2021 ජනවාරි 02 වන සෙනසුරාදා

එළවළු මාෆියාව දණගස්වන කෘෂිකර්මේ අලුත් ක්‍රමේ

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

ආර්ථික මධ්‍යස්ථාන ඉදිකරන ලද්දේ සුළු පරිමාණ නිෂ්පාදකයාගේ වියදම අවම කර ගැනීම, පසු අස්වනු හානිය අවම කර ගැනීම, තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ගොවි ජනතාවට ලබාගැනීම, තොග වෙළෙඳුන්ට අතරමැදියන් නැතිව කෘෂි නිෂ්පාදකයාගේ නැවුම් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම, තරගකාරී අලෙවි පරිසරයක් නිර්මාණය කිරීම, විශේෂිත වූ කෘෂි නිෂ්පාදන රටේ සියලු දිස්ත්‍රික්කයනට බෙදාහැරීමේ අවස්ථාව උදා කරදීම ආදී අරමුණු රැසක් පෙරදැරි කරගෙනය.

වර්ෂ 1998 දී ගම්බද ප්‍රදේශවල ජීවත්වන ගොවීන්ගේත්, නිෂ්පාදකවරුන්ගේත් බෝග වගාවන් ඉතා ක්‍රමවත් පිළිවෙළක් යටතේ අලෙවි කිරීම උදෙසා රට පුරා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ඇති කෙරිණි. වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර සහ පාරිභෝගික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන දඹුල්ල, මීගොඩ, රත්මලාන, වැලිසර, නාරහේන්පිට, පිළියන්දල ඇතුළු දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙලෙස ශ්‍රී ලංකාව පුරා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිහිකිරීමේ පරමාර්ථ කිහිපයක් සඳහන් වේ. එනම් සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ ප්‍රවාහන වියදම් සහ ප්‍රවාහනයේදී සිදුවන අපතේ යාම් අවම කර ගැනීමේ අවස්ථාව එම නිෂ්පාදකයන්ට ලබාදීම, ඉලක්කගත වෙළෙඳපොළක් සපයා දීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදකයන්ට ස්වකීය බෝග සඳහා සාධාරණ මිල ගණන් ලබාදීමට වගබලා ගැනීම, තොග වෙළෙඳුන්ට අතරමැදියන් නොමැතිව නිෂ්පාදකයන්ගෙන් අලුත් පළතුරු සහ එළවළු මිලදී ගැනීමේ අවස්ථා ලබා දීම, ආහාර ද්‍රව්‍ය අඩු මිලකට ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබාදීම, තොග වෙළෙඳුන්ට තරගකාරී අලෙවි පරිසරයක් සැපයීම මගින් ව්‍යාපාරික ප්‍රජාව දිරිගැන්වීම සහ යම් යම් ප්‍රදේශවල විශේෂ වූ කෘෂිකාර්මික නිෂ්පාදන දිවයිනේ සියලුම ප්‍රදේශවල ජනතාවට බෙදාහැරීමේ අවස්ථාව සැලසීම ඒවා අතර වේ. 

කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ එළවළු මිල ඉහළ යාමෙන් නිර්මාණය වූ  එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් ඍජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ පසුගියදා  ආරම්භ විය.

දිවයිනේ සියලු ප්‍රදේශවල වගා කරන එළවළු නව වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මගින් ගොවියාගෙන් මිලට ගෙන ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ ප්‍රජාවට අලෙවි කරන අතර, එහිදී ප්‍රවාහන ගාස්තු පමණක් අය කරනු ලැබේ.

එලෙස මිලට ගන්නා එළවළු සිල්ලර වෙළඳාමේදී කිලෝවකින් රුපියල් 20ක්, තොග කිලෝවකින් රුපියල් 10ක් ලෙස ලාභයක් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතු අතර, මිල ප්‍රදර්ශනය හා ප්‍රදර්ශනය කොට ඇති මිලට අලෙවි කිරීම අනිවාර්ය කර තිබේ.

නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ පසුගිය 22 වැනිදා දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් අනෙකුත් දින හා සංසන්දනය කිරීමක් සිදු කළ අතර, ඒ අනුව සෑම එළවළු කිලෝවක්ම රුපියල් 40,50ක් අතර මිලකින් පහත හෙළීමට රජයේ නව වැඩපිළිවෙළ සමත්ව ඇති බව සංඛ්‍යාලේඛන මගින්ම සනාථ විය. මෙම සියලු එළවළු ප්ලාස්ටික් අසුරණයන්හි අසුරා රැගෙන එන අතර, 30%ක ප්‍රවාහනයේදී සිදුවන හානිය ඒ තුළින් නතර වන අතර, එහි ලාභය ද පාරිභෝගික ජනතාවට ලබාදීම නව වැඩපිළිවෙළ තුළින් සිදු කෙරේ. 

දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ යටතේ සේවය කරන රජයේ නිලධාරීන් සහ ගොවි සංගම් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

 හසිත් අංජන

කිලෝවකින් රු. 50ක් අඩු වෙනවා
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

පසුගිය දවස්වල එළවළු මිල ඉහළ ගියා. ජනාධිපතිතුමා අප කැඳවලා කිව්වා මේ සඳහා මැදිහත් වෙන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. ගොවියාටත්, පාරිභෝගිකයාටත්, වෙළෙන්දාටත් නැති ලාභයක් අතරමැදියන් පිරිසක් ගන්නවා. ඒක නතර කිරීම තුළින් පුළුවන් සාධාරණ මිලක් එළවළුවලට වෙළෙඳපොළ තුළ නිර්මාණය කරන්න අපි අතගැහුවේ ඒ වැඩපිළිවෙළට. මේ තුළින් රජයක් විදිහට ගොවියාත්, පාරිභෝගිකයාත් මේ ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳාම් කරන වෙළෙඳ ප්‍රජාවත් තුන්ගොල්ලන්ම අපි ආරක්ෂා කරනවා.

 අද ඊයේට වඩා හැම එළවළු කිලෝවකින්ම රුපියල් 40 - 50ත් අතර ගාණක් අඩුයි. ප්‍රවාහනය සඳහා කිලෝවකින් රුපියල් 5ක් වැනි සුළු මුදලක් පමණයි කෘෂිකර්ම අමාත්‍යාංශය අය කරන්නේ. ඒ සියලු ලාභය අපි පාරිභෝගිකයාට දෙනවා. මේක වගේ නියම වැඩසටහනක් තමයි පසුගිය 22දා ආරම්භ කළේ. මේ සතියේ සිට සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙම නව වැඩපිළිවෙළ පටන් ගන්නවා.