2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

කොළඹ හතේදී උඩින් ගිහින් මාර “හපන් කමක්” කළ පොලිස් දුව

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 401

කොවිඩ් කතා මැද මේ දිනවල ජනප්‍රියම කතාව වන්නේ පොලීසියේ ලොකු මහත්තයකුගේ දියණියක විසින් කළ හපන්කමක් ගැනය. රියදුරු බලපත්‍රයක් පවා නොමැතිව වී-8 වර්ගයේ ජිප් රථයක් ධාවනය කර කොළඹ හතේ පිහිටි කාර් සේල් එකක් වෙතට වැදී එහි සියල්ල සුණු විසුණු කර තිබීමය. මෙය බරපතළ අනතුරක් විය.

පසුගිය 15 වැනිදා දහවල් මෙම රිය අනතුර සිදුවී තිබුණේ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට ඇති ප්‍රසිද්ධ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් වන නන්දා මෝටර්ස් ආයතනය වෙත කඩා වැදීමත් සමඟය. මේ අනතුර බරපතළ අනතුරක් වූ අතර මෙම ජිප් රථය ධාවනය කර ඇත්තේ 19 වියැති තරුණියකි. ඇයත් සමඟ තව මිතුරන් දෙදෙනකු ද එතුළ සිට ඇති අතර ඔවුන් පැමිණි ජීප් රථය වේගයෙන් පැමිණ නන්දා මෝටර්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුත් බිඳගෙන එම ආයතනය තුළට පැමිණ නතර විය. කෝටි ගණන් වටිනා වාහන වෙළෙඳාමේ යෙදෙන නන්දා මෝටර්ස් ආයතනයේ අවාසනාව කෙතරම්ද කියතොත් ජිප් රථය එම ආයතනයේ වීදුරුවලට පමණක් නොව ප්‍රදර්ශනයේ තිබුණු බෙන්ස් වර්ගයේ නවීන මෝටර් රථයකට ද දැඩිලෙස හානිකර තිබිණි. කළු පැහැති බෙන්ස් මෝටර් රථයේ ඉදිරිපස බරපතළ ලෙස හානි වී තිබුණි. එපමණක් නොව එම මෝටර් රථයේ දොර වීදුරු ද කුඩු වී තිබෙනු දැකගත හැකි විය.

රිය අනතුරත් සමඟ පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනතුරට හේතු වූ තරුණියගේ අනන්‍යතාවය හෙළි විය. ඇය නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය බව පොලීසියට අනාවරණය කරගත හැකි විය.

මෙය සුළු අනතුරක් නොව බරපතළ අනතුරක් වන නිසාත්, මෙම වාහන ප්‍රදර්ශනාගාරය ලංකාවේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාරයක් නිසාත් මේ රිය අනතුර සිදුවූ සැණින් සමාජ මාධ්‍ය පුරා එහි ඡායාරූප සංසරණය වන්නට පටන් ගත්තේය. ජීප් රථයේ ඡායාරූප, අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූප, හානියේ ඡායාරූප ආදී සියල්ල එහි දැකගන්නට හැකි විය.

මේ ඡායාරූප අතර තරුණියක සිටින ඡායාරූපයක් ද විය. එම ඡායාරෑපය දුටු සැණින් සමාජ මාධ්‍ය හරහා එය සංසරණය වූයේ මේ රිය අනතුරට සම්බන්ධ තරුණිය ලෙසය. ඒ අනුව ඇයට දීර්ඝ ලෙස දෝෂාරෝපණය කරමින් විවිධ දෑ සංසරණය වන්නට විය.

මේ අතර තවත් කතාවක් ද එළියට ආවේය. එනම් 2019 වසරේ ඔක්තෝබර් 24 වැනි දින බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා හැප්පීමෙන් මරණයට පත් කළ සිද්ධියේ ප්‍රධාන චූදිතයා වී තිබුණේ මෙම රිය අනතුර සිදු කළ තරුණියගේ සහෝදරයා බවය. හරියටම එම අනතුර සිදුවී වසරක් ගතවන විටම මේ අනතුර සිදුවන්න තරම් ගමේ භාෂාවෙන් කිවහොත් (මොවුන්ට කුලප්පුව)දැයි ඕනෑම අයකුට හිතෙන දෙයකි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ වාසනාවට ජිවිතයකට හානි වී තිබුණේ නැත.

මේ ආකාරයෙන් සහෝදරයාගේ සිද්ධියත් මේ සිද්ධියත් එකට අමුණමින් සමාජ මාධ්‍ය තුළ එකපිට එක ප්‍රහාර එල්ල වන්නට විය. ඉහත කී ඡායාරූපයේ සිටින තරුණියගේ ඡායාරූපය යොදාගනිමින් මේ ප්‍රහාරය එකදිගට සිදුවන්නට විය. එය ඉතාමත් දැඩි ප්‍රහාරයක් වූ අතර එය තරුණිය දුටුවහොත් ඇයට පවා දරාගැනීමට නොහැකි වන තරම් බරපතළ විය. සැබවින්ම විවේචනයටත් එහා ගොස් අපහාස කරන තැනට ඇතැම් පෝස්ටු පැමිණ තිබිණි. මේ අතර තවත් පිරිසක් රිය අනතුර සිදුවූ ස්ථානයේ සිටින තරුණියගේ මුහුණුපොතට ගොස් එහි ඡායාරූපත්, ඇගේ පෞද්ගලිකත්වයත් රට හමුවේ අනාවරණය කරමින් චෝදනා කරන්නට වූහ. එය සැබවින්ම ඉතාමත් දරුණු ප්‍රහාර විය.

මෙකී ප්‍රහාර මැද තවත් කතාවක් කරළියට ආවේය. එනම් ඡයාරූපවල සිටින තරුණියගේ ප්‍රකාශයකි. සින්ඩි වික්‍රමනායක නැමති එම තරුණිය තම ෆේස්බුක් පිටුවේ මේ අනතුර සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබුණි. ඒ තමන් ඇතුළු මිතුරන් හොඳින් සිටින බවත්, එසේම එම ජිප් රථය ධාවනය කළේ තමන් නොවන බවත්, එම ඡායාරූපවල සිටියේ තමන් නමුත් එතනට පැමිණියේ මිතුරිය වෙනුවෙන් බවත් සඳහන් කර තිබිණි. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සිය ආත්මයට පවා හානි වෙමින් චරිත ඝාතනය වූ තරුණිය මෙම රිය අනතුර සිදු කළ එස්.එස්.පීගේ දියණිය නොවන බවට තහවුරු විය. එය සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රචාරයක් බවද තහවුරු විය.

මේ අතර බොහෝ දෙනා කතා වුණේ මේ රිය අනතුර පොලීසියේ ලොක්කකුගේ සිද්ධියක් නිසා යට යනු ඇත කියාය. එබැවින් ඒ ගැන ද විවේචන එල්ල විය. එහෙත් පුදුමයට මෙන් පොලීසියට එස්.එස්.පීගේ බලපෑමක් ඇතිව තිබුණේ නැත. ඒ නිසා නිදහසේ පරීක්ෂණ සිදුකරගෙන යාමට කුරුඳුවත්ත පොලීසියට හැකිවූ බව පොලීසියේ අදහසයි. පොලීසිය කියනවා නම් එය පිළිගත්තත්, සැකයෙන් බැහැර වන්නට තරම් අප දුර්වල වන්නේ නැත. හේතුව නම් පොලීසියේ ඇතැම් කටයුතුවල යුක්තිය සාධාරණය වෙනස් වන අවස්ථා ගැන හොඳ හැටි දන්නා නිසාය. එහෙත් දැනට පොලීසිය කියන දේ පමණක් අපි පිළිගනිමු.

පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ප්‍රථමයෙන්ම සිදු කළේ එම තරුණිය බීමත්ව සිටීද නැද්ද යන්න තහවුරු කර ගැනීමය. එහිදී තහවුරු වුණේ ඇය බීමත්ව නොසිටි බවය. ඉන් පසුව රිය අනතුර සිදුවූ ආකාරය ගැන සොයා බැලිණි. එහිදී අනාවරණය වුණේ ඇය තිරිංග වෙනුවට ඇක්ස්ලේටර් එක පාගා ඇති බවය. ඒ නිසා ජිප් රථයේ වේගය වැඩි වී එය ප්‍රද‍ර්ශනාගාරය වෙත කඩා වැදී ඇති බව තහවුරු වී තිබුණි. මෙහිදී හොඳම කාරණය හෙළි වන්නේ ඊට පසුවය. එනම් මෙම වාහනය පැදෙව්වාට ඇයට රි‍යදුරු බලපත්‍රයක් නොතිබීමය. එසේම එම වාහනය ඇගේ නොවන බවත්, මිතුරකුගේ බවත් තහවුරු විය. මේ නිසා ඇයගේ අපරික්ෂාකාරී රිය ධාවනයට අමතරව රියදුරු බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීම ද බරපතළ වරදකි. ඒ අනුව පොලීසිය මගින් අනතුර සම්බන්ධයෙන් සියලු ප්‍රකාශ ලබාගෙන ඇයට ඇප ලබා දී තිබුණි.

මෙහිදී තවත් බරපතළ වරදක් එහි සිටි තරුණයෙක් පොලීසිය ඉදිරියේ සිදු කළේය. එනම් අනතුර සිදුකළ ජීප් රථයේ පිටුපස පිහිටි වාහන අංක තහඩුව ගලවා දැමීමය. එය පොලීසිය ඉදිරිපිටම සිදු කළ ක්‍රියාවක් වූ අතර එහෙත් කිසිදු පොලිස් නිලධාරියකු එයට විරැද්ධ වීමක් දකින්නට නොලැබිණි. පුදුමය නම් වාහන අනතුරක් සිදුකළ අවස්ථාවක මෙලෙස කිසිවකු අංක තහඩු ගැලවූවා නම් නියත වශයෙන්ම එයට එරෙහිව පොලීසිය පියවර ගනු ලැබීමය. එහෙත් මොකක්දෝ වාසනාවකට මේ තරුණයා අංක තහඩු ගලවා ඉවත් කරන තෙක් එතැන සිටි පොලිස් නිලධාරීහු ඉවසිලිවන්ත වූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර එම තරුණියට ඇප ලබා දුන් අතර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා පසුදින යොදාගැනිණි. ඒ අනුව ඊට පසුදින තරුණිය නීතිඥවරුන් සමඟ අධිකරණයට පැමිණ සිටියාය. එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥාවරයා ප්‍රකාශ කර සිටියේ ඇය තිරිංග වෙනුවට ඇක්ස්ලේටරය පෑගීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවය. එසේම නන්දා මෝටර්ස් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මේ අනතුර හේතුවෙන් ආයතනයට සිදුවූ හානිය ලක්ෂ දෙසීයක් පමණ වන බවය. අනතුර සිදුවූ ජිප් රථයේ හිමිකරු සඳහන් කළේ තමන්ගේ ජිප් රථයට වූ හානිය ලක්ෂ 350ක් පමණ වන බවය. කෙසේ හෝ අවසානයේ අධිකරණයේදී සඳහන් වුණේ අදාළ හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීම් පිළිබඳව එකඟතාවයකට පැමිණෙන බවය. ඒ අනුව එම තරුණියට ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත ඇප ලබා දෙනු ලැබීය.

කුමක් හෝ වාසනාවකට මේ අනතුරෙන් ජීවිත හානියක් සිදු වුණේ නැත. එසේ සිදුවූවා නම් අද ගණන් බලන්නට වන්නේ එම ජීවිතේ වටිනාකම ගැනය. පසුගිය වසරේ ඔක්තෝබර් 24 වැනිදා අලුයම මෙම පොලිස් ලොකු තැනගේ පුත්‍රයා පොලීසියේම නිලධාරියකු හප්පා දමා මරණයට පත් කළේය. මියගිය නිලධාරියා කිසිදු වරදක් නොකර නිසි ලෙස තමන්ගේ යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේ නොහික්මුණු රිය ධාවනය නිසා ඔහුට මරු වැළඳ ගැනීමට සිදුවිය. එදා එම අනතුර සිදුවන විට දේශපාලනඥයකුගේ පුතෙක් ද එතුළ සිටියේය. පුදුමය නම් ඔවුන්ගේ විනෝදයට එදා ගොදුර වූයේ අහිංසක පොලිස් නිලධාරියකු වීමය. අද ඒ විනෝදයේ අවසානය වූයේ ආයතනයක් විනාශ වීමය. පුදුමය නම් මෙකී දරුවන් පළමු වැරැද්දෙන්ම තමන්ගේ වැරදි හදා නොගැනීමය. එකී වැරැද්ද දරුවන් පමණක් නොව දෙමාපියන් ද හදාගෙන නැත. ඒ නිසා අද අවාසනාවන්ත ලෙස වන්දි ගෙවන්නේ කොහේවත් නැති මිනිසුන්ය. දැන්වත් මේ දරුවනුත් දෙමාපියනුත් තේරැම් ගත යුතු දෙයක් ඇත. එනම් තමන්ගේ විනෝදය බහුතරයකට හානියක් වන බවය. ඒ නිසා මේ කතාව අවසානයේ එෆ්බී හී පළවූ පෝස්ටුවක් මෙලෙස පළ කරමි.

“එස්.එස්.පී මහත්තයා ඒ පුතත් මේ දුවත් හැර තව දරුවන් සිටීද? සිටී නම් කියන්න අපිට පරිස්සම් වෙන්න.”

 ගයාන් ගාල්ලගේ