2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

පොල් ගෙඩිය වටේ කැරකෙන අලුත් පොල්තෙල් බද්ද

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

පොල් ගෙඩිය පිළිබඳ සමාජ කතාබහ මේ දිනවල වර්ධනය වූයේ ගෙඩියේ මිල ඉහළ යාමට වඩා රජය පොල් මිල පාලනයට යෙදූ උපක්‍රමය හේතුවෙනි. පාරිභෝගික සේවා අධිකාරිය මගින් 2020 සැප්තැම්බර් මස 25 දින ප්‍රසිද්ධ කළ ගැසට් පත්‍රය මගින් වර්ග තුනක් යටතේ පොල් මිල පාලනය කෙරුණි. පොල් ගෙඩියේ වට ප්‍රමාණය අඟල්වලින් මැන අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙසට නිවේදනය කළේය. එසේම වටප්‍රමාණය අඟල් 12 – 13 අතර වූ ගෙඩියක උපරිම අලෙවි මිල රුපියල් 65ක් වූ අතර අඟල් 12ට අඩු ගෙඩියක මිල රුපියල් 60ක් බවට නියම කර තිබුණි.

අපේ රටේ පොල්වලට පාලන මිලක් ගැසූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර මෙම අමුතු ආකාර පාලන මිල නිසා පොල් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයෝද අපහසුතාවට පත්වූහ. මෙහිදී සමහරුන් උපහාසාත්මකව පැවසුවේ පොල් මිලට ගන්නට යනවිට ටේප් පටියක් රැගෙන යා යුතු අතර වෙළෙඳුන්ද ටේප් පටියක් පාවිච්චි කර පොල් ගෙඩියේ අලෙවි මිල තීරණය කළ යුතු බවය. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මේ සඳහා අමුතු ක්‍රමයක් භාවිතා කළ අතර ඔවුන් කළේ නියමිත වටප්‍රමාණ තුන සඳහා කම්බි රවුම් තුනක් තනාගෙන පොල් කඩවලට ගොස් වටප්‍රමාණ එමගින් පොල් වෙළෙඳුන් කොටු කරගෙන ඔවුන්ට නඩු පැවරීමය.

මෙහිදී සමහරුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව 1974 වසරේ සිට මෙට්‍රික් ක්‍රමය කිරුම් සහ මිනුම් සඳහා භාවිතා කිරීමට පටන්ගත් අතර ඉන් වසර 46ක් ගතවිත් ඒ බව නොදන්නා රාජ්‍ය නිලධාරීන් පොල් ගෙඩියේ වටප්‍රමාණය අඟල්වලින් ගැසට් කර ඇති බවය. නීතිවේදීන් තර්ක කරන්නේ පොල් වැඩි මිලට අලෙවි කිරීම පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය පවරන නඩු උසාවියෙන් විසිවීමට මෙම දුර්වලතාව හේතුවන බවය. කෙසේ වුවද මේ ලියන මොහොත දක්වා පාරිභෝගික සේවා අධිකාරිය පොල් වැඩි මිලට අලෙවි කිරීම පිළිබඳ නඩු පැවරුවේද යන්න හෝ එම නඩුවලට අත්වූ ඉරණම පිළිබඳ හෝ දැනගන්නට නැත. කෙසේ වුවද පොල් සංවර්ධන අධිකාරිය බර අනුව පොල්වල උපරිම මිල නියම කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත. එම සාකච්ඡා සාර්ථක වුවහොත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ටේප් පටිය වෙනුවට තරාදියක් රැගෙන පොල් වෙළෙඳුන් වැටලීමට යාමට සිදුවනු ඇති බව ඇතැම්හු කියති.

කෙසේ වුවද මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 100 පමණ දක්වා ඉහළ ගොස් තිබුණු අතර පොල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සිදුවූයේ කීයටවත් මිලට ගැනීමට පොල් ගෙඩි වෙළෙඳපොළේ නොමැති වීමය. ඒ නිසා කඩෙන් පොල් සොයා යාමට පාරිභෝගිකයාට සිදුව තිබුණි. ඇතැම් ‍වෙළෙඳුන් පොල් ගෙඩි සඟවා තබාගෙන මත්කුඩු විකුණනවා මෙන් තමා දන්නා හඳුනන අයට පමණක් හොර රහසේ අලෙවි කිරීමට පටන්ගෙන තිබුණි.

කෙසේ වුවද මෙලෙස මිල ඉහළ යාම සිදු වූයේ ඉල්ලුමට අවශ්‍ය තරම් පොල් සැපයීමට නොහැකි වීම නිසාය. එම තත්ත්වය පොල්වලට පමණක් නොව ඕනෑම පාරිභෝගික භාණ්ඩයකට අත්වන ඉරණමකි. පොල් රටේ අවශ්‍යතාවයට නොසෑහෙමින් තිබියදී වසරින් වසර පොල් අපනයනය ඉහළ යයි. 2020 ජූලි මාසයේ පොල් අපනයනයෙන් අප ලැබූ ආදායම රුපියල් මිලියන 7221.76ක් වූ අතර 2019 ජූලි මාසයේ උපයාගෙන ඇත්තේ මිලියන 4631.47කි. මේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ගත්විට 55.93කි.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ හිටපු සභාපති කපිල යකන්දාවල -

මෙයට පෙර පොල් වගාකිරීමේ මණ්ඩලය පොල් ගෙඩියේ උපරිම මිල ප්‍රකාශයට පත්කළා පමණයි. අපි එය නියෝගයක් ලෙස ගැසට් කළේ නැහැ. එහෙම මිල පාලනයක් තිබුණා කියලා කියනවනම් එය අසත්‍යයයි. ආර්ථික භෝගවලට මිල තීරණය කිරීමේදී ඉල්ලුම් සැපයුම් න්‍යාය මතයි ක්‍රියාත්මක වුණේ. එහෙත් පොල්වලට පමණක් මිල පාලනයක් දැම්මේ ඇයිද යන්න ගැටලුවක්. උපරිම මිල පමණක් පාලනය කිරීම අසාධාරණයි. එහෙමනම් අවම මිලද පාලනය කළ යුතුයි.

පසුගිය කාලයේ දිගින් දිගටම පොල් මිල අඩු වුණා. රුපියල් 30 – 35ට තමා අලෙවි වුණේ. ඒ කාලයේ වගාකරුවන්ට ලැබුණු ලාභය අඩුයි. මෙහෙම මිල වැඩිවුණේ මුර දෙකකදී තමා. ඉතින් එහෙම තිබියදී මිල පාලනයක් කිරීම වගාකරුවාට කරන අසාධාරණයක්. යන්තම් හෝ මිල වැඩි වුණොත් තමා මුල් අලාභය හා අවම ලාභය පියවාගන්න ලැබෙන්නේ. වගාවේ වියදම වැඩියි. පොහොර, බිම් සකස් කිරීම, නඩත්තුව හා ශ්‍රමයට විශාල මුදලක් අද කාලයේ හැටියට වැය කරන්න සිද්ධ වෙනවා.
පොල් ගෙඩිය රුපියල් 30 – 35 කාලයේ කර්මාන්තකරුවන් තමා අසීමිත ලෙස ලාභ ගන්නේ. වගාකරුවන්ට සිදු වූ යහපතක් නැහැ. වගාකරුවන් පොල් අලෙවි කරනවිට මිල තීරණය කිරීමේදී ආකාර තුනකට වියදම් කරන්න වෙනවා. කඩන අය, ලෙලි ගැසීම, එකතු කරන අය ආදී වශයෙන් විවිධ අයට ගෙවන්න ඕනෑ. රුපියල් 10 ගණනේ ගෙඩියකට තිබ්බොත් ගෙඩියේ මිලට රුපියල් 30 – 40 එකතු විය යුතුයි. එහෙත් කර්මාන්ත සඳහා පොල් ගන්නවිට එක් අතරමැදියෙක් තමා ඉන්නේ. පොල් වගාව ආකර්ශනීය වගාවක් නොවෙයි. එළවළු වගාව සමඟ සංසන්දනය කරනවිට මාසයෙන් දෙකෙන් එළවළු අස්වැන්න ගත්තත් පොල් වගාවේ ගෙඩි කඩන්න වසර 3 – 4ක් යනවා. එයට වැඩිය යන ගසුත් තිබෙනවා. ඒ නිසා පොල් නිෂ්පාදනය වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට වගාකරුවාට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ පොල්ගෙඩියක මිල රුපියල් 80 තරමේ වීමේ වරදක් මා දකින්නේ නෑ. එසේ වුවද අප උත්සාහ කළ යුත්තේ වගාකරුවාට හා පාරිභෝගිකයා යන දෙදෙනාටම සාධාරණයක් ඉටුවන පරිදි පොල් ගෙඩියක මිල රුපියල් 45 සිට 80 දක්වා දෝලනය වීමටයි. හැමදාම එක මිලක් කිසිදු වගාවක නැහැ. අස්වැන්න වැඩි කාලයට මිල අඩුවන අතර අඩු වූ විට මිල වැඩිවෙනවා. එය තමා ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණය.
කොහොමත් වටප්‍රමාණය අනුව ගෙඩිය මිල කිරීම තරමක් අසීරුයි. ඒ නිසා අපි බර අනුව මිල කරන්නයි මුලදී තීරණය කළේ. දැනටත් කර්මාන්තශාලාවල, වෙන්දේසිවල බර අනුව තමා අලෙවි කරන්නේ. ගෙඩිය පොඩි වුණාට මදේ තියෙනවා. සමහර ලොකු ගෙඩිවල මදය නැහැ. ඒ නිසා හොඳම ක්‍රමය තමා බර අනුව මිල තැබීම. 2018දී මා සභාපති වෙලා හිටි සමයේ එය යෝජනා වූවා. අඩු වශයෙන් සුපිරි වෙළඳසල්වල හෝ බරට අලෙවි කරන්න උත්සාහ කළා. එහෙත් එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. කොහොම වුණත් දැනට පවතින වටප්‍රමාණය අනුව මිල තැබීම එතරම් ප්‍රායෝගික නැහැ. වෙළෙඳුන් පාරිභෝගිකයාත් දෙදෙනාම අමාරැවේ වැටෙනවා.

දැනට පවතින වියලි කලාපයේ පොල් වගාව තෙත් කලාපයට ගෙන යා යුතුයි. මොකද තෙත් කලාපයේ අස්වැන්න වැඩි නිසා. අපේ ආහාර වේලක කැලරි අවශ්‍යතාවයෙන් සියයට 20කට වැඩියෙන් පොල්වලින් ලැබෙනවා. ඒ නිසා එයට සාධාරණ මිලකට ගන්න තිබිය යුතුයි. කෙසේ වුවද පොල් ගෙඩිය දේශපාලන භාණ්ඩයක් කර නොගත යුතු අතර වේදිකා මතට පොල් ගෙඩි ගෙනයාම වැළැක්විය යුතුය.

පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී. එදිරිමාන්න පවසන්නේ සාමාන්‍යයෙන් සෑම වසරකම නොවැම්බර් වනවිට පොල් පලදාව අඩුවෙන බවයි. පොල් පලදාව අඩු වැඩිවීමට කාලගුණය බලපානවා. සාමාන්‍යයෙන් වැඩිපුර පොල් හිඟයක් ඇතිවන්නේ වසර හතරකට පමණ වරක්. අවසාන වරට 2018 වසරේදී හිඟයක් ඇතිවුණා. ගෙඩිය රුපියල් 100 ඉක්මවා මිල ඉහළ ගියා. පාරිසරික සහ කාලගුණික වෙනස්කම් නිසා මේ වසරේදී වසර දෙකකට කලින් පොල් හිඟයක් ඇතිවුණා. ඒත් මේ තත්ත්වය ජනවාරි, පෙබරවාරි පමණ වනවිට සාමාන්‍ය බවට පත්වේවි. මේ හිඟය කෙටි කාලයකට පමණයි තියෙන්නේ. අප ඇස්තමේන්තු කරලා තිබෙනවා ලබන වසර මුලදී පොල් ගෙඩි මිලියන 3100 පමණ අස්වැන්න ලබාගන්නට හැකිවේය කියලා.

අපට වසරකට පොල් ගෙඩි මිලියන 3000ක් පමණ අවශ්‍ය වෙනවා. එයින් ආහාර සඳහා ගන්නේ මිලියන 1800 පමණයි. සියයට 2ක පමණ සුළු ප්‍රමාණයක් අපනයනය කරනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ගැනීමට විදේශ ගැනුම්කරුවන්ට පොල් ගෙඩි යම් ප්‍රමාණයක් දිය යුතු වෙනවා. ඒ අය දිරිමත් කළ යුතු වන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් වසරකට රුපියල් බිලියන 109ක් පමණ උපයන නිසයි. අනිත් පොල් මෙරට කර්මාන්තවලට පාවිච්චි කරනවා. පොල්කටු මිලියන 1600ක ආශ්‍රිත නිෂ්පාදනවලින් වසරකට රුපියල් බිලියන 20ක් ලැබෙනවා. පොල්කටු අඟුරුවලින් වැඩකරන කර්මාන්තශාලා 9ක් අපේ රටේ තිබුණත් ඒවාට අවශ්‍ය කටු සොයාගත නොහැකියි. පිටරටින් පොල්කටු අඟුරු මෙට්‍රික් ටොන් 15000ක් ගේනවා. මෙරට පොල්කටු තිබුණානම් අපට මෙයට වැයවන විදේශ විනිමය ඉතිරි කරගන්න පුළුවන්.

පොල්වලින් කිරි ලබා ගැනීමේදී සියයට 35 – 40 පමණ ප්‍රමාණයක් නාස්ති වන බව සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් නිවාසවල ආහාර පිළියෙළ කිරීමේදී කිරි මිරිකනවිට මුළු කිරි ප්‍රමාණය ගන්නට නොහැකි වීම නිසා තමා මෙලෙස නාස්ති වෙන්නේ. නිසි ලෙස කිරි ගන්නවා නම් පොල් ගෙඩි වසරකට මිලියන 600 පමණ ඉතිරි කරගත හැකි වෙනවා. එසේම පොල් පලදාවද නිසි ලෙස ලබාගැනීමට අපි උනන්දු වෙන්නේ නැහැ. හොඳට නඩත්තු කරන පොල් අක්කරයකින් ගෙඩි 7500 පමණ ලබාගන්න පුළුවන් වුණත් දැන් සාමාන්‍යයෙන් ලැබෙන්නේ අක්කරයකින් ගෙඩි 3000 පමණයි. මෙය ගන්න පුළුවන් පලදාවෙන් බාගෙකටත් අඩුයි.

ඔහු පවසන්නේ වටප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට අමතරව බර අනුව පොල් මිල කිරීමේ ක්‍රමයක් පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි. මේ ක්‍රමයට පොල් මිල කිරීමෙන් වගාකරුවාට, අතරමැදියාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයා යන හතරදෙනාටම යම් සාධාරණයක් වන ලෙසට කටයුතු කරන බව ඔහු කියයි. දැනටමත් හම්බන්තොට, මාතර හා ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල කර්මාන්ත ශාලාවලට පොල් මිලට ගන්නේ බර අනුව බව ඔහු කියයි. ඒ නිසා බර අනුව පොල් මිලයට ගැනීම යනු මෙරට පැවති ක්‍රමයක් යළි හඳුන්වා දීමක් පමණයි.

එසේම වටප්‍රමාණය අනුව පොල් මිල කිරීමේ ක්‍රමයද නවත්වන්නේ නැහැ. දැනටමත් ආනයනය කරන්නේ Jumbo Nuts වශයෙන් වට ප්‍රමාණය අනුවයි. වෙන්දේසිවලට ඉදිරිපත් කරනුයේ වටප්‍රමාණය අඟල් 11ට වැඩි පොල් පමණයි. පොල් වටප්‍රමාණය අනුව මිල කිරීමද අප අලුතෙන් හඳුන්වා දුන් එකක් නොව තිබුණු ක්‍රමයකි. දැනට මෙම ක්‍රම දෙකම අනුගමනය කිරීමට තමා බලාපොරොත්තුව.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

පොල් මිල ඉහළ යාම පොල් තෙල්වලටද අහිතකර ලෙස බලපානවා. අද වෙළෙඳපොළේ ඉහළ මිල ගණන් යටතේ වුවද පිරිසිදු පොල්තෙල් නැහැ. ඇත්තේ පාම් තෙල්, පොල් තෙල් බවට පත්කරලා අලෙවි කිරීමත් එහිදි සිදු කරන වංචාවලින් එකක් නම් කොප්පරා තැනීමේදී ඉවත් කරන පොල් කුරුට්ට පාම් තෙල්වලට කලවම් කර පොල්තෙල් තැනීමයි. පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ කොප්පරා ආනයනයට ඉඩ ලබා දී දේශීය පොල්තෙල් අවශ්‍යතාව රටේ නිෂ්පාදකයන්ට සපුරාලීමට අවශ්‍ය තරම් සැපයුමක් ලබාදීමට නොහැකි වීමයි. පළමුව කොප්පරා ආනයනය කිරීමට අවස්ථා සලසා දී දේශීය කර්මාන්තකරුවන්ට පොල්තෙල් නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම රජයේ වගකීමක්.
තත්ත්වය මෙසේ තිබියදී එක්තරා කූට ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් කර්මාන්ත ඇමැතිවරයා නොමග යවා පොල් තෙල් ආනයනය සඳහා දැනට පනවා ඇති කිලෝග්‍රෑම් එකකට රුපියල් 125ක් වූ බද්ද රුපියල් 290 දක්වා වැඩිකර ගැනීමට කටයුතු කරන බව දැනගන්නට ලැබී තිබෙනවා. මෙය මුළුමනින්ම දේශපාලනයට සම්බන්ධ උත්සාහයක් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයැයි අටවා ගත් සංගමයක කිහිපදෙනකු කර්මාන්ත ඇමැතිවරයා නොමග යවා මෙලෙස පොල්තෙල් ආනයන බද්ද රුපියල් 165කින් ඉහළ නංවාගැනීමට කටයුතු කරමින් පවතිනවා. මෙම බදු ඉහළ දැමීම අද හෙටම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙලෙස පොල්තෙල් බද්ද වැඩි කළහොත් පොල් තෙල් සඳහා පනවා ඇති යෝජිත බද්දට වඩා අඩු බද්දක් පාම් තෙල්වලට අය කරන නිසා පොල් තෙල්වලට පාම් තෙල් කලවම් කරන දූෂිත ජාවාරම්කරුවන්ට හොඳ කලදසාවක් උදාවෙනවා. එහෙත් පොල් තෙල් පාරිභෝගිකයාට සිදුවන්නේ විපතක්. එසේම මෙරට පොල් මද ආශ්‍රිත අපනයන කර්මාන්තයට එය අහිතකරව බලපාන අතර මේ වනවිට අපනයන ඇනවුම් ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ට දැඩි අසීරුතාවකට මුහුණ දෙන්නට වෙනවා. තවද මෙයින් සිදුවන තවත් අයහපතක් වන්නේ තෙල් නිෂ්පාදනයට පොල් ඉල්ලුම වැඩි වීමෙන් පොල් මිලද තවත් ඉහළ යාමයි.

මෙරටට කොප්පරා ආනයනය කර දේශීය පොල් තෙල් නිෂ්පාදනයට අවස්ථාව සලසා දිය හැකි නමුත් අපේ පොල් අවශ්‍යතාව සපුරාලීමට පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ට කිසිසේත් නොහැකි බව අපේ වැටහීමක්. මෙලෙස එක් අයකුට හෝ කිහිපදෙනකුට වාසි ලබාගැනීම සඳහා පොල් තෙල්වලට පාම් තෙල් කලවම් කිරීමට අවස්ථාව ලබාදීම පාරිභෝගිකයන්ට කරන අසාධාරණයක් බව කිව යුතුයි.

මෙරට වාර්ෂික පොල් තෙල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 1700000ක් පමණ වන අතර 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව මෙරට පොල් තෙල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 44000කට මඳක් වැඩියි. දේශීය වශයෙන් තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන පොල් ගෙඩි ප්‍රමාණය බිලියන 1.7ක් වුවද රටේ පොල් අස්වැන්න වන ගෙඩි බිලියන 3.08 ප්‍රමාණයෙන් බිලියන 1.80 පමණ වන කොටසක් ආහාරවලට යොදාගන්නා නිසා ඉතිරි වන ගෙඩි බිලියන 1.28 පොල් තෙල් නිෂ්පාදනයට සහ පොල් මද ආශ්‍රිත කර්මාන්තවලට සෑහෙන්නේ නැත. ඒ නිසා රජය මේ අවස්ථාවේ කළ යුත්තේ පාම් තෙල් බද්ද පහළ දැමීම නොව මෙරට පිරිසිදු පොල් තෙල් නිෂ්පාදනයට අනුග්‍රහය දැක්වීම බව කිව යුතුය.

 යසවර්ධන රුද්රිගු

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00