2021 ජනවාරි 09 වන සෙනසුරාදා

හදිසියේ ඇරඹුණ එන්නත් හුටපටය!

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

ලංකාවටද කොවිඩ් එන්නතක් ඉක්මණින් ලැබෙන ලකුණු දැන් පහළ වී හමාරය. බොහෝවිට එය අපේ අසල්වැසි ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිඩ්-19 එන්නත වීමට ඉඩකඩ වැඩිය. මෙම එන්නත සෙසු රටවලට අපනයනය කිරීමේදී තමන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්  පොරොන්දු වී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.

Covid - 19 සඳහා නිපදවෙන එන්නත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රාසයියා පෙන්ඩ්සේ නොවැම්බර් 09 වැනිදා සඳහන් කර තිබුණි. ඒ අනුව ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම සහ ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් ලැබීමට වඩාත් සුදුසුකම් ඇති පිරිසට සහ ලෝකය පුරා දුප්පත් පොහොසත් - බේදයකින් තොරව සමානාත්මතාවයෙන් යුතුව එන්නත් බෙදාදීම සඳහා පහසුකම් සැපයීමට ක්‍රියාත්මක කරන “කොවැක්ස්” - COVAX වැඩපිළිවෙළ යටතේ මේ සියයට 20ක එන්නත් කෝටාව පිළිබඳ හෝඩුවාව ලැබී තිබුණි. ඉන්දියාව අපහට නව බලාපොරොත්තුවක් ලබා දී ඇත්තේ මේ අතරය.

ලොවපුරා සිදු කළ මූලික අදියරේ පරීක්ෂණවලදී කොරෝනා වෛරසයට එරෙහිව යොදාගත හැකි එන්නත් කිහිපයක් සාර්ථකත්වයක් පෙන්වා හමාරය. පරීක්ෂණ මට්ටමේ ඇති නව එන්නත් වලින් තුනක් මේ වනවිට ඉදිරියෙන්ම තිබේ. ෆයිසර් සමාගමේ එන්නත, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිපදවන එන්නත සහ ඇමරිකාවේ මොඩර්නා සමාගමේ එන්නත ඒවාය. මේ එන්නත් අතරින් 2ක් සෙල්සියස් අංශක ඍණ 70ක පමණ අගයක ගබඩා කර ගැනීමේ ගැටලුව උදාවී තිබුණි. එවැනි ශීතාගාර පහසුකම් නොමැති වීම ලංකාව මෙම එන්නත් ලබාගැනීමේදී මුහුණ දුන් ප්‍රධාන ගැටලුවකි‍. නමුත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත සාමාන්‍ය ශීතකරණ තුළ ගබඩා කළ හැකි බව පසුව වාර්තා විය. මේ එන්නත මහා පරිමාණව නිපදවීමේ කොන්ත්‍රාත්තුව භාරව තිබුණේ ඉන්දියාවටය. ඒඅනුව ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් හඳුන්වාදුන් එම නව එන්නත නිෂ්පාදනය කිරීමට භාරවී තිබුණේ ලොව විශාලතම ඖෂධ තොග නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සීරම් සමාගමටය. එය කොවිෂීල්ඩ් - Covishield,ලෙස නම්කර තිබුණි.

අවසන් සායනික මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වා තිබූ එම එන්නත සිය රටතුළ  ලබාදීම  පසුගිය සතියේ එංගලන්තය ආරම්භ කළේ ඒ රට තුළ නව වෛරස ප්‍රභේදයක් පැතිර යමින් රෝගීන් බුරැතු පිටින් වාර්තා වන්නට වීමත් සමඟිනි. එංගලන්ත එන්නත් වැඩපිළිවෙළ එසේ ඇරඹුණේ එහි පළමු එන්නත 82 හැවිරිදි බ‍්‍රයන් පින්කර් හට ඉකුත් 05දා ඔක්ස්ෆර්ඩ් චර්චිල් රෝහලේදී ලබාදීමත් සමඟිනි.

මේ අතර ඊට දින කිහිපයකට පෙර 03දා ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් හඳුන්වා දුන් එම කොවිෂීල්ඩ් - Covishield, එන්නතත්, භාරත් බයෝටෙක් නමැති ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කොවැක්සින් - Covaxin, නමැති එන්නතත් සඳහා ඉන්දියාවේ  ඖෂධ නියාමන අධිකාරිය විසින් රටතුළ  හදිසි භාවිතයට අනුමැතිය ලබාදී  තිබුණි. ඒ සමඟ ලෝකයේ මහා එන්නත්කරණ වැඩපිළිවෙළ ඉන්දියාව තුළ ඇරඹීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සීන් එන්නත සඳහා නිසි සඵලතා අනුමැතියක් හිමිව නොමැති බව ඉන්දියානු වෛද්‍ය කවුන්සිලය නිවේදනය කිරීමත් සමඟ එම වැඩපිළිවෙළට තාවකාලික විරාමයක් ලැබුණි. ඉන්දීය විදේශ ඇමැතිවරයා ලංකාවට එන්නේත් අලුත් එන්නත් පරිත්‍යාගය ගැන පොරොන්දු ලැබෙන්නේත් ඒ අතරය.

ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දේශීය මුහුණුවර වන කොවිෂීල්ඩ් චිම්පන්සියන් තුළ සෙම්ප්‍රතිශ්‍යාවට හේතූවන වෛරසයක් අඩපණ කර කොවිඩ් වෛරස ප්‍රෝටින තැනීමට අවශ්‍ය විධාන ඇතුළත් කර ඒ මගින් මිනිස් සිරැරේ ස්වභාවික ප්‍රතිශක්තිය අවුස්සා කලින් ආරක්ෂාවට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීමට සලස්සන්නකි. එය මාත්‍රා-වඩි දෙකක් ලෙස ලබාදෙන අතරම එසේ  සම්පූර්ණ මාත්‍රාව ලබාගත් පිරිස අතරින් සියයට 62-70ක සාර්ථකත්වයක් පමණක් මේ වනවිට වාර්තා කර තිබෙන්නකි. ‍එහි ඇති විශේෂත්වය වන්නේ සෙල්සියස් 2ත් 8ත් අතර ඌෂ්ණත්වයක ගබඩාකර ප්‍රවාහනයට ඇති හැකියාවයි. මේ වනවිට මිලියන 50ක ප්‍රමාණයක් නිපදවා ඇත. ඉන්දියාවට මේ මුල් නිෂ්පාදිත කෝටාවෙන් මිලියන 100ක්  සහන මිලකට ලබාදීමටද ගිවිස තිබේ. ඒ එක් මාත්‍රාවක් ලංකා මුදලින් රැපියල් 516.13 ක පමණ මුදලකටය. ඉන්පසු පෞද්ගලික වෙළෙඳපළට මිල රැපියල් 2576.86ක පමණ මුදලකට බෙදාහරින්නට නියමිතය.

භාරත් බයෝටෙක් දේශීය නිෂ්පාදනයක් වන කොවැක්සීන් කොවිඩ් 19ට එරෙහි සාර්ථකත්වයට අදාළව තවමත් පර්යේෂණාත්මක මට්ටමක පවතින වැක්සීනයකි. තවමත් එහි ආරක්ෂාව සහ සාඵල්‍යතාව සම්බන්ධව මූලික තුන්වැනි අවදානම් මට්ටමේ 
පර් යේෂණ දත්ත පවා ලැබී නැත. ඒ හෙයින්ම මේ එන්නත රට තුළ හදිසි භාවිතය සඳහා අනුමත කිරීම සම්බන්ධයෙන් ඒ රට සෞඛ්‍ය සහ විද්‍යාත්මක අංශ පවා  මවිතයට පත්විය.

ඉන්දියාව මේ වනවිට මිලියන 10ටත් වැඩි ආසාදිත පිරිසක් සහිතව ලෝකයේ බරපතළ කොවිඩ් 19 අවදානම සහිත දෙවැනි රට බවට පත්ව හමාරය. ඉන්දියානු රජයට බිලියන 1.3 කගේ ජීවිත ගැන වගකියන්නට සිදුව තිබේ. ඔවුන් සතුව ඇත්තේ කොවිෂීල්ඩ් සහ කොවැක්සීන් තුරැම්පු දෙකය. නමුත් එය භාවිත කළයුතුව ඇත්තේ වඩාත් අරපරෙස්සමිනි. ඉන්දියාව සහ මෝදි රජය කවදත් තෝරාගන්නට කැමැති “සියරට දේ සිරිසැප දේ” දේශපාලන තේමාවට අනුව නම් ඔවුන්ගේ පළමු සහ එකම තේරීම වනුයේ දේශීය වැක්සීනය වන කොවැක්සීනයයි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 23000ක් සම්බන්ධ කරගෙන සිදුකරමින් ඇති බව කියන එහි තෙවැනි මට්ටමේ සායනික පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙන තුරැ කල් බැලීම වඩාත් පරෙස්සම් සහගත උපමාරැව බව මේ වනවිටත් ඔවුන්ගේ දේශපාලන අධිකාරිය වටහාගන ඇති බව හදිසියේ අරඹන්නට ගිය ලෝක - යෝධ එන්නත්කරණ ව්‍යාපෘතියට හදිසියේම විරාමයක් තැබීමෙන් තහවුරැ වේ. එය අපටත් යස පාඩමක් කියාදෙයි.

 සුගත් කුලතුංගආරච්චි