2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

පැටව් ගසන කොවිඩ් පොකුරු!

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

කොවිඩ් වසංගතය මේ වනවිට රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. ව්‍යාප්තිය සෞඛ්‍ය නිලධාරීන්ගේ පාලනයෙන් මිදී ක්‍රම ක්‍රමයෙන් ඈතට යමින් සිටින බව සෞඛ්‍ය ප්‍රධානියෝ කියති. මේ නිසා තත්ත්වය බරපතළ බවත් ඔබ ආරක්ෂිත විය යුතු බවත් අමුතුවෙන් කිවයුතු නැත. වසංගතයෙන් බේරීමට අවම සෞඛ්‍ය පුරුදු නොව උපරිම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නැයි ප්‍රථමයෙන්ම කියන්නේ රට තුළ ඇතිවෙමින් යන අවදානම් තත්ත්වය නිසාය.

කෙසේ වෙතත් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් මේ වනවිට 20,000 කට එහා සොයාගෙන ඇත. එසේම මරණ සංඛ්‍යාව මේ වනවිට 100 ට ආසන්නය. පුදුමය නම් මේ මරණ සියය ගැන සොයා බැලුවහොත් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා මේ රටේ කොවිඩ් 20 වැනි මරණය සිදුවූ අතර ඉන්පසුව මාසයක් තුළ ඉතිරි සියලු මරණ සිදුවීමය. මේ තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුල සිටම අනතුරු රජයට ඇඟවූ අතර ඔවුන් කීවේ පුළුවන් තරම් ප්‍රමාණයකින් අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරණ ලෙසය. රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුවත් එය ප්‍රමාණවත් වූයේ නැත. ඒ ප්‍රමාදය අද වනවිට පසුතැවිල්ලක් දක්වා පත්ව ඇත.

• පී.සී.ආර් වලින් පෞද්ගලික රෝහල් ගසා කයි

මේ සියල්ලම මැද කනගාටුම කරුණ නම් කොවිඩ් වෛරසය හරහා කෝටි ගණනින් මුදල් උපයා ගැනීමට උත්සාහ ගන්නා සමාගම් ගැනය. එක පිරිසක් පසුගිය කාලයේ නිරෝධායනය සඳහා හෝටල් පැකේජ් ලබාදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අමු අමුවේ සූරා කෑවේය. දැන් තවත් පිරිසක් වැඩිමුදලට PCR සිදුකරමින් මුදල් ලබාගැනීමට උත්සාහ ගනිමින් සිටින බව කියයි. රටේ නමගිය ඇතැම් පෞද්ගලික රෝහල් තම තමන්ට හිතූ පරිදි P.C.R පරීක්ෂණ සඳහා මුදල් අයකරයි. එම පරීක්ෂණ ගාස්තුවට අමතරව O.P.D ගාස්තුවක්ද එයට එක් කරයි. රුපියල් දහදාහට ආසන්න මුදලක් අය කරයි. එය කෙතරම් අප්‍රසන්න ක්‍රියාවක්දැයි අමුතුවෙන් කිවයුතු නැත. පුදුමය නම් මේ පිරිස් අහිංසක ජනතාවගේ මුදල් අමු අමුවේ කොල්ල කනවිට ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට කිසිවකු නොමැති වීමය. යම් සිද්ධියකට රජය වුවත් මැදිහත් වන්නේ අවසාන මොහොතේය. ඒ වනවිටත් රටේ විශාල පිරිසක් මේ කළු කඩ මුදලාලිලාගේ ගොදුරු බවට පත්ව අවසානය.

• කොළඹ රතු කලාපයේ

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සීමාව ඉතාමත් තීරණාත්මක තැනට පත්ව ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දිනපතා කොළඹ මහ නගර සභා බල සීමාවේ රජයේ සහ පෞද්ගලික ආයතනවලින් රෝගියකු දෙදෙනකු හමුවන බවය. එය එන්න එන්නම වර්ධනය වන බවත් මේ නිසා කොළඹ නගරයේ කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශවලින් යම් තරමක් ගිලිහී ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. පවතින මේ තත්ත්වය ඉතාම බරපතළ බව ඔහු කීය.

මේ අතර වැඩිම අවදානම එල්ල වී ඇත්තේ කොළඹ නගරයේ පිහිටි මහල් නිවාස සහ වැඩපොළවල්ය. විශේෂයෙන් ගාලුමුවදොර සහ කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින හෝටල්වල වැඩකරන ඉන්දියානු ජාතිකයන් රුසකට කොවිඩ් වෛරසය ආසාදිත වී තිබේ. පසුගිය දවසක සිදුකළ PCR පරීක්ෂණයකදී එක වැඩබිමක රෝගීන් 100 වාර්තා වී තිබුණු අතර ඉන් 54 ක්ම ඉන්දියන් ජාතිකයන් බව සඳහන් වේ. විශේෂයෙන් එම ස්ථානවල සේවය කරන කම්කරුවන් 80%කට පමණ කොවිඩ් රෝගය වැළඳී ඇති බවට අනාවරණය වී තිබේ. එහෙත් පුදුමය නම් ඔවුන් සැඟවී සිටිමින් PCR පරීක්ෂණ මඟහැරීමය. මේ නිසා එසේ සැඟවී සිටින අය සෙවීමට වෙනම පොලීසියට ක්‍රියාත්මක වන්නට සිදුවී ඇත.

කොළඹ නගරයේ පවුල් 12000කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයේ යොදවා ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. හේතුව ඔවුන් වෛරස් ආසාදිතයන්ගේ සමීපතමයන් නිසාය. මේ නිසා මට්ටක්කුලිය, මෝදර, දෙමටගොඩ, මරදාන ආදී ප්‍රදේශ දැඩි අවදානම් තැනකට මුහුණ පා ඇති බව පෙනේ. එය කොතරම්ද කියතොත් කොළඹ නගරයෙන් දිනකට රෝගීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් හමුවන්නට පටන් ගෙන ඇත. මේ ලිපිය ලියන මොහොත වනවිට කොළඹ නගරයේ කොවිඩ් රෝගීන් 8000 කට ආසන්නය. කොළඹ නගරයේ බරපතළ තත්ත්වය නම් දැන් දැන් භෞතික පෘෂ්ට මත පවා කොරෝනා වෛරසය තිබීමට ඉඩ ඇතැයි කෙරෙන අනතුරු ඇඟවීම්ය.

• ගම්පහට වැඩියෙන් කළුතර

ගම්පහ බ්‍රුන්ඩික්ස් කොරෝනා පොකුරත් සමඟ විශාල වශයෙන් රෝගීන් හමුවීම ආරම්භ වූයේ ඔක්තෝබර් මාසයේ පටන්ය. එහෙත් ඒ කොරෝනා පොකුර ක්‍රමයෙන් නොවැම්බර් මුල සතිය වනවිට පහළ ගිය අතර එය පාලනය කළ බව සෞඛ්‍ය අංශ පවා ප්‍රකාශ කර තිබිණි.

එහෙත් පෑලියගොඩ පොකුරත් සමඟ ගම්පහ කොරෝනා රෝගීන් වෙනත් මානයකට තල්ලු වී ගියේය. මේ නිසා පෑලියගොඩ, කැලණිය, වත්තල ආදී ප්‍රදේශවලින් විශාල වශයෙන් හමුවන්නට ගත්තේ පෑලියගොඩ ආශ්‍රිතයන් වීම නිසාය. එහෙත් වත්තල ප්‍රදේශයේ පිහිටි බෝනික්කන් කර්මාන්ත ශාලාවක් හරහා ඇතිවූ අලුත් කොරෝනා පොකුරත් සමඟ තව තවත් තත්ත්වය බරපතළ විය. දැනට ඒ පොකුරෙන් හමුවූ සංඛ්‍යාව 950 කට ආසන්නය. එහෙත් මේ සියල්ල ක්‍රමයෙන් අඩුවී ගියේය.

එහෙත් පුදුමය නම් පසුගිය සතියක කාලයේ පටන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් හමුවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති බවයි. ඒ අනුව මීගමුව, කටුනායක, ජාඇල, වත්තල, කැලණිය, පෑලියගොඩ, ගම්පහ ආදී ප්‍රදේශවලින් රෝගීන් එකා දෙන්නා හමුවන්නට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මේ වර්ධනය කෙරෙහි වඩාත් අවධානයෙන් වැඩකටයුතු කළයුතු බව ඔවුන්ගේ අදහස වී ඇත. කෙසේ වෙතත් ගම්පහ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 18000කට අධිකය.

එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම පසුකරමින් එකවර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වීම ඉහළ යන්නට පටන් ගත්තේය. ඒ බණ්ඩාරගම අටලුගම හරහාය. අටලුගම ගම්මානය මුස්ලිම් ජාතිකයන් ජීවත්වන ගම්මානයක් වන අතර ඒ තුළ ඇති අධික ජනගහනය හේතුවෙන් රෝගය විශාල වශයෙන් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. මේ නිසා පසුගිය බදාදා තීරණය කළේ අටලුගම සහ ඒ අවට ග්‍රාමසේවක කොට්ඨාශ කීපයක් හුදෙකලා කිරීමටය. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන ආකාරයට එම ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සොයාගෙන තිබේ. ඒ නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් දැඩි සටනක නිරත වෙමින් ඇත.

• මහනුවර තත්ත්වයේ වෙනසක්

මේ අතර මහනුවර දිස්ත්‍රික්කය තුළද කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වර්දනයක් පසුගිය සතියේ දකින්නට හැකිවිය. මේ වනවිට එම දිස්ත්‍රික්කයේ තැන් තැන්වලින් කොවිඩ් රෝගීන් වා‍ර්තා වීම වැඩිවීම නිසා පසුගිය බදාදා සිට මහනුවර සහ අකුරණ ප්‍රදේශයේ පාසල් 45ක් වසා දැමීමට තීරණය කෙරිණි. ඒ තත්ත්වය තරමක් අවදානම් තත්ත්වයට හැරෙමින් තිබෙන නිසාය.

විශේෂයෙන් එම ප්‍රදේශවල ඇතැම් ගම්මානවල ජනගහනය අධික වීම නිසා මේ තත්ත්වය තරමක් බරපතල වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ. ඒ නිසා රෝගය ව්‍යාප්ත වීම ක්‍රමයෙන් වර්ධනය වීමක්ද මහනුවර දක්නට ඇතැයි සඳහන් වේ.

• පොලිස් පොකුර 1500ක්?

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියේ 1500 කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි සඳහන් වේ. ඒ අය අතර විශේෂ කාර්ය බලකායේද සෙබළුන් 300 කට ආසන්න පිරිසකට වෛරසය ආසාදිත වී ඇතැයි සඳහන්ය. විශේෂයෙන් මේ වනවිට ඇතැම් පොලිස් ස්ථාන වසා දැමීමටත් කඳවුරු හුදෙකලා කිරීමටත් තීරණය කර තිබේ. ඒ වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් දිනපතා හමුවීම නිසාය.

මේ අතර පසුගිය සතියේ කුරුඳුවත්ත පොලිසියෙන් නිලධාරීන් කිහිප දෙනෙකුටත්, පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී සිටියදී හමුවිය. මේ නිසා ක්ෂේත්‍ර බළකා මූලස්ථානය සම්පුර්ණයෙන් හුදෙකලා කළ අතර එය දැන් පොලිස් නිලධාරීන්ට තහනම් කලාපයක් වී ඇත. විශේෂයෙන් පොලිස් නිලධාරින් රුසක් සිටින එම ප්‍රදේශය අතිශය තීරණාත්මක තැනක් බව සඳහන් කළ යුතුමය.

• නිරෝධායනය නිරීක්ෂණය වෙනස් වෙයි

මේ අතර නිරෝධායනය නිරීක්ෂණ ක්‍රමය වෙනස් කිරීමට රජය තීරණය කර ඇත. මෙතෙක් පොලීසියත්, හමුදාවත්, සෞඛ්‍ය පරීක්ෂකවරුත් එකතුව සිදුකළ නිරෝධායනය නිරීක්ෂණ මින්පසුව දින හතම සඳහා රජයේ නිලධාරීන් හත්දෙනෙකු යෙදවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, පොලිස් නිලධාරියෙක්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියක්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරියා, කෘෂිකර්ම නිලධාරී, වශයෙන් යෙදවීමට තීරණය කර ඇත. ඔවුන් එකිනෙකා දිනපතා ගොස් සොයා බලා අදාළ ප්‍රශ්න, ගැටලු සහ අවශ්‍ය සොයාබැලීම් සිදුකළ යුතු බවට දන්වා තිබේ. මෙය ඉතාම හොඳ ක්‍රමවේදයක් බවත් ගමේ සිටින තමන්ට හිතවත් අය දින හතකදී හමුවීම තුළ ඔවුන්ට ඇති ඕනෑම ගැටලුවක් කීමේ හැකියාව ඇති බවත් පෙන්වා දිය හැක.

• මූලාශ්‍ර නෑ

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වනවිට ලංකාව තුන්වන මට්ටමට පැමිණ ඇති බවයි. එය සරලවම කීවොත් රෝගියාට රෝගය බෝවුණ ආකාරය ගැන නිශ්චිත තොරතුරක් නැතිවීමය. එසේ නැතිනම් මුලාශ්‍ර නොමැති වීමය. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ දැන් දැන් ඇතැම් රෝගීන් හමුවුණත් ඔවුන්ට මුලාශ්‍ර නොමැති බවය. මෙය බරපතළ තත්ත්වයක් බවත් එසේ සිදුවන්නේ රෝගය සමාජ ගතවීම නිසා බවත් හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹ තත්ත්වය එවැනි තැනකට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා ජනතාව ඉතාම කල්පනාකාරී ලෙස ජීවත් වියයුතු බව ඔහු පෙන්වා දෙයි. පවතින තත්ත්වය සමඟ රජය මෙන්ම ජනතාවද ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත. එසේ නොමැති වුවහොත් මේ වෛරසය විශාල වශයෙන් රටපුරා ව්‍යාප්ත වන වේගය නතර කරගන්නට වන්නේ නැත. මෙහි බරපතළ තත්ත්වය ඇතිව තිබෙන කොළඹ පවා මේ වනවිට පත්ව ඇත්තේ ඉතාම තීරණාත්මක තැනකටය. වෛරසයට ගොදුරුව සිටින කොළඹ ජනතාව මෙන්ව කොළඹ රුකියාවට එන ජනතාව පවා ඉන්නේ ඉතාමත් අවදානම් මොහොතකය. ඒ නිසා හැම මොහොතක දැනුම් දෙන ආකාරයට ඔබේ ආරක්ෂාව රටේ ආරක්ෂාව වනු ඇත. ඔබේ අවධානය නැති බව රටේ අවදානම වනු ඇත. ඒ නිසා පුරවැසි වගකීම සෑමවිටම ඉටුකරන්න ඔබත් මමත් බැඳී සිටිය යුතුය.

 ගයාන් ගාල්ලගේ