2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

උසස්පෙළට පස්සේ ප්‍රයිවෙට් බස් නැතිවෙයිද?

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

උදෑසනින්ම කාර්යාලයට යෑමට පාරට පැමිණ අත දමා ඔබ නගින බස්‌ රථය තුළ සැප පහසුකම් අවම වුවත් ඒ සියල්ල විඳ දරා ගනිමින් ඔබ ගමන නිමා කරන්නේ කෙසේ හෝ යායුතු යැයි යන අදහසිනි. ඒ ශ්‍රී ලංකාවේ බස්‌ මගියාගේ සැබෑ කතාවය. ඔවුනට බස්‌ ගමන තුළ ඇත්තේ, “කොහොම හරි ආවනේ* යන්න පමණය. ඒ හැර බස්‌ රථය තුළ ඔවුනට ඇත්තේ නොරිස්‌සුම් සහගත බවක්‌ පමණි.

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ලංකාවේ බස් සේවාවන් දෙකක් තිබේ. එකක් ප්‍රයිවට් බස්ය. අනෙක සීටීබීය. එනම් පෞද්ගලික බස් කර්මාන්තය හා ලංගම බස් කර්මාන්තයය. ගමනාගමනය මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවක් වන නිසා අප එය පොදුවේ බස් සේවාව කියා හඳුන්වමු. සාමාන්‍ය පාරිභෝගිකයා බස්රථ දෙස බලන්නේ සේවාවක් ලෙසය. එහෙත් ලංකාවේ බස් සේවාවේ ඇති බස් සංඛ්‍යාවෙන් අතිබහුතරය පෞද්ගලික බස් වන නිසා එය පෞද්ගලික කර්මාන්තයකි.

ලංගමය දියුණු කිරීමට විවිධ පියවර ගෙන ඇතත් මගී ප්‍රවාහනයේ මුළු බර දැරීමේ හැකියාවක් ඊට නැත. පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ජන ජීවිතය කඩා වැටෙයි. ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙයි. එය රටට විශාල පාඩුවක් ඇති කරයි.
5500ක පමණ බස්රථ ප්‍රමාණයක් ලංගම සතු යැයි කීවද සාමාන්‍ය දිනක එම මුළු බස්රථ සංඛ්‍යාවම ධාවනයේ යෙදෙන්නේ නැත. පෞද්ගලික බස් හිමියන් සතුවද බස්රථ 20,000ක පමණ ප්‍රමාණයක් තිබුණද දිනක සාමාන්‍ය ධාවනය බස්රථ 16,500ක් පමණය. සාමාන්‍යයෙන් දිනක බස්රථ ධාවන සංඛ්‍යාව ලෙස සැලකෙන්නේ බස්රථ 20,000ක් පමණය.

සේවාවක් වුවද එය ලාභ ලබමින් පවත්වාගෙන යා යුතු එකකි. හැම කර්මාන්තයක සේම බස් කර්මාන්තයෙනුත් යැපෙන විශාල පිරිසක් සිටිති.
රටේ ඇති වී තිබෙන කොරෝනා වසංග තත්ත්වය නිසා පෞද්ගලික බස් කර්මාන්තය අද සිටින්නේ පණ අදින මට්ටමේය. බස් කර්මාන්තය ගැන මැසිවිලි ඇසෙන අවස්ථා බොහෝය. ඇඳිරි නීතිය අවසන් වී බස් ධාවනය ආරම්භ කර තිබුණද ප්‍රමාණවත් වන පරිදි මගීන් නොසිටීම මේ අර්බුදය ඇති වීමට මූලිකම හේතුව වී තිබේ. 

ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක්‌ ඇති කිරීමට යැයි පවසමින් ආණ්‌ඩුව පෞද්ගලික බස්‌ රථ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශයක්‌ පිහිටුවීමේ සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය වැනි ආයතන ස්‌ථාපිත කිරීම දක්‌වා අද දවසේ සිදු කර ඇති දේ බොහෝය. නමුත් මේ කුමකින් කුමක්‌ සිදු කෙරුණද එකී ආයතන සියල්ලේ කෙරුවාව හමුවේ මෙරට පෞද්ගලික බස්‌ රථ ව්‍යාපාරය යන්න මේ මොහොත වනවිට ඇත්තේ මගී ජනතාවගේ ගෙලට වැටී ඇති තොණ්‌ඩුවක්‌ ලෙසින් යැයි කිවහොත් එය නිවැරදිය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකි වීම හේතුවෙන් අධ්‍යාපන පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මෙම කාල වකවානුව තුළ යම් හෙයකින් බස් වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ඉන් අමාරැවේ වැටෙන්නේද මේ කොවිඩ් උවදුරෙන් බැටකා සිටින අසරණ ජනතාවය.

බස් හිමිකරුවෝ අමාරුවේ

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව එහි සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

මේ වනවිට අපි පෞද්ගලික බස් කර්මාන්තය කරගෙන යන්නේ ඉතාම අසීරැ විදිහට. මේ කොරෝනා වසංගතය එක්කම තව තවත් බස් රථ කර්මාන්තය කඩාගෙන වැටුණා. ඒ වගේම කොවිඩ් වසංගතය නිසා අපේ කර්මාන්තයට ලීසිං පහසුකම් ලබා දෙන බව පැවසුවත් එය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා පෞද්ගලික බස් රථ හිමිකරැවන් ඉතා අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම බොහෝ මගී ජනතාව මේ වනවිට බස් රථ කර්මාන්තයෙන් ඈත් වෙලා තියෙන්නේ මේ කොවිඩ් වසංගතය එක්කම. එවැනි හේතු නිසා අපිට මේ කර්මාන්තය හරියට පවත්වාගෙන යන්න බැරි වෙලා තියනවා. අපි බලධාරීන්ට කිහිප විටක්ම මේ පිළිබඳව දැනුවත් කිරීම් කරලා තියෙනවා. නමුත් තවමත් ඒවට නිසි විසඳුමක් ලබා දෙන අයුරක් පේන්න නැහැ. ඒ නිසා බස් රථ ධාවනයෙන් ඉවත් වීම හැර වෙන විකල්පයක් අපිට නැහැ. කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් අපේ සංගමය සාකච්ඡා කරගෙන යනවා. විසඳුමක් නොලැබුණොත් බස් ධාවනයෙන් ඉවත් වෙන එක තමයි අපේ විකල්පය.

ද‌ෙනවා කියූ සහන ලැබුෙණ නෑ

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත්


ඉදිරියේදී බස් ධාවනයෙන් ඉවත් වෙන්න තවමත් අපි තීරණයක් අරගෙන නැහැ. නමුත් ඉදිරියේදී අනෙකුත් පළාත් බස් සංගම් සමගත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ මේ බස් කර්මාන්තය කරගෙන යන්නේ පාඩු පිට. කොරෝනා කාලයේ ලබා දෙනවා කියපු සහන කිසි එකක් අපිට හම්බුණේ නැහැ. කොහොමත් රජය මේ පිළිබඳ අවධානයක් යොමු කරනවනම් වඩාත් හොඳයි කියන එක තමයි අපේ අදහස. ඒ වගේම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක් හමුවේ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අයකරන ලොග් බලපත්‍ර ගාස්තු සහ මාර්ග බලපත්‍ර ගාස්තු තාවකාලිකව නතර කළ යුතුයි කියලත් අපි කියනවා.

ඉල්ලන ඔක්කා‌ෙම ද‌ෙන්න බෑ

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම


පෞද්ගලික බස් හිමියන් ඉදිරිපත් කරලා තියන සියලුම ගැටලුවලට අපි විසඳුම් ලබා දෙනවා කියන එක මුලින්ම කියන්න ඕන. නමුත් එකවර ඔවුන් ඉල්ලන සියලු දේ ලබා දීමට අපිට හැකියාවක් නැහැ. ක්‍රමක්‍රමයෙන් තමයි මේවා කරන්න ඕන. කොහොම වුණත් අපි මේ සියලු දේට විසඳුම් ලබා දෙනවා.


 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00