාංගීකරණය ගැන කතාකර නැත. මෙම අවස්ථාවේදී වෙනත් කළ යුතු දෙයක් රහිත බව පැහැදිලිය. ගෙන්වන්නට විනිමය හිඟවන විට ගෙදර වගාකරන තැනට හා මොනවා හෝ අපනයනය කර විනිමය සොයා ගත යුතු තීරණාත්මක තැනට තල්ලු වී ඇති අවස්ථාවේදී සම්ප‍්‍රදායික අපනයන වෙළඳ පොළ හැර අනෙක් තැන් ගැන අවධානය යොමුකරන බව නිරීක්ෂණය කළ හැකිය. 

කෘෂිකර්මය නගා සිටුවන දැක්මක් ඇති මහ බැංකුව ධීවර අංශය වෙනම නොසලකන්නේ ඇයි? අද මුළු ලෝකයම ගොඩබිමට වඩා සාගරය ගැන සාකච්ඡා කරයි. ශ‍්‍රී ලංකාවේ සාගර සම්පත් නෙලාගැනීම සීමිතය. අඩුම තරමින් ධීවර කටයුතු ගැනද අඩු අවධානයකි. අගමැතිවරයා පවා ධීවර කර්මාන්තය නගා සිටුවිය යුතු අතර රට වටා මුහුද තිබියදී පිටරටවලින් මාළු හා කරවල ආනයනය ගැන කරුණු දක්වා තිබුණි. කෘෂිකර්මය ගැන ද ස්වභාවය එයට සමානය. විශාල ඉඩම් ප‍්‍රමාණයක් රජය සතුය. සීමිත ඉඩම් ප‍්‍රමාණයක් ඇති ගොවියෝ ඉතා දුක්බර ජීවිත ගත කරති. මෙරට කිසිම බැංකුවක් ගොවියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ගොවි ජනතාව වෙනුවෙන් පිහිටුවන ලද බැංකු පවා අද ධනවත් ව්‍යාපාරිකයන්ට නතු වී තිබේ. ජනතාවගේ ඉතිරිකිරීම් ආණ්ඩුවට ණය දෙන තැනට හරවා ගෙන ඇති අතර ගොවියෙකුගේ ව්‍යාපෘති පැත්තකට කරන්නේ කෘෂිකර්මය අවදානමක් ඇති අංශයක් සේ නම් කරමින්ය. අඩුම තරමින් රක්ෂණයක් සහිතව හෝ ගොවියන්ට වගාව වෙනුවෙන් ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දිය යුතුය. කෘෂි හා ධීවර අංශවල බලපාන මූල්‍ය ක‍්‍රමයේ පරිවර්තකයක් රහිතව රට තුළ නිෂ්පාදනයක් ඇති නොවේ. දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයේ ප‍්‍රතිශතය වශයෙන් සියයට අටක් දක්වා කෘෂිකර්මය වැටෙන තෙක් මහ බැංකුව සිය අවධානය යොමු නොකළේ ඇයි?

• ඩිජිටල්කරණය ජනතාවට පනවන හිරිහැරය

කොවිඩ් හේතුවෙන් ආයතන හා ඒවායේ මෙහෙයුම් ඩිජිටල්කරණයට ලක් වූ බව මහ බැංකුව සිය දර්ශනය ප‍්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි. අපහසුවට පත් ව්‍යාපාරවලට අඩු පොලී ණය පහසුකම් සපයන ලද බව දක්වයි. මෙම කාරණා දෙක ගැනම ජනතාවට සහ ණය ඉල්ලා සිටි ආයතන වලට විවාදයක් තිබේ. ඩිජිටල්කරණයේ හිරිහැරය කොපමණද යත් කාඩ්පත යොදාකරන සෑම ගනුදෙනුවකටම රු. පහක ගාස්තුවක් අය කිරීම නතර වී නැත. අවම ශේෂය මත රු. දහයක සිට විසිපහ දක්වා දඩයක් බැංකු අය කරයි. කොවිඩ් තත්ත්වය ඉදිරියේ අතේ සතයක් නැති ජනී ජනයාට බැංකු ගිණුමක රුපියල් දහයක අනිවාර්ය ඉතිරිකිරීමක් කළ හැකිද? මහ බැංකුව මේවා කල්පනා කරන්නේ නැත. බැංකු ගිණුම් ගණන රුපියල් දහසකින් වැඩි කළ විට රට තුළ සංසරණය නොවී පවතින ධනයක තරම සොයාගත හැකිය. එය බිලියන ගණනකි. අනෙක අවම ශේෂය රහිත බැවින් නිරායාසයෙන් ගිණුමෙන් අය කරන ගාස්තුව තවත් මිලියන ගණනක් වශයෙන් බැංකු ආදායමට ලැබේ. උද්ධමනය වැඩි හා ජනතාව දුප්පත් වූ  බව පිළිගන්නා මහ බැංකුව මෙම කාරණය ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? මෙම අවාසනාවන්ත අවස්ථාව තිබිය දී රජයේ බැංකු පවා ගනුදෙනුකරුවන් සිය ගිණුම් ඩිජිටල් බවට හරවා පවත්වාගෙන යන විට මාසික සේවා ගාස්තුවක් අය කිරීම අරඹයි. එයට අමතරව ගනුදෙනු ගැන ලැබෙන එස්.එම්.එස්. පණිවුඩ සඳහා ලියාපදිංචි කිරීමට අවුරුද්දකට අය කරන ගාස්තුව රු. තුන්සිය පනහකි. සන්නිවේදන ආයතනවලට අනුව එක පණිවුඩයකට අය කරන මුදල රු. දෙකකි. පණිවුඩ 175 ක් වසරකට යවන හෝ නොයවන සෑම ගනුදෙනුකරුවකුගෙන්ම ගාස්තුව අය කරගැනීම ඩිජිටල්කරණය නොවේ. සන්නිවේදන සමාගම් සමඟ සාකච්ඡා කළහොත් අඩුම තරමින් සහනයක් හෝ ලබාගත හැකිය. ඩිජිටල් හෙයින් බැංකු කාර්ය මණ්ඩලයට ලැබෙන වාසි ගැන ගණන් නොබලන මහ බැංකුව ජනතාව හා විශේෂයෙන් ආයතනික ගිණුම්වලින් අය කරන ගාස්තු මෙයට වැඩිහෙයින් උපයාගන්නා තරම ගැන වහාම අවධානය යොමු කළ යුතුය.

• සහනවලින් ජනතාවට ලැබුණ දේ මහ බැංකුව නොදනී

සහන ණය වැඩපිළිවෙළ ගණනාවක් බැංකුවලට නියම කර ඇත. එය සාර්ථක බව මහ බැංකුව විශ්වාස කරයි. ඉතාම ලස්සන වචනවලින් සහ ඉතාම වක‍්‍රාකාරව එය වටහා දෙන්නට මහ බැංකුවේ 2021 දර්ශනය තුළ උත්සාහයක් තිබේ. ජනතාවට සිය සාක්කු අතගා බැලිය හැකිය. ව්‍යවසායකයන්ට තමන්ගේ ශේෂ පත‍්‍රය සාධකයකි. 

සියයට හතරක ණය පොලිය ආයතනවල නිකුත් කරන්නේ සේවක වැටුප් වියදම් සඳහා මාස තුනකට පමණකි. කිසිම බැංකුවක ණය ක‍්‍රමයක් හෝ ලීසිං ණයක් ඒවා ගෙවා ගත නොහැකි වූ ගනුදෙනුකරුවන්ට සහන දී නැත. ණය වාරික ගෙවීමට සහන කාලයක් පමණක් ලැබුණි. එම සහනය තුළ පවා පොලිය ගෙවිය යුතුය. මෙවැනී තීරණ වලින් ආර්ථිකයට වාසියක් වී නැත. ඉහළ පොලී අනුපාතවලට ගත් ණය දැන් ඇති අඩු පොලියට හරවා ගන්නට කිසිම අවස්ථාවක් බැංකු හා මූල්‍ය ආයතන අවකාශ සලසන්නේ නැත. ඉතාම මෑතකදී ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළ වැටුප හා සමාන ණයක් සියයට එකකටත් වඩා අඩුම පොලියකට දෙන යෝජනාව ක‍්‍රියාත්මක වී තිබේද? මෙම මූල්‍ය පැති ක‍්‍රියාකාරී වුවහොත් වෙළෙඳාමක් සිදුවෙයි. එය නිෂ්පාදනය වැඩි කරන්නට හේතුවකි. වැඩි පාරිභෝජනයක් රහිතව නිෂ්පාදනය ඉහළ යන්නේ නැත. ආර්ථිකයක් වර්ධනය කරන්නේ කෙසේද? ජනතාව සිය රන් භාණ්ඩ පවා උකස් තබන තැනකට පත්වව සිටී. අසරණව බැංකුවකට යන මිනිසුන්ගෙන් සියයට නමයක පොලියක් අය කෙරේ. තමන් සතු එකම රන් භාණ්ඩය උකස් කරන්නේ මෙම කොවිඩ් වසංගත කාලයේ ජීවත්වීම සඳහාය. කිසිම අවදානමක් නැති මෙම ණය වෙනුවෙන් පවා අධික පොලියක් අය කරන හේතුව කුමක්ද?

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනය කරන්නට වෑයම් කරන බලධාරීන් රට තුළ ගම් නියම් ගම් පාසා අසරණ වී ඇති ව්‍යවසාය ගැන අවධානය යොමුකර තිබේද? සෑම නගරයකම අත්හැර දමන ලද ගොඩනැගිලි තිබේ. නැවත බද්දට හෝ කුලියට දෙන බව සඳහන් දැන්වීම් පුවරු එල්ලා ඇත. පාසල් බස් රථය ධාවනය නොවේ. සංචාරක අංශයෙහි නිරතවූවෝ අනෙක් පැත්තකට හැරි සිටිති. පදික වේදිකාවේ වෙළඳාම අලුතින් ආරම්භ වී ඇත. මුඛ ආවරණවල සිට පොල් රොටි දක්වා පාරේ වෙළඳාම් කරන තැනට ව්‍යවසායයෝ නැඹුරු වී සිටිති. පොලිසිය පැමිණ පදික වේදිකාවේ වෙළඳාම තහනම් කරයි. පසුගියදා මහරගම පමුණුව පදික වෙළෙන්දෝ විරෝධතාවයක් කළහ. උත්සව කාලයේ ඇඳුමක් විකුණා කීයක් හෝ උපයන්නට තැත් කළ අවස්ථාව අවහිර කිරීමට විරුද්ධව නැගී සිටියහ. එදා වේල වෙනුවෙන් සටන් කරන සමාජයක් තිබිය දී ඒවාට ශක්තියක් දෙන නිසි පිළිවෙළක් සකස් කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.  

• වර්ධනයක් නැති ආර්ථිකයක් ආපසු හැරවීම

මහ බැංකු අධිපතිවරයා දක්වන අන්දමට 2020 වසරේ ආර්ථිකය ඍණ 3.9 කි. පුරෝකතනවලදී මෙම දුර්වලතැනට වැටෙන බව පුන පුනා කියන අතරවාරයේ මහ බැංකුව සියයට හතරක වර්ධනයක ස්ථාවරයෙහි සිටියේය. යථාර්ථය හෙළිවී හමාරය. අලුත් ආයෝජන, ව්‍යුහාත්මක වෙනස්කම් සහ ප‍්‍රතිසංස්කරණවලින් තොරව අනාගතයක් නැත. ශ‍්‍රී ලංකාව සම්ප‍්‍රදායික රාමුව තුළ තවදුරටත් ගැට ගැසෙමින් සිටී. අලුත් ආණ්ඩුවක් කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තු තැබීය. සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල පාඩු ගැන කතා ආරම්භ වී ඇත. දේශීය වශයෙන් ණය ගන්නා බව නැවත වතාවක් මහ බැංකුව දක්වයි. උද්ධමනය වැඩි වී ඇති බව පිළිගෙන තිබේ. දිගින් දිගටම ජාත්‍යන්තර ණය ගන්නට සිදුවී ඇති බව හෙළිකරයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම් දක්වන අනතුරු ඇඟවීම් වලට අවනත නොවෙන බව පෙනේ. මේවා හැමදාමත් සාකච්ඡා කරන ලද විෂය කරුණු බව පෙන්වා දිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වියපත් වෙමින් තිබේ. ශ‍්‍රමය සීමිත විය හැකිය. කොවිඩ් වයිරසය පාලනය කිරීමෙන් පසු ඇතිවිය හැකි වාතාවරණය ගැන කල්තබා සූදානම් විය යුතුය. අලුත් වාර්තා දක්වන පරිදි විරැකියාව ඉහළය. රස්සා නැති ජන කොටස මහ බැංකුව දක්වන ඩිජිටල් යුගයට ඇතුළුවෙන්නට සූදානම්ද? දැනට ඩිජිටල්කරණයට ඇතුළුවන කර්මාන්ත, ව්‍යාපාර හා බැංකු ඉදිරියේ දී පවා නැවත බඳවා ගැනීම් පාලනය කරනු නිසැකය. ශ‍්‍රමයට අවස්ථා රහිතව ආර්ථිකයක් එසැවිය නොහැකිය. අලුත් අණ පනත් මගින් හෝ අලුත් ආයොජනවලට දොරටු විවෘත කරන තීරණ අවශ්‍ය කර තිබේ. අයවැය යෝජනා වලින් විශාල වෙනස්කම් කර නැත. මහ බැංකුවේ දර්ශනය පවා සම්ප‍්‍රදායික රාමුව ආරක්ෂා කරයි. මෙතැනින් ගැලවීමක් රහිතව සියයට පහක වර්ධනයක් ළඟාකර ගන්නේ කෙසේද? ඉදිරියේදී මැතිවරණ වටයක් ඇරඹුණහොත් තීන්දු ගැනීම තවත් දුෂ්කර වනු ඇති අතර ආර්ථික ප‍්‍රතිසංස්කරණ නතරවනු නිසැකය. කොටස්, වෙළඳාම, රජයේ ආයතන පෞද්ගලීකකරණය, දේශීය ව්‍යවසායකයන්ට ආයෝජන අවස්ථා සහ ඉඩම් බෙදාදීම වැනි කරැණු ගැන ගැඹුරැ අවධානයක් යොමු කිරීම අවශ්‍ය බව පමණක් දැක්වීම මෙම අවස්ථාවේ දී ප‍්‍රමාණවත්ය.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00