2021 ජනවාරි 09 වන සෙනසුරාදා

කොඩිකන්ද නාහිමි ඝාතකයන් සොයා පොලීසිය ගිය ගමන

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 194

හිමිනමට පහර දී සිරකර තුන්දෙනා පාටි දාලා
අපචාර සිද්ධියට මුවා වී මුදල් - දේපළ කොල්ලකන සැලසුමක්
මළසිරුරට ඇඳුම් අන්ඳවා ත්‍රීරෝද රියක වාඩි කරවාගෙන ගිහින්

නාවාන කනත්තේ පරණ මිනී වළක් උඩ මිනියක් පිච්චෙනවා. පෙනුමට ගහලා මරලා දාලා වගේ... මහ රෑ ඉඳලා පිච්චෙනවා වෙන්න ඇති. ගමේ මිනිස්සු දැකලා තියෙන්නෙත් එළිය වැටෙන කිට්ටුව. මොන අපරාධයක්ද දන්නෙ නෑ...

කොටදෙණියාව - මීරිගම පාරේ නාවාන කනත්තේ පිළිස්සෙමින් තිබූ මළසිරුර ගැන කොටදෙණියාව පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු පණිවුඩයකි. වහාම එතැනට යැවූ පොලිස් කණ්ඩායමක් විසින් දැවෙමින් තිබූ සිරුර පිරිමි පුද්ගලයකුගේ බවට හඳුනාගෙන තිබිණ. නාසයෙන්, මුඛයෙන් හා කන්වලින් ලේ ගැලූ තුවාල සහිත සිරුරක් බවද හිස බූ ගා ඇති අයකු බවට ද හඳුනා ගැනිණ. කොළ පැහැති ඇඳ ඇතිරිල්ලක කොටස් අතර පඬු පැහැයේ රෙදි කැබැල්ලක්ද දකින්නට ලැබී ඇත. දැවෙමින් තිබූ මළසිරුර අබිරහස් ඝාතනයක් වන්නට ඇතැයි සැක කෙරුණේ සිදුවීම වාර්තා වූ පසුගිය 4 වැනිදා පාන්දරය.

නව වසර උදා වී දින දෙකක් ගෙවෙමින් තිබිණ. දෙවැනිදා රාත්‍රී 10.30 – 11.00 අතර වේලාවකි. හංවැල්ල, තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ නායක හිමියෝ නින්දත් නොනින්දත් අතර පසුවූහ. තවත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා කිහිපනමක් වැඩවිසුවද පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිටට වැඩම කොට තිබූ නිසා උන්වහන්සේලා එහි සිටියේ නැත. එහෙත් 70 සහ 33 වයසේ පසුවන පිය පුතු දෙපළක් එම ආරණ්‍ය සේනාසනයේ එදින රැඳී සිට ඇත. පුතා කලකට පෙර මෙම ආරණ්‍යයේ පැවිදිව සිට ඇත්තකු වන අතර නැවත පැවිදිවීමේ අදහසින් පියා සමඟ ඔහු පැමිණ සිටියේය.

මධ්‍යම රාත්‍රියට හෝරාවක් පමණ තිබියදී ආරණ්‍ය සේනාසනය වෙත කලබලයෙන් පැමිණි රතු පැහැති වෑන් රථයකි. ඉන් බැසගත් හත් අට දෙනෙකි. සැතපී සිටි ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම හිමියන්ට කතා කර දොර විවෘත කරවාගෙන තිබුණේ කාන්තාවකි. ඒත් සමඟ ඇය පසුපස සිටි පොලු මුගුරු රැගත් පිරිසක් ස්වාමින් වහන්සේට පහර දී තිබිණ. සිදුවීම දකිමින් එහි රැඳී සිටි පිය පුතු දෙපළ වෙත කඩා පීනූ මැරයෝ සතු ජංගම දුරකතන උදුරා සිම්පත් කඩා දමා “කිසිම දෙයක් කියන්න එපා.. කීවොත් මරනවා” යැයි තර්ජනය කොට දණගැස්වූහ. ආරණ්‍යයේ විදුලිය විසන්ධි කර එසැණින් පහරදුන් හිමිනමව ද කුදලා වෑන් රථයට පටවාගෙන පලා යාමට පිරිස සමත්ව තිබිණ.

ගල්නෑවේ තරුණ හිමියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එම ආරණ්‍යවාසී හිමිනමකි. උන්වහන්සේ මාවනැල්ල ප්‍රදේශයට වැඩම කොට සිට යළි පැමිණ තිබුණේ නායක හාමුදුරුවන් පැහැරගෙන ගොස් මිනිත්තු කිහිපයක් ගතවූ පසුවය. එහෙත් මැර පිරිසේ තර්ජනයට බියෙන් උන්වහන්සේට යමක් පැවසීමට පිය පුතු දෙපළ උත්සාහ කොට නොතිබුණි. යම් අකරතැබ්බයක් වූ බවට කිසිවක් පෙනෙන්නට නොවූයෙන් ගල්නෑවේ හිමියෝ සැතපුණහ. සුපුරුදු පරිදි පසුදින අවදි වූ උන්වහන්සේ හමුවට හා පිය පුතු දෙපළ පෙර දා රාත්‍රියේ වූ සිදුවීම විස්තර කළෝය. අනතුරුව ක්‍රියාත්මක වූ උන්වහන්සේ හංවැල්ල පොලීසිය වෙත වැඩමකොට සිදුවීම විස්තර කොට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මේ අතර ආරණ්‍යයේ සිටි පිය පුතු දෙපළගෙන් පුතා එදින පැමිණි මැරයන් අතර සිටි කාන්තාව හඳුනාගෙන තිබුණි. ඒ ඇය ආරණ්‍යයේ සාමණේර හිමිනමකගේ මවක හැටියටය.

උඩුවිල සිරිධම්ම හිමියන්ට පහර දී පැහැර ගැනීමෙන් දිනකට පසුව උදෑසන කොටදෙණියාව නාවාන කනත්තේ නාඳුනන මළසිරුරක් පිළිස්සෙන බවටත් එය හඳුනා ගැනීම සඳහා සහාය වෙන ලෙසටත් දන්වමින් පොලිස්ථාන හරහා හුවමාරු වූ පණිවුඩ අනුව දැනුම්වත් වූ ගල්නෑවේ හිමියෝ එම ස්ථානයට ගොස් මළසිරුර හඳුනා ගත්හ.

මෙම ඝාතන අබිරහස සෙවීමට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත බාර කර තිබුණි. ඒ අනුව විමර්ශන සිදුවෙමින් තිබියදී නිලධාරීන් පිරිසක් ආරණ්‍යයේ සිටි පිය පුතු දෙපළගේ සාක්ෂි මත සාමණේර හිමිනමකගේ මව පියා වෙසෙන හොරණ ප්‍රදේශයේ නිවෙසක් සොයා ගොස් තිබිණි. එහෙත් මව පියා එහි නොසිටියද මිත්තණිය සමඟ අයියා සහ නැගණිය එහි රැඳී සිට තිබුණේ සාමණේර හිමිනම සමඟය. නිවෙසේ නවතා තිබූ යතුරුපැදියක් පිළිබඳව විමසීමේදී එය සුමිත් නැමැත්තකුගේ බවත් යතුරුපැදිය නිවෙසේ දමා ඔහු සිය මව සමඟ දිනකට පෙර නිවෙසින් ගිය බවත් ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සුමිත් විවාහකයකු වන අතර බිරිය පොලිස් කොස්තාපල්වරියකි. ඒ පිළිබඳ විස්තර සොයමින් සිටි විමර්ශන කණ්ඩායමේ (84762) කුමාර නිලධාරියාට ලැබුණු තොරතුරකින් කියා තිබුණේ සැකකාර යුවළක් තලවතුගොඩ ජෝතිකාරාම පාරේ අලුතින් ඉදි කරන නිවෙසක සිටින බවය. වහාම ක්‍රියාත්මක වූ නිලධාරීහු තොරතුර අනුව ගොස් අදාළ නිවෙසේ රැඳී සිටි යුවළ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහ. මේ අතරතුර හංවැල්ල පොලීසිය වෙත පැමිණි ඩෙලිකා වර්ගයේ රතු පැහැති වෑන් රථයකි. එය පදවාගෙන ආ තැනැත්තා පොලීසිය හමුවේ එකිනෙක කරුණු හෙළි කරන්නට පටන් ගත්තේය.

අත්අඩංගුවට ගත් කාන්තාව තලවතුගොඩ රැඳී සිට තිබුණේ අනියම් සැමියා සමඟය. ඇයට දරුවන් තිදෙනකි. මුරුක්කු සකසන ව්‍යාපාරයක් නිත්‍යානුකූල සැමියා සමඟ සිදු කරන නමුත් කොවිඩ් වසංගතය හමුවේ එය තරමක පසුබෑමක පවතී. නමුත් VOC භාණ්ඩ රැස්කර විකිණීම හා දේපළ විකිණීම සම්බන්ධ බ්‍රෝකර් කටයුතුවල මේ කාන්තාව කලක සිට නිරතව සිටී. ඒ සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ඇය ගමන් කරන්නීය. අනියම් සැමියා ඊට සහාය වන්නෙකි. බොරැල්ල වනාතමුල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශවලත් මේ ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් වෙති. ඔවුන් මැයගේ හිතවතුන්ය. මේ කාන්තාවගේ එක් දරුවෙක් වසර තුනකට පමණ පෙර හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍යයේ පැවිදි විය. වරෙක සිවුරු හැරදමා ගිය ඔහු නිවැසියන්ට පවසා තිබුණේ ලොකු හාමුදුරුවන්ගෙන් හිරිහැර සිදුවන බවය. නිවැසියන් කරුණු විමසා සමතයකට පත්වූ පසුව දරුවා නැවත පැවිදි කිරීමට කටයුතු කර තිබූ බව කියති. එහෙත් මීට දින කිහිපයකට පෙර එම සාමණේර හිමියන් නිවැසියන්ට බල කර යළිත් සිවුර පිටින්ම නිවෙසට ගොස් ඇත. එහිදී කියා ඇත්තේද පෙර කරුණම බව වාර්තා වේ. මේ හේතු නිසා සාමණේර හිමියන්ගේ මව නායක හිමියන් සමඟ පසුවී ඇත්තේ දැඩි කෝපයකිනි. මේ සම්බන්ධයෙන් ඇය විවාහක සැමියා හෙවත් සාමණේර හිමියන්ගේ පියාට කරැණු කීවද පිළියමක් වී නැත. මේ නිසා සිය දරුවා වන සාමණේර හිමියන් නිවෙසේ තබාගෙන අනියම් සැමියා සමඟ එක්ව කතා කර ඇත්තේ උඩුවිල සිරිධම්ම හිමියන් ගැනය. උන්වහන්සේ සතුව ඇති මුදල් සහ දේපළ වටිනාකම ගැනය. ඒ හරහා දරැවාට වන අසාධාරණයට එරෙහිව පළිගැනීම යටි අරමුණ වී තිබිණි.

බ්‍රෝකර් රැකියාවේ හා VOC භාණ්ඩ ව්‍යාපාරයේ හිතවතුන් ඒකරාශී කරගෙන තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍යයට ගොස් තිබුණේ එම සැලැස්මට අනුවය. එදින රාත්‍රියේ සැතපී සිටි හිමිනම අවදි කරගෙන යම් යම් කරුණු පිළිබඳව විමසා ඇති බවත් එහිදී හිමිනම හා කාන්තාව අතර වූ සංවාදය තරමක් රළු එකක් වූ බවත් සඳහන්ය. ඉන් පසුව පැමිණි පිරිස පොලු මුගුරුවලින් උඩුවිල සිරිධම්ම හිමියන්ට පහර දී එතැන රැඳී සිට පිය පුතු දෙපළකට තර්ජනය කොට හිමිනම පැහැරගෙන වෑන් රථයෙන් පලාගොස් තිබුණේ දුරකථන හා විදුලි සබඳතා සියල්ල අක්‍රීය කරමිනි.

පලාගිය වෑන් රථය නවත්වා තිබුණේ සපුගස්කන්ද මාකොළ ගුණරත්න පාරේ අතුරු මාර්ගයක් වූ උදාන මාවත අසල දෙමහල් නිවෙසකය. නිවෙස් හිමියා සිසිර නැමැත්තෙකි. ඔහු මේ දෙපළගේ ළඟ හිතවතෙකි. ඔහු ඩුබායි සිට නිවාඩුවක් සඳහා පැමිණි අයෙකි. අත පය ගැටගසා පහර කෑමට ලක්වූ හිමිනම එම නිවෙසේ පහළ කාමරයක රඳවා පිරිස උඩුමහලට වී සිට ඇත. ඒ තිදෙනා මධුවිත සප්පායම් වෙමින් සිට ඇති අතර වෑන් රථයේ පැමිණි සෙසු පිරිස වෙනත් වාහනවලින් පිටත්ව ගොස් තිබුණි. මේ අතර අලුයම 4ට පමණ ශබ්දයක් ඇසී සෝදිසි කිරීමේදී සිහි විසඥව සිටි හිමිනම සිහිය ලබා රහසේ පැන යන්නට උත්සාහ ගන්නා බව දැක යළිත් වරක් පහර දී කුදලාගෙන කාමරයට දමා අත පය ගැටගසා කටට පාංකඩ ඔබා සිරකර ඇතැයි පැවසේ.
එයින් හෝරාවක් දෙකක් ගෙවුණු පසුව හාමුදුරුවන්ගේ හැලහොල්මනක් නොවූයෙන් පරීක්ෂා කිරීමේදී හිමිනම මියගොස් සිටි බව හඳුනාගෙන ඇත. ඒ අනුව මළසිරුර එම නිවෙසේ දවසක් පුරා රඳවා තබාගෙන තිබුණේ එය විනාශ කිරීමට සුදුසු වෙලාවක් පැමිණෙන තෙක්ය. එහිදී කාන්තාවගේ අනියම් සැමියා යෝජනා කර තිබුණේ මළසිරුර ගම්පහ ප්‍රදේශයේ කෙළවරක තිබෙන පාළු තැනකට ගෙන ගොස් දැමීමටය. ඔහු එසේ යෝජනා කරන්නේ ඔහුගේ උපන් ගම ඒ ආසන්න ප්‍රදේශයක වීම නිසාය. හිමිනම පැහැරගත් අවස්ථාවේ ආරණ්‍යයේ තිබූ ඇඳඇතිරිල්ලකින් ගැටගසා රැගෙනවිත් තිබූ අතර මාකොළ රඳවා තිබූ නිවෙසේදී සිවුර ඉවත් කර කලිසමක් කමිසයක් අන්ඳවා මුහුණට මුඛ ආවරණයක් පළඳා තවත් ඇඳඇතිරිල්ලක් පොරවා රෝගියකු සේ ත්‍රීරෝද රථයක නංවාගෙන තිබේ.

මළසිරුර ත්‍රීරෝදයේ මැද අසුනේ තබා අනියම් සැමියා හා අනෙක් පුද්ගලයා දෙපස සිට කොටදෙණියාව දෙසට ගොස් තිබුණි. ත්‍රීරෝද රථය පසුපස ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් කාන්තාව ගොස් තිබෙන අතර ඇය ඉන්ධන පිරවුම් හලකින් රුපියල් දහසක් ගෙවා පෙට්‍රල් මිලට ගෙන තිබිණි. ඔවුන්ගේ ගමනාන්තය වී තිබුණේ නාවාන කනත්තය. එතැන පිහිටි මළසිරුරක් මිහිදන් කළ වළක් මත ඝාතනය කරන ලද හිමියන්ගේ සිරුර තබා ඒ මතට ඇඳඇතිරිලි දෙකක්ද දමා පෙට්‍රල් වත්කර ගිනි දල්වා පලා ගොස් තිබිණ.

මාකොළ පදිංචි මිතුරා ඔහුගේ නිවෙසට ගියද කාන්තාව හා අනියම් සැමියා තලවතුගොඩ දෙසට ගොස් ඇත. මේ අතර සිසිර නැමැත්තා තම නිවෙසේ දමා ගිය වෑන් රථය හොරණ ප්‍රදේශයේ කාන්තාවගේ නිවෙසට රැගෙන ගොස් ඇගේ ස්වාමියාට බාර කර සිද්ධිය පිළිබඳ යම් විස්තරයක් පවසා නැවත පිටත්ව ගොස් ඇත. ඒ වන විටත් තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍යයේ නායක ස්වාමින් වහන්සේගේ පැහැර ගැනීම සැලවී සිටි ස්වාමිපුරුෂයා එම වෑන් රථය රුගෙන හංවැල්ල පොලීසියට පැමිණ බාර වී තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව, අනියම් සැමියා හා නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සමඟ සිසිර නැමැත්තා අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිති.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් පෙරේරා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක හේමන්ත, උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්, සාජන්වරැන් වන 21284 බණ්ඩාර, 40248 ප්‍රසන්න, 72338 ලලන්ත, 69598 අනිල්, 77688 අමිල, 84762 කුමාර, 81601 සමීර, පොලිස් කොස්තාපල් රියැදුරු 18818 තිලකසිරි, 20545 රණවීර, 20462 හරින්ද්‍ර සමඟ කාන්තා පොලිස් කොස්තාපල් 10648 කෞෂල්‍යා යන අය පරීක්ෂණ මෙහෙයවති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර