2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ගී ලොව රන් තරුව සී.ටී

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

නාවලපිටියේ පාසලක ඉගෙනුම ලැබූ පුංචි දරුවකු පාසල් නිවාඩුවට තම මහගෙදර වූ දෙහිවල උයන පාරේ පිහිටි තම නිවසේ එළිමහනට වී ගී ගයනු එකල පාරේ ගිය අයට නම් මතක තියෙන්නට ඇත. මේ පුංචි දරුවා ගෙදර බට පඳුරක් සෙවණේ ගැයූ ගීත හඬ නතර වූයේ නාවලපිටියේ ශාන්ත මේරිස් විදුහලේ විවිධ ප්‍රසංගයේ බටහිර ගී ගැයීමෙන් පසුවය. උපතින් කතෝලිකයකු වූ මේ දරුවා ශාන්ත මේරී දේවස්ථානයේ කන්තාරු ගීතිකා කණ්ඩායමේ කැපී පෙනෙන ගායකයෙක් විය. කන්තාරු ගී ආර ඔස්සේ තම ස්වර ඥානය ස්වඋත්සාහයෙන් දියුණු කරගත් ඔහු ගුවන් විදුලියෙන් ඇසූ සුනිල් සාන්තයන්ගේ කෝකිල හඬට පෙම් කළේය. ඉන්දියානු රාගධාරී සංගීතයෙන් බැහැරව සුනිල් සාන්තගේ ආභාෂයෙන් සිංහල ගීත ගැයීමට ඔහු උත්සාහ කළේය. ක්‍රමානුකූලව සංගීතය හැදෑරුවේ නැති ඔහු තමාට ආවේණික ඉතා සරල කාටත් ගැයීමට හැකි තමාගේම තනු ඇසුරෙන් ගීත ගයා රටක් පිනවීය.‍

ඔහු පසු කලෙක THE GOLDEN VOICE OF C.T FERNANDO නමින් ගී ලොව අභිෂේක වූ මේ සී.ටී. ප්‍රනාන්දු කවුද?

ඔහු 1921 ජනවාරි 28 වැනිදා දෙහිවල උපන් සිරිල් ටියුඩර් ප්‍රනාන්දුය. ඔහු ගායකයකු මෙන්ම වේදිකා නාට්‍ය නළුවකු ලෙසද දස්කම් පා ඇත. සී.ටී. මුල්ම ගීතය ගයන්නේ 1947 වසරේදීය. ඊට වසරකට පෙර සුනිල් සාන්තයන් තම මුල්ම ගීතය වූ ඕලු පිපීලා ගයා තිබුණි. සී.ටී. ගී ගයන කාලයේ ගුවන් විදුලියේ ගී ගැයූ ගායක ගායිකාවන් වූයේ චිත්‍රා සෝමපාල, සිඩ්නි ආටිගල, කාන්ති වක්වැල්ල, සුසිල් ප්‍රේමරත්න ආදීන්ය. මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්නයන් කියා ඇති ආකාරයට විවියන් ද සිල්වා බොරලැස්ස ගායිකාව සුනිල් සාන්තයන් සමඟ රැල්ල නැගෙන්නේ වැල්ල බලා ඇදෙන්නේ ගීය ගැයීමේදී එම ගීතයේ අත්වැල් ගායනයට සහභාගී වූවන් අතර ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව) සේම සී.ටී. ප්‍රනාන්දු ද වූ බව ඇය සිහිපත් කර තිබූ බවය.

සී.ටී. කියන නම සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇති නමකි ආර්. එන්. එච්. පෙරේරා. ආර්. එන්. එච්. පෙරේරා යනු ජේන් අයර්, රුදුරු බලුව ඇතුළු පරිවර්තන කෘති ලියූ ගුරුවරයකු හා ගුවන් විදුලියේ විධායක නිලධාරියෙක් ලෙස කටයුතු කළ කෙනෙකි. සී.ටී.ට මුල් කාලයේ ගීත රචනා කර දුන්නේ ඔහුය. පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ^ ගීත රචනා කර දුන්නේ ද ඔහුය. ආර්. එන්. එච්.ගේ වැඩිමහල් දියණියක් වූ මීගමුවේ ඒ. කේ. බී. පී. ප්‍රනාන්දු මාවතේ පදිංචි රංජනී පෙරේරා කරුණාසේන මට වරක් තම පියා ලියූ මේ ගීතයේ අතීත කතාව මෙසේ කීවාය.


අපි ඒ කාලයේ පදිංචිව සිටියේ නුගේගොඩ. අපිට පුංචි වත්තක් තිබුණා. පුංචි මාව අතින් අල්ලාගෙන තාත්තා වත්ත පහළට එක්ක යනවා. අපි ගහ කොළ එක්ක කතා කරනවා. දවසක් අපට කුරුල්ලෙකුගේ විලාපයක් ඇහුණා. එයාගේ කුරුළු කූඩුව කවුදෝ කඩලා දාලා. පැටව් කොහේ ගියාද දන්නේ නෑ. එයා විලාප දිදී පැටව් හොයනවා. අනුමානයක් නෑ අවට ඉන්න දඩබ්බර ළමයි කූඩුව කඩලා ඇති. තාත්තා සංවේගයෙන් මෙහෙම ඇහැව්වා.
ඇයි උඹ අඬන්නේ? පැටව් නැද්ද? කූඩුව කැඩුවද?

තාත්තා මාත් එක්ක ගෙට ගොඩ වුණේ සංවේදී හැඟීම් ඇතිව. අපිට ඒ කාලේ ගෙදරට ලයිට් තිබුණේ නෑ. එදා රෑ තාත්තා හරි‍කේන් නැමැති ලාම්පුවේ එළියෙන් මේසේ ඉඳගෙන මොනවද ලිව්වා. රෑ වෙනකොට ඔන්න සිරිල් (සී.ටී.) අන්කලුත් ආවා. සිරිල් අන්කල් මගේ මවගේ සහෝදරයෙක්ගේ පුතෙක්. පදිංචි වෙලා හිටියෙත් අපේ ගෙදර ගාව බෝඩිමක. සිරිල් අන්කල් එනකොට ගිටාරය අරන් එක එක පුරුද්දක්.
එන්න... සිරිල් අද මම දුක හිතෙන සින්දුවක් ලිව්වා. මේ දැන් විනාඩි පහකට ඉස්සර වෙලා අපි දැක්ක දුක්බර කතාවක්. තාත්තා විස්තර කරමින් ලියපු සින්දුව ඔහු අතට දුන්නා. ටික වෙලාවක් බලං හිටපු සිරිල් අන්කල් ගිටාරය වාදනය කළා. අපූරු ගීතයක් මැවුණා. ඒ අමරණීය ගීතයයි මේ* දියණිය රංජනී කීවාය. මේ ගීතය 1951 වසරේ H.M.V. තැටියට නැගී ඇත.

පිං සිදුවන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා...

දිනක් ගීත රචක ආර්. ඇන්. එච්. (ලියනගේ රිචඩ් පෙරේරා) සුරුට්ටුවක් උර උරා ඉන්නකොට සී.ටී. ගිටාරයක් ඇතිව පැමිණ ඇත. සී.ටී. ඔහු අමතන්නේ %රිචඩ්^ කියාය.
රිචඩ්.. මට හොඳ ටියුන් එකක් ආවා. කියමින් සී. ටී. තනුව මිමිණුවේ ගිටාරය වාදනය කරමිනි.
රිචඩ්ගේ සුරුට්ටුවේ දුම් රොටු වැඩි වැඩියෙන් ඉහළ යයි. කඩදාසියේ වේගයෙන් වචන ලියවෙයි. ගීතයේ මුල් පේළිය ලියනු සී.ටී. බලා සිටී. ඔහුගේ මුහුණ එළිය වෙයි.

අම්බිලි මාමේ - ඔබ මොකද කරන්නේ
පුළුං වළා යටින් ඉඳන් එබිලා බලන්නේ

වටින් පිටින් එබෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වළා සළුද කියන්නේ...
පාත බලන්නේ - මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ*

සීතල සිසිල් සුළං  රැල්ලක් අවට පැතිර යයි. දැන් රෑ වීගෙන එයි. රිචඩ් සුරුට්ටු කොටය මිදුලට වීසි කර යමු ගෙට සිරිල්* කීවේය. රිචඩ්ගේ බිරිය මර්ලින් ඇන්ජලා හරිකේන් ලාම්පුව මේසය උඩ තැබුවාය. රිචඩ් කඩදාසියක යමක් ලියයි. සිරිල් ගිටාරයෙන් තනුවට සැකසෙයි.

සිසිල් සුළං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුර කැලෑ දසත බලා පැනලා දුවන්නේ
තුරු නැලවෙන්නේ - සුවඳ හමන්නේ
කුසුම් සලා - රේණු තලා බිම සරසන්නේ...


ආර්.එන්.එච්. (රිචඩ්) විසින්. සී.ටී.ට ලියූ ජනප්‍රිය ගීත අතර බර බාගේ - දුටුයේ සිහිවේ - පෙර කාලේ^, සවස කළ ඇලේ^, සුවඳ රෝස මල් නෙලා^, නැගිටිව් සිහලුනි^, ලංකා මෑණියේ (දේශාභිමානී ගී) මෙන්ම මේ ‍වෙසක් දිනේ (වෙසක් ගීතය), තුරු කැලා - හිස තබා - කුසුමා පුදනා මෙ මසා(මැයි ගීතය) වෙයි.

සී.ටී. එකල ප්‍රසංගවල (1947) ගී ගයනු දුටු ද ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රය වාර්තා කර තිබුණේ එදා රාත්‍රියේ ඔහුගේ ගී ගායනය ශ්‍රේෂ්ඨ තැනක් ගත් බවය. ගී ගායනයට අමතරව සී.ටී, රඟපෑමේද දස්කම් පෑ නළුවෙකි;. ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නාටකය නැරඹූ ප්‍රකට විදේශීය නළුවකු වූ සර් සෙඩ්රික් හාඩ්වික්ගේ ලේලිය වූ ජීන් හාඩ්වික් නිළිය මෙසේ කියා තිබුණාය.

රාක්තක්ෂියාගේ බිහිසුණු ක්‍රියාවන් මේ යැයි දැනුම්දීමට ආ ගම්වැසියා (සී.ටී.)ට ප්‍රසංශා කිරීමට මම කැමැත්තෙමි. අහිංසකත්වය පළ කරමින් නියම ගම්වැසියකුගේ ආකාරයෙන් ඔහු වාදනයට අනුව ගී ගැයූවේය. ලෙලව ලෙලවා - නවත නවතා ඔහු ගායනා කරන ලද සින්දුව කෝකිල ගීයක සිරි ඉසිලීය.
(දින දින සඟරාව - 1952 අගෝස්තු 15)

චිත්‍රසේනගේ විදුර නාටකයේ පසුබිම් ගී ගැයූ සී.ටී. ජෝන් ද සිල්වාගේ ශ්‍රී වික්‍රම නාට්‍යයේ මරා දෙන්නෙක් යන ගීතය ඉතා චමත්කාර ලෙස ගායනා කළ බව වාර්තා වේ.
සී.ටී.ගේ මුල්ම රැකියාව ආරම්භ වන්නේ කොළඹ රෙජ්ස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ලිපිකරුවකු ලෙසය. එදා සී.ටී. සමඟ එකට සේවය කළ ප්‍රවීණ නාට්‍ය හා වේදිකා නළු හෙන්රි ජයසේන විසින් ලියන ලද කරළියක කතාවක්^ කෘතියේ ඔහු ගැන මෙසේ සඳහන් වෙයි.

එවකට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියතාව නමැති දොරටුවට සිය අතැඟිලිවලින් තට්ටු කරමින් සිටි සී.ටී. ප්‍රනාන්දු නම් ගායකයා මා මෙන්ම තාවකාලික ලිපිකරුවකු ලෙස එම කාර්යාලයේම සේවය කරමින් සිටියේය. අප සේවය කළේ එහි Records office නොහොත් කාර්යාලයේ සෙවුම් නිලධාරීන් ලෙසය. මුල් දවසේම ප්‍රධාන ලිපිකරු විසින් සී.ටී. ප්‍රනාන්දු මහතා මට හඳුන්වා දෙන ලදී.
මෙයා ඔහොම හිටියට හොඳ ගායකයෙක්. ගුවන් විදුලියේ එහෙමත් සින්දු කියනවා
ඔහොම හිටියට යනුවෙන් ප්‍රධාන ලිපිකරු සඳහන් කළේ සී.ටී. කුඩා ප්‍රමාණයේ මිනිසකු වූ නිසාය.

පසු කලෙක (1963) ඔහුත් මාත් ගම්පෙරළිය චිත්‍රපටයේ මා පියල් ලෙසත් ඔහු මඟුල් කපුවා ලෙසත් රඟපෑමට ඉරණම් කරගෙන සිටි බවට හාන්කවිසියක්වත් එවිට මම දැන නොසිටියෙමි. සී.ටී. ප්‍රසන්න පුද්ගලයෙක් විය. ඔහුගේ මුවග නිතර පාහේ සිනාවක් රැඳී තිබුණි. එහෙත් කෑම පැයේ මිස ඔහුට කා සමඟවත් වැඩි කතා බහකට ඉඩක් නොවීය. නිරතුරුවම පෙරළාගත් පොතක් ඔහු ඉදිරියේ විය. සී.ටී. එහි පිටු පෙරළමින් ඔහුගේ අලුත්ම නිර්මාණයක තාලය හෝ පද වැල් මිමිණුවේය. මේසයේ කොණක අත් තාල තබමින්, අලුත් අලුත් තාල හා පද වැල් ඔහු මිමිනුවේය. ඒ සමඟම උකුසු ඇසින් ලේඛනයද පිරික්සුවේය.
තවම ඉවර නැද්ද සී.ටී. තාලෙ හදලා?
කෙනෙක් අසයි. සී.ටී. මදකට හිස උස්සා ප්‍රශ්නකරු දෙස බලයි.
හැදෙනවා! හැදෙනවා!
කෙටි පිළිතුරක් සපයන සී.ටී. යළිත් සිය කාර්යයෙහි යෙදෙයි.

සී.ටී.ට 1951 වසරේ ධානා නම් තම ගීතවලට පෙම් බැඳි රසිකාවක් හැඳින ගැනීමට ලැබිණි. බදුල්ලේ උපත ලැබූ ධානා බදුල්ල උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනගත් 17 හැවිරිදි තරුණියකි. ඇය ගුවන් විදුලියෙන් නිතර ඇසෙන පින් සිදුවන්නේ බාල ළමුන්නේ නම් සී.ටී.ගේ ගීතයට තිබූ අසීමිත කැමැත්ත නිසා රසිකාවියක් ලෙස ලිපියක් යැව්වාය. ලිපියට ඔහුගෙන් පිළිතුරු ලැබිණි. ධානාට මෙය කප්රැකක් පහළ වූවා සේය. ඇය ආදරය සෙනෙහස මුසු කළ පිළිතුරු ලිපියක් යැව්වාය. මේ ලිපි හුවමාරැව ආදරයකට පෙරළිණි. ඇගේ දෙමාපියෝ මේ සම්බන්ධයට විරුද්ධ වූහ. 1951 වසරේ තනි කැමැත්තට ඔවුහු අතිනත් ගත්හ. ඔවුන්ට සහායට හිටියේ ගායිකා ලතා ප්‍රනාන්දු (පසුව වල්පොල) පමණි. ඔවුහු හැඳල පදිංචිව පසුව දෙහිවල ගෙයක් තනා පදිංචි වූහ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය. මේ බිළිඳු පුතාගේ නම ප්‍රියන්තය. සී.ටී. පුතා වෙනුවෙන් ගීයක් ඇලන්සන් පියදාස ලවා රචනා කර ගත්තේය.

බිළිඳා නැලවේ උකුලේ
හිනැහේ මල ෙස් කැකුලේ
මවගේ සෙනෙහේ පැතිරේ
රැහිරේ කිරි වේ ඉතිරේ

දෝත නගා මොලවා සුර ලාලනියෝ එනවා
ගීත අසා මවගේ නොදනී නොහැඟී තුටු වේ
පාද ගසා නටනා බිළිඳා මතු වේ මිනිසා
ලෝ දහමේ නගිනා බසිනා දුක සැප අතරේ වසනා
සී.ටී. එතැන් සිට ගැයූ ප්‍රකට වූ ගීත අතර

සැළලිහිණි කොවුල් හඬ රුව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැළි අතරේ වග වළසුන්ගේ
රඟ මඩලකි මේ උයනේ
(ගේය පද - සරත් විමලවීර)

මගේ සුදු මාමේ - නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
(ගේය පද - සුසිල් සේනාධීර)

එළවළු පළා කියා වට්ටිය හිසේ තියා
උදයම යන වෙළඳාමේ
(ගේය පද - කරුණාරත්න අබේසේකර)

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිදෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
(ගේය පද - සුසිල් සේනාධීර)

කළු මහ වැලි කැලණිද වළවේ
සිහිලල මහ ගංඟා
හෙළ බිම රස දහරින් නලවා
ගී ගයමින් බැස යනවා
(ගේය පද - සරත් විමලවීර)

මල්බර හිමිදිරියේ - පිපුනේ ඇසළ අරලිය මාලා
ලා හිරැ සේයා පාවෙන ලීලා
නෑ සිනමාවෙක රඟපාලා
(ගේය පද - සරත් විමලවීර)

සී.ටී. ගැයූ දිළිඳු පැලේ ගම්මානේ කැලෑ මල නොවේ ගීත රචනා කළේද සරත් විමලවීරය. ඩී.සී. ජයසිංහ ගේය පද ලියූ අනේ ඩිංගක් ඉන්නකෝ ගීතය පෙම්වතුන් අතර ප්‍රකට ගීයකි.
පසුකාලීනව කරුණාරත්න අබේසේකර විසින් සී.ටී.ට ඉතා ජනප්‍රිය ගීත හා චිත්‍රපට ගී ගණනාවක් ලියා දී ඇත.

රන්වන් රන් කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවීලා

කිමද සුමිහිරියේ මේ අරැමේ මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැළුමේ රහස නැත දන්නේ

ඔන්චිලි චිලි චිල්ලමලේ - ඔන්චිල්ලාවේ 
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

එක්සත් රාජධානියේ සංගීත ප්‍රසංගයට සහභාගී වූ සී.ටී.ට, ගිටාර් වාදක පැට්රික් දෙනිපිටියගේත් සහයෙන් එක ගීතයක් අටවාරයක් ගැයීමට සිදු වී ඇත. කරු විසින් ලියූ ඒ ගීතයයි මේ.

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරඳති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තර
අවරින් නොනැගෙයි නැගෙන හිරු

අපේ රටේ ජාතික උත්සවවලත්, පාසල්වලද ත්‍රිවිධ හමුදා පොලිස් තූර්ය කණ්ඩායම්වල නිරතුරුව ඇසෙන කූ විසින් ලියූ මේ ජාතික අභිමාන ගීය සී.ටී. ප්‍රසංග පැවැත්වූ හැම රටකම ආරම්භයේත් අවසානයේත් ගැයෙන ප්‍රේක්ෂකාගාරයම නැගිට ඔහු සමඟ ගැයෙන ගීතයකි මේ.

හෙළ ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව් බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
සී.ටී.ට ජනප්‍රිය ගීත ලියූ ඉහත කී ගේය පද රචකයන් හැර සෙසු ගේය පද රචකයන්ගේ අසම්පූර්ණ ලේඛනයකි මේ. 

(අතපසු වූ අය මට කමා කරත්වා) ගුණරත්න අබේසේකර, කුමාරසිරි ජයරුවන්, ආනන්ද ජයසේන, චිත්‍රානන්ද අබේසේකර, සිසිර කුමාර මානික්ක ආරච්චි, හර්බට් එම්. සෙනෙවිරත්න, ඇල්. ඇම්. ඒ. ද සිල්වා, මයික්. පී. බලපිටිය, රත්නසේන ඩයස්, කේ. ප්‍රැන්සිස්, මාලිනී විජිතා ද සිල්වා, ලයනල් ගිනිගේ, සුදාස් මාසකෝරාල, ජී. එම්. පියදාස, ඇන්තනී ජයමාන්න.
තමා ගැයූ සියලු ගීතවල තනු නිර්මාණය තමා විසින්ම කරගෙන තිබීම සී.ටී.ගේ ගීවල විශේෂයකි.
සී.ටී. සමඟ රැක්මණී දේවී ගැයූ විමලදාස පෙරේරා විසින් ගේය පද ලියූ මේ යුග ගීතය මංගල උත්සවවලදී මෙන්ම ප්‍රසංග වේදිකාවේ ගැයෙන අනිවාර්යය ගීතයකි.

පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ
ලස්සන ඔබෙ මුහුණේ - දැක්කම නොවැ මැණිකේ

සී.ටී. චිත්‍රපට නළුවෙකු හා චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද ප්‍රකටය. දෙයියන්ගේ රටේ* චිත්‍රපටයේ එන හිමෙන් සමන් දෙවි පිහිටෙන් විරිඳු ගීතය ඇන්ජලීන් ගුණතිලක සමඟ ගැයූ සී.ටී. චිත්‍රපටයේ මග හිඟනකොටත් ගීතය බෙග්, ක්‍රිස්ටි, මිල්ටන් සමඟ ගැයීය. හතර මහා නිධානය චිත්‍රපටයේ සෝබනලු කොළඹ මේ ගම හැර යනවා සුරපුරේ ගීත ගැයුවේය. ගේය පද/ කරූ, සංගීතය/ පී. එල්. ඒ. සෝමපාල හා ආර්. මුත්තුසාමිය. අමරදේවයන් සංගීතවත් කළ මහගමසේකර ගේය පද ලියූ ලස්ස ගණන් වස්තු ලැබී ගීතය ඔහු ගැයුවේ මිල්ටන් හා ඇන්ටන් රුද්‍රිගු සමඟය.

සංගීතඥ ජෝනස් පෙරේරා විසින් සී.ටී.ගේ 40 වැනි අනුස්මරණ උළෙල වෙනුවෙන් පළ කළ සඳවට රන් තුරු උපහාර කලාපයේ සී.ටී. ගැයූ චිත්‍රපට ගීත ගැන සඳහන් කර ඇත. නිම්වළල්ල (නිසසරු මුතුලාල්), පෙම් කරුල්ලෝ (මී අඹ වනයේ), සඳ නැග එද්දී (තන නිල්ලයි), සාරවිට (ලක්ස ගණන් වස්තු ලැබී), කවුද හරි (මී වදයකි ජීවිතේ), සැඟවුණු මැණික (ඈත කඳු රුළි සිඹ සිඹ දැවටිලා (සී.ඩී. ෆොන්සේකා හා කිංස්ලි පෙරේරා සමඟ), සැණකෙළිය (පිපුණ මලකි ජීවිතේ), වික්ටර්, මිල්ටන් පෙරේරා සමඟ), කවට අන්දරේ, හොඳ කාලේ අපට ලැබුණා (සිඩ්නි ආටිගල හා ධර්ම ශ්‍රී රණතුංග සමඟ), %මොකද වුණේ^ (දන්නෝ දනී අපි) පාරා වළලු (ගොනා නෙවෙයි නරක) සෙසු චිත්‍රපට ගීතය.
මේ ගීත පැට්රික් දෙනිපිටිය, බී. එස්. පෙරේරා, ප්‍රේමසිරි කේමදාස, ටෝනි වීරතුංග, එම්. කේ. රොක්සාමි, තිලක් කරැණාතිලක, සෝමදාස ඇල්විටිගල සංගීතවත් කොට ඇත.

සී.ටී. ප්‍රනාන්දු නම් මේ ජනප්‍රිය ගායකයාගේ අවසාන මොහොත ගැන ඔහුගේ බිරිය ධානා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියක වූ නෙළුම් විමලරත්නට මෙසේ කියා තිබුණාය.

1977 ඔක්තෝබර් 17 වැනිදා මට අමතක නොවන දවසක්. ප්‍රසංගයකට සහභාගී වෙලා දෙහිවල හන්දියේ සිට පයින්ම ගෙදර ඇවිත් තිබුණා. එතකොට රාත්‍රී 1.00ට පමණ ඇති. &මගේ පපුව ටිකක් රිදෙනවා කිව්වා. මුහුණත් කළු වෙලා දහඩියත් දාලා. මම හොඳටම බය වුණා. අසල්වැසි අයිවෝ මාටිනස් මහතාට කතා කරලා කළුබෝවිල රෝහලට ගෙන ගියා. එයා වචන කීපයක් කියන්න උත්සාහ කළා. මෙය දැකලා මගේ පපුව කඩා වැටුණා. ඔක්තෝබර් 17 වැනිදා එයා සිහි නොලබාම දෑස් පියාගත්තා.

සී.ටී. සුවසක් රසික රසිකාවන් තනිකොට 1977 ඔක්තෝබර් 17 දා අවසන් ගමන් ගියේය. ඔහුගේ දයාබර බිරිය ධානා ප්‍රනාන්දු ද 2012 සැප්තැම්බර් 25 වැනිදා ස්වර්ගස්ථ වූවාය. මේ දෙදෙනාගේම එකම පුතු සී.ටී. හඬින්ම හරියට ගී ගැයූ ප්‍රියන්ත ප්‍රනාන්දු 2018 මැයි 01 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ප්‍රියන්තගේ බිරිය වූයේ පියසීලි ප්‍රනාන්දුය. කොන්ඩ්‍රඩ් තිසර ප්‍රනාන්දු හා ධනුෂ්ක රයන් ප්‍රනාන්දු නමින් පුතුන් දෙදෙනෙක් ප්‍රියන්තට හා පියසීලිට වෙති. වැඩිමල් පුතු තිසර ප්‍රනාන්දු තම සීයාගේ උරුමය ඉදිරියට ගෙනයමින් ඒ හඬ උරුම කරගෙන ගී ගයයි.