2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ආදාහනයද? භූමදානයද?

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

වසංගත තත්ත්වයකදී ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ සෞඛ්‍ය පිළිවෙත්වලටය. රටේ බහුතරය බෞද්ධ වන අතර, ඔවුන් මළසිරුරකට ගෞරව දක්වන නිශ්චිත විධි ගණනාවක් තිබේ. එහෙත් කොවිඩ් ආසාදිතයකු මිය ගියහොත් ඒ කිසිදු චාරිත්‍රයකට ඉඩක් නැත. බෞද්ධ ජනතාවට එය ඉවසා දරාගැනීමට සිදු වී ඇත. කොවිඩ් වසංගතය නිමාවක් වනතුරු මේ දරාගැනීම කළ යුතුය. එය කාගේත් යහපත උදෙසා සිදු කරන කැප කිරීමකි. 

වත්මන් ආණ්ඩුව කොවිඩ් සම්බන්ධිත සෑම තීන්දු - තීරණයක්ම ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය කමිටුවක නිර්දේශවලට අනුවය. එය මේ මොහොතේ ගෙන ඇති වැදගත්ම තීන්දුවක් සේ සැලකිය හැකිය. දේශපාලකයන් කොවිඩ් පිළිබඳ තීරණ ගන්නට ගියහොත් අවුල් ගණනාවක් ඇතිවන්නට ඉඩ තිබේ. සෞඛ්‍ය ඇමැතිනිය කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කළාය. එම කමිටුවේ විද්‍යාත්මක නිර්දේශය වන්නේ සෑම කොවිඩ් මළසිරුරක්ම වහා ආදාහනය කළ යුතු බවය. තව කණ්ඩායමක් අධිකරණයට ගිය අතර, අධිකරණ තීන්දුව වූයේ ද වෛද්‍ය නිර්දේශවලට අනුව කොවිඩ් මළසිරුරු වහා ආදාහනය කළ යුතු බවය. 

කොවිඩ් මළසිරුරු භූමදාන කළහොත් ඒ මගින් භයානක ප්‍රති - විපාක ඇතිවන්නට පුළුවන. භූමදාන කරන මළසිරුරු වන සතුන් කා දමන්නට පුළුවන. ඔවුන් මගින් රෝගය ව්‍යාප්ත වීමට පුළුවන. එබඳු පසුබිමකදී වයිරසයේ නව ප්‍රභේද ඇති වන්නටත් පුළුවන. එය භයානක තත්ත්වයකි. 

 ගෙවී ගිය සතිය තුළ රටේ ස්ථාන කිහිපයකින්ම උද්ඝෝෂණ මතු විය. මේවා පිටුපස දේශපාලකයන් සිටින බව ඉතා පැහැදිලිය. උද්ඝෝෂණවලට මානව හිමිකම් පිළිබඳ ස්වරූපයක් ද ආරෝපණය කර ගත ඇති අතර, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඊට සහයෝගය දක්වන බව ද පෙනී ගොස් තිබේ. මේ මගින් භයානක ප්‍රතිඵල උදාවන්නට පුළුවන. උද්ඝෝෂකයන් කිසිදු සෞඛ්‍ය පිළිවෙතකට අනුගත නොවී ඒකරාශී වීම නිසා තවත් කොවිඩ් පොකුරු කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් මතුවන්නට පුළුවන. කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය තවම මුළුමනින් නවතා ගැනීමට හැකි වී නැත. එබඳු තත්ත්වයක් තුළ තවත් කොවිඩ් පොකුරු කිහිපයක් මතු වුවහොත් එය රටට දරාගැනීම දුෂ්කරය.

ඕනෑම රාජ්‍යයක නීති රීති සම්පාදනය වන්නේ එම රටේ සියලු ජන කණ්ඩායම්වල සුබසිද්ධිය සලකාගෙනය. එම නීති රීති අනුගමනය කිරීම සේම ඊට ගෞරව කිරීමත් ශිෂ්ට සමාජයක පිළිවෙත වෙයි. මේ ගෙවී යන සුවිශේෂ කාල පරිච්ඡේදයට අනුව දෙයාකාරයකට නීති රීති දෙස අපගේ අවධානය යොමු විය යුතුය. එකක් රටේ සාමාන්‍ය නීතියයි. අනෙක වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක නිරෝධායන නීතියයි.

රජය ගන්නා තීන්දුවට ගරු කළ යුතුයි
බෙංගමුවේ නාලක හිමි

දැන් ලෝක වසංගතයක් වෙලා තියෙන කොරෝනා රෝගයෙන් විශාල ප්‍රමාණයක් ලොව පුරා මිය යනවා. ඒ වගේම අපේ රටෙත් මෙම රෝගය නිසා රෝගීන් මිය යනවා. මෙලෙස මිය යන රෝගීන්ගේ මළසිරුරු භූමදානය නොකර ආදාහනය කළ යුතු බවට බොහෝ පිරිස් රට පුරා උද්ඝෝෂණ සහ විරෝධතාවල නිරත වන ආකාරය අපි දුටුවා. නමුත් මේ මොහොතේ අපි කළ යුත්තේ මෙලෙස මිය යන රෝගීන්ගේ මෘතදේහ ආදාහනයට විරුද්ධ වෙන එක නෙවෙයි. රටේ සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරලා තියෙන ඒ  කටයුතුවලට ඉඩ ලබා දෙන එක ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ සිරුරුවල අවසන් කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳ දැනුවත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් පවා තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා එලෙස කොවිඩ් රෝගයෙන් මිය යන මෘත දේහ ආදාහනයට රජය විසින් ගෙන යන ක්‍රියාමාර්ගයට සහාය දිය යුතුයි කියලා අපි කියා සිටිනවා 

ආණ්ඩුව වහාම තීන්දුවක් ගත යුතුයි
සිංහලේ සංවිධානයේ සභාපති මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

එක රටක් එක නීතියක් යටතේ ක්‍රියා කරනවා කියලා තමයි වත්මන් ආණ්ඩුව බලයට ආවේ. නමුත් දැන් ආණ්ඩුව ඒ කියාගෙන ආපු ආකාරයට රට පාලනය කරන බවක් පේන්න නැහැ. මේ කොරෝනා වසංගතයත් එක්ක සිදුවන මරණ ආදාහනය කරන්න කියන කාරණය දැන් රට පුරා කතාබහට බඳුන් වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් පිරිස් උත්සාහයක නිරත වෙනවා කොවිඩ් රෝගයෙන් මරණයට පත්වන පිරිස් භූමදානය කරන ලෙසට. නමුත් සෞඛ්‍ය අංශ පවා එහි බැරෑරුම්කම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආණ්ඩුවේ ඉන්න ඇතැම් දේශපාලන හස්තයන් මේ කාරණයට ඍජුව මැදිහත්වෙන ආකාරයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ වගේම ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ රටක් ලෙස මෙම වෛරස සහිත මෘතදේහ භූමදානය කළහොත් එම අන්තවාදීන් විසින් මළසිරුරු ගොඩගෙන වෛසරය කුමන ත‍්‍රස්ත කටයුත්තකට භාවිත කරාවිදැයි කිව නොහැකියි. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව වහාම ස්ථාවර ප්‍රකාශයක් කළ යුතුයි.

කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න එපා
මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි

වත්මන් ආණ්ඩුව බලයට ආවේ එක නීතියක් යටතේ රට පාලනය කරගෙන යන්න. නමුත් දැන් එක එක ආණ්ඩුවේ ඇතැමුන්ට ඕන විදියට දැන් මේ කොරෝනා මෘතදේහවල අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. අපි දැක්කා රටේ බොහෝ ප්‍රදේශවල කොරෝනා රෝගයෙන් මියයන අයගේ අවසන් කටයුතු භූමදානය කළ යුතුයි කියලා විවිධ උද්ඝෝෂණ පැවැත්වෙනවා. නමුත් පවතින තත්ත්වය යටතේ එහෙම කටයුතු කරන්න බැහැ. මේ තත්ත්වය සෞඛ්‍ය බලධාරීන් පවා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වුණත් ආණ්ඩුවේ ඇතැමුන් එයට බාධා පමුණුවනවා. ඒ කවුද කියලා අපි හොඳට දන්නවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඉන්නේ කොරෝනා මළසිරුරු භූමදානය කරන්න ඉඩ ලබා දෙන්න එපා කියලා.

 සටහන: හසිත් අංජන