2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ජපන් කෙල්ල අරන් ලංකාවට පැන්න මීගමු කොල්ලා

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1493

ජපන් ජාතික ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක එරට සිට අපහරණය කොට ලංකාවට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතකු පිළිබඳව වාර්තා පළවෙමින් තිබුණි. මාස හතකට එපිටදී පැහැරගැනීම සිදුකර ඇතත් මේතාක් සැඟවී සිටි යුවළ ඉකුත් 25දා කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගැනීමට සමත්ව තිබිණ. එහිදී අනාවරණය වූ කරුණු අනුව සිදුවීම මෙසේය.

මීගමුව මාරවිල මූදුකොටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු මීට වසර හතරකට පමණ ඉහතදී වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජපානය බලා පිටත්ව ගිය අයෙකි. ඔහුගේ හොඳම මිතුරා කටානේ පදිංචිකරුවෙකි. ඔහුද මෙරට සිට ජපානයට ගිය කෙනෙකි. එරටදී අධ්‍යාපනය ලබන අතරතුර යම් රැකියාවක නිරතවීමට ඔවුහු උත්සාහ ගත්හ. ඒ අනුව එරට මෑන් පවර් ආයතනයක් හා සම්බන්ධව තිබෙන අතර එහි හිමිකාරිය ජපන් ජාතික කාන්තාවකි. වැන්දඹුවක වන ඇය එක්දරු මවකි. ඈට අවුරුදු 15ක දියණියක සිටියාය. 53 හැවිරිදි ව්‍යාපාරික කාන්තාව සමග ගොඩනැගුණු සුහදත්වය පෙම් සබඳතාවක් දක්වා ගොඩනංවා ගැනීමට කටානේ පදිංචි තරුණයා සමත්ව තිබිණ. මේ අතර සැමියා මියගොස් තනිකඩව උන් ඇය වැඩිකල් නොයවා ඔහුව විවාහ කරගෙන සිය ස්වාමියා බවට පත්කර ගැනීමට කටයුතු කළාය.

එම කාන්තාවගේ මියගිය ස්වාමියා එරට හිටපු ධනවතෙකි. ඔහු මියයන්නට මත්තෙන් සිය දේපලවලින් වැඩි කොටසක් තම එකම දියණිය නමට ලියා තබා ඇත. එහෙත් ඒ සියල්ල දියණියට හිමිවන්නට නියමිතව තිබුණේ ඇයට අවුරුදු 16 සම්පූර්ණ වූ පසුවය. එබැවින් ඇගේ මව සිතැඟි ලෙස එකී දේපල භාවිත කළාය. මේ බව ඇයගේ ශ්‍රී ලාංකික සැමියා වෙතද පවසා තිබිණ. කටානේ පදිංචි ඔහු 30 හැවිරිදිය. ඒ අනුව ජපන් කාන්තාව විවාහ වී තිබුණේ අවුරුදු 23 ක් වයසින් අඩු තරුණයකු සමඟය. තත්ත්වය එසේ තිබියදී ලංකාවේ මිතුරන් දෙන්නාගෙන් මාරවිල පදිංචි තරුණයා ජපන් කාන්තාවගේ එකම දියණිය සමග සුහදත්වයක් ගොඩනගාගෙන තිබිණ. වසර දෙක තුනක් ඇතුළත ආදරවන්තයන් වූ ඔවුන්ගේ ඇසුර බොහෝ දුරගොස් තිබිණ.
සිය පෙම්වතා ගැන විශ්වාසය තැබූ 15 හැවිරිදි තරුණිය තමාට අයත් දේපල ගැන පෙම්වතාට පැවසුවාය. ඉන් ප්‍රමෝදයට පත් ඔහු දෙවැනුව බියටත් කලබලයටත් පත්වූයේ පෙම්වතිය හෙලිකළ තවත් කරුණක් නිසාය.

“අම්මා බැඳලා ඉන්න ලංකාවේ ඔයාගේ යාළුවාට වැඩිය වයසකුත් නෑනේ. අම්මා එයාට පුදුම කැමතියි. ඉතින් අම්මා කියනවා කවදා හරි මට ඒ මනුස්සයා කසාද බඳින්න කියලා. මගෙ වයස හරියනකම් අම්මා එයා එක්ක ඉන්නවාලු. ඊට පස්සෙ මට එයා බඳින්න කැමති වෙන්න කියලා බලකරනවා. මම ඒක කරන්නෙ නෑ. මේ ගැන අම්මා අර මනුස්සයාටත් කියලා. එයා අම්මට වඩා ඒකට කැමතියි.”

මේ කතාවත් සමග දෙලොව රත්වූ පෙම්වතා ඒ බව කාටවත් නොකියා පෙම්වතිය හා කතිකා කරමින් මවට හොරෙන් ලංකාවට පලායාමට සැලසුම් කළේය. ඒ අනුව අවශ්‍ය කරන ලියකියැවිලි සියල්ල සකසා ගැනුණේ පෙම්වතියගේ මවට රහසිනි. කටයුතු එසේ සිදුකර තිබුණේ දෙදෙනාගේ පෙම් සබඳතාව ගැන වටින් ගොඩින් මවට සැලවී තිබුණු නිසාය. මේ කාලය වනවිට මවගේ ශ්‍රී ලාංකික සැමියා ලංකාවට පැමිණි සිටියේය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තරුණ යුවළ සියල්ල සූදානම් කොටගෙන කාටත් හොරා ලංකාවට පැන ගියහ. 

හිටි හැටියේම නිවසින් අතුරුදන් වූ දියණිය සෙවීමේදී ඇගේ පෙම්වතාත් අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත. පසුව ජපාන පොලීසිය හා විදේශ කටයුතු පිළිබඳව ක්‍රියාකරන ආයතන හරහා අනාවරණය කොටගෙන තිබුණේ සිය එකම දියණිය පෙම්වතා සමගින් ලංකාවට පලාගොස් ඇති බවය. ඒ පසු ගිය මාර්තු 12 වැනිදාය.

ඒත් සමග තම දියණිය පැහැරගෙන ලංකාවට ගිය සිදුවීම සම්බන්ධයෙන් මෙරට ගුවන්තොටුපළට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව පැමිණිලි කරන්නට එරට තානාපති කාර්යාලය හරහා ජපන් කාන්තාව කටයුතු කළාය. මේ අතර සිදුවීම ඇගේ ලාංකික ස්වාමියාට දුරකතන මගින් දන්වා තිබිණ. එම කටයුතු සඳහා මෙරට සිටි කටානේ පුද්ගලයාද බිරියට සහාය ලබාදී ඇත. ඒ අනුව යුවළ ගුවන් තොටුපලේ රඳවාගෙන තොරතුරු ලබාගැනීමෙන් පසුව එම බලධාරීන් තරුණිය ඇගේ පෙම්වතාගේ සොයුරිය භාරයේ කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගන්වා ඇත. ඒ මාර්තු 14 වැනිදා ඇගේ මව ජපානයේ සිට මෙහි පැමිණෙන තුරුය.

එහෙත් මව හෝටලයට යනවිට දැරිය සිටියේ නැත. කලබලයට පත් ඇය කටානේ ස්වාමියා සමඟ ගොස් කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කළාය. එහිදී වැඩිදුරටත් කියා තිබුණේ දියණිය තමා සතු ලක්ෂ දහයක පමණ මුදල්ද රැගෙන ගොස් ඇති බවකි. පසුව පොලීසිය හෙළිකරගත්තේ තරුණයා සිය සොහොයුරියගේ තොරතුරු අනුව පැමිණ පෙම්වතිය එතැනින් රැගෙන ගිය බවය. එහිදී තරුණයාගේ සොයුරිය හා මවගෙන් ප්‍රශ්න කොට තරුණිය පැහැරගෙන යාමට අනුබල දුන් වරදට ඔවුන්ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අතරට තරුණිය රැගෙන යාමට පැමිණි මෝටර් රථයද තිබිණ. එය පෙම්වතාගේ ඥාති සොයුරකුට අයත්‍ එකකි. තරුණිය ආගිය අතක් නොවූයෙන් සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව විමර්ශන සිදුකර ඇත. එහෙත් කොරෝනා වසංගතය නිසා එම තොරතුරු ලබාගැනීමට ප්‍රමාද වී තිබේ. එකී වාර්තාවක් අවසන් වශයෙන් ලැබී තිබුණේ ජූලි 23 වැනිදාය.

පෙම්වතාගේ සොයුරිය වන අක්කාගේ දුරකතන වාර්තා අනුව මීගමුව ක්ලීටස් පෙදෙස අයෙකුට ලබාගත් ඇමතුම් ගණනාවකි. ඒ ඇගේ පෙම්වතා බවට තහවුරු විය. ඔහු ජපන් තරුණියගේ පෙම්වතාගේ සම වයස් මිතුරෙකි. වාර්තාව අනුව ඔහු මාරවිල, මූදුකොටුව, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ගමන් කොට තිබිණි. ඔහු පෙරකී යුවළට උදව් කළේද යන්න සැකයකි. එම විමර්ශන සිදුකෙරෙන අතර පොලිසියට ලැබුණු තොරතුරු අනුව ප්‍රදේශ ගණනාවක සෝදිසි කිරීම් සිදුකර තිබිණ. අවසන් වරට එවැනි දුරකතන ඇමතුමකින් කාන්තාවක් විසින් කොච්චිකඩේ පොලිසිය වෙත දුන් තොරතුරකි. ඇය කියා තිබුණේ මාධ්‍යවල පළවූ පරිදි සැක යුවළක් මූදුකොටුව නිවසක සිටින බවකි. ඒ අනුව වෙස්වලාගත් පොලිස් නිලධාරියකු එහි ගැවසෙන විට අදාළ නිවසේ යුවළක් සිටිනු දැක ඇත. පසුව පොලිසිය එහි ගියද ගේට්ටුව දොර ජනෙල් ඉබි යතුරු දමා තිබී ඇත. මහත් පරිශ්‍රමයකින් ඒවා ඉවත්කර නිවෙසට ඇතුල්වෙද්දී සැක්කර යුවළ එහි රැඳීසිට ඇත. එය පෙම්වතාගේ ඥති සොයුරියකට අයත් නිවසකි. එතැනදී දැනගැනීමට ලැබී තිබුණේ ඒ වනවිටත් ජපන් තරුණිය මාස හතරක ගැබිණි මවක් බවටය.

සැකකාර යුවළ පොලීසියට කැටුව ආවේ අනතුරුවය. පෙම්වතාගේ අතට මාංචු දමා තිබුණද පෙම්වතිය ඔහුගෙන් දුරස්වී නැත. පෙම්වතියගේ මවත් ලාංකික සැමියාත් මේ යුවළට තදින්ම විරුද්ධ බවද හෙළිකර තිබිණ. තරැණිය ගැබිණියක බව දැනගැනීමත් සමඟ ඇය මුස්ලිම් කාන්තාවක ලෙස බුර්කාවකින් සරසා පෞද්ගලික රෝහලකින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත් බවද කියා තිබිණ. මෙහිදී කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා යුවළ හමුවේ කියා ඇත්තේ ජපන් කාන්තාවගේ පැමිණිල්ල අනුව විමර්ශනය සිදුකළ බවය.

නුවරඑළිය, නාවලපිටිය, කොග්ගල, මිනුවන්ගොඩ, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශය ගණනාවක සොයාබැලීම් කිරීමට පොලීසියට සිදුව තිබුණි. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි මහතා සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා පොලිස් සැරයන් රුවන් 40290, කොස්තාපල්වරැන් වන සුමිත්‍රානන්ද 65060, වේරගම, කාන්තා කොස්තාපල් ධනංජනී 10964, හා පොලිස් රියදුරු සිසිර 19387 යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර
ෙස්යාරූ - අන්තර්ජාලෙයනි