2021 ජනවාරි 09 වන සෙනසුරාදා

මොකක්ද මේ නැගෙනහිරින් මතුවන සුපර් මුස්ලිම් කල්ලිය?

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 350

ලංකාවේ කිතුනු දේවස්ථාන තුනක් හා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කොට සිදුකළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අහිසංක මිනිසුන් සිය ගණනකගේ වටිනා ජීවිත අහිමි විය. මෑත ඉතිහාසයේ රට මුහුණ පෑ දරුණුතම හා ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙයයි. අනතුරුව ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුම් අතරතුර ලැගුම්හලක හා නිවාස දෙකක් තුළද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනක් සිදුකර තිබිණ. සියල්ල හරහා පෙන්වූයේ ඉස්ලාම් ආගමික උමතු අන්තවාදීන් පිරිසකගේ ම්ලේච්ඡත්වයේ තරමයි.

උතුම් දේවස්ථාන බිම් ලේ ගඳ ගස්සන අමු සොහොන් බවට පත්කළ සහරාන් හෂීම්ගේ තව්හිද් ජමාත් සංවිධානය පසුපස ඉරාකයේදී ආරම්භ වූ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අන්තවාදී ආනුභාවය තිබූ බවද පැහැදිලිය. අල්ලා දෙවියන් නාමයෙන් අන්තවාදී උමතු ආගමික සංකල්පවල එල්බ සිටින ඔවුහු කෙදිනක හෝ ලෝකය ඉස්ලාම් රාජ්‍යයක් වනු ඇතැයි සිහින දකිති.

මෙරට වෙසෙන ජාතීන් හා ආගම් කිහිපයකට අයත් ජනතාවගේ සංහිඳියාව උදෙසා බව කියමින් ගතවූ වසර කිහිපයක් තුළ ආරම්භ කෙරුණු ඇතැම් කල්ලි සංවිධාන පිළිබඳ නිසි විමර්ශනයක් හෝ අවධානයක් යොමු නොවීම පාස්කු ඉරිදා ප්‍රහාරයට මඟ පෑදුවේය. එපමණක් නොව ලබාදුන් නිශ්චිත තොරතුරක් සම්බන්ධයෙන් හෝ ක්‍රියාත්මක නොවුණු බව පාස්කු කොමිසමේ විමසූ සාක්ෂි හරහා මනාව පැහැදිලි කෙරිණ.

නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට ඉඩ නොතැබිය යුතුය. එසේ ඉඩහසර වෙන්වන්නේ නම් අනාගතයේ දිනෙක වුවද මෙරට අහිංසක මිනිසුන් ආගමික අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට ගොදුරුවිම වළක්වාලිය නොහැකිය. මෙම අනතුරුදායක වැකිය සටහන් තැබීමට සිදුව ඇත්තේ මෑත ඉතිහාසයේ එවැනි පාඩම් මතකයේ රැඳී ඇති බැවිනි. ඊටත් වඩා නැගෙනහිර පළාතේ කල්මුණේ කේන්ද්‍ර කොටගෙන අයි.එස්. නැත්නම් තවුහිද් ජමාත් වැනි ඉස්ලාම් අන්තවාදී කල්ලියක් යළිත් හිස ඔසවමින් සිටින බවට බුද්ධි අංශ හරහා තොරතුරු වාර්තා වී තිබීමය. “සුපර් මුස්ලිම්” නමින් සංවිධානගතව සිටින බව කියන කල්ලිය සහරාන් හෂීම්ගේ හා අයි.එස්. අන්තවාදීන්ගේ මත හා අරමුණු එක සමාන බවද දැනගන්නට තිබේ.

ඒ අනුව අනාගතයේදී බරපතළ ඛේදවාචකයකට අර අදින සුපර් මුස්ලිම් පල්ලිය පිළිබඳව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කෙරෙන “සුපර් මුස්ලිම්” නම් වූ යූ ටියුබ් නාළිකාවක් පිළිබඳවද ආරක්ෂක බුද්ධි අංශ විසින් අවධානය යොමුකර ඇතැයි දැනගන්නට තිබේ. මේ අතර නැගෙනහිර පළාතේ අක්කරපත්තුව හා කල්මුණේ ප්‍රදේශ ආශ්‍රිතව මෙරට ක්‍රියාත්මක බව කියන සුපර් මුස්ලිම් කල්ලියට නායකත්වය සපයන්නේ රජයේ වෛද්‍යවරයකු බවද මෙම පුද්ගලයා සුපර් මුස්ලිම් යූ ටියුබ් චැනලයේ දේශන සිදුකර ඇති අතර ඒවා මුස්ලිම් තරුණ ප්‍රජාවගේ අවධානයට යොමුකර ඇති බවද හඳුනාගෙන තිබේ.

මේ ආකාරයට බුද්ධි අංශ වෙතින් ලද වාර්තාවක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා විසින් පොලිස්පතිවරයාට යොමුකර තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ සාකච්ඡාවට බඳුන්කර ඇතැයි වාර්තා විය.

සුපර් මුස්ලිම් කල්ලියේ නායකයා බව කියන වෛද්‍යවරයා නමින් කලන්දර් ලෙබ්බේ මොහොමඩ් නැමැත්තෙකි. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය දිනාගත්තෙකි. එවක පටන් මොහුට යහපත් ආගමික හෝ ජාතිය පිළිබඳ පැහැදිලි ප්‍රතිරූපයක් තිබී නැත. දැනුම් තේරුම් ඇතිදා පටන් ඉස්ලාම් ආගම අභිබවා ගිය අන්තවාදී අදහස් දරන්නකු බවද වාර්තා වේ. අන්තවාදය හෝ වෙනත් අකටයුත්තක් හරහා මූල්‍ය වාසි ලැබීම ඔහුගේ අරමුණය. වෛද්‍ය සේවය සඳහා එතරම් කැපවීමක් නොකොට නීතිවිරෝධී තක්කඩි ක්‍රියා සඳහාද ඔහු යොමුව සිටි බවද සඳහන් වෙයි.

මොහු පිළිබඳව තතුදත් ආරංචි මාර්ග පවසන්නේ ලංකාවට බලපෑ සුනාමි විපත අවස්ථාවේදී නැගෙනහිර පළාතටත් දැඩි හානියක් සිදුවූයෙන් ඒ සඳහා ලැබුණු අරාබි ආධාර මුදල් ගසා කෑ බවය. ඒ වෙනුවෙන් කලන්දර් ලෙබ්බේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කොට ඇතැයි කියති. එසේ හරිහම්බ කරගත් මුදල්වලින් ඔහු එම පළාතේ ඉඩම් දේපළ රැස්කරගෙන ඇති බවද කියැවේ. මෙම දූෂණ වංචාවලට එරෙහිව තවමත් ඔහුට එරෙහිව ඇතැම් පාර්ශ්ව විසින් අධිකරණ කටයුතු සිදුකරන බව වාර්තා වේ.

සුපර් මුස්ලිම් කල්ලියේ නායක කලන්දර් ලෙබ්බේගේ බිරිය මෙන්ම ඇගේ සහෝදරයකු වන වෘත්තියෙන් ඉංජිනේරැවකු වන තැනැත්තාද සුපර් මුස්ලිම් අන්තවාදී දේශනා සිදුකරයි. වසර ගණනාවක් තිස්සේ මෙකී දේශන ඔහුගේ නිවෙසේ සිට පවත්වන බවද වාර්තා වී තිබේ. ඉස්ලාම් දහම ඉගැන්වීමේ මුවාවෙන් ඔවුන් අන්තවාදී අදහස් සමාජගතකර ඇතැයි පැවසේ. වසර දෙකකට අධික කාලයක් තිස්සේ සිදුකරන බව කියන දේශන ඇසුරෙන් එම කල්ලියට අනුගාමිකයන් දෙතුන් සියයක් එක්වී සිටින බව කියති. සිවිල් සමාජයේ ගැවසෙන මෙවැනි අන්තවාදී පුද්ගලයන් හඳුනාගැනීම අසීරුය. එහෙත් මද්‍රසා පාසල්වල ඉගෙන ගන්නා දරුවන් හා සමානව සුදු පැහැති කුර්තා ඇඳුම මෙකි පිරිස් විසින් භාවිතයට ගන්නා බව වාර්තා වේ. එවැනි පිරිස් රටේ ඕනෑම තැනක දැකිය හැකි නමුත් සුපර් මුස්ලිම් කල්ලියේ අනුගාමිකයන් යැයි වෙන්කොට හඳුනාගත නොහැකිය.

සුපර් මුස්ලිම් කල්ලි නායක ලෙබ්බේ බිරිය හා සොහොයුරා එක්ව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය වෙතම ආගම උගන්වන පංති පවත්වති. දරුවන්ට ඉගෙනීම අනවශ්‍ය බවත් ලෙඩකට බෙහෙත් ගැනීම අනවශ්‍ය බවත් කියමින් විකාරරෑපී දේශනා සිදුකරන බවද වාර්තා වේ. මේ ආකාරයට පිරිස් රැස්කරගෙන නැගෙනහිර පළාතට අමතරව දකුණු පළාතේද දේශනා සිදුකර තිබෙන බවට අනාවරණය වී ඇත. මෙරට ෂරියා නීතිය ස්ථාපිත කිරීමේ දැඩි වුවමනාවකින් පෙළෙන මෙම ලෙබ්බේ ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරවීම සඳහා උත්සාහ දරන්නෙකි. එය අති භයානක කාරණයක් හෙයින් පිරිස ප්‍රචණ්ඩත්වයට යොමුකිරීමේ අවදානමක්ද පවතින්නකි. මෙතෙක් සුපර් මුස්ලිම් පිරිස අවි ආයුධ භාවිතයක් හෝ පුහුණුවක් සම්බන්ධයෙන් හෙළිදරව් වී නැතත් එවැනි අවදානමක් ඉදිරියේදී ඇති නොවනු ඇතැයි සිතීම මුලාවකි.

අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩ්ගේ මතයට ගරු කරමින් අන්තවාදයෙන් පෝෂණය වූ සහරාන් හෂීම්ගේ කෙරුවාව සුළුපටු නැත. සුපර් මුස්ලිම් පල්ලියේ නායක ලෙබ්බේද අනුගමනය කරන්නේ එකි මතයමය. එබැවින් නියපොත්තෙන් කළයුත්ත පොරොවට ඉඩ නොතබා ලෙබ්බේ සමඟම කල්ලිය අතුගා දැමිය යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00