2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

විනෝදෙට පරණ කාර් එකතු කළ පිළිමතලාවේ වැවිලිකරු

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

එදා එංගලන්තයෙන් ජර්මනියෙන් මෙරටට ගෙන්වූ පෞරාණික වාහන බොහොමයක් අද ඒ රටවලද නැත. හදපු සුද්දාගේ රටේවත් නැති එම වාහනවලට ඒ නිසාම ඇත්තේද ඉහළම ඉල්ලුමකි.

මෙම වාහන හිමිකරුවන් සිය වාහනවලට දක්වන ආදරය, ආසාව, උනන්දුව කොතරම්ද යන්න රටක අභිමානය සංකේතවත් කරන්නක් බඳු වේ. වසරකට වරක් පැවැත්වෙන පෞරාණික රථ පෙළපාලිවලට පමණක් සීමා වූ මෙම වාහන දැකගන්න රට පුරා පෙළගැසෙන පරපුරද විශාලය.

ඇතැම්විට කෙනකු පින්තූරයකින් පමණක් දැක තිබූ මෙවැනි කාර් එදා මහපාරේ සිටි බොහෝ දෙනා හැබෑවටම දුටු මොහොත වන්නට ඇත. අවසන්වරට මෙවැනි පෞරාණික රථ පෙළපාලියක් දැකගත හැකිවූයේ පසුගිය සැප්තැම්බර් 21 දාය. ඒ මොරටුව සිට ගාලු ගිය ගමනේදීය.

සිය වසකට ආසන්න ඉතිහාසයක් ඇති මෙම පැරණි කාර්වලින් සමහරක් එළියට එන්නේද නැත. ඒවා නිවසේ ගරාජ්වලය. එහෙමත් නැත්නම් සමාජයෙන් වහං කරලාය. කෙසේ වුවද යුගයක අභිමානය සංකේතවත් කරන මෙම පැරණි කාර් සමූහයේ හිමිකරුවන් මුහුණ පා ඇති ගැටලුවට වත්මන් ප්‍රවාහන ඇමැති හා රාජ්‍ය ඇමැතිවරයා පසුගියදා ස්ථීර විසඳුමක් ලබාදුන්නේද මෙරට ආර්ථිකයට ඉමහත් ශක්තියක් හිමිකර දෙමිනි.
ඒ පිළිබඳව පැරණි කාර් සමූහයේ 3 වැනි පරම්පරාව නියෝජනය කරන පිළිමතලාව, පමුණුව, පදිංචි ව්‍යාපාරික, ඉඩම් හිමි වැවිලිකරුවකු වන උපාලි සූරියආරච්චි මහතා හෙළි කළේ මෙවැන්නකි.
පැරණි කාර් 35ක් සහිතව මහනුවර ප්‍රදේශයේ පදිංචි එකම පුද්ගලයා වන්නේද ඔහුය. ලංකාවටම එකක් වූ පැරණි කාරයක හිමිකරුවාද ඔහුය. මේ ඔහුගේ හඬය.

මගේ සීයාට ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ කරත්ත දෙකක් තිබුණා. තේ වතුවලට යන්න ඔහු එංගලන්තයෙන් ගෙනා ඒවා. අද ඒ පැරණි කරත්තවලින් එකක් මා ළඟ තිබෙනවා. ඒ වගේම පැරණි වාහනවල අමතර කොටස් රුසක්ම මා සතුයි. ඊළඟට අපි ළඟ බස් තිබුණා. පස්සේ කාර් ගත්තා. වසර 5කට ආසන්න කාලයක් තිස්සේ මම පැරණි කාර් එකතු කරනවා.

මේක එක අතකින් විනෝදාස්වාදයක්. මේවා රටට සම්පතක්. අභිමානයක්. හරිම අමාරුවෙන් තමයි මේවා නඩත්තු කරන්නේ. මා ගාව රටවල් 7කට අයත් පැරණි කාර් තිබෙනවා. එංගලන්තය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, ඉතාලිය, චෙකෝස්ලෝවැකියාව, ප්‍රංශය ඒ රටවල්. මගේ වාහන 35 අතර %ලංකාවටම එකයි^ කියන මෝටර් රථයක්ද තිබෙනවා. ඒක OPEL OLIMPIAD – EN කාණ්ඩය. වයස අවුරුදු 50යි. 2005 වසරේදී අවුරුදු 50 පිරුණු නිසා ඒක ගත්තට ගැණුම්කරුවන් විශාල පිරිසක් ආවා. ඒත් මම දුන්නේ නැහැ. වසර 50න් පසු විකුණන්නට බැහැ කියලයි ඉල්ලුම්කරුවන් කිව්වේ.

අනෙකුත් වාහන අතර ඔස්ටින් - ඊ.වයි වාහන 3යි. මොරිස් මයිනර් 1 ශ්‍රී හා 33 ශ්‍රී 5යි. මේෆ්ලවර් (මැයි මල) සී. එන්, ඊ.වයි වාහන පහයි. සිම්කා 1 ශ්‍රී එකයි. පර්ජෝ 203 ජී.එල් 2යි. ෆියට් ඊ.වයි කාර් 2යි. ෆෝඩ් ෆෙයාර්ලයින් ගැලැක්සි 500 - ස්කයිලයින් සිලින්ඩර් 8යි. ලීටරයට කිලෝමීටර් 7යි. ගැලුමට කිලෝ මීටර් 35ක් දුවන කාර්ද ලීටරයට කිලෝමීටර් 4, 5 දුවන කාර්ද මේ අතර වෙනවා. මම කැන්ඩි ග්‍රෑන්ඩ් කාර් ක්ලබ් ශ්‍රී ලංකා ශාඛාවේ කමිටු සාමාජිකයෙක්. වසරකට වරක් අපි රථ පෙළපාළිවලට, ගෙට් ටුගෙදර් පාටිවලට, නිදහස් උත්සවවලට මේ රථ ගෙනියනවා.

පෙළපාළිවලට ගෙනියන්නට ලේසියි. තනියම රථයක් පාරේ ධාවනය කරන්නට අමාරුයි. බස් රථ රියැදුරන් වෙට්ටු දානවා, හප්පනවා. ඒකෙන් ඔවුන් මානසික වින්දනයක් ලබනවා ඇති. සමහරවිට ඊර්ෂ්‍යාවද මේකට හේතුවක්. ඒ නිසා පාරේ තනිවම ධාවනය කරන්නේ නැහැ. මේ වාහනවලට 75ක්ම ජනතාව කැමතියි. අගය කරනවා. මං වගේම කාර් 50 -100 තියෙන අයත් රටේ ඉන්නවා. මගේ වාහන හදන්නට බාස්ලා එනවා. අපේ සල්ලි කොල්ලකනවා. ගැරේජ් දාන්නට කියනවා. දැම්මොත් ඉවරයි. මේවා අව්වෙන්, වැස්සෙන් බේරාගැනීම විශාල ප්‍රශ්නයක්. ඒ නිසා බාස්ලට දීමත් ගැටලුවක්.

දැන් මේ වාහන අපේ 4 වැනි පරම්පරාව අතේ පවතින්නේ. ඒ අය කරන දේවල්වලට අපි විරුද්ධ වෙන්නේ නැහැ.
උපාලි සූරියආරච්චි මහතාගේ වැඩිමහල් පුත්‍රයා පිලිමතලාව ව්‍යාපාරික 4 වැනි පරම්පරාවේ තිලිණ සූරියආරච්චි මහතා කීවේ මෙබඳු කතාවකි.
මේ පෞරාණික වාහන 35 අපේ තාත්තලා රැකගත්තේ පණ වගේ. මේවා නඩත්තු කිරීම හරිම ප්‍රශ්නයක්. හැමදේටම මියුසියම් තියෙන රටේ පැරණි කාර්වලට ඒක නැහැ. රටේ ප්‍රවාහන ඉතිහාසය කියාපාන පෞරාණික වාහන 2000ක් පමණ රට පුරා තිබෙනවා. මේවා අපේ ඉතිහාසය කියාපාන ප්‍රබල සාක්ෂියි.

කෞතුකාගාරයක් කෙසේවෙතත් මේ පැරණි කාර්වල උරුමය රුකගන්නට වෙරදරන මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන්නට ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා කටයුතු කිරීම සතුටට කරුණක්. මේක ඉතිහාසගත වන ජාතික කටයුත්තක්. දැන් මේ පැරණි කාර්වලට විදේශවල විශාල ඉල්ලුමක් තියෙනවා. රටට විදේශ විනිමය ලබාදිය හැකි රටට ආදායමක් ලැබෙන මේ කටයුත්තට අතගැසීම ගැන 4 වැනි පරපුරේ අපිටනම් සතුටුයි. මේ වාහන 35 විකුණන්නේ නැහැ කියලා තාත්තලා කිව්වට අපිට ඒ දේ කරන්න බැහැ.

මේවා නඩත්තු කරන්නට සමහරුන්ට මුදල් නැහැ. විදේශවල හොඳ ඉල්ලුමක් මේ ගැන තිබෙනවා. නිකන් ගරාජ්වල දිරාපත්වීමට ඉඩ නොදී මේවා විකුණලා ආදායමක් ලබාගැනීම ජාතික අවශ්‍යතාවයක්.
මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැරණි වාහන අපනයනයට අවසර ලබාදී ඇති බව රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පසුගියදා හෙළිකළේ මේ අතරයි.
මෙහිදී අපනයනට සඳහා අවසර හිමිවන්නේ පැරණි වාහන සඳහායි. පෞරාණික වටිනාකමින් යුත් මෙම වාහනවලට බටහිර රටවලින් විශාල ඉල්ලුමක් තිබෙනවා.

මෙතෙක් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එවැනි ක්‍රමවේදයක් තිබී නැහැ. පසුගිය මාස කිහිපයේදී කළ සාකච්ඡාවල සාර්ථකත්වයත් සමඟ නව ක්‍රමවේදයක් යටතේ පැරණි වාහන අපනයනයට අවසර ලබා දී තිබෙනවා. මෙම වාහන පිටරට යැවීමට පෙර දෙපාර්තමේන්තුවට ගොස් ලංකාවේ ලියාපදිංචිය අවලංගු කළ යුතුයි. ඉන්පසු පිටරට යැවීමට අවසර හිමිවන බවද රාජ්‍ය ඇමැතිවරයා හෙළිකළා.

මෙම පෞරාණික වාහන රට තුළ භාවිතා කරන්නේ නම් CEYLON අංක කාණ්ඩයට අයත් පැරණි වාහන C අකුරින් EN අංකවලින් පවතින සමහර වාහන සඳහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පොතක් නොමැති වුවද කිසියම් හෝ ලියවිල්ලක් තිබීමේ හැකියාවක් ඇතැයිද ඒවා අලුත් අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවසර හිමිවෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන ඉපැරණි වාහන සඳහා දැනට භාවිතයේ පවතින අලුත් අංක ලබා නොදෙන අතර PMT අංකයක් ලබාදීමට රජය තීරණය කර ඇතැයිද පැරණි වාහන හිමිකරුවන්ට එම වාහන අංක තහඩු යටතේ තවදුරටත් එම වාහන ධාවනයට හැකියාව ඇතැයිද රජය කියයි.

මෙම පැරණි වාහන නව ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වීමෙන් එම වාහන ලංකාවේ ලියාපදිංචි වාහනයක් බවට පත්වේ. මේ නිසාම ලංකාවේ ලියාපදිංචි නොවූ වාහන පිටරට යැවීමේදී මතුවන ගැටලුවට විසඳුමක් ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ් (වී.සී.ඕ.සී) හා ක්ලැසික් කාර් ඕනර්ස් ඇසෝසියේෂන් නමින් පැරණි කාර් සඳහා වන සංගම් දෙකක්ද රට තුළ ක්‍රියාත්මක වේ.
විදුලි කාර්, හයිබ්‍රිඩ් කාර් ධාවනය වන රටක මෙවැනි පෞරාණික උරුමයක් පවතින කාර් රැසක් පැවතීමත් රටකට අභිමානයක් නොවන්නේද?

  ජයන්ත සමරකෝන්