2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ගැසට් වෙනුවට එන වෙළඳ ඇමැතිගේ කටවචනය

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් යම් ස්ථාවර මිලක් යටතේ මාස හයක් පාරිභෝගිකයන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් වෙළෙඳ අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙනු ලැබ තිබේ. පුවත්පත් දැන්වීම් මගින් මේ සඳහා ස්වකීය අභිමතය සහ මිල ගණන් ඉදිරිපත් කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය වෙළෙඳුන්ට සහ ආනයනකරුවන්ට ආරාධනා කිරීමට යන බවට ආරංචි පළ වී ඇත.

මෙතෙක් කල් රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා කළේ ඒවායේ උපරිම මිල සඳහන් කර එයට වඩා වැඩි මිලකට අලෙවි කිරීම පාරිභෝගික සේවා පනත යටතේ තහනම් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමය. මෙතෙක් කල් මෙරට ආණ්ඩු කළ බොහෝ රජයන් ගැසට් නිවේදන මගින් භාණ්ඩ හා සේවාවල උපරිම මිල පාලනය කළ බව පෙනෙන්නට තිබුණි. ඒ බොහෝ අවස්ථාවල යම් පමණකට හෝ මෙම පාලන මිලට ගරු කිරීමට ව්‍යාපාරිකයන් උනන්දු වුවද වර්තමාන රජය බලයට පත්වූ පසු පැනවූ පාලන මිල තුට්ටුවකටවත් මායිම් කිරීමට වෙළෙන්ඳෝ කටයුතු නොකළහ. ඔවුහු කිසිදු බිය සැකක් නොමැතිව මිල පාලනය කර තිබූ භාණ්ඩ වෙළෙඳපොළේ විවෘතව වැඩි මිලට විකිණූහ. පාරිභෝගික සේවා අධිකාරිය පම්පෝරි ගැසුවේ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් වැටලීම් කර අල්ලා කුදලාගෙන නඩු දමා &මහ උළු ගෙදර* යවන බවටය. දඩ ගසන බවටය. මෝස්තරයක් ලෙස නඩු කිහිපයක් දමා දඩ නියම කළද එතැනින් එහා සිදු වූ දෙයක් නැත. පසුව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර බවය. තමන්ට ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල වාහන ආදී පහසුකම් අඩු මට්ටමක තිබෙන බවට නිදහසට කරුණු ඉදිරිපත් විණි. වර්තමාන ආණ්ඩුව තරම් මිල ගැසට් කළ ආණ්ඩුවක් තවත් නැති තරම්ය. පසුගිය වසරක කාලය තුළ සහල් පාලන මිල පමණක් පස් වරක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණි. උපරිම මිලද ඒ අනුව විටින් විට වෙනස් විය. අන්තිමට සිල්ලර මිල පමණක් නොවන තොග මිලද ගැසැට්ටුවට අන්තර්ගත කෙරිණි. එහෙත් අද වනතුරු පාලන මිලට සහල් විකිණෙන්නේ නැති බව කඩේ යන කුඩා දරුවා පවා දනී.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීම ඇරුඹි අතර එයද වසරේ ප්‍රධානතම විහිළුවක් බවට පත්විය. එහිදී සිදු වූයේ වැඩි මිලටවත් ගැනීමට පොල් වෙළෙඳපොළේ නොවීමය. අදද පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 100 ඉක්මවා පවතී. සීනි, පරිප්පු, අල, ලූනු, හාල්මැස්සන්, සැමන්, කුකුළු මස් ආදියටද පාලන මිල පැනවූ නමුත් අද ඒ එකදු පාලන මිලක් හෝ ක්‍රියාත්මක නොවේ.

මේ ගැසට් මිල පාලනය අසාර්ථක බව වටහාගත් නිසාදෝ අද වන විට වෙළෙඳ අමාත්‍යාංශය භාණ්ඩ 10ක මිල මාස හයක ස්ථාවරව තබාගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටී. සහල්, සීනි, පරිප්පු, පාන්පිටි, අල, ලූනු, හාල්මැස්සන්, සැමන් ආදී වශයෙන් භාණ්ඩ 10ක් වෙළෙඳුන් මගින්ම යම් ස්ථාවර මිලකට අලෙවි කිරීම මෙයින් අදහස් කෙරේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන පරිදි මේ ක්‍රියාදාමය තුළින් වෙළෙඳුන්ගේද අභිමතය ප්‍රකාරව මෙම භාණ්ඩ දහය එක්තරා සාධාරණ මිලකට මාස 6ක් අලෙවි කිරීමට පසුබිම සකස් කර ඇත. එම මාස 6 අවසන් වූ පසුව යළි මිල වෙනස් කිරීමට අවශ්‍ය භාණ්ඩවල මිල පමණක් වෙනස් කරනවා ඇත. මෙම භාණ්ඩ අලෙවිය පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය සහ අභිමත වෙළෙඳුන් අතර ගිවිසුමකට යාම සිදුවේ. මෙම කාලය තුළ දෙපාර්ශ්වයෙන්ම ගිවිසුම උල්ලංඝනය නොකිරීමට වගබලා ගනී.

රටේ බඩු මිල වැඩිවීමට හේතු දෙකක් බලපානවා. එකක් වන්නේ නිෂ්පාදන ප්‍රමාණය අඩුවීම නිසා මිල ඉහළ යාමයි. ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවන විට මිල වැඩි වෙනවා. අනිත් හේතුව තමයි විනිමය ගැටලුව. රටේ විදේශ විනිමය පහළ යාමෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉහළ යනවා. මෙය පාලනය කිරීමට අපහසුයි.

ඔහු පවසන්නේ වෙළෙඳ අමාත්‍යාංශය මගින් සිදු කෙරෙනුයේ බෙදාහැරීමේ හා සැපයීමේ ගැටලුවලට මැදිහත් වී යම් සහනයක් සැලසීම පමණක් බවය. පසුගිය ආණ්ඩුව සමයේ මිල වැඩි වූ සෑම අවස්ථාවකදීම භාණ්ඩ ආනයනය කළ බව ඔහු කියයි. මේ නිසා බඩඉරිඟු, කහ, ගම්මිරිස්. මිරිස් ආදී බෝගවල ගොවීන් නැත්තටම නැතිව තිබේ. හාල් මිල අඩු කිරීමට ඉන්දියාවෙන් පොන්නි සම්බා ආනයනය කළේය. එයින් හාල් ගොවීන් අමාරුවේ වැටුණි. මේ ආණ්ඩුවටද එසේ කළ හැකි නමුත් එලෙස වැඩ කටයුතු නොකරන බව ඔහු පවසයි. ඔහු මෙසේ ද කියයි.

හාල්, බඩඉරිඟු, කහ, ලූනු, අල, මිරිස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ස්ථාවර මිලක් ඇතිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විට වගා සංග්‍රාමයක් ආරම්භ කර තිබෙනවා. තව කන්න දෙක තුනක් යනවිට අද පවතින මිල ස්ථිරවම පහළ යනවා. දැනට මිල වැඩිව ඇත්තේ අතරමැදියන් සහ අතිප්‍රාමාණික ලාභ ලබන වෙළෙඳුන්ගේ කූට වැඩපිළිවෙළ නිසයි.

ඔහුට අනුව මෙම භාණ්ඩ 10ක් ස්ථාවර මිලකට අලෙවි කිරීම එක්තරා කෙටිකාලීන වැඩපිළිවෙළකි. මෙම අඩු මිලට ගන්නා භාණ්ඩ 10 පෙබරවාරි සිට ජූලි දක්වා මාස හය තුළ ලංකා සතොස සහ සමුපකාර මගින් බෙදාහරිනවා ඇත. රජය දේශීය නිෂ්පාදකයන් සහ ඍජු ආනයනකරුවන් සමඟ ඉදිරි මාස 06 තුළ භාණ්ඩ සැපයීමේ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. පාරිභෝගික සේවා පනතේ 14 වගන්තිය අනුව මෙවැනි මිල ගිවිසුමකට එළඹිය හැකි වේ. වගකිව යුතු ආයතන ගිවිසුම අනුව කටයුතු කළ යුතු වෙයි. මෙතෙක් කල් හිටපු වෙළෙඳ ඇමැතිවරු ව්‍යාපාරිකයන් පැත්තේ සිටි නිසා මෙම 14 වගන්තිය අනුව කටයුතු නොකළ බව ඇමැතිවරයා කියයි. මෙතෙක් කල් භාණ්ඩ උපරිම මිල ගැසට් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් නොලැබුණු වගද ඇමැතිවරයා පිළිගනී.

ගැසට් ගැහුවට වඩා මෙම වැඩපිළිවෙළින් සාර්ථක ප්‍රතිඵල ලැබේ යැයි ස්ථිරවම බලාපොරොත්තු වෙනවා. ඇමැතිවරයා සහතික වෙයි.

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ වෙළෙඳ ඇමැතිවරයා මෙවැනි තීරණයක් ගැනීමට පෙර තම සංගමය සමඟ සාකච්ඡා කළ යුතු නමුත් එසේ කිසිදු දැනුම් දීමක් නොමැතිව මෙලෙස තීරණ ගැනීම අසාධාරණ බවය. පසුගිය දිනවල භාණ්ඩ මිල තීරණය කිරීමේදී ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා තම ව්‍යාපාරිකයන්ට උසාවි යාමට, දඩ ගැසුම් කෑමට වැනි අසාධාරණවලට මුහුණ දෙන්නට සිදු වූ බව ඔහු කියයි.

ඇමැතිතුමා ගත් මේ තීරණය ප්‍රායෝගික නැහැ. මීට පෙර මිල ගැන ගත් තීරණවලට අත්වූ ඉරණම තමා මෙයට ද අත්වෙන්නේ. දිවයිනේ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගෙන් සියයට 85ක් පමණ අපේ සංගමය සමඟයි ඉන්නේ. ඒ අය තමා පාරිභෝගිකයන් සමඟ ඍජුවම කටයුතු කරන්නේ. පසුගිය සමයේ ගත් තීරණ නිසා ආනයනකරුවන්ට කිසිදු පාඩුවක් වුණේ නැහැ. අපියි අගතියට පත් වුණේ.

යම් විදියකින් ගිවිසුම් ගැහුවත් ඒ මිලට භාණ්ඩ දෙන්න බැහැ. උදාහරණයක් ගතහොත් හාල්මැස්සන් කිලෝ 15ක ආනයනික පෙට්ටියකින් අලෙවි කරන්න පුළුවන් කිලෝ 10ක් පමණයි. තෙතට අයින් කරන්න වෙනවා. ලුණු සහ කුඩුවලට ඉවත් කරන්න වෙනවා. මේ විදියට අපතේ යන නිසා රුපියල් 2-3 ලාභ තබාගෙන මෙවැනි දේවල් අලෙවි කරන්න බැහැ. හාල්මැස්සන්, පරිප්පු, අල වගේ ආහාරවල මිල මාසෙන් මාසෙ වෙනස් වෙනවා. ඉතින් කොහොමද මාස හයක් එකදිගට එකම මිලකට දෙන්නේ.

ඔහු පවසන්නේ රජයේ සමීක්ෂණ වාර්තා අනුව ගිය කන්නයේ වී අස්වැන්න මාස 16කට සෑහේ යැයි වාර්තා කර තිබුණත් ඒ සමඟම බඩඉරිඟු ආනයනය නැවැත්වීම නිසා සත්ව ආහාරවලට හාල් ගැනීම හේතුවෙන් වී තොග හිඟ වී සහල් මිල ඉහළ ගිය බවයි. මෙවරත් අනිවාර්යයෙන්ම එය සිදුවන බව ඔහුගේ අදහසය. බඩඉරිඟු කිලෝව රුපියල් 225ක් හා සහල් කිලෝව රුපියල් 90ක් වූ විට වැඩි මිලට බඩඉරිඟු ගෙන සත්වයන්ට දෙන කෙනෙක් නොමැති බවත් අනිත් අතට දැනට ඇතිව ඇති සේනා දළඹු උවදුර නිසා ලබන කන්නයේ ඉඩඉරිඟු අස්වැන්න අඩුවීමෙන් හාල්වලට ඉල්ලුම ඉහළ යනු ඇති බවත් ඔහු කියයි.

ඩොලර් එක වෙනස් වීමද ආනයනවල මිල ඉහළ යාමට හේතු වෙනවා. සියල්ලටම පෙර රුපියලේ විදේශ අගය ස්ථාවර කරගත යුතුයි. එය දිනපතා වෙනස් වෙනවා නම් කොතරම් ගිවිසුම් ගැසුවත් වැඩක් වෙන්නේ නැහැ. ඇමැතිවරයා බලන්නේ ස.තො.ස ගැන පමණයි. අපේ ව්‍යාපාර කඩාවැටිල්ල ගැන ඔහු කිසිවක් කරන්නේ නැහැ. මුළු රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්න ස.තො.සට විතරක් පුළුවන්ද? පසුගිය වර භාණ්ඩ මිල ගැසට් කරන විට ආනයනකරුවන් අපට බඩු විකුණලා ඉවරයි. පාලන මිල නිසා අපේ අයයි අමාරුවේ වැටුණේ. ආනයනකරුවන් ගොඩ ගියා. ඒ නිසා භාණ්ඩ පිළිබඳ යම් තීරණයක් ගන්නා විට ඒකපාර්ශ්විකව ඒවා නොගෙන ආනයනකරුවන් වගේම අපි ද සම්බන්ධ කරගෙන සාකච්ඡා කළ යුතුයි. එසේ නොවුණු තැන එම මිල ප්‍රායෝගික වන්නේ නැහැ.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර පවසන්නේ සීනි වැනි ආනයන ද්‍රව්‍යවල මිල කරුණු දෙකක් නිසා නිතර වෙනස් වන බවයි. සීනි නිෂ්පාදන රටවල නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා මිල ඉහළ යාම මෙන්ම අපේ රුපියලේ විදේශ අගය ඩොලරයට සාපේක්ෂව නිතර වෙනස් වන නිසා මෙලෙස දිගු කාලයකට ස්ථාවර මිලක තබාගැනීම දුෂ්කර බව ඔහු කියයි. එසේම මේ දිනවල කොරෝනා වසංගතය නිසා නිෂ්පාදනය අඩාල වී ඇති අතර මිලද ඉහළ ගොස් ඇත. එය යළි අඩුවීමට හෝ වැඩි වීමට ඉඩ ඇති අතර එය කල් තබා නිරීක්ෂණය කළ නොහැකියි.

ආනයන බදු නිතර නිතර හදිසියේ අඩු වැඩි කරනවා. ස්ථාවර මිලක් තබාගන්නට නම් බදු ප්‍රතිශතයද ස්ථාවර විය යුතුයි. එසේම බදු අඩු කළ මොහොතේ සිට මිල අඩු වෙන්නේ නැහැ. එයට හේතුව ඒ වන විට වැඩි බදු යටතේ ආනයනය කර තිබෙනවා විය හැකියි. මෙම තත්ත්වය තේරුම් ගෙන මිල තීරණය කළ යුතුයි. එය ගිවිසුම් මගින් කළ යුතු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. සත්‍ය වෙළෙඳපොළ හා කටයුතු කරන විට මිල විචල්‍ය වෙනවා. එය එක තැන රඳවා ගන්න කරන උත්සාහය ප්‍රායෝගික නැහැ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. ඉලෙයිමනාදන්ගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු එකවරම පැවසුවේ මෙවැනි වැඩපිළිවෙළක් පිළිබඳව තවමත් තම සංගමය තීරණයක් ගෙන නොමැති බවය. ඒ පිළිබඳ සාකච්ඡා පැවතුණද තවමත් අවසන් විසඳුමක් ලැබී නැති බව ඔහු කියයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමේදී මිල ගණන් වෙනස්වීම පිළිබඳ අප ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළා. එහිදී ඔහු එකඟ වුණා එවැනි අවස්ථාවල මිල වෙනස් කිරීමට අනුමැතිය දෙන බවට. එහෙත් ඒ හැර සෙසු ගැටලුවලට මෙතෙක් විසඳුමක් ලැබිලා නැහැ. අපි එකඟ වන්නේ එම ගැටලු ද විසඳුණාට පසුවයි.

එම ගැටලු මොනවාදැයි විමසූ විට ඔහු පැවසුවේ ඒ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලැබෙන තුරු ඒවා මාධ්‍යයට අනාවරණය කළ නොහැකි බවය.

වෙළෙඳ ඇමැතිවරයා යෝජනා කළ වැඩපිළිවෙළ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසූ විට එහි උසස් නිලධාරියකු පැවසුවේ මෙම වැඩසටහන තම අධිකාරියේ මැදිහත් වීමෙන් සිදුවන වැඩසටහනක් නොවන බවය. ඒ පිළිබඳ අමාත්‍යාංශයෙන් විමසිය යුතු බව ඔහු පැවසීය. ඇමැතිවරයා සහ අදාළ සංවිධාන සමඟ සාකච්ඡා කර කිසියම් එකඟතාවකට පැමිණියහොත් ඒ පිළිබඳ අධිකාරිය දැනුවත් කරනු ඇතැයි යන්න ඔහුගේ අදහස විය.

මෙම භාණ්ඩ දහයක් ස්ථාවර මිලකට පාරිභෝගිකයන්ට ලබා දීමට වෙළෙඳ ඇමැතිවරයා ගන්නා ප්‍රයත්නය පිළිබඳ විමසූ විට පාරිභෝගික අයිතීන් සුරුකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ මෙම කතන්දරය පිළිබඳ තම සංවිධානයට කිසිදු විශ්වාසයක් නොමැති අතර මේ සියල්ල මාධ්‍ය සංදර්ශන බවය. ඔහු විමසන්නේ ගැසට් මගින් නීතිගත කරන ලද පාලන මිල පවත්වාගත නොහැකි ආණ්ඩුවකට මෙලෙස වෙළෙඳුන් සමඟ ගිවිසුම්වලට එළඹෙන මිලක් පවත්වාගෙන යා හැකිද යන්න ප්‍රශ්නයක් බවයි.

මේ ආණ්ඩුව තමා ගැසට්වලට තියෙන බය පවා නැති කළේ. ගැසට්වල මිල දොයිතුවකට නොසලකන වෙළෙඳුන් තමන් හිතු හිතූ මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය විවෘතව අලෙවි කරනවා. මෙයට අදාළ ආණ්ඩුවේ ආයතන නිෂ්ක්‍රීය වෙලා තියෙනවා. එවැනි පරිසරයක මෙලෙස භාණ්ඩ දහයක මිල අඩු කරනවා කියන කතාව හුදු ප්‍රලාපයක් පමණයි. ඇමැතිවරයා මෙයට පෙර පැවසූ කතාවල් ගැන විශ්වාසය පළුදු වුණා වගේම මෙම අදහස ද පිළිගන්න අපට පුළුවන්කමක් නැහැ.

ඔහු පවසන්නේ භාණ්ඩ මිල අඩු කිරීමට ආණ්ඩුව ගත්තාය කියන සියලු පියවරවල් අසාර්ථක වී ඇති අතර ඒවා ලිපිගොනුවලට පමණක් සීමා වී තිබෙන බවයි. වර්තමාන ආණ්ඩුව පත්වූවාට පසු අන් කවරදාකටවත් වඩා බඩු මිල ඉහළ ගොස් තිබෙන අතර, ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි. බඩු මිල අඩු කිරීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ. එසේම ඒ පිළිබඳ උනන්දුවක් නැහැ. සියල්ල කරන්නේ ජනතාව රැවටීමටයි. යනුවෙන් ඔහු තදින්ම අවධාරණය කරයි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා යැයි පාරිභෝගික සේවා අධිකාරියක් පිහිටුවා ඇති අතර එම ආයතනය නිසි ලෙස තම වගකීම ඉටු කරනවාද යන්න කීමට නොහැකි බව හෙතෙම පවසයි. කඩාපැන්නා, වැටලීම් කළා ආදී වශයෙන් මාධ්‍යවලට පැවසුවද ඒවායින් ප්‍රතිඵලයක් අත්නොවන බවද ඔහු කියයි. ඒ නිසා ජනතා විශ්වාසය පළුදු වී ඇති අතර තවදුරටත් ඔවුන් ආණ්ඩුවේ ප්‍රකාශ පිළිබඳ විශ්වාසය නොතබනවා ඇත යන්න ඔහුගේ අදහසය.

2003 අංක 9 දරණ පාරිභෝගික සේවා පනත අනුව කටයුතු කළ නොහැකි නම් ආණ්ඩුව කළ යුතුව ඇත්තේ එම පනත අහෝසි කිරීමයි. අක්‍රීය පනතක් තවදුරටත් බලාත්මකව තබාගැනීමේ ප්‍රතිඵලයක් නැහැ. මෙයින් සිදුවන්නේ නීතිය හෑල්ලුවට ලක් කිරීමක්. නීතියෙන් වැඩක් නැති රටක මේ ඇමැතිවරයා කියන මිල එකඟතා පිළිබඳ අපට විශ්වාසය තබාගන්න අපහසුයි. ඒ නිසා ඇමැතිවරයා කියන හැටියට මාස හයක් තියා මාස තුනක්වත් ස්ථාවර මිලක් තබාගත හැකිද යන්න ගැටලුවක්.

ඉදිරියේදී රටේ අසීමාන්තික මිල වැඩිවීම් පිළිබඳ පාරිභෝගිකයන්ද සහභාගි කරගෙන රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට තම සංවිධානය සැලසුම් කර ඇති නමුත් දැනට බලපවත්වන කොරෝනා මර්දනය නීති නිසා එම වැඩ කටයුතු දියත් කිරීම ප්‍රමාද වනු ඇතැයි ඔහු කියයි.

 යසවර්ධන රුද්රිගූ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00