2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

ගම්පහින් පිටත් පැටවු ගසන මිනුවන්ගොඩ කොරෝනා පොකුර

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

කොරෝනා 19 වෛරසය මේ වනවිට ලංකාවේ දිස්ත්‍රික්ක 24ක් පුරා ව්‍යාප්තව ගොස් ඇත. හමුවන රෝගීන් සංඛ්‍යාව එකක් දෙකක් වුවත් මේ වනවිට රෝගීන්  එකී දිස්ත්‍රික්ක පුරාම ව්‍යාප්තව තිබීම නිසා රටක් ලෙස අපි මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ විශාල අභියෝගයකටය. එහෙත් තවමත් ඒ අභියෝගය, අවදානම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ඇතිද යන්න ගැටලුවකි.

කෙසේ වෙතත් ඒ අවදානම ජනතාවගෙන් මගහැරීම සම්බන්ධයෙන් රජය එක් පැත්තකින් වගකීම බාරගත යුතුය. එනම් ලෝකයේ කෝවිඩ් වසංගතය පරාජය කළ රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ සිටින බවත් එහි ගෞරවය ජනතාවට හිමිවිය යුතු බව කියමින් ජනතාවට ඒත්තු ගැන්වීමය. එමගින් සිදුවූයේ ජනතාවට මේ වෛරසය පිළිබඳ අවධානයත්, අවදානමත් මගහැරීම පමණි. ඒ හේතුවෙන් ජනතාව තුළ ඇතිව තිබූ "කොරෝනා ලංකාවේ නෑ" කියන හැඟීම හේතුවෙන් අවසානයේ සිදු වූයේ නොසිතූ අනපේක්ෂිත ඉරණමකට මුහුණ දීමටය. එහෙත් කුමක් හෝ අහඹුවකින් ගම්පහ රෝහලෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයක් හරහා  බ්‍රරැන්ඩික්ස් ඇඟලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආණ්ඩුවෙත්, සෞඛ්‍ය අංශවලත්, ජනතාවගෙත් පියවී යමින් සිටි ඇස් ඇරිණි. ඒ හේතුවෙන් හෝ දැන් දැන් තැන් තැන්වල දිගට හරහට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ හරහා සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වන්නට පටන්ගෙන ඇත. එම තොරතුරු එන විට දිගටම අප සිටියේ කොරෝනා සමගින් ද යන්න දැන් බොහෝදෙනාට සිතෙන්නට පටන් ගෙන ඇත.

බ්‍රැන්ඩික්ස් සැඟවූ වරද?

දෙවැනි රුල්ල ලෙස හඳුන්වන බ්‍රරැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් බොහෝ දෙනා තවමත් සිටින්නේ නිශ්චිත අදහසක නොවේ. එනම් මේ පොකුරට කොරෝනා ආසාදනය වුණේ කෙසේද යන්න බොහෝ දෙනාට තවමත් ප්‍රශ්නයක් වී ඇත. පුදුමය නම් මේ ලිපිය පළවන අද දිනය වනවිට මේ පොකුර හඳුනාගෙන සති දෙකක් ගතවුණත් තවමත් එයට පිළිතුරු නැති වීමය. රටේ නැති ඕපාදූප, බොරු කටකතා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වුණත් ඇත්ත තවමත් හෙළිවී නැත.
සමාජය විසින් අල්ලාගත් බ්‍රරැන්ඩික්ස් ආයතනයේ පිරිසක් ඉන්දියාවේ සිට පැමිණීමේ සිද්ධිය පවා අද වනවිට බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එපමණක් නොව බ්‍රරැන්ඩික්ස් ආයතනයද එය ප්‍රතික්ෂේප කර තිබේ. පුදුමය නම් සමාජයේ කටකතාවලට පිළිතුරු දුන් බ්‍රරැන්ඩික්ස් ආයතනය තවමත් තම සේවකයන් විසින් එල්ල කරන චෝදනාවලට පිළිතුරු නොදීමය. එපමණක් නොව රජය විසින් සිදුකරන පරික්ෂණවලින් පවා පැහැදිලි වී ඇත්තේ බ්‍රරැන්ඩික්ස් ආයතනය අද ඊයෙක සිට නොව දැනට මාසයකට ආසන්න කාලයක සිට කොරෝනා වෛරසයට ගොදුරක් වී තිබුණු බවය.

සැකසහිත ලෙඩ්ඩු 33ක්

රජයේ ආරක්ෂක අංශ සහ රජයේ සෞඛ්‍ය අංශ සිදු කළ පරීක්ෂණයකට අනුව කොරෝනා ලක්ෂණ සහිත රෝගීන් 33ක් සැප්තැම්බර් 20 වැනිදා සිට මිනුවන්ගොඩ බ්‍රරැන්ඩික්ස් ආයතනයේ සිට ඇත. ඔවුන් මේ සම්බන්ධයෙන් ආයතනයේ වෛද්‍යවරයා දැනුවත් කළත් පැරසිටමෝල් වැනි ප්‍රාථමික ප්‍රතිකාර ලබාදීම පමණක් සිදුකර ඇති බව මේ වනවිට හෙළි වී ඇත. වෛද්‍යවරයා පවා මේ සම්බන්ධයෙන් නිසිලෙස අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵල නිසා අද සිදුව ඇති බලපෑම සුළුපටු වන්නේ නැත. හදිසි ඕඩරයක් නිම කිරීම පමණක් අරමුණු කර ගැනීමේ ඒකායන ඉලක්කයක් නිසා අද රටක් දුක් විඳිමින් සිටියි.

ආණ්ඩුවෙන් කමිටුවක්

කෙසේ වෙතත් තවමත් හේතුවක් සොයා ගැනීමට නොහැකි බ්‍රරැන්ඩික්ස් පොකුරේ ආරම්භය සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විසින් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. කම්කරු කොමසාරිස්වරයාගේ සභාපතීත්වයෙන් යුත් මේ කමිටුව හරහා මේ පොකුර ආරම්භය සිදුවුණේ කෙසේද යන්න සෙවීම අරමුණ වී ඇත.

මේ රටේ කමිටු පත් කිරීම් එක් පැත්තකින් විහිළු සහගතය. තවත් පැත්තකින් කිසිදු ප්‍රායෝගික නැති ක්‍රියාවකි. එනම් කම්කරු කොමසාරිස්වරයා යටතේ පත්කරන මේ කමිටුවට කළ හැක්කේ කොරෝනා වෛරසය ඇතුළු වූ ආකාරය ගැන සෙවීම නොව ආයතනය මට්ටමින් මෙකී රෝග ලක්ෂණ තිබූ අයට සේවක පහසුකම් ලබාදුන්නාද නැද්ද යන්න සෙවීමය. අවශ්‍ය සොයා බැලීම් සිදුකළාද නැද්ද යන්නය. එසේ නොමැතිව බ්‍රරැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආවේ කෙසේද යන්න කම්කරු අමාත්‍යංශ කමිටුව හරහා සොයා ගැනීමට උත්සාහ ගන්නේ නම් ඊට වඩා විහිළුවක් තවත් නැත.

බ්‍රැන්ඩික්ස් රැල්ල

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල හරහා ඇතිව තිබෙන කොරෝනා පොකුර ආරම්භ වන්නේ පසුගිය තුන්වැනිදා සිටය. ඊටපසුව පළමු ප්‍රතිඵලය 5 වැනිදා ලැබෙන අතර එහිදී ආසාදිතයන්  69ක්ද, 6 වැනි දිනයේ ආසාදිතයන් 252ක්ද, 7 වැනි දිනයේ ලංකාවේ වැඩිම කෝවිඩ් රෝගීන් ගණන වාර්තා වෙමින් ආසාදිතයන් 509 ක්ද, ඊටපසුව පිළිවෙලින් ආසාදිතයන් 202, 19, 30, 103, 121, 90, 194, 130 වශයෙන් දිනෙන් දින වාර්තා වන්නට විය.

කෙසේ වෙතත් මෙවර විශේෂත්වය වන්නේ බ්‍රරැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය සේම ඔවුන් සමඟ ඇසුරු කළ ආශ්‍රිතයන් විශාල පිරිසක් සොයා ගැනීමට හැකි වීමය. විශේෂයෙන් ඥාතීන් පමණක් නොව ඔවුන් ආගිය තැන්වල ඇතැම් අයට පවා මෙම වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වන්නට විය.

එසේම මෙම බ්‍රරැන්ඩික්ස් පොකුර මිනුවන්ගොඩ පමණක් නොව වැලිසර, කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලය, වතුපිටිවල, රඹුක්කන ආදී කර්මාන්ත ශාලාවලින් ද වාර්තා වන්නට විය. ඒ සියල්ල මිනුවන්ගොඩ ආශ්‍රිතයන් හා පැතිර ගිය බවට සඳහන් කළත් එහෙත් එහෙම වූයේ කෙසේද යන්න තවම නිශ්චිත පිළිතුරක් නොමැත. එහෙත් මෙරට ඇති වූ වැලිසර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර වැනි පොකුරුවලට වඩා වැඩි පිරිසක් සහ වැඩි සමාජ ගතවීමක් මෙවර බ්‍රරැන්ඩික්ස් පොකුර හරහා දැකගන්නට හැකිවීම සුවිෂේශී සිද්ධියකි.

තවමත් සමාජයෙන් නෑ

මෙරට සෞඛ්‍ය අංශ දිගින් දිගටම පෙන්වා දෙන්නේ තවමත් කෝවිඩ් වසංගතය සමාජගත වී නැති බවය. හමුවන එකා දෙන්නාද මිනුවන්ගොඩ බ්‍රරැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයන් ලෙස හැඳින්වීම පමණක් සිදුකරන අතර එම ආශ්‍රිතයන් පොදු සමාජයේ පිරිස් බව සෞඛ්‍ය අංශවලට අමතක වීම ගැටලුවක් වී ඇත.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිටත් වෛරසය වේගයෙන් පැතිරෙමින් ඇති බවය. ඒ නිසා මොන දේ පැවසුවත් මීට එකම පිළිතුර පී.සී.ආර්. පරීක්ෂණ තව තවත් සිදුකිරීම බව ඔවුහු පෙන්වා දෙති. 

දැනට පෙනී යන ආකාරයට මිනුවන්ගොඩ පොකුරෙන් ආශ්‍රිතයන්ටත්, ඒ ආශ්‍රිතයන්ගෙන් තවත් ආශ්‍රතයන්ටත් මේ වෛරසය පැතිර ගොස් ඇත. එසේ නම් තවදුරටත් මෙය සමාජ ගත නොවී ඇති බව කියන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ප්‍රශ්නය ඇත්තේ මේ සියල්ල මිනුවන්ගොඩ පොකුර නොව ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් රෝගීන් බව සෞඛ්‍ය අංශ තවමත් පිළිනොගැනීමය. මේ පොකුරු සංකල්ප මැඩ පැවැත්වීමට යොදන්නා වූ අරමුණු නිසා වෙනත් ආකාරයකින් වෛරසය ඇතුළු වීමේ ප්‍රවණතාවයක් ඇති වීමේ අවදානමක් ඇත. විශේෂයෙන් වැලිසර කෝවිඩ් පොකුර මර්දනයත් සමඟ කෝවිඩ් අවදානම රටෙන් තුරන් වූ බවට ඇති වූ විශ්වාසය හේතුවෙන් සහ ඒ අවදානම මගහැරීම හේතුවෙන් අවසානයේ අත්වූ ඉරණම අද අප භුක්ති විඳිමින් සිටියි.

සැමියා ආසාදිත බව දැන දැනම වැඩට ගිය කටුනායක සේවිකාව

මේ අතර එකවරම කටුනායක වෙළෙඳ කලාපයට ද කොරෝනා වෛරසය ඇතුළු වී තිබිණි. පසුගිය සතියේ වෙළෙඳ කලාපයේ සේවිකාවන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වීම නිසා එහි කර්මාන්ත ශාලා තුනක් වසා දැමීමට සිදුවිය. කෙසේ වෙතත් මෙහිදී හොඳම සිද්ධියක් වා‍ර්තා වන්නේ මිනුවන්ගොඩ බ්‍රරැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අයකුගේ බිරිඳක් සිදුකළ දේය. එනම් තම ස්වාමියාට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ දැන දැනම ඇය වෙළෙඳ කලාපයේ රුකියාවක නිරතව සිටීමය. පසුව මේ සම්බන්ධයෙන් අනාවරණය වීමත් සමඟ බුද්ධි අංශය ගොස් අදාළ කර්මාන්තශාලාව දැනුවත් කර එහි සිටි අයට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන්නට විය අවසානයේ ඇය සමඟ සිටි ආශ්‍රිතයන් 17 දෙනකුට කොරෝනා ඇති බව සහතික වුණි.

කෙසේ පසුගිය බ්‍රහස්පතින්දා වනවිට කටුනායක වෙළෙඳ කලාපයෙන් රෝගීන්  111ක් වාර්තා වී තිබුණු අතර එය තවදුරටත් වැඩි වෙතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ නිසාම අවසානයේ පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය දමන්නට පොලීසියට සිදුවුණි. ඒ එම ප්‍රදේශය පුරාම කෝවිඩ් රෝගීන් වාර්තා වීම නිසාය.

බෝඩිං අවුල

බ්‍රරැන්ඩික්ස් කර්මාන්තශාලාවට කොරෝනා බෝවීමත් සමඟ ලංකාවේ බොහොමයක් බෝඩිං (නේවාසිකාගාර) සහ කුලී නිවාසවල හිමිකරුවන් එහි පදිංචි වී සිටින ඇඟලුම් සේවිකාවන්‍ට පල නොකියා පලා බෙදීමේ ක්‍රියාවක් ආරම්භ වී තිබේ. ඒ කෝවිඩ් වසංගතය හේතුවෙනි. මෙය තවත් බරපතළ වන්නේ සීදුව ප්‍රදේශයේ බෝඩිමකින් කොරෝනා රෝගීන් 42ක් වාර්තා වීම හරහාය. මේ නිසා බොහෝ දෙනා ගැස්සෙන අතර ඇතැම් පදිංචි අයද බෝඩිම අතැර දමා යන්නට ගොස් ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ පවත්වාගෙන යන නේවාසිකාගාර තුළ විදිමත් ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සිදුකරන ලෙස කියාය. විශේෂයෙන් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමත් මේ වනවිට සිදුකරමින් පවතී.

ඇඳන් අඩුවෙයි

මේ අතර කෝවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් නිසා කෝවිඩ් වසංගතය වෙනුවෙන් සකසන ලද රෝහල් පිරී ඉතිරී යන්නට විය. පසුගිය අඟහරුවාදා වනවිට කෝවිඩ් රෝහල් 13න්ම ඉතිරි වී ඇඳවල් ප්‍රමාණය 253ක් විය. බ්‍රහස්පතින්දා වෙන විට රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඇඳවල් ප්‍රමණය 170 දක්වා පහළ වැටිණි. කෙසේ වෙතත් ඇතිව තිබෙන අවදානමත් සමඟ යම් ආකාරයකින් රෝගීන් වැඩිවුවහොතින් යැයි සැකය නිසා බ්‍රහස්පතින්දා සිට හමුදාවට අයත් උතුරේ රෝහලක් ද මෙම වසංගතය සඳහා සූදානම් කරන්නට සිදුවිය.

මෙහි බරපතළම කරුණ වන්නේ මුළු රටේම පවතින දැඩිසත්කාර ඒකක ඇඳවල් සංඛ්‍යාවය. එනම් දැනගන්නට ඇති පරිදි එම ප්‍රමාණය 600කට ආසන්නය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ යම් හෙයකින් තත්ත්වය බරපතල වුවහොත් ඇතිවන අවදානම ලේසිපහසු නොවන බවය. වර්තමානයේ තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ කිසිදු රෝගියෙක් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර නොලබන බවය. එය එක් පැත්තකින් වාසනාවකි. ඒ නිසා අපේ ද ප්‍රාර්ථනාව එවැනි අවදාමකට රට පත්ව නොවේවා යන්නය.

කෙසේ වෙතත් ලංකාවේ රෝහල් 13 ඇඳන් ප්‍රමාණය මෙසේය. අයිඩීඑච් 120,කොළඹ නැගෙනහිර 70, වැලිකන්ද 110, හම්බන්තොට 186, ඉරණවිල 69, මිනුවන්ගොඩ 51, රඹුක්කන 79, තෙල්දෙණිය 120, කඹුරුගමුව 200, නෙවිල් ප්‍රනාන්දු 400, කාත්තන්කුඩි 120, ලග්ගල පල්ලේගම 90, හෝමාගම 76 වශයෙනි. ඒ අනුව සියලුම ඇඳවල් සංඛ්‍යාව 1691 කි. එහෙත් එය කිසිසේත් සැහීමකට පත්විය නොහැකි සංඛ්‍යාවකි.

ගම්පහ පී.සී.ආර් ප්‍රමාණය වැඩි කෙරේ

මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ, කටාන, සීදුව, මීරිගම ආදී ප්‍රදේශවලින් කෝවිඩ් රෝගීන් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ එම ප්‍රදේශවල පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කරන ලදී. එම පී.සී.ආර්. පරීක්ෂණ සැක සහිත පුද්ගලයන්ගේ පමණක් නොව සියලුම අයවලුන්ගේ සිදුකිරීමට තීන්දු කර ඇත.

කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කළ පී.සී.ආර් ප්‍රමාණය 15579කටත් එහාය. ඉන් 8498ක වාර්තා ලැබෙන්නට තිබිණි. පුදුමය නම් පසුගියදා මාධ්‍ය වාර්තා කළේ පී.සී.ආර්. 3000ක තොරතුරු තවමත් ලැබී නොමැති බවය.
මේ අතර බදාදා තවත් වාර්තාවක් තිබිණි. එනම් ලංකාවේ වැඩිම පීසීආර් ප්‍රමාණය සිදුකළේ එදින වීමය. එය 9974කි. ඒ අනුව බ්‍රහස්පතින්දා උදෑසන වනවිට ලංකාවේ පීසීආර් පරීක්ෂණ 348,909ක් සිදුකර තිබුණි. එය යම් ආකාරය ජයග්‍රහණයකි. එනම් මෙතුවක් කල් සියල්ල අතැර සිටි මොහොතක මේ ආකාරයෙන් හෝ සිදුකිරීම තුළ සමාජ ගතව තිබෙන වෛරසයේ ප්‍රමාණය සොයාගත හැකි වීමය.

රටපුරා කොරෝනා

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තවමත් සමාජ ගතවී නැති බවට ප්‍රකාශ කළත් බ්‍රහස්පතින්දා වනවිට කොළඹ නගරය තුළ පමණක් රෝගීන් 160 සොයාගෙන තිබුණි. ඇතැම් අය බැංකු නිලධාරීන්ය. තවත් අය රෝහල් සේවකයන්ය. හෙදියන්ය.
මීට අමතරව වෛද්‍යවරු, හෙදියන්, ශිෂ්‍ය (ඉන් පස්දෙනකුම උසස් පෙළ ශිෂ්‍යයන්ය) රියැදුරන්, ස්වාමින් වහන්සේලා ඇතුළු එකී නොකී මෙකී සියලු දෙනා අතර පැතිර ගොස් තිබුණි. එහෙත් එසේ තිබියදීත් තවමත් සමාජගත වී නොමැති බව පැවසීම ගැන දෙවරක් සිතන්නට සිදුවෙයි.

මාධ්‍ය වියරුවට වැට

මේ අතර කෝවිඩි රෝගීන් පසුපස මාධ්‍ය කැමරා රුගෙන ඔවුන්ගේ නිවෙස් පෙන්වීමත් ඔවුන්ගේ අනන්‍යතා හෙළිකිරීමත් හේතුවෙන් විශාල විරෝධයක් පසුගියදා සමාජ මාධ්‍යපුරා පැතිරෙන්නට විය. මේ හරහා ජනතාව බියවී, ලැජ්ජා වී තොරතුරු ලබා නොදී සැඟවීමේ ප්‍රවණතාවයක් මතුවෙතැයි බොහෝ දෙනා විවේචනය කළහ. කෙසේ වෙතත් පසුගිය කාලයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා මාධ්‍යට මාර්ගෝපදේශ ලබදී තිබුණු අතර ඒවාද තැකීමක් නොකර සිදුකිරීම නිසා දැඩි විවේචන රූපවාහිනී නාළිකාවලට එල්ල විය. කෙසේ වෙතත් මේ තත්ත්වය හේතුවෙන් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා සියලුම රෑපවාහිනී සභාපතිවරුන්‍ට කෝවිඩ් මාර්ගෝපදේශන රුසක් අඬංගු ලිපියක් යොමුකරමින් සඳහන් කර සිටියේ ඒවා පිළිපදින ලෙසය.

කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය එන්න එන්නම බරපතළ වී ඇත. සිකුරාදා වන විට රෝගීන් සංඛ්‍යාව 1800 කට ආසන්නය. ලිපිය ලියන මොහොතෙත් එකා දෙන්නා ඒ ගොඩට එකතු වෙමින් ඇත. කෙසේ වෙතත් අපට කියන්නට ඇත්තේ එක දෙයකි. වෛරසයෙන් ආරක්ෂා කිරීමට කාටවත් හැකියාවක් නැත. කළ හැක්කේ ආරක්ෂා වීම පමණි. තමන්ගේ සෞඛ්‍ය පුරුදු නිසිලෙස නිවැරදි ලෙස සිදු කිරීමෙන් පමණක් මෙයින් ගැලවිය හැක. එහෙම නොමැතිව මාස්ක් එක නිකටට දැමීමෙන් හෝ, ඕනෑවට එපාවට පමණක් අත් සේදීමෙන් මින් ගැලවීමට නොහැක. එනිසා හැමදෙනාම අදිටන් කරගතයුතු කරුණ විය යුත්තේ "මම කිසි දිනෙක කොරෝනා රුගෙන නිවසට නොයන බවය".

 ගයාන් ගාල්ලගේ

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00