2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

රට පටලවන ගෙදර කොවිඩ් මරණ

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. දිනකට මරණ හතරක් පහක් පමණ වාර්තාවීම සාමාන්‍යකරණය වී ඇත. දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද පසුගිය සතියේ 21 වැනිදා වාර්තා විය. එදින වාර්තා වූ  කොවිඩ් මරණ සංඛ්‍යාව 9කි. ඒ අනුව රට තුළ ද කොවිඩ් මරණ පිළිබඳ  සැලකිය යුතු කතාබහක් ද නිර්මාණය වී ඇත. නිවෙසේදී මියයන කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් සෞඛ්‍ය අංශ ද යම් උගතෝකෝටික පැටලී සිටින බව පෙනී යයි. එම නිසාවෙන්ම වසංගතයේ මරණ ඉහළ යෑම පිළිබඳ සොයා බැලීම කාලෝචිතය. අපි ඒ සඳහා අවකාශ වෙන් කර ගතිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනට සති කිහිපයකට පෙර අනතුරු ඇඟවූයේ මේ වසරේ ඉතිරි මාස එකහමාරක කාලය තුළ ලෝක කොවිඩ්  මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. එම අනතුරු ඇඟවීමට අනුව දැනට සිදුවී ඇති  මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක මරණ ඉදිරි මාස එකහමාරක කාලය තුළ සිදුවිය හැකිය. ඒ කෙසේ වෙතත් ලොව සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ යනු පාලනය කරගත නොහැකි අර්බුදයක් නොවේ. 

අපි මෙම තත්ත්වය පිළිබඳ සංවාදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා සම්බන්ධ කර ගතිමු. 

“ලෝකේ අනෙක් රටවල ආසාදිතයන්ගේ මරණ පිළිබඳ සලකා බැලුවාම ප්‍රතිශතයක් විදිහට අපි අඩු අගයක ඉන්නේ. ඇතැම් රටවල ආසාදිතයන් අතරින් මරණ සියයට හතරක් (4%) සියයට පහක් (5%) වගේ මරණ වාර්තා වෙනවා. සමස්තයක් විදිහට ගත්තාම සියයට දෙකයි දශම පහක් (2.5%) වගේ අගයක් ගන්නවා. නමුත් ලංකාවේ තවමත් මරණ සිදුවීම දශම හතරක් (0.4%) වගේ අගයක් ගන්නේ. තවදුරටත් පැහැදිලි කරනවා නම් 1000ක් ලෙඩ වුණොත් මරණ 4 ක් වගේ වාර්තා වෙන තත්ත්වයක තමා අපි ඉන්නේ."

පසුගියදා ලොව පුරා සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව දහ හතර ලක්ෂය ද ඉක්මවා ගියේය. අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව මරණ වැඩි වශයෙන් වාර්තා වන රටවල් ලෙස නම් කර තිබුණි. සමස්ත ලෝකයේම කොවිඩ් මරණ වාර්තා වූ රටවල් 218කි. මේ අතර ශීත කාලයේ අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ කොවිඩ් මරණ සිදුවීම වේගවත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරැ අඟවා තිබේ.

ලෝකයාට සාපේක්ෂව කොවිඩ් මරණ සිදුවීම මේ අනුපාතය අතින් ගත් කල අප යම් පමණකට සුරක්ෂිතය. එහෙත් මෙරට වාර්තා වන කොවිඩ් මරණ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් නිවෙසේදී සිදුවන මරණ වීම සැලකිල්ලට ගත යුතු කරුණකි. වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ ද අවධානය මේ සම්බන්ධව යොමු වී තිබුණි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් සිදුව ඇති කොවිඩ් මරණවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් නිවෙසේදී සිදුවූ මරණ ලෙස වාර්තා වන බව ඒ මහතා කියා සිටියේය.

“අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති පිරිසට යම්කිසි අලුත් රෝග තත්ත්වයක් ඇති වුණොත් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. එය උණ වෙන්න පුළුවන්, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දුර්වල වීමක්, ආහාර අරුචිය, ගඳ සුවඳ නොදැනීම වගේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. එහෙම නොමැති නම් 1999 අංකයට කතා කර උපදෙස් ලබාගන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයක් උත්සන්න වෙනකම් බලාගෙන ඉන්න එපා. පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා සිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර හඳුනාගැනීමෙන් පසු මියගිය කොවිඩ් ආසාදිතයන් 81 දෙනාගෙන් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලදී මියගොස් තිබෙනවා.” 

මෙය එක්තරා ආකාරයකට අනතුරු ඇඟවීමකි. අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති පිරිස් අලුත් රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයකින් සිටිය යුතු බව මේ අනුව පැහැදිලි වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා නිවෙසේ සිදුවන මරණ පිළිබඳ වැඩිදුරටත් පහදයි.

“අපේ මරණවලින් සියයට පනහක් විතර ගෙදරදී වෙලා තියෙනවා. මෙච්චර සෞඛ්‍ය සේවයක් තියෙද්දී, අත ළඟ රෝහල් තියෙද්දී ඇයි මේ අය රෝහල්වලට නෑවිත් මියගියේ කියන ප්‍රශ්නය ඇතිවෙලා තියෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන කාරණාව හඳුනාගන්න වගේම මරණ සමාලෝචනය කරන්න කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන අධ්‍යක්ෂකවරයකුත්, වසංගත රෝග අංශයේ විශේෂඥවරයකුත්, අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකුත් මේ සඳහා පත් කරලා තියෙනවා. මේ කමිටුව නොවැම්බර් 9 වැනිදා පත් කරන ලද කමිටුවක්. අපි බලාපොරොත්තු වෙනවා මෙහි වාර්තාව ලැබෙයි කියලා."

මෙම වර්තාව ලැබුණු පසු නිවෙසේදී මරණ සිදුවීමට හේතුව අනාවරණය කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙයි. එසේම මෙම මරණ සමාලෝචනය වාර්තාව හරහා මරණ සිදුවීම අවම කර ගැනීමට නව වැඩපිළිවෙළක් ද නිර්මාණය කර ගැනීමට අවකාශය උදාවනු ඇත. 

“නිවෙස්වල ඉන්න අය ඇයි රෝහලට ආවේ නැත්තේ? අපි සොයා බැලිය යුතුයි. යම් බයක් නිසාද? මරණයක් සිදුවූ විට අවසන් කටයුතු කිරීම සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්ද? නැත්නම් නොදැනුවත්භාවයද? ඇත්තෙන්ම අපි ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි."

කඩිනමින් සිදුවෙමින් පවතින දෑ තේරැම් ගැනීමේ අවශ්‍යතාව නවීන් ද සිල්වා මහතා අවධාරණය කරයි. සැබවින්ම නිවෙසේදී මරණ සිදුවීම තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශ දැවැන්ත අර්බුදයක් කරා ගමන් කිරීමට අවකාශයක් තිබේ. එසේ නමුත් මහජනතාව ද මෙහිදී යමක් අවබෝධ කරගත යුතුව තිබේ.

පසුගිය සමයේ නිවෙසේදී මියගිය කොවිඩ් ආසාදිතයන්ගෙන් අති බහුතරය බෝනොවන රෝගවලින් පෙළෙමින් සිටින බව දැනටමත් අනාවරණය වී තිබේ. එම නිසාම යම් රෝගී තත්ත්වයක් උත්සන්න වුවහොත් රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම තවදුරටත් සුදුසු නැත. රෝගියකුට රෝහලක් තුළ දී අසාධ්‍ය තත්ත්වයක් ඇති වුවහොත් එම රෝගියාගේ ජීවිතය ආරක්ෂා වීමට ඇති ඉඩකඩ වැඩිය. මහමග දී හෝ නිවෙසේදී රෝගියකුගේ ජීවිත අවදානම අතිශයින් ඉහළය. රෝහලකදී හදිසි ප‍්‍රතිකාර ලබා දී රෝගියකු මරණයෙන් බේරාගැනීමට හැකිය. අවශ්‍ය නම් රෝගියා දැඩි සත්කාර ඒකකයට මාරැ කර එහි ජීවිත ආරක්ෂණ උපකරණවල සහාය ලබාදීමට රෝහල් කාර්යමණ්ඩලය ක්ෂණිකව කටයුතු කරනු ඇත.

පොදුවේ  ශ‍්‍රී ලංකාවේ සිදුවන සමස්ත මරණවලින් 75%කට හේතුව බෝනොවන රෝග බව කියැවේ. දිනකට 700ක් 800ක් පමණ දෙනා බෝනොවන රෝගවලින් මියයන බවද කියැවේ. ඒ අනුව නිවෙසේ කොවිඩ් ආසාදිතයන් බෝනොවන රෝග හේතුකොටගෙන මියයෑම සිදුවිය නොහැක්කක් නොවේ. සම්පූර්ණයෙන් සෞඛ්‍ය අංශ වෙත මේ පිළිබඳ  වරද පැටවීමට කරුණක් නොවේ. එහෙත් යම් රෝගයක් උත්සන්න වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහජනතාව යොමු නොවන්නේ නම් ඊට හේතුවක් තිබිය යුතු බව සැබෑය. 

වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මතු කළ අදහසක් අවසාන වශයෙන් ගෙන හැර පාමු. කොවිඩ් මරණ සහ බෝනොවන රෝග අතර සම්බන්ධය පිළිබඳ සිතා බැලීමේ දී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වටී.

“කොවිඩ් සමඟම අපි බෝනොවන රෝග මර්දනය කරන්නත් නිවැරුදි වැඩපිළිවෙළකට යා යුතුයි. පිටි, කිරිපිටි, කෘෂි රසායන සහිත ආහාර වෙනුවට වස විසෙන් තොර දේශීය ආහාර රටාවකට යොමුවීම වැදගත්. ඒ වගේම දිනපතා කායික ව්‍යායාමවල නිරතවීමේ පුරුද්දක් ඇතිකර ගන්න ඕනෑ. ඒ වගේම මත්පැන් සහ දුම්වැටි භාවිතය නතර කිරීම අවශ්‍යයි." 

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00