2021 ජනවාරි 02 වන සෙනසුරාදා

සිංගප්පූරුව කොවිඩ් එන්නත් පෝලිමේ ඉදිරියෙන්

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 57

නව වසරක් උදා වී තිබේ. පසුගිය අවුරුද්දෙන් රැගෙන ආ කොවිඩ් භීතිය තවමත් සමාජය කළඹවමින් සිටී. බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන නව ප‍්‍රභේදය තවත් නොසන්සුන් තත්ත්වයක් ගැන පෙර නිමිත්තක් විය හැකිය. කොවිඩ් වසංගතය බිහිසුණුව පැතිරෙන විට ලෝකය පුරා සිදුවුන සිදුවීම් වැදගත් පාඩමක් උගන්වයි. රටක පැවැත්මට ගත යුතු තීරණ ඉදිරියේ සිංගප්පූරුව නිතර සිය නිර්භීත හා දූරදර්ශීභාවය පෙන්වා තිබේ. ලෝකයේ අනෙක් රටවල් අහන, දකින තොරතුරුවලින් විස්මිතව සිටිය දී සිංගප්පූරුව නිහඬවම තිරය පිටුපස සිට කාර්යභාරයක් කරගෙන ගියේය. එය එරට ජනතාව බියෙන් අත්මුදවා ජීවිත බේරාගැනීමේ අරමුණ ඇතිවය. එය පහසු කාර්යයක් වූයේ නැත. ජනතාව හමුවට පැමිණි එරට අගමැති ලී හුසෙයින් පසුගිය දිනක ඉතා පැහැදිලිව හා ක‍්‍රමානුකූලව සිය අභිලාෂය හා වැඩපිළිවෙළ සවිස්තරාත්මකව ජනතාව හමුවේ තැබීය. 

අගමැතිවරයාට අනුව ලෝකයේ ප‍්‍රධාන පෙළේ සමාගම් දෙසියකට වඩා ප‍්‍රමාණයක් කොවිඩ් එන්නතක් සඳහා පර් යේෂණ අරඹන ලද බව ඔවුහු දැන සිටියහ. සියල්ල සාර්ථක නොවන බව වටහාගෙන සිටි තවත් කරුණකි. එරට බලධාරීහු එම එන්නත හැදෙන ආකාරය නිරීක්ෂණය කළේය. සමාගම් සමඟ සාකච්ඡා කරමින් විද්‍යාවෙන් කෙරෙන නවතම සොයා ගැනීම් තේරුම් ගැනීමට උත්සාහ කර ඇත. සාර්ථක විය හැකි නිෂ්පාදකයන් ගැන පසුබිම විමර්ශනය කළේය. ලෝකයේ කොතැනකින් හෝ ඉතාම ඉක්මනින් එන්නතක් නිපදවනු ඇති බව හොඳාකාරව දැනගෙන සිටියේය. ඉදිරියෙන් මතුවන අවස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් සූදානම් කළේය. එය ඔට්ටු ඇල්ලීමක් වැනිය. බෙහෙතක් නිපදවනු හැකි යැයි අනුමාන කළ සමාගම් කිහිපයක් සමඟ ඒවා නිපදවා අවසන් වන්නටත් කළින් සාකච්ඡා ඇරඹීය. පූර්ව මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරන තීන්දුවක් ගත්තේය. වඩාත් ප‍්‍රතිඵල ලැබෙනු ඇතැයි මුලින්ම තොරතුරු ලැබුණ මොඩෙර්නා, ෆයිසර් එන් බයෝ ටෙක් සහ සයිනෝවැක් යන සමාගම්වලට අත්තිකාරම් ගෙවා ඇත. එන්නතක් නිපදවනු ඇතැයි මතයක් පමණක් තිබුණ පසුබිම තුළ රජයේ මුදල් අවදානම් තැනක යෙදවීම ගැටලු ඇති කරන තීරණයක් විය හැකිය. එහෙත් සිංගප්පූරු රජය එම තීරණය ගෙන තිබේ. පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නායකත්වය එය ගෙන ඇත. මිල දී ගැනීමට අත්තිකාරම් වෙන්කළා පමණක් නොව සායනික අත්හදා බැලීම් සඳහා රට තුළ අවස්ථාව දුන්නේය. එන්නත නිපදවන සමාගම්වලට සිංගප්පුරුවට පැමිණ ආයෝජනය කර රසායනික නිපදවන කම්හල් අරඹන සේ ආරාධනා කර තිබේ. එය අලුත් වටයකින් ආයෝජකයන්ට සපයන ලද අවස්ථාවකි. 

පිටරටවල කරන කොවිඩ් එන්නත සම්බන්ධ පර්යේෂණ ගැන එවැනි ක‍්‍රියාත්මක බවකින් නතර නොවූ සිංගප්පූරු රජය දේශීය වශයෙන් බෙහෙතක් නිපදවන ප‍්‍රයත්නයක ද නිරත විය. එරට රසායනික විද්‍යාඥයින් හා පර් යේෂකයන්ට අවස්ථාව සම්පාදනය කළේය. රට තුළ කරන විද්‍යාත්මක අත්හදාබැලීම්වලට ඇතිවිය හැකි බාධා ඉවත්කර ඉක්මනින් වැඩ කරන්නට හැකි වාතාවරණයක්ද පාදා දුන්නේය.  එය ජන ජීවිතයේ සුරක්ෂිතතාව නැවත නැවතත් තහවුරු කරගන්නට අනුගමනය කළ දෙවැනි ආවරණයක් වශයෙන් සැලකිය හැකිය. යම් අවස්ථාවක ලෝකයේ කෙරෙමින් තිබුණ පර් යේෂණ අසාර්ථක වුවහොත් රට තුළින් යම් ප‍්‍රතිඵලයක් අත්පත් කරගැනීමට හැකිවෙතැයි අනුමාන කරන්නේය. එය වෛරසයට එරෙහිව ගෙන යන සටන පැති කිහිපයකින් සන්නද්ධ කිරීමක් වන අතර අවසාන අරමුණ පුරවැසියන්ගේ ආරක්ෂාව හැර අනෙකක් නොවේ. සිංගප්පූරුව අගමැතිවරයා ජාතිය අමතා කළ විශේෂ ප‍්‍රකාශයක දී &ලෝකයේ එන්නතක් නිපදවන විට එය මිල දී ගැනීමේ පොලිමක් හැදුණොත් සිංගප්පූරුව එහි පළමුවැනියා වීම අරමුණ* බව දැක්වීය. &පෝලිමේ අන්තිමයා වීමට කිසිම අභිලාෂයක් නැති බව හෙතෙම ජනතාවට අවධාරණය කළේය.

එන්නත ලබාගෙන සිංගප්පූරුව ආරක්ෂිත දේශයක් කිරීම එකම සටන විය. රජයේ දෙපාර්තමේන්තු, සමහර පුද්ගලික සමාගම් සහ රජයේ ප‍්‍රධානීහු මෙම තීරණාත්මක මෙහෙයුම සමඟ එකිනෙක සම්බන්ධ වී සිටියේය. විශිෂ්ට ප‍්‍රතිඵලයක් සඳහා ආණ්ඩුව එම කණ්ඩායම උපරිම ශක්තියෙන් මෙහෙයවා තිබේ. ජාතිය මුහුණ පා ඇති ඉරණම වෙනස් කරන අරමුණට මුල්වී ඇති සහ මෙම ව්‍යවසනයෙන් රට ගලවා ගන්නා පිරිස වීරයන් සේ නම් කරන්නට පසුබට වී නැත.

කොවිඩ් සඳහා පළමු එන්නත සාර්ථකව නිපදවන ලද පුවත ලෝකය ඉදිරියේ වාර්තා වන විට වඩාත්ම සතුටට පත්වූයේ සිංගප්පූරුවයි. රසායනාගාර වාර්තා, තත්ත්ව පරීක්ෂණ හා සායනික පර් යේෂණ සමග ඉක්මනින් ඉදිරියට එන්නේ ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතය. එය ඇමරිකාවේ නිපදවා අවසන් වනවිට පළමු එන්නත් තොගය සිංගප්පූරුවට එන්නේ ලෝකයේ එන්නත් මිලදී ගත් පළමු රටවල ලේඛනයේ ඉදිරියෙන්ම නම සනිටුහන් කරමින්ය. එතැනින්  නතර වූයේ නැත. ගිවිසුම් අත්සන් කළ අනෙක් සමාගම්වල නිෂ්පාදනද කෙළින්ම සිය රටට ලැබෙන බවට තහවුරු කරගෙන සිටියේය. සැලසුම අනුව 2021 තුන්වැනි කාර්තුව වන විට එරට සියලුම පුරවැසියන්ට ප‍්‍රමාණවත් එන්නත් සම්පූර්ණයෙන්ම ලැබෙන බවට ස්ථිර තහවුරුවක් තිබේ. 
එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කමිටුවක් එන්නත දෙන පියවර වෙනුවෙන් පිළිවෙත් සම්පාදනය කර අවසන්ය. සියලුම වැඩිහිටියන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එන්නත ලබා ගැනීමට ඉඩ පහසුකම් සැපයීම පළමු කාර්යය වශයෙන් නිර්දේශ වී තිබේ. වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය අංශයේ සේවයේ නිරතවූවන්ට සහ අත්‍යවශ්‍ය සේවා මෙහෙයවන ආසාදන අවදානම සහිත පළමු පෙළ කාර්ය මණ්ඩලවලටද පළමු වටයේ දී එන්නත ලබාදෙන්නට නියමිතය. ඉනික්බිතිව එහි ප‍්‍රගතිය අනුව ඉතිරි සියලුමදෙනාට එන්නත දෙන අතර එම නිර්දේශ රජය පිළිගෙන තිබේ. සිංගප්පූරු අගමැතිවරයා දක්වන පරිදි හෙතෙම තම කමිටු නිර්දේශ විශ්වාස කර ඇත. කැබිනට් මණ්ඩලය එම විශේෂඥයන්ගේ නිර්දේශ වලට එකඟ වී තිබේ. අගමැති ලී හුසෙයින් සඳහන් කරන පරිදි ඔහු ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ජාත්‍යන්තරයේ නිපදවන එන්නත සුරක්ෂිත බව විවාදයකින් තොරව  පිළිගෙන ඇත.  සියළුම පුරවැසියන්ට පමණක් නොව දිගු කාලයක් එරට රුඳී සිටින විදේශිකයන්ටද නොමිලේ එන්නත ලබා දෙන්නට තීරණයකට පැමිණ තිබේ. සිංගප්පූරුවේ ජීවත්වන ජනගහනය මිලියන 5.7 කි. පුරවැසියන් එයින් සියයට හැටඑකක් එනම් මිලියන 3.4 ක් පමණකි. සෙසු අයවලූන් එරට ජීවත්වෙන වෙනත් රටවල වැසියෝය.

එන්නත ලබාදුන් පසු එය ගන්න. එය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව ඔබ වාහකයෙක් විය හැකි නිසා ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කරනු සඳහා ගන්නා පියවරක් බව ද අගමැතිවරයා ජාතිය අමතමින් ප‍්‍රකාශ කර සිටියේය. තමන් ආරක්ෂා වනු පමණක් නොව සිංගප්පූරු ජනසමාජය ආරක්ෂා කරන හේතවක් වන අතර එන්නත ලබා ගැනීමට වගකීම ජනතාව සතු බව තදින් අවධාරණය කර තිබේ. අප සියලු දේ දැනගෙන උපත ලබන්නේ නැත. ඉගෙනගනිමින් වැඩෙන අතර වැරදීම් වලින් ලබන්නේ අමතක නොවන පාඩමකි. ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අත්හදාබැලීම්වල සමහර දෝෂ සහ නිෂ්පාදනය ප‍්‍රමාදයක් වාර්තා වෙන බවද දැක්විය යුතුය. එහෙත් තාක්ෂණික කාරණා පමණකි. දිග පෝලිමක අන්තිමයා වෙන්නට අප කැමැති නැත. පළමුවෙන් තීරණ ගතහොත් උදෑසනින් ජීවිතයේ මිහිර අත්විඳින්නට හැකියාව තිබේ.  

ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00