2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

රිෂාඩ් බදුයුදීන් කොටුකළ අරුණෝදයේ මෙහෙයුම

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 263

සතියක් පුරා කට්‍ටි පනිමින් සිටි රිෂාඩ් බදුයුදීන් පසුගියදා රහස් පොලීසිය මගින් වැඩේ දුරදිග යාමට පෙර ඔන්න මෙන්න තිබියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔන්න මෙන්න කියා පැවසුවේ වෙන කිසිවක් නිසා නොව රිෂාඩ් බදියුදීන් විසින් තමන් අත්අඩංගුවට ගන්න එපා යැයි ඉල්ලමින් ගොනු කළ රීට් පෙත්සමේ තීන්දුව ලබාදීමට තිබුණේ ඔහු අත්අඩංගුවට ගැනුණු දිනයට පසු දිනයේ වීමය. ඒ නිසා රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීම රිෂාඩ්ගේ පැත්තෙන් අනූනවයෙන් ගැස්සී ගිය අවස්ථාවක් සේම රහස් පොලීසිය පැත්තෙන් ජාමේ බේරා ගැනුණු අවස්ථාවක් විය.

යම් හෙයකින් රිෂාඩ් ද අනෙකුත් දේශපාලනඥයන්ගේ පාරේ ගොස් තමන් අත්අඩංගුවට නොගන්නා තැනට පත්වූවා නම් රහස් පොලීසියට ඇතිවන කැළල සුළුපටු නැත. එසේ නම් දේශපාලනඥයන්ට කොතරම් හොරකම් කළත් අපේක්ෂිත ඇප ඉල්ලා සිටිමින් නිදැල්ලේ හැසිරීමේ පරම බලය ලබාදෙනවාද නැද්ද යන්න තීරණය ඇත්තේ පොලීසිය අතේ යැයි අමුතුවෙන් කිවයුතු නැත. ගමේ සිරිපාල කසිප්පු බූලිය පිටින්ම කුදලගෙන ගොස් කූඩුවේ දැම්මත් දේශපාලනඥයන්ට සිය ආරක්ෂාව සලසා ගන්නා තෙක් පසුබිම හැදීමත්, අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතවූ පසු බන්ධනාගාරයේ රෝහලට යාමත් දැන් එකම සූදුවක් බවට පත්ව ඇත. ඒ නිසාම රිෂාඩ් අත්අඩංගුවට ගැනීම රහස් පොලීසියේ ජාමේ බේරාගත් අවස්ථාවක් බව කිව යුතුමය. ජනතාව රිෂාඩ් අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්න දිගින් දිගටම ප්‍රශ්න කරන මොහොතක එම අත්අඩංගුවට ගැනීමද රහස් පොලීසියේ ජයග්‍රහණයක් විය.

කෙසේ වෙතත් රිෂාඩ් බදුයුදීන් පුත්තලමේ සිට කොළඹ බලා එන අතරතුරේ තමන්ගේ වාහනයේ ක්‍රියාත්මක රේඩියෝවෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා ලබාදුන් නියෝගය ඇසීමත් සමඟ වාහනයෙන් බැස පළා ගියේය. ඒ බව සඳහන් කරන්නේ ඔහුගේ ආරක්ෂකයා සහ රියැදුරුය. එතැන් පටන් රිෂාඩ් පුත්තලමේ ගිය බවට සඳහන් වුවත් පුත්තලමේ තබා කොළඹ ගෙදරවත් රිෂාඩ් සිටියේ නැත.

පොලීසියට කොකා පෙන්නමින් හැංගි හොරා සිටි රිෂාඩ් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ඇමතුමක් දී තිබුණේය. මේ නිසා රහස් පොලීසිය විපක්ෂ නායකවරයාගෙන් ද රිෂාඩ් සිටින්නේ කොහෙදැයි විමසමින් ප්‍රකාශයක් ගත්තේය. මේ අතර රිෂාඩ්ගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය සංකච්ඡාවක් පවත්වා කීවේ රිෂාඩ් සිටින බවත් 20 වැනිදායින් පසුව එළියට එන බවත්ය. 20 වැනිදා යනු අපේක්ෂිත ඇප අයැදුමේ තීන්දුව ලබාදීමට තිබු දවස නිසාය.
කෙසේ වෙතත් 12 වැනිදා වාහනයෙන් බැස යන රිෂාඩ් නවතින්නේ කළුබෝවිල ප්‍රදේශයේ තම හිතවතියකගේ නිවසේය. ඇය වෛද්‍යවරියක වූවාය. ඒ මිතුරැකම හේතුවෙන් රිෂාඩ් එම නිවසේ දවස් දෙකක් රැඳී සිටියේය. එහෙත් ඒ වනවිටත් රිෂාඩ්ගේ ආරක්ෂකයාත්, රියැදුරන් දෙදෙනාත් ගණකාධිකාරි අලගරත්නම් මනෝරන්ජනුත් පොලීසියට කොටුවී සිටියහ. රිෂාඩ් අපේක්ෂිත ඇපයකට සූදානම් වෙමින් සිටි නිසාත් රහස් පොලීසිය ක්‍රමයෙන් තමන්ට සමීප වෙමින් තිබෙන නිසාත් කළුබෝවිල එම ස්ථානයෙන් ඉවත්වීමට රිෂාඩ් තීරණය කළේය. ඒ ඔහුගේ ආරක්ෂාව අවාදානමකට පැමිණෙමින් සිටින නිසාය. ඒ අනුව දෙවැනි ස්ථානය ලෙස රිෂාඩ් තෝරාගන්නේ තවත් මිතුරකු වන විදේශ රුකියා ඒජන්තවරයකුට අයත් දෙහිවල එබනිසර් පෙදෙසේ මහල් නිවාසයකි.

15 වැනිදා එම මිතුරා කළුබෝවිලට පැමිණ රිෂාඩ්වත් රැගෙන පැමිණෙන්නේ එබනිසර් පෙදෙසේ නිවාස සංකීර්ණයේ තුන්වැනි තට්ටුවේ පිහිටි ඔහුගේ මිතුරකු වන හකීම්ගේ නිවසටය. එම නිවෙසට ඔහු කැඳවාගෙනවිත් සියල්ල සූදානම් කර රිෂාඩ් කැටුව ආ පුද්ගලයා අඩාලච්චේන ප්‍රදේශයට යන අතර නිවසේ හිමිකරු හකීම් කල්මුණට තම පවුලේ අය සමඟ පිටත් වේ. එතැනින් පසු රිෂාඩ් නීතිඥයන් සමඟ ගනුදෙනු කරන්නේ එම නිවසේ සිටය.

කෙසේ වෙතත් ඒ වනවිටත් රහස් පොලීසියේ හැටදෙනකු පමණ මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටි නිසා රිෂාඩ් වෙනුවෙන් යම් යම් ලියකියවිලි රැගෙන යන දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නට විය. ඒ දෙදෙනා වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනකු වන අතර වහාම රහස් පොලීසියට ගොස් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත්අඩංගුවට ගෙන දෙදෙනාගෙන් ප්‍රශ්න කරන විට ඒ දෙදෙනා සඳහන් කරසිටියේ තමන්ට අවශ්‍ය ලියකියවිලි කොහුවල ප්‍රදේශයට රැගෙන යන බවත් ඒ ලියකියවිලි එක් අයකු පැමිණ රැගෙන ගොස් විනාඩි දහයක් වැනි කාලයක් තුළ අත්සන් කර ආපසු රැගෙන එන බවත්ය. එහෙත් රිෂාඩ් මන්ත්‍රීවරයා සිටින තැනක් තමන් නොදන්නා බව ඔවුන් දෙදෙනා කීහ.

එම දෙදෙනාගේ ප්‍රකාශ මත කොහුවලට පැමිණෙන පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අත්අඩංගුවට ගත් සැණින් සියල්ල වමාරන්නට විය. ඔහු සඳහන් කර සිටියේ තමන් මේ සියල්ලට සම්බන්ධ වුණේ විදේශ රැකියා ඒජන්තවරයාගේ මැදිහත් වීම මත බවය. ඒ නිසා රිෂාඩ් සිටින තැන තමා නොදන්නා බව කීවේය. එය බොරුවක් බව රහස් පොලීසිය වටහාගත් පසු වහාම ඔහුගේ දුරකථනයෙන් වට්සැප් වීඩියෝ ඇමතුමක් ගෙන අඩාලච්චේන ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගත් අය පෙන්වමින් රහස් පොලීසිය අවවාද කළේ තමන් මේ වනවිටත් අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිටි බවත් වහාම මන්ත්‍රීවරයා සිටින ස්ථානය දැනුම් දෙන ලෙසත්ය. සියල්ලම බෙල්ල මුලටම හිරවී සිටින බව තේරුම්ගත් ව්‍යාපාරිකයා කිසිදු පැකිලීමකින් තොරව දෙහිවල නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පිහිටි නිවෙසේ රිෂාඩ් සිටින බව කීවේය.

ඒ අනුව 19 වැනිදා අලුයම 3.30ට පමණ රහස් පොලිස් නිලධාරීහු රිෂාඩ් මන්ත්‍රීවරයා සිටි නිවාසය වටලා ඔහුව අත්අඩංගුවට ගත්හ. ඒ යනවිටත් ඔහු අවදියෙන් සිටි අතර ඒ තම ලේකම්වරයා සමඟය. රහස් පොලීසිය සමඟ කතා කළ අවස්ථාවේ රිෂාඩ් මන්ත්‍රීවරයා "මම දැනන් හිටියා කොයි වෙලේ හරි මාව හොයන් මෙතන්ට ඔය කට්ටිය එන බව" යැයි පවසා තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා බස්‍ රථවලින් ඡන්ද දායකයන් රැගෙන යාම සහ රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විය. එපණක් නොව ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් තිදෙනාත්, කළුබෝවිල නවාතැන් ලබාදුන් විශේෂඥ වෛද්‍යවරිය සහ ඇගේ ස්වාමියාත්, දෙහිවල නිවාසය ලබාදුන් ව්‍යාපාරිකයාත් රහස් පොලීසිය අත්අඩංගුවට ගත්තේය. එනම් පොලීසියට අත්‍යවශ්‍ය සැකකරුවකුට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.

කෙසේ වෙතත් එදිනම සවස මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කොටුවේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ මන්ත්‍රීවරයා මහජන මුදල්වලින් යැපෙන මහජන නියෝජිතයකු ලෙස නොව රස්තියාදුකාරයකු ලෙස මෙම සිදුවීමේදී හැසිරුණු බවයි. කෙසේ වෙතත් මෙහිදී දිලීප පීරිස් මහතා රහස් පොලීසියට තවත් චෝදනාවක් කළේය. එනම් මහේස්ත්‍රාත්වරයාගේ නිල රථය නවත්වන ස්ථානයට රිෂාඩ්ව රුගෙන ඒමත් මාධ්‍යවේදීන්ගෙන් වසන් කොට රහස් පොලිස් නිලධාරීන් රැගෙන යාමත් සම්බන්ධයෙනුත් ඉදිරි නඩුවාරයෙදී කරුණු දක්වන ලෙසටය.

කෙසේ වෙතත් රිෂඩ් කොටු වුණත් දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතියේ අධ්‍යක්ෂ එස්. එම්. යාෂිම් තවමත් හොයාගන්නට නැත. ඔහු ඉන්නවාද රට ගොස් දැයි යන්න තවමත් දන්නේ නැත. එසේම රිෂාඩ්ට දෙහිවල නිවාසය දුන් හකීම් නැමති ව්‍යාපාරිකයා ද තවම සොයාගන්නට නැත. ඔහු කල්මුණේ සිටින බව කීවත් තවම එහි නැත.

එය දැනගන්නට ලැබෙනු ඇත්තේ ලබන 27 වැනිදා නැවත නඩුව කැඳවන අවස්ථාවේදීය. රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා බන්ධනාගාර ගතකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්හේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබීය. කෙසේ වෙතත් එසේ රිමාන්ඩ් කෙරුණු මන්ත්‍රීවරයා කථානායකවරයා විසින් ලබාදෙන ලද නියෝගයක් අනුව විසිවැනි ව්‍යවස්ථාව සංශෝධනයේ ඡන්ද විමසීමට රැගෙන එන ලැබීය. මන්ත්‍රීවරයාව පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ ආරක්ෂිත ඇඳුමකින් සරසා සභාගර්භයට රැගෙන ආ අතර ඔහුට වෙනම ආසනයක් ලබාදී වෙනම අසුන් ගැන්වීය. ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම හරහාය.

එසේ පැමිණි මන්ත්‍රීවරයා විස්සට විරුද්ධව අත් එසවූ අතර පුදුමය නම් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් 20ට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව කීවත් අවසානයේ පක්ෂව ඡන්දය ලබාදී තිබීමය. එම පක්ෂ වීම හරහා ඔවුන් රිෂාඩ්ව අත හැරියාද නැත්තන් රිෂාඩ් බේරා ගැනීම සඳහා කළ උපායක් ද යන්න හැමෝටම ප්‍රශ්නයක් වී ඇත. ඒ බව දැකගන්නට හෝ නිගමනයකට යා හැක්කේ අනාගතයේ ඇති වන වෙනස්කම් එක්කය.

ගමේ කතාවක් ඇත. කස පුපුරන්නේ පෙරහර එන බවත්, උඩරට නැට්ටුවෝ එන්නේ කරඬුව ළඟ වඩින බවත් දැනුම්දීමට යන්නය. එසේ නම් කසත් පුපුරා ඇත. උඩරට නැට්ටුවෝත් නටා ඇත. කරඬුව ළඟ ළඟ වඩිනවාද යන්න බොහෝදෙනා බලාගෙන සිටිති. ඒ සියල්ල කාලයට ඉඩදී අපි බලා සිටිමු.

 ගයාන් ගාල්ලගේ