2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

ලෙඩ වැඩිකරන මාස්ක් ජාවාරම

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

ෆේස්‌ මාස්ක්‌ යනු කෝවිඩ් හේතුවෙන් ලෝකයේ වඩාත්ම දියුණුවට පත්වූ ව්‍යාපාරයකි. මේ වනවිට එය ව්‍යාපාරයකට එහා ගිය ජාවාරමක් බවටත් පත්ව තිබේ. ප්‍රමිතියේ ගැටලු මිල පාලනයේ ගැටලු නිසාවෙන් මෙරට තුළද ෆේස්‌ මාස්ක්‌ ව්‍යාපාර පිළිබඳවද බොහෝ ගැටලු මතුවෙමින් තිබේ. මේ විමසීම ඒ පිළිබඳවයි.

මේ වනවිට මාස්ක් මිල නියාමන සිදුකිරීමට රජය කටයුතු කරමින් සිටිති. ඒ අනුව සායනික මුහුණු ආවරණ (Surgical mask) එකක මිල රුපියල් 15ටත්, KN95 මුහුණු ආවරණයක මිල රුපියල් 95 කටත් මිල නියම කර ඇති බව කියැවේ. එහෙත් මේ පිළිබඳ තවත් පැහැදිලි බවක් පෙනෙන්නට නැත. එසේම මුහුණු ආවරණය ප්‍රමිතිය සම්බන්ධව විශාල ගැටලු ප්‍රමාණයක්ද නිර්මාණය වී තිබේ.

මෙම ගැටලු පිළිබඳ වගකිවයුතු පාර්ශ්ව තුනක් ඔස්සේ සංවාදයට බඳුන් කෙළෙමු. පළමුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් - ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා සම්බන්ධ කර ගතිමු.

“දැනට භාවිතයේ තිබෙන ෆුල් ෆ්ලයි සර්ජිකල් ෆේස් මාස්ක් කියන භාවිතයෙන් පසු ඉවත් කළ යුතුයි. මුහුණ ආවරණ සඳහා ප්‍රමිතියක් ක්‍රියාත්මක වෙනවා. මෙහි ලේයර්ස් තුනක් තිබෙනවා. ඒවාට අන්‍යය වුණු ගුණාංග තුනක් තිබෙනවා. පිටතින් තිබෙන නිල් පාට ලේයරයට වතුර උරා නොගන්නා ලෙස සකස් විය යුතුයි. මැද තිබෙන ලේයරය ෆිල්ටරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා පෙරීමක් සිදුවිය යුතු වෙනවා. අනෙක් ලේයර වියපු නැති රෙද්දකින් නිර්මාණය විය යුතු වෙනවා. ඒ හරහා කිසිදු කාන්දුවක් සිදුවෙන්න බෑ.”

මෙම පැහැදිලි කිරීම අනුව මෙරට තුළ මිලියන දෙකක් පමණ ප්‍රමිතිය ගත මුහුණ ආවරණ නිර්මාණය වෙයි. ආයතන විස්සක් පමණ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී ඇත. ඔවුන් සම්බන්ධව ප්‍රමිතිය පරීක්ෂා කරමින් කටයුතු කිරීමට ආයතය කටයුතු කරයි. එහෙත් විදේශ තුළින් මෙම මුහුණු ආවරණය ආනයන කිරීම ගැටලුසහතය.

“N95 කියන්නේ යුරෝපයේ ප්‍රමිතියක්. KN95 කියන්නේ චීනයේ ප්‍රමිතියක්. මේ වර්ග දෙකේත් හොඳ සහ නරක ඒවා වෙළඳපොළේ තිබෙනවා. මේ නම් වලින්ම සාමාන්‍ය වෙළඳපොලේ විකිණෙන මුහුණු ආවරණය සෞඛ්‍ය සේවයේ අයට භාවිත කරන්න සුදුසු තත්ත්වයේ නෑ. සෞඛ්‍ය සේවයේ අයට භාවිතයට ගන්න එවා නම් අපි අනුමත කරන පරීක්ෂණවලින් මේ මාස්ක් සමත් විය යුතුයි. උදාහරණක් විදිහට ලේ නහරක් කැපිලා රෝගියකුගේ ලේ ගලන අවස්ථාවේ මුහුණට ඒ ලේ වැදුණොත් ඇතුළට යන්න බෑ.”

ඉතා ගුණාත්මක බව හඟවමින් වෙළඳපළ තුළ දෙවර්ගයේ මුහුණු ආවරණ අලෙවි වෙමින් තිබේ. නමුත් සෞඛ්‍ය අංශ සඳහා භාවිතා වන සැබෑ N95 හෝ KN95 තරම් මේවායේ ප්‍රමිතියක් නැත. එක්වරක් පමණක් භාවිත කළ හැකි නමුත් මෙරට ප්‍රමිති ගත නිර්මාණය වන ෆුල් ෆලයි සර්ජිකල් ෆේස් මාස්ක් කාර්යක්ෂම බවින් ඉහළය.

“ඉතා මිලෙන් අධික ෆිල්ටරයක් සහිත මාස්ක් වර්ගයක් වෙළඳපොළේ දක්නට ලැබෙනවා. මේ මාස්ක් සමහරුන් ආඩම්බරයෙන් පැළඳ ගියත් එය කිසිසේත්ම මෙම වසංගතයේදී භාවිතයට නුසුදුසුයි. ඊට හේතුව තමා දාගෙන ඉන්න කෙනාගේ ආරක්ෂාවට ඔය ෆිල්ටරයෙන් වාතය හොඳින් පෙරී ආවත් වාතය එළියට පිට කිරීමේදී කිසිම පෙරීමක් සිදු නොවීම. මේ නිසා මෙම මාස්ක් එක දාගෙන කෙනාට කෝවිඩ් වැළඳිලා තිබුණොත් ඔහු ඇසුරැ කරන්නා අනාරක්ෂිත වෙනවා.”

ඖෂධ නියාමන අධිකාරියේ නියාමනය යටත් වන්නේ ප්‍රමිතිය සයිත ෆුල් ෆලයි සර්ජිකල් ෆේස් මාස්ක්ය. අනෙක් මාස්ක් වර්ග පාරිභෝගික භාණ්ඩ ගණයට වැටේ. එම නිසාවෙන් අනෙක් මාස්ක් වර්ග කෙරෙහි පාලනයක් දියත් කිරීමට අධිකාරිය නොහැකිය. එහෙත් කෝවිඩ් වසංගතය හමුවේ වඩාත් ඵලදායී සර්ජිකල් ෆේස් මාස්ක් සම්බන්ධව නියාමන වගකීම ඖෂධ නියාමන අධිකාරිය විසින් දරණු ලබයි.

මුහුණු ආවරණ නියාමන සම්බන්ධව වගකීමක් දරන අනෙක් පාර්ශ්වය නම්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියි. එහි අධ්‍යක්ෂිකා තරගකාරීත්ව ප්‍රවර්ධන - සමන්තා කරුණාරත්න මහත්මිය සම්බන්ධව කර ගතිමු.

“අපි අධ්‍යනයක් කළා වෙළෙඳපොලේ මුහුණු ආවරණවල තත්ත්වය ගැන. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මුහුණු ආවරණ සඳාහා ප්‍රමිතිය සම්බන්ධව මාර්ගෝපදේශ හඳුන්වා දීලා තියනවා. ඊට අනුව වෛරසය පිටත කෙළ බිඳිතිවලින් පැමිණෙන විට එයින් ආරක්ෂාවීමට තරම් ශක්තියක් මුහුණු ආවරණය සතුවිය යුතුයි. වෙළඳපොළේ තිබෙන ඇතැම් මුව ආවරණවල එම ශක්තිය නොමැති බව අපේ අධ්‍යයනයෙන් අනාවරණය වුණා. තවත් ගැටලු තිබුණා. අපි ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය ලියුමක් යවලා නිශ්චිත ප්‍රමිතියක් සැකසීම සම්බන්ධ කටයුත්ත ඉක්මනින් කළා. දැන් නිෂ්පාදකයන් සමඟත් සාකච්ඡා වාර කිහිපයක් පවත්වලා තිබෙනවා.”

මෙහිදී පාරිභෝගික අධිකාරියේ අවධානය යොමුව ඇත්තේ ශල්‍යමය නොවන නැවත භාවිත කළ හැකි මුහුණු ආවරණ සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතය විසින් සකසනු ලබන ප්‍රමිති අනිවාර්ය ප්‍රමිතීන් බවට පත්කිරීමට පාරිභෝගික අධිකාරියට බලයක් තිබේ. ඔවුන් සූදානම් වෙමින් සිටින්නේ ඒ වෙනුවෙනි.

“රෙදිවලින් සකසාගන්න නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ සම්බන්ධව නියාමනයක් තව කිසිදු ආයතනයකින් සිදුවන්නේ නෑ. අපි ඒ වෙනුවෙන් තමා මේ මොහොතේ මැදිහත් වෙමින් සිටින්නේ. අඩුම තරමින් වෛරසයයෙන් ආරක්ෂා වීම වගේම වෛරසය පැතිරවීම වැළැක්වීම කිය මූලික කාරණා දෙකවත් මෙම මුහුණු ආවරණය හරහා සිදුවිය යුතුයි. මිල ගණන් පිළිබඳ ඇති ගැටලුව අපි ඉදිරියේදී සලකා බලනවා. නමුත් වසංගතය තත්ත්වය තුළ අපේ ප්‍රමුඛ අවධානය යොමුවෙලා තියෙන්නේ ප්‍රමිතිය සම්බන්ධව.”

කෙසේ වෙතත් මෙවන් මුහුණු ආවරණ සැකසීම ගෘහ කර්මාන්තයක් බවට  දා මේ වනවිට පත්ව තිබේ. මෙම නියාමනයේදී නිෂ්පාදකයන් දැනුවත් කරමින් අදාළ ප්‍රමිතීන් හඳුන්වා දී මට බලධාරීන්ට සිදුව ඇත්තේ එබැවිණි.

මේ අතර මුහුණු ආවරණ පිළිබඳ ප්‍රමිතිය දැඩිව හඬනගමින් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අප සම්බන්ධ කර ගතිමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මතුකරනු ලබන්නේ මෙවන් අදහසකි.
“අපි මුල් අවස්ථාවේදීම කතා කරලා ශල්‍ය මුව ආවරණයකට මිලක් නියම කළා. KN95 සහ N95 මාස්ක් වලටත් ගැසට් එකේ මිලක් තියෙනවා. දැන් මතුවෙලා තියෙන්නේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක්. මේ මාස්ක් හරහා නියමිත අවශ්‍යතා ඉටුවනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. මෙහි ගුණාත්මක භාවය සම්බන්ධ වගකීම තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට. මිල සම්බන්ධ වගකීම තියෙන්නේ පාරිභෝගික අධිකාරියට.”

ඔහු පෙන්වා දෙන ආකාරයට ලේයර්ස් තුන දෙකක් බවට පරිවර්තන කළ ශල්‍ය මුහුණු ආවරණ වෙළඳපොළ තුළ විකිණීම යම් ජාවාරමක ස්වභාවය ගෙන ඇත. මෙය කඩිනමින් වළක්වා ගතයුතු කතාවකි. වසංගත පාලනය කෙරෙහි මේ සියල්ල යම් පරිමාවකින් බලපෑමක් කරයි. එනිසාම රජය මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා