2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

බණ්ඩාර වෙද මහතාගේ කොවිඩ් බෙහෙත වැඩ කරයිද?

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව, අමෙරිකාව, චීනය ආදී බලවත් රටවල් එන්නත් නිෂ්පාදනයකට උත්සාහ දරද්දී හෙළ වෙදකමට අනුව ශ්‍රී ලංකාවේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය ඖෂධයක් නිෂ්පාදනය කිරීම රටේම අවධානය දිනා ගැනීමට සමත් විය.

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ මෙම ඖෂධය සම්බන්ධව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති අතර එහි ඉදිරි පර්ෙය්ෂණ කටයුතු සඳහා රාජ්‍ය මට්ටමින් සහයෝගය ලබාදීම සඳහා මේ වන විට කමිටුවක් ද පත් කර ඇත.

ධම්මික බණ්ඩාර කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙළ වෙදකමට අනුව වෙදකම් කරන වෙද මහතෙකි. කොවිඩ් වසංගතය ප්‍රථම වතාවට චීනයෙන් වාර්තා වී රටවල් කිහිපයක් ආක්‍රමණය කරමින් මෙරටින් ප්‍රථම රෝගියා වාර්තා වන විටම බණ්ඩාර වෙද මහතා ඊට එරෙහි ඖෂධයක් නිෂ්පාදනය කිරීමට උනන්දු විය.

කොවිඩ්-19 ලෝකයේම පැතිරෙනවාත් එක්කම මම මේ බෙහෙත හැදුවා. මේ රෝගය ලෝකෙ රටවල් බොහොමයකටම පැතිරෙනවා කියලා ඒ දවස්වලම අපිට දැනුණා. ඒ නිසා මේ වෛරසයෙන් අපේ රටේ මිනිස්සු බේරාගන්න තමයි අපි මේ බෙහෙත හැදුවේ. ධම්මික බණ්ඩාර වෙද මහතා අදහස් දක්වමින් පැවසීය.

ඔහු පවසන පරිදි මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රෝගයේ රෝග ලක්ෂණවලට අනුවය. ඔහු මේ සඳහා යොදාගෙන ඇති ඖෂධ සියල්ලම සොබාදහම සමඟම බැඳුණු ගහකොළින් එකතු කරගත් අමුද්‍රව්‍ය කිහිපයකි. ප්‍රධාන වශයෙන් මෙම ඖෂධය සඳහා මීපැණි, සාදික්කා ඇතුළු තවත් ඖෂධ වර්ග දෙකක් ඔහු යොදාගෙන තිබේ. කොවිඩ්-19 වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණවලට අනුව මෙම ඖෂධයට අවශ්‍ය වට්ටෝරුව තමන් විසින් තීරණය කරගත් බව ඔහු පැවසුවේය.

අවශ්‍ය කරන බෙහෙත් ඖෂධ සියල්ල සොයාගැනීමෙන් පසුව පැය 24ක් ඇතුළත මෙම ඖෂධය සකසාගත හැකි බවද ඔහු පවසයි. මේ වන විට මෙම ඖෂධය ලබාගත් කොවිඩ් ආසාදිතයෝ ඉතා ඉක්මනින්ම සුවය ලබා සිටිති. මුල්ම වතාවට මෙම ඖෂධය ලබා දී ඇත්තේ මෙරටින් වාර්තා වූ මුල්ම රෝගියා වූ සංචාරක මගපෙන්වන්නා හා එකම කාමරයේ සිට රෝගය වැළඳුණු ඔහුගේ සගයාටය. වෙද මහතා පවසන්නේ දින තුනකින් මෙම රෝගියා නිරෝගී වූ බවය.

එතැන් සිට තමා අත්හදා බැලූ, සාර්ථක බවට තීරණය කළ ඖෂධය දන්නා කියන අය වෙත නොමිලේ ලබා දී තිබේ. මේ අතර රාජ්‍ය නිලධාරීන්ට ද මෙම ඖෂධය ලබා දී ඇත. මෙය කොවිඩ් ආසාදිතයන්ට පමණක් ලබා දෙන ඖෂධයක් නොවේ. නිරෝගී පුද්ගලයන්ට ද මෙම ඖෂධය ලබා දිය හැක. රෝගී ආසාදිතයකු මෙම ඖෂධය දිනකට දෙවරක් මේස හැඳි එකක් බැගින් දින තුනක් පානය කළ යුතුය. නිරෝගී කෙනකු මේස හැඳි එකක් දිනකට දෙවරක් බැගින් දින දෙකක් පානය කළ යුතුය. ඒ අනුව මෙම ඖෂධය පානය කළ කෙනකුට මෙම වෛරසය ආසාදිත නොවන බව ඔහු පවසයි.

මෙම ඖෂධයෙන් කිසිම අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නෑ. ඖෂධයේ රසකාරක කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. ඕනෑම කෙනකුට මෙම ඖෂධය පානය කරන්න පුළුවන්. අපි මේ සඳහා යොදාගනු ලබන දේශීය අමුද්‍රව්‍ය පවා පිරිසුදුයි. අපිම තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඒ හැම වෙලාවකම මම ළඟින්ම ඉඳගෙන මේ ගැන සොයා බලා නියමිත විදිහට මේක නිෂ්පාදනය කරනවා. ඒ වගකීම මම ගන්නවා. ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය.

මෙම එක් ඖෂධ බෝතලයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් හය දහස් පන්සියයක මුදලක් වැය වේ. එම එක් බෝතලයකින් රෝගීන් පහළොස් දෙනකු සුව කර ගැනීමේ හැකියාව ද පවතී. මේ අනුව මෙය සාර්ථක ඖෂධයක් වේද, මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් මෙන්ම කොවිඩ් වසංගතය සඳහා රජය විසින් වැය කළ හා වැය කරන ලද ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව බොහෝ දෙනාගේ නිගමනය වී තිබේ.

ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කර ලද මෙම ඖෂධය අත්හදා බැලීම් වතුපිටිවල කොවිඩ් මර්දන ඒකකය වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා සිදු කෙරිණි. ඒ අනුව කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනකුට මෙම ඖෂධය නියමිත මාත්‍රාවට අනුව දින තුනක් ලබා දී නැවතත් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර ඇති අතර, එහිදී මෙම රෝගීන්ගේ සිරුරෙන් කොවිඩ් වෛරසය විනාශ වී ඇති බව තහවුරු විය. මෙලෙස පළමු හා දෙවැනි පරීක්ෂණවලින් ලබාගත් ප්‍රතිඵලවලින් මෙම දේශීය ඖෂධය කොවිඩ් වසංගතය තුරන් කරලීමට සාර්ථක ඖෂධයක් බව තහවුරු වී ඇතැයි බණ්ඩාර වෙද මහතා කියයි.

මට ඕනේ මේ බෙහෙතෙන් මගේ රටේ අසරණ මිනිස්සු බේරාගන්නයි. මේ රෝගය නිසා අපේ රටේ ආර්ථිකය, දියුණුව හැම දෙයක්ම ආපස්සට ගිහින්. මිනිස්සු මැරෙනවා. ලෙඩ වෙනවා. බය වෙනවා. ඒ නිසා තවත් පරීක්ෂණ ඉතා ඉක්මනින් කරලා මේක මේ රටේ මිනිස්සුන්ට ලබා දෙන්න කටයුතු කරන්න. මේක දේශීය ඖෂධයක් බව ඇත්ත. නමුත් මේක මෙරට වැඩෙන ගහකොළ, සොබාදහමෙන් හැදෙන ඖෂධයක්. ඒ නිසා බටහිර - දේශීය කියලා පිල් බෙදෙන්නේ නැතිව මේක මේ රටේ මිනිස්සුන්ට ඉක්මනට ලබා දෙන්න යැයි ධම්මික බණ්ඩාර වෙද මහතා ඉල්ලීමක් කරයි.

මෙම ඖෂධය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වී ඇති බැවින් ඖෂධයට අදාළ ඉදිරි පර්ෙය්ෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ද ලබාදෙන බවත් සඳහන් වේ.

පසුගිය 02 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මෙම ඖෂධය සම්බන්ධව ඉදිරි කටයුතු සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මඬුල්ලකගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ද ධම්මික බණ්ඩාර වෙද මහතා ද සහභාගි වූහ.

මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලෝකයටම ලබා දීමට විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව පර්ෙය්ෂණ කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කළ යුතු බව තීරණය විය. ඒ අනුව එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාලවල වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇත.

මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සහභාගීත්වයෙන් වන එම කමිටුවේ සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කමනී වනිගසූරිය මහත්ම මහත්මීහු කටයුතු කරති

මෙම ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මීපැණි සහ සාදික්කාවල හිඟයක් පවතින බැවින් එම දෙවර්ගය ලබාදීමේ හැකියාවක් ඇතිනම් ඉතා ඉක්මනින් මෙම ඖෂධය නිෂ්පාදනය කළ හැකි බවද ධම්මික බණ්ඩාර වෙද මහතා වැඩිදුරටත් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න