2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

දෙගොඩ තලාගිය පෑලියගොඩ මාළු පොකුර

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් කෝටි 4 ඉක්මවා යද්දි ලංකාවේ 14 වැනි මරණයත් වාර්තා වූයේ තැන තැන රට පුරා නව පොකුරු මතුවෙද්දීය. අලුතෙන්ම මතු වූ  ‘පෑලියගොඩ මාළු පොකුර’ දෙගොඩ තලා යද්දි ජනතාව සිටින්නේ අන්දමන්දව ගොසිනි. රට නැවතත් ලොක්ඩවුන් වේදැයි භීතියෙනි. මෙලොවට බිහි වී යාන්තම් සති 3ක්වත් ගත වී නැති දරුවන්ටත් දැන් සිය ජීවිතය අරඹන්නට සිදුව ඇත්තේ නිරෝධායනයට ලක්වෙමිනි. උදාවෙමින් ඇත්තේ කොවිඩ්-19 වසංගතයේ අසීරුතම අවදියයි. වටින් පිටින් ලැබෙන ආරංචි අනතුරු අඟවන්නේ මේ මොහොතේ ජනතාවට කළ හැකි හොඳම දේ නම් නරකම දෙයට මුහුණ දීමට සූදානම් වීම හැටියටය.

ජනතාව තුළ රට පුරා ඇඳිරිනීතිය හදිසියේ පනවාවීද යන කාරණය  ගැන අනියත බියක්  මේ වන විට පැතිර ගොසිනි. කොරෝනා ආ මුල් කාලයේ මෙන් වෙළෙඳසල් අසල පෝලිම් නැවත මතුව ඇත. නමුත් බලධාරීන් මේ ගැන විමසන්නට දුරකතනයකටවත් සම්බන්ධ කරගත නොහැකිය. මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්  කියා තිබුණේ, ඉදිරි දිනවල ආසාදිතයන් වාර්තා වන ආකාරය අනුව තවත් රෝහල් කිහිපයක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් සූදානම් කරන්නට යන බව‍ය. ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 23ක ඇඳන් 2587ක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර  තිබූ අතර ඉකුත් සිකුරාදා වන විට ඉන් ඇඳන් 2433ක්ම පිරී ගොස් තිබුණි. එදින ලෝක කොවිඩ් දර්ශකය  අනතුරු ඇඟවූයේ ලංකාව තුළ ආසාදිත සංඛ්‍යාව 6,500ද ඉක්මවමින් වැඩෙන  බවකි. මරණ සංඛ්‍යාව 14 වී තිබුණි. ලංකාවේ දිස්ත්‍රික්ක 21ක කොවිඩ්-19 රෝගීන් වාර්තා වන තත්ත්වයක් උද්ගතව තිබූ අතර සමාජය තුළින් රෝගය ව්‍යාප්ත වන බවට භීතිකාවක් ද පැතිර ගොස් තිබුණි. ඒ අස්සේ පී.සී.ආර් මාෆියාවක් ගැන ද කතාවක් කරළියට ආවේය. මේ කාරණාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලද විවිධ මත පළවන බවක් පෙනෙන්නට විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අප හා අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ කොවිඩ් සමාජගතව ඇතිදැයි යම් කිසිවකු දැන් තමාගෙන් විමසුවහොත් තමන්ට දෙන්නට ඇති  පිළිතුර “ඔව්!”යැයි කීවේය. එහෙත් සමාජය තුළින් රෝගය පැතිර යාමක් වේද යන කාරණයට උත්තර දීම පැටලිලි සහිත තාක්ෂණික කාරණාවක් ලෙස පෙන්වා දුන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමාජ ව්‍යාප්තිය යන්න නිර්වචනය කර ඇත්තේ “විවිධ පළාත්වලින් රෝගී පොකුරු මතුවන අතරම ඒ පොකුරු අතර සබඳතාවක් පැහැදිලිව පෙනෙන්නට නොමැති වන අවස්ථාව” ලෙසට යැයි කියන ඔහු ඒ අනුව දැනට රටේ විවිධ පළාත් ආශ්‍රිතව වාර්තා වන පොකුරු අතර මේ පොදු සබඳතාව බැලූ බැල්මට අපැහැදිලි බව කීවේය.

ඒ සඳහා විධිමත් ප්‍රකාශයක් දීම සඳහා අවශ්‍ය වන සමහර නිශ්චිත දත්ත තමන් වෙත පමණක්නොව ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ මේ වන විට සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය තුළ අරඹා ඇති කොවිඩ්-19 ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියට පවා (බ්‍රහස්පතින්දා සවස වන විටද) ලැබී නැති බව ඔහු කීවේය.

මේ දත්ත සහ තොරතුරු විනිවිද ආකාරයට නිසි ලෙස සංසරණය නොවීම නිසාම  මතුපිටින් බැලූ බැල්මට රට තුළ විවිධ ස්ථානවලින් මතුව එන කොවිඩ් පොකුරු අතර සම්බන්ධයක් නොපෙනෙන නිසා සමාජය තුළින් රෝගය පැතිර යන බවට සැකයක් දැන් පොදුවේ පැතිර ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි. එය එසේ නොවේ යැයි කියන්නට අවශ්‍ය රෝගී පොකුරු අතර සබඳතා පෙන්වන දත්ත ඇත්තේ වසංගත රෝග විද්‍යා අංශය සතුවය. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සමාජ ව්‍යාප්තියක් තවම සිදුවන බවට වාර්තා තමන්ට ලැබී නැතැයි විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි. කොළඹ ඇතුළුව දිස්ත්‍රික්ක 13ක පැතිර යාම වාර්තා වන බවද ඔහු කීවේය. මේ කියන ආකාරයට පෑලියගොඩ මාළු වෙළෙඳපොළ ආශ්‍රිතව වාර්තා වූ රෝගීන් 49 අතරින් 21ක්ම ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි අය බවද වාර්තා වී තිබුණි.

මේ සෑම පොකුරක්ම මිනුවන්ගොඩ හා සම්බන්ධව ඇති බවට දත්ත ඔවුන් සතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසන නිසා එය වගකිවයුතු ප්‍රකාශයක් හැටියට සලකා තමන්ට ද එය එසේ යැයි පිළිගන්නට සිදුව ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

ඒ අනුව සමාජ ව්‍යාප්තියක් දැනට නොමැති නම් එබඳු තත්ත්වයක් කරා රට ඇදීයාම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නොපමාව ගත  යුතු බව ඔහු පෙන්වා දෙයි. මෙහිදී රට නැවත විවෘත කිරීම සඳහා පිළිපැදිය යුතු ක්‍රමවේදය පිළිබඳ තම සංගමය අප්‍රේල් 04 ලබා දුන් නිර්දේශ අතර ඇති අදාළ ප්‍රදේශ පමණක් වසා දමා එයින් පිටතට රෝගය පැතිරීම සීමා කිරීමේ ක්‍රමවේදය වඩාත් ප්‍රශස්ත ලෙස අනුගමනය ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි. 

කොවිඩ්-19 සමඟ දැන් නිතරම කතාබහට ලක්වන මාතෘකාව වී ඇත්තේ පී,සී.ආර් පරීක්ෂණයන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ පෙන්වා දී තිබුණේ මේ වන විට ඉදිරියේ එන අභියෝගවලට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙර සූදානමකින් පසුවෙන බවය. දෛනිකව සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බවය. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන්ට අනුව පී.සී.ආර් පරීක්ෂණාගාර 24ක මේ දිනවල දිගටම පරීක්ෂණ සිදු කෙරෙයි. මේ වන විට සිදුකර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 398,196 (තුන් ලක්ෂ අනූඅට දහස් එකසිය අනූ හය) ද ඉක්මවා ඇති බවට වාර්තා වී තිබුණේ සතිය මුලදීමය. පසුගිය දින 14ක කාලසීමාව තුළ පමණක් පී.සී.ආර් 100,000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව වාර්තා වේ. 

නමුත් පී.සී.ආර් පිළිබඳව අසුබ කතාබහක් ද මේ වන විට සමාජගතව පවතී. ඒ අතර මුල්තැන ගත්තේ පී.සී.ආර් මාෆියාවක් පිළිබඳව අලුතෙන් පැතිර ඇති කතාබහය.

දිනකට සිදු කරන පී.සී.ආර් ධාරිතාව පිළිබඳ තමන්ට ද මුල සිටම ගැටලු පැවති බව වෛද්‍ය  අලුත්ගේ පෙන්වා දෙයි. කලින් දිනකට සිදු කළ පරීක්ෂණ ගණන ප්‍රමාණවත් නොවූ බව සිය සංගමය ද පෙන්වා දුන් කරුණක් බව ඔහු පිළිගත් අතර දැන් දිනකට 7000ත් 8000ත් අතර අවශ්‍ය පමණ සැලකිය යුතු වර්ධනයක් ඇතැයි ඔහු පිළිගත්තේය. එය 10000ක් දක්වා පමණ වර්ධනය කිරීමට ඉදිරියේදී පියවර ගැනීම කළ යුතු බව ඔහුගේ අදහසය. මේ සම්බන්ධයෙන් ඇති දෙවැනි ගැටලුව වන්නේ දැනට පී.සී.ආර් සඳහා තෝරාගෙන ඇති පරීක්ෂණාගාරවල ගුණාත්මක බව පිළිබඳ ගැටලුවය. සිය සංගමය මෙහිදී නිසි ප්‍රමිතියක් ඇති.

පර් යේෂණාගාර තත්ත්වයක් (වෛද්‍ය පර් යේෂණායතනය වැනි)  මේ සඳහා නිර්ණායකයක් ලෙස ගෙන මේ පරීක්ෂණාගාර තත්ත්වයන් වැඩිදියුණු කර නිශ්චිත සම්මතකරණයකට යටත් කරන ලෙස ඉල්ලා ඇති බව ඔහු කීය. එසේම පී.සී.ආර් සම්බන්ධයෙන් අද නැගී එන අනෙක් මැසිවිල්ල වන ප්‍රමාදය පිළිබඳ කාරණයේ දී වඩාත් විමසිලිමත්ව පර් යේෂණ ක්‍රමවේදයන් ඉක්මන් කිරීමට ගත හැකි අලුත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මාෆියා කතාව ගැන තමන්ට කියන්නට ඇත්තේ එවැන්නක් නොමැති බව කියන්නට තමන් සතුව සාක්කි නොමැති බව යැයි ඔහු කියයි. පී.සී.ආර් වැඩි කරන්නට යැයි තමන් මුලින් ඉල්ලා සිටි කාලයේ දිගින් දිගටම එය නෑසූකන්ව සිටි බලධාරීන් පසුව කල් ඉකුත් වූ පී.සී.ආර් 15000කට ආසන්න කට්ටල තොගයක් ගැන එළිදරව් කළ අවස්ථාව එබඳු එක් සැකසහිත අවස්ථාවක් ලෙස ඔහු පෙන්වා දෙයි. තාක්ෂණික ගැටලු ගැන කියමින් සිදුවන මෙබඳු විනාශකාරී අපතේ යැවීම් සැකය වඩවන පරිසරයක් නිර්මාණය කරන බව ඔහුගේ අදහසය. මාෆියා කතාවට පණ එන්නේ එවන් පරිසරයක සැකසහිත හේතු කාරණා මතුවන නිසා බව ඔහු පෙන්වා දෙයි. එබඳු දේ ඇතිනම් එය වැළැක්වීම සඳහා පියවර ගැනීම බලධාරීන් සතු වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

පී.සී.ආර් සම්බන්ධයෙන් වැඩි බරක් කරට ගෙන ඇති ශ්‍රී ලංකා වෛද්‍ය පර් යේෂණායතනයේ වෛරස විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ ඒ ගැන කියන්නේ එබඳු මාෆියාවක් ගැන තමන් නොදන්නා බවය. එබඳු අවස්ථා සඳහා ඇති ඉඩකඩ අවම කර ඇති බවය. මේ වන විට සිය ආයතනය තුළ පමණක් දිනකට පී.සී.ආර් 800-1500ක් පමණ ප්‍රමාණයක් සිදු කරන අතර දිවයිනේ විවිධ රෝහල්වලද මේ පරීක්ෂණ සැලකිය යුතු ප්‍රමාණයක්  සිදු කරන බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම යාපනය, මඩකලපුව වැනි රෝහල් ආශ්‍රිතවද මේ පහසුකම් පවතින බවත් කන්දකාඩු පරීක්ෂණවලදී ඉක්මන් ප්‍රතිඵල ලබාගන්නට මඩකළපුව රසායනාගාරයේ පැවැත්ම ඉමහත් පහසුවක් වූ බවත් ඔහු පෙන්වා දෙයි. මේ අන්දමට පිළිකා රෝහල ද ඇතුළුව රෝහල් 17ක මේ පරීක්ෂණ නොකඩවා සිදුවන බව ඔහු කියයි. මේ පරීක්ෂණය පිළිබඳව පිටතින් සිට බලා විවේචනය කරන කෙනකුට 1000ක් කරන්න 2000ක් කරන්න යැයි කියන්නට ලෙහෙසි වුවද කරන්නට පහසු නොවන බවත් ඔහු පෙන්වා දෙයි. පැය 4ක පමණ කාලයක් කුඩා පිපෙට්ටු නළ උපකරණ එක සීරුවට අල්ලාගෙන සිටීමම අත් හිරිවැටෙන කාර්යයක් බවත් සමහර දිනවල සිය සහෝදර කාර්යය මණ්ඩලය පාන්දර 3 වනතුරු පමණ එකදිගට මේ අන්දමට සේවය කළ අවස්ථා ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මේ නිසා වැඩි පී.සී.ආර් ප්‍රමාණයක ප්‍රතිඵල ලබා දෙන්නට තමන්ට හැකිව ඇති බවත් ඔහු කියයි.  

තමන් දන්නා හැටියට ඊට අමතර පී.සී.ආර් සඳහා පිටත රසායනාගාරවලට සාම්පල ලබාදෙනවා නම් ඒ ලබා දී ඇත්තේ අමාත්‍යාංශය මගින් නිසි සොයා බැලීම් කර නිර්ණායක සැපිරීම අනුව යැයි ඔහු පෙන්වා දෙයි. මේ චෝදනා පදනම් විරහිත චෝදනා බව ඔහු කියයි. නවීනතම ඉක්මන් පී.සී.ආර් ක්‍රම ගණනාවක් පිළිබඳ අසන්නට ලැබෙන බව සත්‍ය නමුත් ඒවා බොහෝමයක් අවශ්‍ය කරන නියමිත ස්වර්ණමය ප්‍රමිතිය (Golden standard) සැපිරෑ එසැණ ප්‍රතික්‍රියාකාරීත්වයක් දක්වන (Real time PCR) පී.සී.ආර් ක්‍රම ද යන්න සැලකිල්ලට ගත යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි. එසේම මෙලෙස විශාල සමාජ ගහනයක් සඳහා යොදාගන්නා පරීක්ෂණයකදී වඩාත් වටින්නේ ඉක්මන් ප්‍රතිඵලය නොව දීර්ඝකාලීන නිරවද්‍යතාවය මත ගොඩනැගෙන ස්ථිරසාර විශ්වාසය බව ඔහු පෙන්වා දෙයි.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00