2021 ජනවාරි 02 වන සෙනසුරාදා

කොවිඩ් මඩින දේශීය ඖෂධ ගැන විධිමත් පරීක්ෂණයක් ඇරඹේ!

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

වසංගතය ආවේ පස්මහ බැලුම් බලා නොවේ. එය විනාශය ගෙන එන්නේද උප්පැන්නය බලා නොවේ. ඉකුත් වසර ගෙවී ගියේ කොවිඩ්-19 සිය ගොදුරු ගැනීමේ වේගය ක්‍රමක්‍රමයෙන් ඉහළ දමමින් සිටියදීමය. ලංකාව තුළ මරණ 200+ ද ඉක්මවා වාර්තා වෙමින් රෝග ආසාදිතයන් ගණන 45,000+ටද ආසන්නව තිබේ. ඉතිහාසගත වසංගතයක ඉරණම්කාර ගොදුරු බවට පත්ව සිටියදීත් ජීවත්ව සිටිනවුන් එයින්   ගලවාගන්නා උප්පරවැට්ටියක් සොයාගන්නට උත්සාහ ගන්නවා වෙනුවට අපේ සමහරුන්ට විසඳා ගත යුතු වැදගත්ම කාරණාව වී තිබුණේ කොවිඩ්-19 මළ කඳන් සඳහා අත්වන අවසන් ඉරණමය. රටේ ඉන්නා තරම් විශේෂඥයන්ද එක්කර ගනිමින් ඖෂධයක් සෙවීම වෙනුවට අවසන් ගමන යන ආකාරය තීන්දු කර ගැනීමට ගත් අවසාන උත්සාහය ද වතුරේ ගිය බවක් වසර අවසන් දින කිහිපයේදීද කැපීපෙනුණු කාරණාවකි. දේශපාලනික අතකොළුවක් බවට පත් කරගත් වසංගතයෙන්, තමන් එලෝ යන ක්‍රමය  ගැන කෙස් පැලෙන තර්ක මතු කරමින් කෙහෙවලු පටලා ගන්නට ඇතැමුන් කටයුතු කරද්දී අපේ රටේ වාසනාවට තවමත් මෙරට හැරදමා නොගොස් මෙහි රැඳි, අවම පහසුකම් යටතේ පර්යේෂණ කරන්නට තීන්දු කර ඇති විද්වතුන් පිරිසක් දේශීය පාරම්පරික දැනුම අවුස්සා - පිරික්සා බලා යුගයේ ඉරණම්කාර භීෂණයෙන් ජීවිත ගලවා ගන්නට මඟක් සොයා දෙන්නට උත්සාහ දරන බවට ලද ආරංචිය අලුත් වසරේ සුබ ආරංචිය බවට පත්වී හමාරය.

මළ කඳන් ගැටුම!

වසර අවසන් දිනයේ පවා රටේ කතාබහට ලක්ව තිබුණේ ජීවත්ව සිටිනවුන් රැකගැනීම නොව මළමිනී සඳහා පිළිපැදිය යුතු වත්පිළිවෙත් ගැන විවාදයයි. මළ මිනී වළදැමීම හෝ පුළුස්සා දැමීම පිළිබඳ තීන්දුවක් ගැනීමට පත්කර තිබූ විශේෂඥ කමිටු දෙකෙහිම සාමාජිකයන් වසර අවසන් දින අවසන් තීන්දුවක් නොමැතිවම විසිර ගිය බවද වාර්තා විය. අලුතෙන් පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව වසරේ අවසන් දින නිකුත් වූ බව කීවද, එය සම්බන්ධයෙන් එදිනම විරෝධතා නැවත මතුවිය. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ විරෝධයේ පෙරමුණ ගත් පිරිසකි. රජයේ රෝහල් සතු අතිශය සීමිත සම්පතක් වන ශීතකරණ කොවිඩ් සිරුරු කල් තබා ගැනීමට යොදාගැනීමේ වැඩපිළිවෙළ ද ඔවුන්ගේ දැඩි අප්‍රසාදය එල්ල වූ කාරණාවකි. අයිතිකරුවන් හඳුනාගන්නා තුරු අනන්‍යතාව අවිනිශ්චිත සිරුරු රඳවාගන්නට යොදාගත් මේ පහසුකම බලහත්කාරයෙන් මෙන් අධිකරණ ඇමැතිවරයා භාවිතයට ගෙන අලුතෙන් ශීතකරණ පවා ගෙන්වන්නට කටයුතු කළ ආකාරය ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ. කොවිඩ් සිරුරු මෙසේ රඳවා ගැනීම වෛරසය සුරක්ෂිත කර රඳවා ගැනීමක් ලෙස දක්වන ඔවුහු අධිකරණ ඇමැතිවරයා ඉතිහාසයේ පෙර කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට සිය රාජකාරියට ද බලපැම් කරමින් වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බව කියයි. 

කොරෝනා වෛරස ආකර!

ගාල්ලේ දින පහක් පමණ මෙසේ ගබඩා කර තිබූ මළසිරුරක් පී.සී.ආර් සඳහා පරීක්ෂා කළ වතාවන් තුනකදීම ඒවායේ වෛරස සහිත බවට (පොසිටිව්) සනාථ වූ බව ඔවුහු පෙන්වා දෙති. ඉතා දැඩි කැපකිරීමකින් රටේ කොවිඩ් රෝග පැතිරීම පාලනයකට ලක් කර තිබියදී මේ ලෙස කොවිඩ් වෛරස ආකර රට පුරා ගොඩගසා ගැනීම බරපතළ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමක් ලෙස ඔවුහු විස්තර කරති‍‍.

මේ අතර ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන “කොරෝනා මරණ කළමනාකරණ” ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සිදු කරනු ලබන අනවශ්‍ය මැදිහත්වීම හෙළා දකිමින් ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

කමිටු වාර්තාව කෝ?

එහි කිට්ටුම සිද්ධිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට තර්ජනය කිරීමේ විලාශයෙන් හැසිරීම පිළිබඳ සිද්ධියක් පෙන්වා දී තිබේ.

මෙලෙස මළකඳන් කළමනාකරණය සම්බන්ධව හටගත් විවිධ මතවාද රැල්ල දේශපාලනික අලකලංචියක් බවට වෙස් පෙරැලෙද්දී විද්වත් කමිටු වාර්තාව පිළිබඳ විමසීම් ද ඉහළ ගියේය.

විද්‍යාත්මක දැනුම සපිරි විශේෂඥයන් සහිත තාක්ෂණ කමිටුවක් රැස්වී ගත් අලුත් තීන්දුව රටට ජනතාවට හෙළිකර එය විධිමත්ව නීතිගත කර නොපමාව ක්‍රියාත්මක කිරීමෙන් රට තුළ මතුව ඇති මේ අවිධිමත් නොසන්සුන්තාව ඉක්මනින් සමනය කළ යුතු බව කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේය.

මේ වන විට සෞඛ්‍ය ඇමැතිවරිය වෙත ලබා දී ඇති එම කමිටු වාර්තාව අනුව මළ කඳන් සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට නියමිතය. නමුත් මේ වාර්තාව සහ එහි තීන්දුව ගැන ද අධිකරණ වෛද්‍ය නිලධාරීහු විරෝධය පාති. මළ කඳන් පිළිබඳ කඹ ඇදිල්ල එසේ පවතිද්දී රටේ ජනතාවගේ දිවි රැකදීම සඳහා ගත යුතු නව පියවර ගැන වෙනත් පිරිසක් අවධානය යොමු කර තිබුණි.

ලෝකයට සාපේක්ෂව අප රට තුළ කොවිඩ් පාලනයට පියවර රැසක් ගෙන ඇති අතර ඒ සඳහා නව වසර තුළද විධිමත් පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එන්නත් ඉක්මනින්ම! 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට කොවිඩ්-19 වසංගත කාලය තුළ රුපියල් බිලියන 100ක් පමණ වැය කරමින් මෙතෙක් සිදු කළ කොවිඩ් රෝග පාලන සුබසාධන වැඩපිළිවෙළ තවදුරටත් වැඩි වර්ධනය කර සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා නව පියවර කිහිපයක්ම ගන්නට නියමිතය.  පාසල් සහ උපකාරක පන්ති අරඹමින් රැකියා ස්ථාන විවෘත කර ආර්ථිකය සවිබල ගන්වා ක්‍රමක්‍රමයෙන් රට විවෘත කිරීම එයින් ප්‍රධානය. කොවිඩ්-19 වැළැක්වීම සඳහා දැනට පිළිගෙන ඇති එන්නතක් කඩිනමින් ලබාගැනීම අනෙක් ප්‍රධාන කාරණාවය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා මගින් එන්නත් ලබාගැනීම කඩිනම් කර ගැනීම අපේක්ෂාවයි. මෙහිදී අපට උපකාරී වීමට ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ඉදිරිපත්ව සිටියි. ඒ සඳහා ඩොලර් බිලියන 85ක් දෙන්නට ඔවුන් කැමැති වූ බව වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා කියයි.ඒ හැර ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනගහනයෙන් සියයට 20ක් සඳහා එන්නත් ලබාදෙන්නට සුදානම්ව සිටියි. තවත් සියයට 10ක එන්නත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් මේ වන විටත් ඉදිරිපත්ව සිටියි. විනයක් සහිතව සෞඛ්‍ය රීති අනුගමනයට උනන්දු කරවා කොවිඩ් වසංගතයට මුහුණ දී එයින් ජනතාවගේ ජීවිත බේරාගැනීම ඉදිරි වසරේ සිය රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ බව වෛද්‍ය අමල් හර්ෂ පෙන්වා දෙයි.

අලුත්ම පර්යේණයක්!

නව වසරේ වඩාත් උත්කර්ෂවත්ම ආරංචිය ලැබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොවිඩ් වෛරස පර්යේෂණ පිළිබඳ වගකීමට උර දී සිටින මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රධාන විද්‍යාඥ කණ්ඩායම වෙතිනි. අපේ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම උදෙසා එන්නත් ආදී බාහිර ආධාර ගැන අනියත බලාපොරොත්තු මත නොරැඳී අපේ පාරම්පරික වෛද්‍ය දැනුම භාවිතයට ගනිමින් වෛරස මර්දනයට හෝ ප්‍රතිශක්ති වර්ධනයට සමත් නිශ්චිත ඖෂධයක් හෝ සංයෝගයක් විධිමත්ව විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා පුළුල් පර්යේෂණයක් ඇරඹීම ඔවුන්ගේ නව වසරේ අලුත්ම එළැඹුමයි. මුලින්ම ජාතික වසංගත රෝග විද්‍යා ආයතනය (අයි.ඩි.එච්) සහ හෝමාගම රෝහල ආශ්‍රිතව තෝරාගත් කොවිඩ් රෝගීන් සඳහා පර්යේෂණාත්මකව මේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ඖෂධ ලබා දී ඒවායේ සඵලතාව කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට ඔවුහු බලාපොරොත්තුව සිටිති. මේ සඳහා දැනටමත් තමන් වෙත ලැබී ඇති විධිමත් ඖෂධ කිහිපයක් මුලින්ම යොදාගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒවා පරීක්ෂාව සඳහා යොදා ගැනීමට අවශ්‍ය ආයුර්වේද කමිටු අනුමැතිය සඳහා මේ වන විට යොමුකර ඇති බවත් මහාචාර්ය නීලිකා මලවිගේ කියයි. නව වසරේ මුල් සති කිහිපය තුළම මේ අනුමැතිය ලද වහාම තමන් මේ රටට වැඩදායී මිනිස් ජීවිත රැකගැනීමට ඉවහල් වන ඔසු සොයා යාමේ පුළුල් පර්යේෂණය අරඹන බව මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය.

කොවිඩ් වෛරසය පිළිබඳ මූලික මට්ටමේ සිටම රට තුළ පර්යේෂණ රැසක්ම සිදුකර ඇති මේ කණ්ඩායම වෙත දැන් ලංකාව තුළට එංගලන්ත වෛරස මාදිලිය ඇතුළු වී ඇත්දැයි සෙවීමේ වගකීම ද පැවරී ඇත. ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ විද්‍යාත්මක දැනුම ඇත්තේ ඔවුනටය. පසුගිය සැප්තැම්බරයේ පමණ සිට පැතිර ගිය බව වාර්තා වන මේ නව වෛරස ප්‍රභේදය අප රටට ඇතුළු වීමට ඇති අවදානම අඩු නැති බව මහාචාර්ය නීලිකා කියයි. නමුත් එය රට තුළ තිබෙන බවට තවමත් සාධක හමුවී නැති අතර ඉදිරි සතියේ සිදුකරන්නට නියමිත මෙම වෙන්කර හඳුනා ගැනීමේ පරීක්ෂණ මගින් නිශ්චිත පිළිතුරක් ලබාදෙන්නට හැකිවෙතැයි ඇය විශ්වාසය පළ කරයි. 

 සුගත් පී. කුලතුංගආරච්චි