2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

මධූෂ් කවුද? මොනවද කළේ?

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 571

සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් සමපියල් නොහොත් සමගිර හෙවත් රටම දන්නා "මාකඳුරේ මධූෂ්" ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ ඔහුගේ පරිච්ඡේදය පසුගිය අඟහරුවාදා අලුයම අවසන් කළේය. මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, පැහැරගැනීම් සහ කොල්ලකෑම් ලැයිස්තුවකට සෘජුව සහ වක්‍රව සම්බන්ධ මධූෂ් මේ රටේ මාධ්‍ය හැඳින්වූයේ "ගෝඩ් ෆාදර්" ලෙසය. එහෙත් මධූෂ් එවැනි ගෝඩ් ෆාදර් කෙනෙක් නොව. හැංගි හොරා සෙල්ලම් දැමූ තවත් එක් පාතාල චරිතයක්ම පමණක් බව කිව යුතුය. ඩුබායි රාජ්‍යයට පැන ගොස් කොන්ත්‍රාත්තු ලබා දෙමින් අපරාධ රැසක් සිදුකළ මධූෂ් කිසිදු විටෙක මෙවැනි ඉරණමක් බලාපොරොත්තු නොවූ බව ඔහුගේ වචනයෙන්ම හැඟේ.

“හැබැයි සර් එක දෙයක් කියන්නම්, මම කවදාවත් පණ පිටින් ලංකාවට එන්නේ නෑ. කවදාවත් මාව පණ පිටින් අල්ලන්නත් බෑ" යනුවෙන් ඔහු විසින්ම තමා සම්බන්ධයෙන් ලබාදුන් තක්සේරුව පිළිබඳ හඬපටයක එසේ සඳහන් විය. එහෙත් ඒ සියල්ල බොරු වන්නේ 2019 පෙබරවාරි 05 වැනිදා ඩුබායි රාජ්‍යයේ සාදයකදී එරට ආරක්ෂක අංශ වෙත මධූෂ් කොටු වීමත් සමඟය. එතැන් පටන් මධූෂ්ගේ කතාව කණපිට හැරිණි. කෙසේ වෙතත් එකී මධූෂ් ගැන දන්න අය සේම නොදන්න අය ද සිටිති. සෑම අපරාධකාරයෙක් පසුපසම ඔහුව එම සමාජයට ඇද දැමීමේ කතාවක් ඇති බව සත්‍යයකි. එවැනි කතාවක් මධූෂ්ට ද ඇත. මේ කියන්නට යන්නේ මදුෂ් පසුපස ඇති ඔහුගේ කතාව සහ එතැනින් පසු කතාවය. ඒ කතාව කියවීමෙන් පසු මේ සමාජය තුළ තවත් මධූෂ්ලාට හැදී වැඩෙන්නට අවස්ථාවක් නොදීම කාගේත් යුතුකම වනු ඇත.

සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත උපත ලබන්නේ 1979 පෙබරවාරි 24 වැනිදාය. මධූෂ් ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. උපන් ගම වූයේ කඹුරුපිටියේ ගතාර ග්‍රාමයයි. කුඩා කල සිටම අධ්‍යාපනයට යොමුව සිටි මධූෂ්ගේ ජීවිත ගමනේ බරපතල සිද්ධියට මුහුණ දෙන්නේ තමන්ට අවුරුදු 10ක් වැනි වයසේදීය. එනම් ජනතා විමුක්ති පෙරමුණට දැඩිව ඇලුම් කළ තම මව පක්ෂ රැස්වීමකදී වෙඩි කා මිය යන්නේ 1989 ජූලි 21 වැනිදාය. එම ඝාතනය සිදුකරන්නේ එවකට ආරක්ෂක හමුදා විසිනි. ඒ භීෂණ සමය නිසාය.

එතැන් පටන් තම ආච්චි අම්මාත්, පුංචි අම්මාත් සමීපයේ ජීවිතේ ගොඩනගන මධූෂ් තම අධ්‍යාපනය අපොස සාමාන්‍ය පෙළවලින් පසුව නිමකරනු ලබයි. එතැන් පටන් මධූෂ් දර කඩා විකුණන අතර ඒ හරහා ලැබෙන ආදායමෙන් අත් ට්‍රැක්ටරයක් මිලට ගෙන ඇත. පසුව ඒ අත් ට්‍රැක්ටරය යොදාගෙන කරවල ව්‍යාපාරයක්ද, කුලී වැඩවල ද යෙදී ඇති මධූෂ් 1998 දී විවාහ වී ඇත. ඒ දයානි සමඟය. දයානි සමඟ විවාහ වූ මධූෂ් ගතාර අතහැර මාකඳුරේ බිරිඳගේ නිවසට පදිංචියට ගියේය.

එතැන් පටන් තම අත් ට්‍රැක්ටරයෙන් විවිධ දෑ සිදුකරමින් සිටි මධූෂ් දිනක් අත් ට්‍රැක්ටරය නිසා පාර හරස් වූ බව පවසමින් පුද්ගලයකු සමඟ බහින් බස් වීමක් විය. ඒ උපනන්ද නැමැති අයකු සමඟය. කෙසේ වෙතත් උපනන්ද කාගේ කවුද යන්න දැනගන්නට මධූෂ්ට වැඩි වෙලාවක් ගියේ නැත. එනම් උපනන්ද එවකට දකුණු පළාත් සභා අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතාගේ මස්සිනා විය. එදාම සවස පිරිසක් පැමිණ මධූෂ්ගේ නිවස ඉදිරිපිට කෑ ගසන්නට වූහ. කෙසේ වෙතත් මෙතැන් පසු මධූෂ්ට හොඳ කාලයක් උදා වුණේ නැත.


මධූෂ්ගේ පළමු ගැටුම

මධූෂ් සහ උපනන්ද අතර ගැටුම ඉහළ ගිය අතර ඒ සඳහා ඩැනී හිත්තැටිය උපරිම සහයෝගය ලබාදෙමින් මධූෂ්ට කරදර කරන්නට විය. මේ අතර මධූෂ් 1999 ඔක්තෝබර් 28 වැනිදා මාවරල පොලීසියට කොටු විය. ඒ බෝර 12ක තුවක්කුවක් සහ අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදටය.

කෙසේ වෙතත් මධූෂ් සහ උපනන්ද අතර ගැටුමට ඩැනි හිත්තැටිය මැදිහත් වුණේ ඉතාම බරපතල ලෙසය. එනම් ඒ වනවිටත් මධූෂ් රජයේ ඉඩමක පදිංචි වී සිටියේය. මෙය දැනගත් ඩැනී තම බලය භාවිත කර දිනක් මධූෂ් නිවසේ නැති මොහොතක භාණ්ඩ එළියට විසිකොට බිරිඳට පහරදී එළවා දැමුවේය. මේ සිද්ධිය දැනගත් එවකට දකුණු පළාත් සභාවේ මහ ඇමති වර්තමාන කතානායක මහින්ද යාපා මහතා ඩැනී හිත්තැටිය කැඳවා මේ සම්බන්ධයෙන් අවවාද කළේ "ඩැනී තමුන් දේශපාලනඥයෙක්. ගමේ මිනිස්සුන්ට කරදර කරන්න එපා. මේවා හොඳ වැඩ නෙමෙයි. අහිංසක කොල්ලන්ට ඉන්න දෙන්න" යැයි කියාය. එහෙත් ඩැනීට ඒවා අදාළ වුණේ නැත.

උපනන්ද ඝාතනය කරයි

මේ සිද්ධිය මධූෂ්ගේ ඉවසීමේ සීමාව පන්නන තැනට පත්වී තිබිණි. ඒ වනවිටත් ගමෙන් ඈත්ව සිටිමින් සමන්තුරේ ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිටි මධූෂ් නැවත පැමිණියේ උපනන්ද සමඟ ප්‍රශ්නය විසඳාගැනීමේ අරමුණෙනි. ඒ අනුව මධූෂ්ට දිගු කාලයක් කරදර කළ උපනන්දගේ ප්‍රශ්නය 2004 ජූලි 17 වැනිදා උපනන්දට වෙඩි තබා අවසන් කළේය.

එම ඝාතනයත් සමඟ අපරාධ ලෝකයට අත්පොත් තැබූ මධූෂ් මාකඳුරෙන් එළියට පැන ගම්පහ ප්‍රදේශයට ආවේය. එසේ පැමිණි මධූෂ්ට පාතාලයේ පාර කියා දෙන්නේ උණාකුරුවේ ශාන්ත නැමැති පාතාල සමාජිකයාය. එතැනින් පසු ශාන්ත සමඟ ලීසිං සමාගම් කොල්ලකෑම සඳහා මධූෂ් මැදිහත් වන්නේ තවදුරටත් තමන්ට වෙනත් දෙයක් කිරීමට අවස්ථාවක් නොමැති නිසාය. 2005 මීගමුව පීපල්ස් ලීසිං ආයතනය කොල්ල කෑම, ගම්පහ පීපල්ස් ලීසිං ආයතනය කොල්ල කෑම, මීගමුවේ කොමර්ෂල් ආයතනය කොල්ල කෑම, කලුවැල්ල පීපල්ස් ලීසිං ආයතනය කොල්ල කෑම ආදී කොල්ලකෑම් වැලක් මධූෂ් සහ ශාන්ත විසින් සිදුකරන ලදී. එම අපරාධ රැසක් ගම්පහ දිස්ත්‍රික්කයේ වූ නිසා මේ සම්බන්ධයෙන් ගම්පහ උතුරු අපරාධ ඒකකයෙන් පරීක්ෂණ සිදු කෙරිණි.

මධූෂ් පොලීසියට කොටු වූ පළමු සහ අවසන් වාරය

එවකට එම පොලිස් ඒකකය බාරව සිටියේ වර්තමාන නියොජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාය. ඒ අනුව ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මධූෂ්ව කොටුකරගන්නේ 2006 වසරේදීය. ඒ වනවිටත් මධූෂ් කඹුරුපිටියේ තවත් ඝාතනයක් කර තිබුණේය. අල්ලා ගත් මධූෂ්ට රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කෙරූ අතර එහිදී හෙළිවුණේ මදුෂ් ඒ වනවිටත් ඩැනී හිත්තැටිය ඝාතනයට සූදානම් වන බවය. මේ නිසාම මේ සම්බන්ධයෙන් පොලීසිය ඩැනීව දැනුවත් කළේය. ඒ සමයේ ඩැනී දක්ෂිණ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිය.

කෙසේ වෙතත් සියලු දේ වැමෑරූ මධූෂ් අවසානයේ රිමාන්ඩ් කෙරිණි. එසේ රිමාන්ඩ් වූ මධූෂ් ඩැනී ඝාතන අරමුණ අත් හැරියේ නැත. ඒ සඳහා ඒ මොහොතේ ඇප ගැනීමට නොහැකිව සිටි සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇටයාට  ඇප ලබාදී ඔහු එළියට ගත්තේය. ඒ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදීමටය. මේ සඳහා හර්ෂ යසශ්‍රී නැමැත්තකු ද එකතු විය. ඒ අනුව හර්ෂ යතුරු පැදිය ධාවනය කළ අතර පසුපස ගිය සුනිල් නොහොත් ඇටයා විසින් 2006 ජූනි 11 වැනි දින ඩැනී හිත්තැටිය වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ ඝාතනයත් පසුව මෙතෙක් හැමෝම හඳුන්වනු ලැබු මධූෂ් මාකඳුරේ මධූෂ් බවට පත්විය.

බන්ධනාගාරයෙන් ත්‍රස්ත කොට්ඨාශයට

එසේ බන්ධනාගාරය තුළ සිටිමින් මධූෂ් කල්ලියක් හදාගනිමින් දකුණ සහ බස්නාහිර පළාත තුළ අපරාධ රැසක් සිදුකරන්නට විය. ඒ සියල්ල කොන්ත්‍රාත් මතය. ඒවා පොලිස් පොත්වල සටහන් වී තිබුණේ මෙසේය.

01. 2011.04.30 පිළිමතලාවේ කොල්ලයක් සඳහා කුමන්ත්‍රණය
02. 2011.06.29 කඹුරැපිටියේ දයානන්ද ජයවර්ධන ඝාතන කුමන්ත්‍රණය 
03. 2011.07.19 ජා ඇල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් 
04. 2011.10.03 අලුත්ගම නිවසක් කොල්ල කෑම 

වැනි චෝදනා රැසක් එල්ල වී තිබුණි. මේ අතර මධූෂ්ට තවත් චෝදනාවක් එල්ල විය. එනම් යුද සමයේදී කොළඹට ගිනි අවි ගෙන ඒමත් හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය කිරීමත්ය. ඒ නිසා මධූෂ් සිදුකළ වරදවලට ඇප ලැබුණත් එල්.ටී.ටී.ඊ.ය සමඟ ගනුදෙනු කිරීම නිසා 2011 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට බාරදෙන ලදී.

මධූෂ් ත්‍රස්ත විමර්ශනයේ නිලධාරීන් ඝාතන කුමන්ත්‍රණයක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා මධූෂ් එතැනින් පසුව දිර්ඝ ප්‍රශ්න කිරීමකට ලක්කරනු ලබයි. එහිදී ඔහු පවසන්නේ එල්.ටී.ටී.ඊ.යෙන් ලබාගත් ආයුධ තොගයක් කඹුරුපිටියේ තම නිවසේ වළ දමා ඇති බවය. ඒ ප්‍රකාශ මත පොලිස් නිලධාරීහු කඹුරුපිටිය බලා පිටත් වූහ.

එසේ පිටත්වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයකු සමඟ මිතුරු වන මධූෂ් ඔහුට රුපියල් ලක්ෂයක් ලබාදෙන බවට පොරොන්දුවට දුරකථනය ඉල්ලාගෙන කඹුරුපිටියේ ගෝලයකුට ඇමතුමක් ලබාදී පවසන්නේ පොලිස් නිලධාරීන් පැමිණෙන බවත් පැමිණි පසු වටකොට වෙඩිතබන ලෙසත්ය. එහෙත් පොලිස් නිලධාරීන්ගේ වාසනාවකට ඒ ඇමතුම ලබාදුන් පුද්ගලයාව කඹුරුපිටියේදී කොටුවෙයි. ඒ ඔහු ද ඒ වනවිට පොලීසියට අවශ්‍යව සිටි අයකු නිසාය. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ඝාතන කුමන්ත්‍රණය හෙළිවන අතර එම කුමන්ත්‍රණයට උදව් කළ පොලිස් නිලධාරියාව ද අත්අඩංගුවට ගනු ලබයි. පසුව ඔහුගේ සේවය ද අත්හිටවනු ලබයි. ඒ අනුව අවුරුදු දෙකකට ආසන්න කාලයක් මධූෂ් රුඳවුම් බාරයේ සිටින අතර ඊට පසු ඇප ලබා පැමිණේ.

අංගොඩ ලොක්කා හමුවීම

ඒ වනවිටත් අංගොඩ ප්‍රදේශයේ හිස ඔසවමින් සිටි ලොක්කාට මධූෂ් හමුවන්නේ මේ අතරතුරේදීය. මධූෂ් තවත් මිතුරකු මාර්ගයෙන් ලොක්කාව හමුවන්නේ ලොක්කාට අවශ්‍ය අවි ආයුධ ලබාදීමටය. ඒ වනවිටත් ලොක්කා වැලිකඩ බන්ධනාගාරයේදී කඩුවෙල සමයං නැමැති පාතාල නායකයා සමඟ ගැටුමක් ඇති කර තිබුණේය. එහිදී සමයං ලොක්කාට පහර දී තිබුණු අතර ඒ නිසා දෙදෙනා අතර ගැටුම ඉහළ ගොස් තිබුණි. මේ නිසා ලොක්කා විසින් සමයංගේ අයකු ඝාතනය කර තිබුණු අතර සමයං ලොක්කා පිටුපස පන්නමින් සිටියේය. ඒ නිසා ආරක්ෂා වීමට ලොක්කාට ආයු ද ලබාදෙනු ලැබුවේ මධූෂ් විසින්ය. ඒ මධූෂ් සහ ලොක්කා හමුවුණු පළමු දවස සහ අන්තිම දවස විය. මේ සිද්ධිය සමයං පවා දැන සිටි අතර සමයං මධූෂ් සමඟ ගැටුම ආරම්භ වන්නේ එතැනින්ය.

මාකඳුරේ මධූෂ් ඩුබායි මධූෂ් වෙයි

අධිකරණයෙන් ඇප ලබාගත් මධූෂ්ට එකම සහනය වන්නේ අලුත්කඩේ ප්‍රදේශයයි. ඒ වනවිටත් මත්කුඩු ව්‍යාපාරයේ නිරත වෙමින් සිටි කංජිපානි ඉම්රානුත් අබ්දුල් රහ්මාන් මොහොමඩ් හෙවත් රිෆ්කානුත් මධූෂ්ට ආරක්ෂාවත් උදව් උපකාරත් කළෝය. ඒ අනුව මධූෂ් තීරණය කරන්නේ ඩුබායි රාජ්‍යට පැනයාමටය. ඒ සඳහා අවශ්‍ය ව්‍යාජ ගුවන් බලපත්‍රය සකසන්නේ රිෆ්කාන්ය. සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත ඒ අනුව අජිත් එරංග වර්ණකුලසූරිය බවට පත්වේ. එසේ මධූෂ් ඩුබායි රාජ්‍යයට 2013-2014 දී පැනයයි.

ඩුබායි රාජ්‍යයට ගිය මදුෂ් කුඩුවලට

ඒ වනවිට පාකිස්තාන් පිරිස සහ වෙලේ සුදා සමඟ කුඩු ව්‍යාපාරයේ යෙදී සිටි අන්නාසි මොරිල් මධූෂ්ට ඉන්න තැන් ලබාදෙන අතර ඒ රිෆ්කාන්ගේ සහයෙනි. මධූෂ් ඩුබායි ගොස් මොරිල් සමඟ එක්වී කුඩු ව්‍යාපාරය ආරම්භ කළ අතර මධූෂ් ඉහළට එනවිට කුඩු ව්‍යාපාරයේ දැවැන්තයා වූ වෙලේ සුදා ඒ වනවිටත් අත්අඩංගුවට පත්වී සිටියේය. මේ නිසා මධූෂ් ටිකෙන් ටික පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජුව ගනුදෙනු කරන්නට විය. ඒ තමන්ට අතදුන් මොරිල්ට ද හොරෙනි. මේ නිසා මොරිල් මධූෂ්  සමඟ ටිකෙන් ටික ඇයි හොඳැයිය අත්හරිමින් සිටියේය. ඒ මධූෂ් මොරිල්, සුදා වැනි අයටත් උඩින් යන්නට පටන් ගෙන ඇති නිසාය. එපමණක් නොව ඒ වනවිට කංජිපානි ද ඩුබායිවලට පැමිණ සිටියේය.

සමයංගෙන් මධූෂ්ට ප්‍රහාරයක්

තමන් ඝාතනයට අංගොඩ ලොක්කාට ආයුධ ලබාදීම නිසා සමයං සිටියේ දැඩි වෛරයෙනි. එපණක් නොව ඒ වනවිට මධූෂ්ගේ පිරිස ද අංගොඩ ලොක්කා සමඟ එක්වී සීටියේය. මෙය සමයංට දරා ගැනීමට නොහැකි වූ අතර සමයං ඒ වෙනුවෙන් මධූෂ්ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කළේය. ඒ දකුණේ පාතාලයේ සුද්දා සහ පෑලියගොඩ නාගරික මන්ත්‍රී සාමෙල් සඳරුවන් ඝාතනයේ සැකකරු වූ ඩී. මංජු යොදාගෙනය. ඒ අනුව එම දෙදෙනා යවා ඩැනී හිත්තැටිය ඝාතනයේ යතුරුපැදිකරු හර්ෂ යසස්ශ්‍රී රාජගිරිය ඔබේසේකරපුරයේ සිය පෙම්වතියගේ නිවසේදී ඝාතනය කළේය. ඒ 2016 මාර්තු 06 වැනිදාය. මේ ප්‍රහාරයෙන් මධූෂ් දැඩි ලෙස සමයං සමඟ වෛර බැඳගත්තේය.

ලොක්කා සහ මධූෂ්ගෙන් සමයංට ප්‍රහාරයක්

සමයං එම ප්‍රහාරයත් සමඟ අංගොඩ ලොක්කා සමඟ තිබූ වෛරය නතර කළේ නැත. ලොක්කාගේ හොඳම ගෝලයකු වූ රත්තරන් වෙඩිතබා දැමුවේය. එසේම දේශපාලකයකුගේ රියදුරෙකු මෙන්ම ලොක්කාගේ මිත්‍රයකු වූ බණ්ඩාර වෙඩි තබා ඝාතනය කළේය. මේ නිසා ලොක්කා දැඩි ලෙස කඩාවැටුණු අතර ඊට පිළියමක් මධූෂ් සමඟ සාකච්ඡා කළේය. ඒ බන්ධනාගාර බස් රථයට පහර දීමටය. හර්ෂ යසස්ශ්‍රී ඝාතනය නිසා සමයං සමඟ වෛරයෙන් සිටි මධූෂ් ගෝලයන් පස් දෙනකුත් ගිනි අවිත් ලබාදුන්නේය. ලොක්කා තවත් කිහිපදෙනෙකු සමඟ එකතු විය. ඒ අනුව අරුණ දමිත් උදයංග හෙවත් රණාලේ සමයං නොහොත් කඩුවෙල සමයං කළුතර බන්ධනාගාරයේ සිට කොළඹ රැගෙන එන අතරතුර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථය නවතා වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඒ 2017 පෙබරවාරි 27 වැනිදාය. මේ ප්‍රහාරය ලංකා බන්ධනාගාර ඉතිහාසයේ බරපතළ සිද්ධියක් වූ අතර සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇති විය. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සමයං පමණක් නොව බන්ධනාගාර නිලධාරීන් ඇතුළු හයක් මියගියහ.

පොලිස් ඇඳුමින් සැරසී සිදුකළ මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුකලෙක අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයකු වූ බන්ටි විසින් සියල්ල හෙළිකර තිබුණි. මෙම ප්‍රහාරයෙන් පසුව අංගොඩ ලොක්කා සහ ලඩියා ඉන්දියාවට පැන ගියහ.

බොරු ඔත්තුවකින් අයි.පී රංගජීව ඝාතනයට සැරසෙයි

එවකට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථනාධිපතිවරයාව සිටියේ නියෝමාල් රංගජීවය. රංගජීව විශාල වශයෙන් මධූෂ්ගේ කුඩු අත්අඩංගුවට ගත් අතර ඒ අතර කංජිපානි ඉම්රාන් ද සිටියේය. මේ නිසා මධූෂ්ට රංගජීව සමඟ ගැටලුවක් තිබුණේය.

ඊට අමතරව තවත් ප්‍රශ්නයක් විය. එනම් මත්ද්‍රව්‍ය සිද්ධින්වලට මත් ද්‍රව්‍ය ජාවාරම්කරැවකු වූ කළු තුෂාර අත්අඩංගුවට ගෙන තිබුණේ රංගජීව විසිනි. පසුව ඔහු දඬුවම් විඳිමින් සිටි අතර වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී කළු තුෂාර මියගියේය. පසුව තුෂාරගේ බිරිඳ සමඟ මධූෂ් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගනු ලබන අතර ඒ ප්‍රේමය දුරදිග ගොස් මධූෂ් ඒ කාන්තාව ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගනු ලබයි. පසුව ඔවුන් ඩුබායි රාජ්‍යයේ ජීවත් වන්නේ අඹුසැමියන් වශයෙනි. කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී රංගජීවට චෝදනා එල්ල වී තිබූ නිසා කළු තුෂාර ඝාතනය කළේ රංගජීව බව පාතාලයේ කතාබහක් තිබුණේය. එපමණක් නොව ඒ චෝදනා පවා විවිධ පාර්ශව විසින් කෙරිණි. ඒ නිසා කළු තුෂාරගේ වාඩුව ගැනීමට ද මධූෂ්ට අවශ්‍ය වී තිබිණි.

ඒ අනුව මධූෂ් ව්‍යාජ ඔත්තුකරුවකු ලෙස නවාස් නැමති අයකු සූදානම් කළේය. නවාස් රංගජීවට ඒ වනවිට සාර්ථක ඔත්තු කිහිපයක් ලබා දී තිබුණු නිසා නවාස් රංගජීවට තවත් ඔත්තුවක් ගෙනාවේය. ඒ පිළියන්දල ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට කුඩු රුගෙන එන බවටය. ඒ අනුව රංගජීව ඇතුළු පිරිසක් ඒ සඳහා යනවිට මධූෂ් සිය කණ්ඩායම යොදවා වෙඩි තැබුවේය. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියකුත් අසල කඩයක සිටි කුඩා දැරියකුත් මිය ගියහ. රංගජීව බරපතළ ලෙස තුවාල විය. 2017 මැයි 5 වැනිදාය.

රිෆ්කාන්ගේ මරණයට කොස් මල්ලිගේ ඔළුව අලුත්කඩේට

මධූෂ්ගේ කුඩු ජාවාරමේ මුදල් එකතු කරනු ලැබුවේ රිෆ්කාන් විසිනි. ඒ මධූෂ්ට සිටි විශ්වාසවන්තම සගයා වූ නිසාය. මේ නිසා මධූෂ් රිෆ්කාන්ට කෝටි අටක් ලබාදී දැවැන්ත කුලී රථ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහාය වුණේය. එම ව්‍යාපාරය ආරම්භ කරන මොහොතේ එවකට යහපාලන රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් පීත්ත පටිය කැපීම සඳහා එක් වී සිටියහ.

කෙසේ වෙතත් රිෆ්කාන්ට එම ව්‍යාපාරය වැඩිකල් කරන්නට ඉඩ ලැබුණේ නැත. සමයං ඝාතනයෙන් පසු එම කණ්ඩායමට නායකත්වය දුන් ගොත අසංක සමයංගේ ප්‍රහාරයට රිටර්න් එකක් ලෙස රිෆ්කාන් අලුත්කඩේදී ඝාතනය කළේය. ඒ ඌරු ජුවාගේ ද සහය ඇතිවය. එම ඝාතනය නිසා කැලඹුණු මධූෂ් වහාම රිෆ්කාන් ඝාතනයට සම්බන්ධ අය සොයන්නට විය. එහිදී රිෆ්කාන් ඝාතනයට යතුරුපැදිය ලබාදුන්නේ කොස්මල්ලි බව තහවුරැ විය. මේ නිසා මධූෂ් කල්ලිය පොලීසියටත් පෙර කොස්මල්ලි පැහැරගෙන අගුණකොළපැලැස්සට ගෙන ගොස් දස වද දී ඝාතනය කළේය. ඒ අවස්ථාවේ මධූෂ් ඉමෝ හරහා කොස්මල්ලි අමතා බැණ වැදී ඇති අතර කොස්මල්ලි ඝාතනය සියැසින් දැකබලාගෙන ඇත. අනතුරුව කොස්මල්ලිගේ හිස අලුත්කඩයට ගෙනත් අතහැර දැමුවේ රිෆ්කාන්ගේ පලිය ගත් බව පෙන්වීම සඳහාය.

ඉන් අනතුරුව මධූෂ්ගේ කොන්ත්‍රාත් මත 2018 ජූලි අට වැනිදා වෙරළබඩ පොලිස් වසමේ සෙල්ලයියා සෙල්වරාජ් සහ ඔහුගේ බිරිඳ එලිසබෙත් පෙරේරා ඝාතනය කරනු ලැබීය. ඊටත් පසුව එදිනම මෝදර ගෝපාල් පිල්ලෙයි ඝාතනය කළේය. මේ සියල්ල මධූෂ්ගේ කොන්ත්‍රාත් මත හෙරෝයින් සම්බන්ධ ගැටුම් විය.

මේ අතර මධූෂ් එක් අවස්ථාවක කෝටි 500 ක් වටිනා මැණික් ගලක් ව්‍යාපාරිකයකුගෙන් කොල්ල කෑවේය. විදේශ රටක පිරිසකගේ ද සහය ඇතිව සිදු කළ මෙම කොල්ලකෑම සාර්ථක වුවත් පසුව ඒ සියල්ල අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි හෙලිවුණේ ඒ මැණික කෝටි පන්සීයක් නොවටිනා බවය. එහෙත් මධූෂ් එම මැණික ඩුබායි රාජ්‍යයට ගෙන ඒම සඳහා සැලසුම් පවා සකස් කර තිබුණේය.

වෙලේ සුදාට කොකා පෙන්නන්නට ගොස් වරද්දා ගැනීම

මධූෂ් පකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ එකට කටයුතු කිරීම හරහා ඒ වනවිටත් වෙලේ සුදාට එය ප්‍රශ්නයක් වී තිබුණි. වෙනදාට වෙලේ සුදාගෙන් අසා ලංකාවට කුඩු දෙන තත්ත්වයේ සිටි පාකිස්තානුවෝ ක්‍රමයෙන් මධූෂ් සමඟ සෘජුව කටයුතු කළහ. මෙය මොරිල්ටත්, වෙලේ සුදාටත් ප්‍රශ්නයක් විය .මේ නිසා වෙලේ සුදා මොරිල් සමඟ එක්ව මධූෂ්ට උගුලක් ඇටවීය. එනම් කෙසේ හෝ මධූෂ් එරට ආරක්ෂක අංශයට අල්ලා දී මධූෂ්ගේ කුඩු ජාලය කඩා දැමීමටය.

ඒ අනුව මධූෂ්ගේ දියණියගේ උපන්දින සාදය හොඳම අවස්ථාව ලෙස යොදා ගැනිණි. මධූෂ් මේ සඳහා මෙරට නළුවන්ද, ගායකයන් ද වියදම් කර ගෙන්වා ගත්තේය. ඒ සඳහා කංජිපානිලා ඇතූළු කුඩු ජාවාරම්කරුවන්, මිතුරු මිතුරියන් රැසක් පැමිණියෝය. එහෙත් ඒ වනවිටත් මොරිල්ලා විසින් එරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් ඔත්තුවකට අනුව එදින රාත්‍රීයේ එම ස්ථානය වටලා සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ 2019 පෙබරවාරි 5 වැනිදාය.

එතනින් පසුව එවක රජය මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමට ඩුබායි රාජ්‍ය සමඟ සාකච්ඡා කළ අතර මධූෂ් එරට අධිකරණයට පවා කියා සිටියේ නැවත ලංකාවට යා නොහැකි බවය. එහෙත් අවසානයේ මධූෂ්ව මෙරටට පිටුවහල් කරනු ලැබීය.

අවුරුදු එකහමාරක් රහස් පොලීසියේ

2019 මැයි මාසයේ ලංකාවට එන මධූෂ් එතැනින් පසුව රඳවා තබා ගන්නේ රහස් පොලීසියේය. මධූෂ් එහිදී ඔහු සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන් ඇතුළු අසූවක් දෙනා සම්බන්ධයෙන් නම් ගම් හෙළිකළ බව එවකට මාධ්‍ය හෙළිකළේය. ඇතැම් අය දකුණේ අයය. ඇතැම් අය බස්නාහිර අයය. ඇතැම් දේශපාලනඥයන් ඩුබායි පැමිණ සිට ඇත්තේ මධූෂ් සමඟ බව ද දැනගන්නට ඇත. එහෙත් ඒ සියල්ල නිල නොලත් කතාය.

කෙසේ වුවද ඩුබායි රටෙන් පිටුවහල් කරනු ලැබූ මධූෂ් මේ අකාරයෙන් අනාරක්ෂිත ලෙස ශ්‍රී ලංකාවට ගෙන යාමෙන් සිදු වූයේ ඝාතන සම්බන්ධයෙන් වන නිල නොවන ආරංචි සනාථ කර ගැනීමට රටේ ජනතාවට අවස්ථාවක් උදා නොවීමය. මධූෂ් සම්බන්ධයෙන් මෙරට පොලීසියේ රෙකෝඩ් තිබුණත් මධූෂ් කියන රෙකෝඩ්ස් සමහර විට රටක් නොදන්න කාරණා විය හැක. එසේ නම් ඒ දේවල් රටේ ජනතාව දැනගතයුතු නොවේදැයි ප්‍රශ්නයක් ඇත. ඒ ප්‍රශ්නය රටේ ජනතාවට ද ඇත.

මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදුන් පසුව කුඩු කිලෝ 10 ක් සොයාගෙන තිබිණි. ඊටපසු වෙඩිකා මිය ගිය දවසේ මධූෂ්ගේ ඔත්තුව මත තවත් කිලෝ 22ක් මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දසවැනි මහලේ සිට සොයා ගෙන තිබිණි. එසේ නම් රහස් පොලීසිය යටතේ අවුරුදු එකහමාරක් සිටියදීත් මධූෂ්ගෙන් එම කුඩු සොයා ගැනීමට නොහැකි වූයේ මන්ද? එය දුර්වලකමක් නොවේද? එසේම මධූෂ් රැගෙන යනවිට ඒ බව විරුද්ධ කල්ලිය දැනගත්තේ කෙසේද? ඔවුන් මධූෂ් පැහැරගෙන යන්න උත්සාහ ගෙන ඇත්නම් මේ ඔත්තුව කෙසේ විරුද්ධවාදීන්ට ගියේද යන්න ප්‍රශ්නයක් ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනගත හැක. ඒ දැනටමත් මේ මරණය සම්බන්ධයෙන් මධූෂ්ගේ නීතිඥවරයා සිදුකරන පැමිණිලි අනුවය.

මෙතන ඇති ලොකුම ප්‍රශ්නය මධූෂ් හෙළි කළ දේශපාලනඥයන් කවුද? පොලිස් නිලධාරීන් කවුද? පසුගිය කාලයේ කොටු වුණු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සමඟ මධූෂ් කටයුතු කළාද? දේශපාලනඥයන් සම්බන්ධ නම් ඒ අය මුදල් ගත්තාද? කුඩු ජාවාරම් කළාද? යන්න මධූෂ් නියත වශයෙන් හෙළිකර ඇතැයි කියති. වසර එකහමාරක කාලයක් රහස් පොලීසියේ සිටියානම් එය නොකළා වෙන්නට බැරිය. එහෙත් වසර එකහමාරක් සිටියත් කුඩු කිලෝ 32 (අවස්ථා දෙකකදී) සොයා ගැනීමට නොහැකි වූවා නම් මේ කියන හෙළිදරව්වක් කළාද යන්න ප්‍රශ්නයක් ඇත.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. මධූෂ්ලා මේ තැනට ගෙනා අය තවමත් සමාජයේ යහතින් ජීවත් වෙති. මධූෂ් අද මියගියත් එවැනි මධූෂ්ලා තව දහසක් මේ භූමියේ බිහිවනු ඇත. ඒ අර පිරිස් නිසාය. ඒ නිසා මධූෂ් මියයාමෙන් මේ පාතාලය නවතීද යන්න නම් අවිනිශ්චිතය.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00