2021 ජනවාරි 09 වන සෙනසුරාදා

රවි මාරැව නිසා ජනතාව පරෙස්සමින්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

2021 වසරේ ප්‍රථම රවි මාරුව 2021 ජනවාරි මස 14 වැනි ගුරුදින උදේ 8.15ට සිදුවේ. රවි තමාට සතුරු රාශියක් වූ මකර රාශියට පිවිස පෙබරවාරි 12 වැනි කිවි දින රාත්‍රී 9 පසුවී විනාඩි 12 දක්වාම එම රාශියෙහි ගමන් කරනු ඇත.

රවි මකර රාශි ගතවීම නිසා අප රට තුළ සුබවාදී ක්‍රියාවක් ඇති නොවනු ඇත. විශේෂයෙන් කොරෝනා වෛරස් තත්ත්වය තව තවත් වර්ධනයක් වී එය ජනතාවගේ ජීවිතය අඩපණ කිරීමට ප්‍රබල හේතුවක් වනවා ඇත. ආරෝග්‍යශාලා රෝගීන්ගෙන් පිරී ඉතිරී යන අතර සමාජසේවා ආයතන, වැඩිහිටි නිවාස, බන්ධනාගාර ආශ්‍රිත නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, ආරක්ෂක අංශවල නිරත අයටද ඉතාම අශුභ කාලයක් වේ. ආර්ථික වර්ධනය තවදුරටත් පහළ වැටෙන අතර ආහාර ද්‍රව්‍ය හිඟයක්ද ඇතිවේ. නොසිතූ විරෑ බිහිසුණු රිය අනතුරු ඇතිවී සෑහෙන මරණ සංඛ්‍යාවක් ඇතිවේ. ඇස් ආශ්‍රිත රෝගයක්ද රටතුළ පැතිර යන කාලයකි.

ආගමික නායකයකුට මාරක ඇතිවන අතර මෙම වකවානුව තුළ රටේ සමස්ත ජනතාව ඉතාම සැලකිල්ලෙන්, පරෙස්සමෙන් ජීවත්වීමට සූදානම් විය යුතුය.

• මේෂ - නව රැකියා

ඔබගේ කටයුතු සාර්ථක වන කාලයක් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවැති ප්‍රශ්න මඟහැරී යන අතර නව රැකියා අපේක්ෂා කළ අයටද ගැලපෙන රැකියාවක් ලැබෙන කාලයකි. තම දරුවකුගේ ජයග්‍රහණයක්ද අසන්නට ලැබෙනු ඇත.

• වෘෂභ - සතුරන් මර්දනය වේ

කෙටි ගමන් යෙදෙන කාලයක් වේ. සිතේ සහනය අඩුවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. තමන්ට එරෙහිව සිටි සතුරු බලවේග මර්දනය කරගත හැකි කාලයක්ද වේ.

• මිථුන - නීතිමය ප්‍රශ්න

මේ කාලය ඔබට යහපත් නොවන අතර ලියවිලිවලට අත්සන් කිරීමේදී පරිස්සම් විය යුතුය. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි කාලයක්ද වේ. තමාගේ උත්සාහයේ තරමට ඵලදාව නොලැබෙන වකවානුවකි.

• කටක - කෙටි ගමන්

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවේ. අඹුදරුවන් අතර ගැටලු නිර්මාණය වේ. ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාදවීම්ද ඇතිවන අතර කෙටි ගමන් බහුලව යෙදෙන කාලයකි.

• සිංහ - සිතේ අසහනය

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව මර්ධනය කරගත හැකි කාලයක් වේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. සිතේ සහනය අඩුවන කාලයක් වන අතර ඇස්වල පීඩා මතුවනු ඇත.

• කන්‍යා - මහන්සියට ප්‍රතිඵල නෑ

ඔබගේ යම් යම් වැඩවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. දේශපාලනික කටයුතුවල නිරත වන අයට යහපත් වනු ඇත. ඉතිරි කර ගැනීමට බාධාවල් ඇතිවන අතර තමාගේ මහන්සිය තරමට ඵල අත්නොවන කාලයක්ද වේ.

• තුලා - කැපී පෙනේ

පිටස්තර ප්‍රශ්න කරදර ඔබ වෙත පැමිණිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න. සේවාස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන කාලයක්ද වේ.

• වෘශ්චික - අධ්‍යාපනයෙන් ජය

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. කෙටි ගමන් යෙදෙනු ඇත. සිතේ සහනය අඩුවන කාලයක්ද වේ. යම් යම් කටයුතු අතපසුවීම්ද ඇතිවේ.

• ධනු - ඉතිරියට බාධා

තමාගේ උත්සාහයේ තරමට ඵල ලබාගත නොහැකි වන කාලයක්ද වේ. ඉතිරි කර ගැනීමට බාධා ඇතිවන අතර හදිසි ශරීර පීඩාද මතුවන සමයකි. පිට ප්‍රශ්න තමා වෙත ඇදී එන කාලයක් බැවින් පරිස්සම් වන්න.

• මකර - නිර්මාණශීලී අදහස්

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක්ද වේ. දුර ගමන් යෙදෙනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවීම් මතුවනු ඇත. හිසේ පීඩා ඇතිවීමට ඉඩ වැඩිය.

• කුම්භ - සතුරන් හඳුනාගනී

ඔබට එතරම් යහපත් නොවන අතර ගමන්වලින් හදිසි ශරීර පීඩා මතුවන කාලයක්ද වේ. තමාට එරෙහි සතුරු බලවේග හඳුනාගත හැකි වන අතර ඇස් ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

• මීන - දේශපාලනයට හොඳයි

දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වෙයි. යම් යම් කටයුතුවල අතපසුවීමක්ද ඇතිවන කාලයක්ද වේ. ඔබ අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

ප්‍රවීන ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය 
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල