2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

දකුණු ඉන්දියාව කළඹන මුරලිගේ 800

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

නිල්වන් ගස් කොළං සහ නානාප‍්‍රකාර මල් සිප ගනිමින් සීතල් සුළං රැළි හමාගෙන යනවා. මේ කියන්න හදන කතාව වෙන්නේ අපේ රටේ මහනුවර හිල් කන්ද ප‍්‍රදේශයේ. ඒ වගේම මේ කියන සිදුවීම වෙන්නේ 1972 අප්‍රේල් 17 වැනිදා. හින්දු සහ සිංහල අලුත් අවුරුද්ද සමරලා වැඩි දවසක් නැහැ. මේ කිව්ව දවසේ සින්නසාමිගේ නිවසේ හැමෝටම ගොඩාක් සතුටුදායක දිනයක්. එදා මෙන්න මේ පුතුන් හතර දෙනෙක්ගෙන් යුත් පවුලට ඔවුන්ගේ තුන්වැනි පුත‍්‍රයා එකතු වෙනවා. අපි අද මේ කියන සින්නසාමිගේ සීයා 1920දී තමන්ගේ ආදරණීයයන් එක්ක දකුණු ඉන්දියාවේ ඉඳලා ශ්‍රී ලංකාවේ තේ වතුවල වැඩ කරන්න එනවා. ඔහුගේ පුතා අවුරුදු කිහිපයකින් තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි කියන ප‍්‍රදේශයට ගියත් සින්නසාමී ශ්‍රී ලංකාව හැර දමා යන්නෙ නැතුව බිස්කට් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක සාර්ථකව කරගෙන යනවා. සින්නසාමිගේ පවුලට එකතු වුණු තුන්වැනි පුත‍්‍රයා වයස අවුරුදු 9 වෙද්දී මහනුවර ශාන්ත අන්තෝනි පාසලට ඇතුළත් වෙලා එහි තිබුණු  ක‍්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන්නෙක් වශයෙන් ක‍්‍රීඩාවේ නිරත වෙන්නට පටන් ගන්නවා. ඒත් ඔහුගේ පාසල් පුහුණුකරු සුනිල් ප‍්‍රනාන්දුගේ උපදෙස් පරිදි අවුරුදු 14 වෙනකොට එයා පිට දඟ පන්දු යවන්න පටන් ගන්නවා. මැද පෙළ ක‍්‍රීඩකයෙක් වශයෙන් ක‍්‍රීඩා කරන්න පටන් ගත් ඔහු සෙන්ට් ඇන්තනීස් එකේ ඔහුගේ අවසන් වාර දෙකේදී කඩුලු 100ක් ලබා ගන්න සමත් වෙනවා.

දැන් කතාව ටිකක් වෙනස් අතට හැරෙනවා. 1983 වසර උදා වෙනවා. ඔබ අපි කියවලා අහලා හෝ ඇස්වලින්ම මේ අවුරුද්දේ වුණු දේවල් ගැන දන්නවා. දේශපාලකයන්ගේ උසිගැන්වීම් මත කළු ජූලියෙන් මේ රටේ හැමෝම පීඩාවට පත්වුණා. සින්නසාමිගේ පවුලේ උදවියටත් ඒ කාලේ සුන්දර කාලයක් වුණේ නැහැ.

කොහොම නමුත් හැම බාධකයකටම මුහුණ දීලා සින්නසාමිගේ තුන්වැනි පුත‍්‍ර රත්නය 1991දී ශ්‍රී ලංකා එංගලන්ත සංචාරයට තෝරගන්නවා. තරග පහකට ක‍්‍රීඩා කළත් එකදු කඩුල්ලක්වත් ලබා ගැනීමට සමත් නොවූ ඔහු 2011 අප්‍රේල් 03 වැනිදා ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්න බව ප‍්‍රකාශ කරන විට ටෙස්ට් කඩුලු 800ක් ලබාගෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම කඩුලුලාභියා විදිහට වාර්තා පොත්වල තමන්ගේ නම තබන්නේ තමන් ඉපැදුණු රටේ නාමයට විශාල ගෞරවයක් ලබාදෙමින්. ඔහු නමින් මුත්තයියා මුරලිදරන්.

කට්... කට්... කට්...

සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක්නම් මේ වනවිටත් ඔබ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරයට තමන්ගේ නම රැගෙන ගිය මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා 800 නමින් සිනමාපටයක් ඉන්දියාවේ හදන්න යන බව දන්නවා ඇති. මොකද පසුගියදා ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලිය අතරතුර ඒ සිනමාපටය ගැන ලෝකවසීන් දැනුවත් කළා.

800 නමින් තිරගත වීමට නියමිතව තිබූ මුරලිගේ ජීවිත කතාව ගැන කියැවෙන මේ සිනමාපටයේ මුරලිගේ චරිතයට පණ පොවන්නේ දමිළ සිනමාවේ ඉහළින්ම නමක් තියාගෙන සිටින විජෙයි සේතුපති වන අතර මේ සිනමාපටයේ පෝස්ටර් එක ගිය සතියේ එළිදැක්වීමෙන් අනතුරුව විජෙයි සේතුපතිට සමාජ මාධ්‍යවලින් හොඳ සහ නරක ප‍්‍රතිචරවලට මුහුණ දෙන්න සිදුවී තියෙන බව ඉන්දියාවේ මාධ්‍ය බොහොමයක වාර්තා කරලා තිබුණා.

තවමත් රූගතකිරීම්වත් ආරම්භ කර නොමැති මේ සිනමාපටයේ රූගතකිරීම් මේ වසරේ අග වනවිට බොහෝ විට ආරම්භ වන බව තමයි ඉන්දියාවේ මාධ්‍යවල වාර්තා කරලා තියෙන්නේ. අවුරුද්දකට කලිනුත් මේ සිනමාපටය ගැන මාධ්‍ය වාර්තා කළත් මුරලිගේ චරිතයට පණ පොවන්නෙ කවුද කියන එක සිනමාපටයේ පෝස්ට‍ර් එක එළිදැක්වූ ගිය සතියේ තමයි ප‍්‍රකාශයට පත් කළේ.

කෙසේ වෙතත් අපි මුරලිගේ ජීවිතයේ දන්නේ බොහොම අල්ප ප‍්‍රමාණයක් බව පැවසිය හැකිය. 1983 වසරේ කළු ජූලිය පැවති සමයේ සහ අපේ රට තුළ පැවති කුරිරු යුධ සමයේ ඔහු සහ ඔහුගේ පවුලේ අයට මුහුණ දෙන්නට සිදුවූයේ මොනවගේ සිදුවීම්වලටද කියාවත් අප දන්නේ නැත. ඒ කාලය අතරතුර ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූ සමහර සිදුවීම් පිළිබඳව මුරලිදරන්ගේ මව සමහර අවස්ථාවන්වල දමිළ මාධ්‍යවලින් පවසා ඇති බවද නොරහසකි. එමෙන්ම කළු ජූලිය පැවති අවස්ථාවේ මුරලිගේ පියා සින්නසාමි මේ රට හැරදා ඉන්දියාවට පදිංචියට ගියානම් අපිට අපේ යැයි කියන්නට ජාත්‍යන්තර කීර්තියට පත් වීරවරයෙක් අපේ රටට අහිමි වෙන බව කිවයුතු නොවේ.

එම්.එස්. ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන මුරලිගේ චරිතාපදානය ඇතුළත් 800 සිනමාපටය පෝස්ටර් එක එළිදැක්වීමන් අනතුරුව මේ සිනමාපටය ගැන එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උදහසට ලක්ව තියෙනවා. එහෙත් තවත් කොටසක් එය අගය කිරීමකට ලක් කරනවා. ශ්‍රී ලංකාවේ දමිළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලදැයි කියන අපරාධ මුරලිදරන් විවේචනය නොකළ බව තමයි ඔවුන් පවසන්නේ.

තමිල්නාඩුවේ නාම් තමිලර් කච්චි කියන සංවිධානයේ සාමාජිකයන් #ShameonVijaySethupathi “විජෙයි සේතුපති ලැජ්ජා විය යුතුයි” යනුවෙන් සඳහන් කර සමාජ මාධ්‍යවලින් මේ සිනමාපටයට එරෙහි දැවැන්ත විරෝධතාවයක් ගෙන ගිය අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ චරිතාපදානයක් වන මෙම 800 සිනමාපටය මේ වනවිට දේශපාලනීකරණය වෙමින් පවතින බව පෙනෙන්නට තියෙනවා. ශ්‍රී ලංකාව තුළ පැවති දමිළ ඊළාම් අරගලය හෑල්ලුවට ලක් කරන හෝ ඔවුන්ගේ හැඟීම් කිසිදු ආකාරයකින් රිදවන කිසිදු දර්ශනයක් මෙම සිනමාපටයට ඇතුළත් නොකරන බව නිෂ්පාදකවරැන් සහතික වෙනවා කියලත් ඉන්දියාවේ මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට සම්බන්ධකම් තියෙන සිනමාපට කිහිපයක්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් විසින් තහනම් කරන ලෙස අතීතයේදී ඉල්ලා සිටි අතර 2014දී විජෙයි චන්ද්‍රසේකර් රංගනයෙන් දායක වුණු කත්ති සිනමාපටය ද එසේ අපහසුතාවයට පත්වූ සිනමාපටයක් බව ඉන්දියානු මාධ්‍යවල සඳහන් කරලා තියෙනවා. 800 සිනමාපටයට එරෙහි වන විරෝධතාකරුවන් මේ සිනමාපටයේ නිෂ්පාදකයන් ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති අය බවත් ප‍්‍රකාශ කරලා තියෙනවා කියලා ඉන්දියානු මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා.

මිනිසුන් එක්සත් කිරීමේ හැකියාවක් නිර්මාණකරුවාට තියෙන බවත් මේ සිනමාපටයෙන් දමිළ සංක්‍රමණික ප‍්‍රජාවෙන් පැවත එන මෙතෙක් ලොව වැඩිම කඩුලු ලබා ගත් ක‍්‍රීඩකයාගේ චරිතාපදානය පමණක් ඇතුළත් වන බවත්, තරුණ පරම්පරාවට ඔවුන්ගේ සිහින හඹා යෑමට මේ සිනමාපටයෙන් ආශ්වාදයක් ලැබෙනු ඇති බවත් නිෂ්පාදන කණ්ඩායම් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මෙම සිනමපටය ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේ ලියාව සහ ඉන්දියාවේ රූගතකිරීමට නියමිත බව නිෂ්පාදන කණ්ඩායම පවසනවා. ඉන්දියාවේ බොලිවුඩ් සහ කොලිවුඩ්වල නොයෙකුත් ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් තමන්ගේ අරමුණු ජයගත් අයගේ චරිතාපදාන අලලා සිනමාපට නිර්මාණය කෙරෙන අතර විදේශීය රටක ක‍්‍රීඩකයකු සම්බන්ධයෙන් නිර්මාණය වන පළමු සිනමාපටය 800 සිනමාපටය වෙනවා. 

අතීතයේ පටන් ලොව සියලුම රටවල දේශපාලකයන් තමන්ගේ බලය රැක ගැනීම බලයට පතිවීම සඳහා යොදාගෙන තියෙන්නේ ජාතිය, ආගම හෝ කුලමල භේදයයි. නොඑසේනම් වෙනත් දේශයක ජීවත් වුවත් දමිළ කියන ජාතිකත්වයට මුල් තැනක් දෙන්නේනම් මේ සිනමාපටයට එරෙහි විය යුතුව තියෙනවද? දෙමළ භාෂාව කතා නොකරන සිංහල භාෂාව කතා කරන අයකු වශයෙන්ද මුරලිදරන් හට සමාජ මාධ්‍යන්ගෙන් චෝදනා කර තිබුණු අතර මුරලිදරන් ජනප‍්‍රිය නළු විජෙයි සේතුපතිට එල්ලවන චෝදනා නිසා මුරලිදරන් දමිළ භාෂාවෙන් ඔහුට ලිපියක් යොමු කර තියෙනවා.

තමන්ගේ චරිතාපදානය ඇතුළත් 800 සිනමාපටයේ තමන්ගේ චරිතයට පණ පොවන්න භාරගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පී විජෙයි සේතුපතිට එල්ල වන බලපෑම් හේතුවෙන් ඔහුගේ ඉදිරි රංගන ජීවිතයට බාධාවක් වේවියැයි සිතන නිසා මෙම සිනමාපටයේ රංගනයෙන් ඉවත් වන ලෙස එම ලිපියෙන් ඔහු ඉල්ලීමක් කර තියෙනවා.

විජෙයිට දකුණු ඉන්දීය කලාකරුවන් පිරිසක් සහ දේශපාලකයන් පිරිසක් ද විරෝධය පළ කරලා තියෙනවා. දෙමළ ජන කොටස නියෝජනය කරන්නකු වශයෙන් තමාද හීනමානයෙන් පෙළුණු බව ඔහුට කරන චෝදනාවලට දමිළ බසින්ම පිළිතුරු දෙමින් ඔහු ප‍්‍රකාශ කරලා තියෙනවා.

අපේ රටේ සිනමා කර්මාන්තය දිනෙන් දිනම පරිහනියට පත්වෙන සමයක මෙවැනි ජාත්‍යන්තරය ජයගත් අයකුගේ සිනමාපටයක් නිෂ්පාදනය නොකර සිටින්නේ ඇයි කියලා ගමේ ගොඩේ ගොවිතැනක් බතක් කරන මිනිස්සු පවා හිතන දෙයක්. අපේ රටේ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකයන් ඇතුළු සිනමාවේදීන් නොසිතූ දෙයක් ඉන්දියාවේ සිනමාවේදීන්ට විතරක් හිතුණේ කොහොමද? ජාතක කතා සහ රජ කතාවලින් සිනමාපටයක් නිෂ්පාදය කර තමන්ගේ සාක්කුව විතරක් පුරවාගැනීමට සිහින මවන සිනමා කර්මාන්තයේ යෙදෙන පිරිසක් විතරක් ඉන්න අපේ රටේ සිනමාවේදීන්යැයි කියාගන්න පිරිසටද මේ 800 සිනමාපටයෙන් කනේ පහරක් එල්ල කරලා තියෙනවා. මේ සිනමාපටය නිෂපාදනය කිරීමෙන් අනතුරුව මේ රට ජාත්‍යන්තර තලයට ගෙන ගිය වීරයකුගේ ජීවිත කතාව අලලා සිනමාපටයක් නිර්මාණය කළානම් මේ රට තුළටම විදේශ විනිමයද ගෙන ඒමට තිබුණු අවස්ථාවක් නැති කරගෙන නේද? ඔය එක් අවස්ථාවක් විතරය. අපේ රටේ තවමත් ජාත්‍යන්තරය ජයගත් පිරිස ගැන හෝ ජීවිතය දිනාගත් අයවලුන් ගැන සිනමා නිර්මාණ බිහිවන්නේ නැත. ලොව සෑම රටකම දමිළ ප‍්‍රජාව ජීවත් වන තර 800 දමිළ සිනමාපටය නිර්මාණය කරන්නට නිෂ්පාදක කණ්ඩායමක් ගෙන ඇති පියවරෙන් ඔවුන් කොතරම් සිනමා කර්මාන්තයේ ව්‍යාපාර ඥානයෙන් පිරිපුන් අයවළුන්ද යන වගත් අපේ රටේ සිනාමව කියා කරන විහිලු ගැනත් කිරා මැන බලන්නට අවස්ථාවක් උදා කර දී ඇත. එහෙත් මුරලිගේ ජීවිත කතාව ලාංකීය සිනමාකරුවන් යැයි කියාගන්නා කා අතින් හෝ නිර්මාණය වූවානම් ඒ ගැන ලාංකිකයන් විදිහට අපි හැමෝටම ජාති භේද ආගම් භේද පසක ලා භේද නොසලකා සතුටු වෙන්නට ඉඩ තිබුණි.

 චන්දන වරාවිටගේ