2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ආයුර්වේදය ෆේල්ද?

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

නහුතයක් පැණි - ගුලි සහ චූර්ණ ගැන පසුගිය සමයේ සමාජජාලා පුරා නැඟුණු තර්ක විතර්ක රැළි - පෙරැළි හේතුවෙන් අන්දමන්දව ගිය හුදී ජනතාව තුළ දැන් දේශීය වෙදහෙදකම සහ ආයුර්වේදය පිළිබඳ සැකසංකා වර්ධනය වී හමාරය. කොවිඩ් 19  සමාන භයානක වෛරස රෝග සඳහා දේශීය ආයුර්වේදය තුළ නිසි ලෙස සංග්‍රහ කර යෙදිය යුතු අති සාර්ථක ඔසු සහ ප්‍රතිකාර විධි පැවතුණත් නියමිත රාජ්‍ය අනුග්‍රහ නොලැබීම නිසා ඒවා යටපත්ව ගොසිනි. ඒ අතරේ රාජ්‍ය, ආමාත්‍ය, මාධ්‍යානුග්‍රහය ලැබ තිරගත වූ “දේවපැණිසුදිය” ටෙලි නළුව කළ හදිය නිසා දේශීය ආයුර්වේදයේ ගෞරවය හෑල්ලුවට ලක්විය. කොටින්ම දැන් ප්‍රශ්න කෙරෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ ආයුර්වේදය ෆේල්ද කියාය.

මේ වසංගතය හමුවේ ෆේල් වී ඇත්තේ ආයුර්වේදය නොව එය මනාව පර් යේෂණාත්මකව යොදාගන්නට පහසුකම් නොසලසන උදවිය බව කියන්නේ වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරාය‍. දේව පැණියට ලැබුණු මහා පරිමාණ අනුග්‍රහය සුදුසුකම් ලත් වෛද්‍යවරැන් විසින් ඉදිරිපත් කළ ඔසු සංග්‍රහයන්ටත් ලැබුණා නම් මේ වනවිට කොවිඩ්-19 අතීතයට අයත් මතකයක් වන්නට බොහෝදුරට ඉඩ තිබුණි. එහෙත් කෙනෙක් වටහා ගන්නේ තම තම නැණ පමණින් යැයි කීවාක් මෙන් බලධාරීන්ට වැටහුණේ දේව පැණියේ වරැණ පමණකි.

ලෝකයේ බටහිර වෛද්‍ය ක්‍රමයේ යොදාගන්නා පෙති කරල් එන්නත්වලින් සියයට 80ක් තුළම පාහේ ඇත්තේ කලින් කුමන හෝ රටක පාරම්පරික දැනුම ඔස්සේ රැකගෙන ආ ඖෂධ ශාක සංග්‍රහයන් තලා, පෙරා, මිරිකා, උරාගත් සාරයය. හොඳම නිදසුන නම් මෑතකදී  කොවිඩ්-19 සඳහාත් සුදුසු ප්‍රතිකාරයක් හැටියට පිළිගත් මැලේරියා බෙහෙතය. ක්ලෝරෝක්වීනයින්ය. එය සින්කොනා ගසේ නිස්සාරණයකි. බටහිර හුරුබුහුටි බෝතල තුළට එන්නට පෙර එහි සැබෑ ගුණ-අගුණ දැන භාවිතා කළෝ උතුරැ අමෙරිකාවේ පේරැ රටේ ආදිවාසීහුය. දැන් ඒ ආදිවාසීන්ගේ වත්මන් පරපුරටත් බටහිර පෙත්ත හෝ පැණිය එනතුරැ බලා සිටින්නට සිදුව ඇත. දේශීය පාරම්පරික ඔසු සහ වෛද්‍යකර්ම ඒවායේ පුරාණ ස්වරෑපයේම තබා සිරකර තැබීමය. අපේ ආයුර්වේදයටත් සිදුව ඇති හදියට මේ කදිම නිදසුනකි.

අපේ ආයුර්වේද ක්‍රම විද්‍යාත්මක  අත්හදා බැලීම සඳහා ලබාදී  ඇති ඉඩකඩ අවමය. ලබාදී ඇති පහසුකම් අවමය. ඒ සඳහා හරස්වන නීතිරීති එමටය. නමුත් මේ වනවිට ලෝකයේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා පෙන්වා දෙන්නේ බටහිර වෙදකමේ දෙයියන්නාන්සේ වන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දැන් පාරම්පරික වෛද්‍ය දැනුම, දේශීය වෙදකම ආයුර්වේදය පිළිබඳ සුබවාදීව බලනා බවයි. 

“මීට මාස දෙකකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 සඳහා සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල ඖෂධ පර් යේෂණ දිරිගැන්වීමේ ප්‍රකාශයක් කර තිබුණා. (Expert panel endorses protocol for COVID-19 herbal medicine clinical trials) එසේම අප්‍රිකානු කලාපය තුළ ශාකමය ඖෂධ තුනක් තුන්වැනි අදියරේ සායනික 

පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලබාගෙන තිබුණා. ජූලි මාසය මැද වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 වෙනුවෙන් ලියාපදිංචි කළ සායනික පර් යේෂණ 203 කින් 61%ක්ම ආයුර්වේද ඖෂධ සම්බන්ධ ඒවා බව වාර්තා වුණා. Journal of Research in Ayurvedic Sciences සඟරාව වාර්තා කරනු ලැබුවේ සායනික පර්යේෂණ 26 ක් බරපතළ කොවිඩ් රෝගීන් යොදාගෙන කරනු ලබන බවයි.

Ayurveda Research Studies on Covid-19 Registered in CTRI: A Critical Appraisal නමැති පත්‍රිකාව මගින්  හෙළි වූ පරිදි පර් යේෂණ 58 කින් 52 ක් මැදිහත්වීම් සහිත (interventional) පර් යේෂණ ලෙසත් ඉතිරි 6ක් නිරීක්ෂණ (observational) ලෙසත් වර්ගකොට තිබූ බවයි. ඉන්දියානු සායනික පර් යේෂණ රෙජිස්ටරයේ ලියාපදිංචිය ලත් එක් පර් යේෂණයක් අනුව කොවිඩ් රෝගීන් ගෙන් 87%ක් 5 වැනි දිනය වන විට PCR පරීක්ෂණ ප්‍රතිඵලය නිෂේධ කරනු ලැබූ බව වාර්තා වනවා. දැනට අපි පෞද්ගලික අත්දැකීමෙන් දන්නා පරිදිද අපේ ඖෂධ ලබා ගත් රෝගීන් දින 7 කින් PCR නිෂේධ වීම පෙන්වා තිබෙනවා යැයි වෛද්‍ය ඩැනිස්ටර් කියයි.

ලෝකයේ මේ නිදසුන් පෙන්වන්නේ කොවිඩ් හමු‌වේ ෆේල් වී ඇත්තේ දේශීය ආයුර්වේද දැනුම නොව එය මනාව සංවර්ධනය කර ගළපා යොදාගන්නට අසමත් බටහිර ගැතියන් බවය. මේ ගැති බව සහ තමන්ගේ වටිනාකම් පිළි නොගැනීමේ රෝගය නිසා දැන් අපේ ආයුර්වේදය ආසාධ්‍යව ඇති බවය. ඒ නිසාම රටේ ජනතාව සිය ශරීර සෞඛ්‍ය අතින් ෆේල් වී ඇති බවය.

බෙලිඅත්තේ උදාහරණය මේ වනවිට ආයුර්වේදය පත්ව ඇති අසාධ්‍ය තත්ත්වය මැනවින් පැහැදිලි කරන්නකි. බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහල මගින් පසුගිය නොවැම්බර් 18 සිට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුවන කොවිඩ්-19 රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් හඳුන්වා දී තිබේ. මේ ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් සියලු දෙනාම පාහේ ඉක්මන් සුවයක් ලැබූ බවට වාර්තාවේ. බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරී ආයුර්වේද වෛද්‍ය ශ්‍යාමා පී. හේවගේ පැහැදිලි කරනා ආකාරයට මෙම ප්‍රතිකාර මගින් කොවිඩ් සුවකරන බව සනාථ කිරිම සඳහා විධිමත් විද්‍යානූකූල සමීක්ෂණයක් සිදු කිරිමට ඔවුනට පහසුකම් නොමැතිවීම නිසා මේ ප්‍රතිකාරය රටේ ජනතා සුබසිද්ධිය සඳහා ව්‍යාප්ත කිරිමට බාධා පැමිණ තිබේ. හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහාය මත ආයුර්වේද ප්‍රතිකාර ඇරඹූ පසු තමන්ට මෙතෙක් කිසිදු කොවිඩ් අසාධ්‍ය හෝ මරණීය වූ අවස්ථාවක් වාර්තා නොවූ බවත් පීසීආර් බලාගත් සෑම කෙනෙකුගේම වාර්තා කොවිඩ් රහිත (නෙගටිව්) ලෙස සනාථ වී ඇති බවත් ඇය කියයි. බොහෝ විට දින 3ක් තුළදී පීසීආර් ලබාගත් විටද මේ රෝගීන් බොහෝමයක් නෙගටිව් වී තිබීම බෙලිඅත්ත ඔසු සංග්‍රහයේ සාර්ථකත්වය සනාථ කරන හොඳම සාක්ෂියකි. 

“අපේ ආයුර්වේද ග්‍රන්ථ තුළ වෛරස යන නම සඳහන්ව නැතත් මෙවැනි භයානක රෝග සඳහා සුදුසු ප්‍රතිකර්ම ඇතුළත්ව තියෙනවා‍. වාතජකඵ ජ්වර හැටියට හැඳින්වෙන්නේ මේ හා සමාන රෝග. අපි ඒ අනුව සලකා බලා ද්‍රවය ගුණ ඥාන විද්‍යාව අනුව සුදුසු ඔසු තෝරාගෙන තමා මේ ඔසු වට්ටෝරැව සකස් කරගත්තේ. අපේ ඔසු ප්‍රතිකාර වට්ටෝරැවට බෙහෙත් ගුලියක්, උගුර සේදීම සඳහා තැනූ  ඔසු දියරයක් මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය රුසක් චූර්ණ කර සෑදූ ඔසු කුඩක් අයිතියි. මේ ඔසු කුඩ පසුව අපි කසායක් ලෙස දෙන්න ගත්තාම වඩාත් හොඳ ප්‍රතිඵල පෙන්වන්න ගත්තා. මේ ප්‍රතිකාරවලින් සුවය ලබාගිය සමහරැ පීසීආර් අරගත්තාම ඔවුන් තුළ තවදුරටත් වෛරස වාර්තා වූයේ නැහැ. දින 3න් සහ 7න් මේ වගේ ලබාගත් පීසීආර් විස්තර අපිට රෝහලෙන් ලැබුණා. ඒ හැම එකක්ම වාගේ නෙගටිව්. සියයට 70 ක්ම වගේ නෙගටිව්. මේ බෙහෙත දුන් සැමගේ CT අගය වැඩිවෙලා තියෙනවා. ප්‍රතිකාරයේ ධනාත්මක බලපෑමක් ඇති බවයි ඒ කියන්නේ. මේ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ප්‍රතිකාරය ගැන වඩාත් පුළුල්ව සොයා බලා යෙදුවොත් එය කොවිඩ් මර්දනයට ජනහිත සුව පිණිස යොදන්නට හැකිවේවි කියලා. දැනට අලුත් චක්‍රලේඛ අනුව පීසීආර් පරීක්ෂණ කරන්නේ නැහැ. අපිට කරන්න යන්ත්‍ර පහසුකම් දැනුම සහ මූල්‍ය ප්‍රතිපාදන නෑ. කරාපිටියේ සහ ගාල්ලේ පීසීආර් මේ වනවිට වැඩ නැහැ. ඉතින් අලුතෙන් දත්ත ලබාගන්න බැහැ. මේ ඔසු ගැන ක්‍රමවත් විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට හොයා බලන්න ඒ ප්‍රතිකාර ලබාදෙන්න හැකි ආයුර්වේද රෝහලක් වැඩිදියුණු කර හදාදෙනවා නම් ඒක විශාල වටිනාකමක් ලබාදේවි.” මේ වෛද්‍ය ශ්‍යාමා අප සමග දැක්වූ අදහසයි.

බෙලිඅත්තේ ආයුර්වේද කාර්ය මණ්ඩලය හම්බන්තොට රෝහල් කාර්ය මණ්ඩලය සහ එහි විශේෂඥ වෛද්‍යවරැන්ගේ  සහයෝගීත්වය මත ක්‍රියාත්මක වන මේ ප්‍රතිකාර ක්‍රමය හා සම්බන්ධව විධිමත් පර්යේෂණ පැවැත්වීමට “පැණියට” ලද අනුග්‍රහය නොලැබීම ඛේදජනක තත්ත්වයකි. බෙල්අත්තේ පමණක් නොව මේ වනවිට පල්ලෙකැලේ සහ සබරගමුවේද ඒ ඒ ආයුර්වේද හා සම්බන්ධව නිපැයූ ඔසු ප්‍රතිකාර රෝගීන්ට ලබාදෙයි. නමුත් ඒවා ගැන විද්‍යාත්මක සොයාබැලීමක් පසුවිපරමක් සිදුවන්නේ නැත. සිදුවන්නේ කොහෙන් හෝ එන්නතක් බෙහෙත් වඩියක් කවුරැන් හෝ ණයට අරන් දෙනතුරැ උඩබලා සිටීමය. නැතිනම් දේව හාස්කමකින් කාගෙන් හෝ “පැණි” උනන තුරු බලා සිට ආ වැඩීමය. සුදුසුකම් ලත් වෛද්‍යවරැන් අතින් ද්‍රව්‍යගුණ ඥාන විභාගකර සැකසි බටහිර විශේෂඥ වෛද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් සඳහා දැනටත් සාර්ථකව යොදවන මේ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට දක්වන නොහැකියාව මගින් ෆේල් වෙන්නේ ආයුර්වේදය නොව මේ රටේ ජනතාවය. ඔවුන්ගේ ජිවිතය.

 සුගත් පී. කුලතුංගආරච්චි