2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

මහාධිකරණ තීන්දුව ඉවතලු සිල්රෙදි නඩුව

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

සිල් රෙදි නඩුව ලෙස ප්‍රකට වූ නඩුවේ විත්තිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්රුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා නියෝග  කළේය. 2015  ජනාධිපතිවරණ සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර සිල් රෙදි බෙදා හැරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට  කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළහ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව චෝදනා ලද දෙදෙනා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන අතර ඔවුන් දෙදෙනා රජයේ මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි ආනවරණය නොවන බවටය. ඒ අනුව සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ ගොනු කර තිබූ අධිචෝදනා තුනම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවද, මෙම පෙත්සම්වල පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බවද විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

2015 ජනාධිපතිවරණ සමයේ  (2014 ඔක්තෝබර් 30 සිට 2015 ජනවාරි 05 අතර කාලයේදී) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 වැය කරමින් දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටට එරෙහිව නීතීපතිවරයා විසින් අධිචෝදනා 3ක් ගොනු කරමින් රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම  යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.  

නඩු විභාගය අවසානයේ  2017 සැප්තැම්බර් මස 07 වනදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා චුදිතයන් අදාළ චෝදනාවලට වැරදිකරුවන් යයි ප්‍රකාශයට පත් කරමින් බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව ලක්ෂ 20ක දඩයක් හා එක් චූදිතයකු විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට මිලියන 50 බැගින් මිලියන 100ක වන්දියක් ගෙවිය යුතු ලෙසටද නියම විය.

තමන්ට නියම කර ඇති දඬුවම් නීතියට පටහැනි බැවින් සියලු චෝදනා අවලංගුකොට සියලු අධි චෝදනාවලින් නිදහස් කරන ලෙසට විත්තිකරුවෝ තම නීතීඥයන් මගින් පෙත්සම් දෙකක් සහ ඇප ඉල්ලුම්පතක්ද ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. ඒ අනුව කොළඹ මහාධිකරණයෙන් කොන්දේසි සහිත ඇප යටතේ ඔවුන් දෙදෙනා මුදා හරිනු ලැබූහ.

ජනාධිපති ලේකම්වරයා යනු ඉහළම රාජ්‍ය නිලධාරියාය. තම ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට මහාධිකරණයෙන් ලබා දුන් තීන්දුවෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්ද කර තිබිණි. එහි සඳහන් වූයේ ලලිත් වීරතුංග හෝ අනූෂ පැල්පිට සිල්රෙදි මිලදී ගැනීම සඳහා යොදවා ඇති මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ලබාගෙන නැති බව නඩු තීන්දුවේම සඳහන් වන බවටය. ඔවුන් සිදු කර ඇත්තේ රටේ ජනාධිපතිවරයා විසින් ඔවුන් වෙත ලබාදුන් නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවද. තමා විසින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් ලබා දී තිබූ වාචික උපදෙස් ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනුවල වෙනත් නිලධාරීන්ගේ දැනගැනීම පිණිස සිය අත් අකුරින් සටහන්  තබා ඇති බවද. එහි සඳහන් කර තිබිණි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් එම චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි. 

සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට බෙදා දීම සඳහා  එම රෙදි විහාරස්ථානවලට ලබා දුන් බවද, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ඒ සඳහා ලබා දුන් මුදල් එම කාර්ය සඳහා පමණක් යෙදවූ බවද, කොමිෂන් සභාව මුදල් ලබා දුන්නේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ ඔහුගේ ලේකම් මගින් 2015 ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ කලකට උඩදී කළ ඉල්ලීමකට අනුව බවද මෙම නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේ සිටම විත්තිය ප්‍රකාශ කළේය. 

නඩු විභාගය අවසානයේ වරක් පාර්ශ්වකරුවන්ට දැනුම් දීමට නොහැකි වීම මතද, තවත් වරක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ද තීන්දුව ප්‍රකාශ කිරීම කල් ගියේය. අවසානයේ පසුගිය 19 දින තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිශ්චය මණඩලයේ තීන්දුව වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කෙරිණි. ප්‍රධාන විනිසුරුවරිය වූ කුමුදිනී වික්‍රමසිංහ මහත්මියගේ තීන්දුව පිටු 62කින් යුක්ත වූ අතර දේවිකා අබේරත්න මහත්මියගේ තීන්දුව පිටු 24කින් සමන්විත විය.

මෙම විත්තිකරුවන් දෙදෙනා කිසිදු අවස්ථාවක මෙම කාර්ය තුළින් පෞද්ගලික ලාභයක් හෝ වාසියක් ලබාගෙන නොමැති බව මහාධිකරණ විනිසුරුවරයා විසින්ම ප්‍රකාශ කර තිබීමෙන් ඔවුන්ගේ නිරවද්‍යභාවය තහවුරු වී ඇතැයි අභියාචනාධිකරණ තීන්දුව මගින් ප්‍රකාශ කර තිබේ. ඔවුන් දෙදෙනා සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති  බෞද්ධාගමේ උන්නතිය සඳහා සංවිධානය කර තිබූ ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස රාජ්‍ය අනුග්‍රහය දැක්වීමක් ලෙස සිල් රෙදි ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය මුදල් යෙදවීම බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට කුමන හෝ චෝදනාවක් නැගීම සාධාරණ නොවන බවද එම තීන්දුවේ වැඩිදුරටත් දැක්වේ.

අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා “අද දින අභියාචනාධිකරණයෙන්  දෙන ලද තීන්දුව පිළිබඳව මටත් මගේ මිත්‍ර අනුෂටත් ඇත්තේ ඉතාමත් සතුටක්. අධිකරණය ස්වාධීනයි. අප දෙදෙනාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළා. එය මට දැනෙන්නේ එය පුද්ගලයකුට  දුන් තීන්දුවකට වඩා මුළු මහත් රාජ්‍ය සේවයම තිබුණු අසාධාරණ බැඳීම්වලින් ඉවත් කළා කියලයි. මගේ සහෝදර රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවැරදි දේ කරන්න බය වෙන්න එපා කියලයි. අප මුහුණ දුන් ප්‍රශ්නයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් පසුගාමී වුණා. ඔවුන් බය වුණා. ඒ කාලය අවසන්. හරි දේ කරන්න එතකොට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳීමේදී රාජ්‍ය නිලධාරීන් හැටියට තිබෙන නීති පොතෙන් ටිකක් එහාට යන්නට සිදු වෙනවා. තමන්ට වාසිදායක තීරණ නොගන්නේ නම් මහජනතාවට පමණක් වාසිදායක තීරණ ගන්නේ නම් එහි වැරැද්දක් මා දකින්නේ නැහැ.” යනුවෙන් සඳහන් කළේය. 

අනුෂ පැල්පිට මහතාද කියා සිටියේ 2015 යහපාලන රජය ආරම්භ කළ පලිගැනීම් එදින අවසන් වූ බවයි. “මෙතෙක් ඇප මත සිටි සිරකරුවන් වූ අපට අද අභියාචනාධිකරණය සාධාරණ හා යුක්තිසහගත තීන්දුවක් ලබා දුන්නා මේ තීන්දුව මටවත් ලලිත් වීරතුංග මහතාටවත් ලබා දුන් තීන්දුවක් නොවෙයි. එය සමස්ත රාජ්‍ය සේවයටම ලබා දුන් තීන්දුවක්. දේශපාලනඥයන්ට පුළුවන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට පමණයි.  රජයේ සේවකයන් විදිහට අපි තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. එබැවින් අභියාචනාධිකරණය ලබා දුන්නේ. ඓතිහාසික තීන්දුවක්. අපි සතයක්වත් වංචා කර නොමැති බවට. එදා මහාධිකරණ විනිසුරැවරයාත් ප්‍රකාශ කළා.” යනුවෙන් පැවසීය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00