2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

වසං වූ වසංගතයේ් වසං වූ කතාව

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 894

රසායන කාරකයක් අඩු වී වෛරස පර්යේෂණ කල් යයි
අලුත් ඉක්මන් පී.සී.ආර් ක්‍රම ගැන උනන්දුව නෑ
අවදානම් කණ්ඩායම් සීරුවෙන්! පරෙස්සමෙන්!
කන්දකාඩු වෛරසයේත් ඉන්දීය ප්‍රභේදයේ ලක්ෂණ
ලංකාවේ කොවිඩ් 19 වෛරස ප්‍රහේද 12ක්  

වසංගතය, වසන් වී මිස අවසන් වී නොමැත. මිනුවන්ගොඩින් ඇරඹුණු නවතම කොවිඩ් පොකුර ලංකාවේ විශාලතම පොකුර ලෙස පුළුල්ව වැඩෙමින් පැතිරෙමිනි. තවමත් එහි මුල අබිරහසකි. කොවිඩ් 19 සිය නවතම ප්‍රහාරයෙන් අපට දැඩිව අනතුරු අඟවන්නේ තවදුරටත්  සීරුවෙන් සිටිය යුතු බවටය. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු බවටය.

ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රමුඛව දිස්ත්‍රික්ක 12ක නවතම කොවිඩ් 19 පොකුර පැතිර යමිනි. සෞඛ්‍ය අංශ සීරුවෙනි. ආරක්ෂක අංශ ස්පර්ෂකයන් සොයා මෙහෙයුම්වලය. ජනතාව තුළ පැතිර ඇත්තේ නොසන්සුන්තාවකි. මේ ලිපිය ලියන මොහොත වනවිට නව පොකුරේ අසාදිත ගණන පමණක් 1053ට ළඟා වී තිබේ. ඒ අනුව ලංකාවේ සමස්ත රෝගීන් ගණන 4,488ක් වූ අතර මරණ සංඛ්‍යාව 13ට සීමා වී ඇත. මේ නව සුවිශාල කොවිඩ් පොකුර හේතුවෙන් කොවිඩ් ආසාදිත රටවල් 214ක් සඳහා වූ තෝම්බුවේ 140 බඳු පහළ මට්ටමක රැඳී සිටි ලංකාව 133 වැනි ස්ථානයට පැමිණ හමාරය. 

මෙවර රෝගීන් පොකුර හඳූනාගැනීම මෙන්ම එහි ව්‍යාප්තියද කලින් අවස්ථාවන්ට වඩා වෙනස් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කියයි. මෙවර රෝගය පැතිර ගිය මූලය සොයා ගැනීම  තවමත් අපහසුව තිබේ. එසේම ඔහු කියන අන්දමට වෛරස සාන්ද්‍රණය සාපේක්ෂව ඉහළය. කලින් කන්දකාඩු පැතිරීම හෝ නාවික හමුදා පොකුර මෙන් රොගීන් සිටිනා නිශ්චිත සීමාවක් නැති නිසා රට පුරා රෝගින් හමුවීමට ඇති  ප්‍රවනතාව ඉහළය. එසේ හෙයින්ම අප බිය විය යුතුය. වඩාත් නරක දෙයට මුහුණ දීමට සුදානම් විය යුතුය. එම තත්ත්වයෙන් වැළකීම සඳහා කොවිඩ් 19 මුල් අවදියේ සිටම අනුගමනයට නිර්දේශ කළ පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ සිරිත් විරිත් පිළිපැදීම අනිවාර්යය. විශේෂයෙන්ම අනවශ්‍ය ගමන්බිමන් අත්හිටුවීම, කල්ලි ගැසීම නැවැත්වීම සඳහා මේ සුදුසුම කාලයයි.

මෙවර කොවිඩ් පොකුර විවිධ ස්ථානවලින් මතුවන්නට වීමත් සමඟ විවිධ සැක සංකා සහ මතිමතාන්තර ද පණ පෙවී ආවේය. කරුණු සොයා යන අපට විවිධ මිථ්‍යා මත මෙන්ම නව අදහස්  ද දැනගන්නට  ලැබුණි. එසේම ජනතාවගේ නොසැලකිල්ල, ඉක්මණින් කරුණු අමතක වීමේ ජානගත ඩිමෙන්ෂියාව මෙන්ම හුඹස් බිය සහ චක්‍රලේඛ - පූජිත නිලධාරි වාදයේ බලපෑම් ගැනද කරුණු එළිදරව්විය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ මොහොතේ අතිශය විසිර ගිය ආසාදිත පිරිසක් වාර්තාවීම ඉතා අනතුරුදායක බව පෙන්වා දෙයි. ඔවුන් කාලයක සිටම පෙන්වා දුන් පරිදි පී.සී.ආර් පරීක්ෂාවන්  ප්‍රමාණය වැඩි කිරීම සහ විවිධ අහඹු නියැදි පරික්ෂාව දිගටම සිදුකළා නම් මේ තත්ත්වය කලින් හඳුනාගන්නට මෙන්ම පාලනය කර ගන්නටද හැකිව තිබූ බව ඔහු කීය. පසුගිය කාලයේ පීසීආර් උපරිම ධාරිතාවයෙන් සිදු කර නැති බවට ඔහු උදාහරණ දැක්වීය.

සාමාන්‍යයෙන් අපට වරකට පීසීආර් 3000-4000ක් කළ හැකි වුවද එය එසේ සිදුව නැත. සැප්තැම්බර් 29 දත්ත අනුව එදා සිදුකර ඇත්තේ පරීක්ෂාවන් 2407කි. ඒ මාසයේම තවත් දිනෙක පරීක්ෂාවන් 1398කි. ඔක්තෝබර් 03 පරික්ෂණ 2244කි. ඒ මසම 04 වැනිදා 1148කි. මේ ලෙස උපරිම ධාරිතාව අහලකටවත් එන්නට හැකියාව නොලැබීම නිසා සැඟවී රහසේම පැතිර යන්නට වෛරසයට හැකියාව ලැබී තිබේ. මේ  හේතුවෙන් අසාදිතයන් අවම වීම නිසා රෝග ව්‍යාප්තිය අවම වී ඇති බවට අසම්පූර්ණ දත්ත මත යැපී අසත්‍ය තීරණයන්ට එළැඹෙන අපේ අය සිය පූර්ව සෞඛ්‍ය ආරක්ෂාව ගැන උනන්දුව අත්හැර දමා හිතුමතයේ ක්‍රියා කිරීමෙන් මේ වසංගතයේ ගොදුරු බවට පත්වෙති. පීසීආර් ක්‍රමවේදය වඩාත් පුළුල්ව උපරිම ධාරිතාවයෙන් යුතුව යොදවන අතර එයින් වඩාත් ඉක්මන් ප්‍රථිඵල ලබා දෙන අලුත්  දියුණු තාක්ෂණය භාවිතයට  ගත යුතු බව ඔහුගේ අදහසයි.

පීසීආර් සම්බන්ධ ඔය කතාවේදී අපට අලුත් චරිතයක් මුණගැසුණි. ඒ ආචාර්ය සංජය පෙරේරාය. සෞඛ්‍ය ආරක්ෂණය සහ ඖෂධ පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන ඔහු කියන ආකාරයට ලංකාවේ දැනට භාවිත පීසීආර් යාන්ත්‍රණය වඩාත් කල් ගතවන යාන්ත්‍රණයකි. ඒ සඳහා දැනට ඩෙන්මාර්ක් වැනි රටවල මූලික වෛරස ද්‍රව්‍ය වෙන්කර ගැනීම සඳහා භාවිත කරන වඩාත් කාර්යක්ෂම නිස්සාරක ක්‍රම යොදා ගත හැකිය. එම නිස්සාරක යාන්ත්‍රණය මගින් මිනිත්තු 70ක් වැනි කෙටි කලකදී වෛරස ද්‍රව්‍ය සාම්පල 96ක් පමණ වෙන්කර ගන්නට හැකියාව ඇත. මේ නිසා දිනකට සිදුකරන පීසීආර් සංඛ්‍යාව 5000 දක්වා ඉහළ දමා ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ සඳහා අවශ්‍ය පර් යේෂණ උපකරණ ලබා ගැනීම  සඳහා මෙතෙක් අඩුතරමේ නිසි උනන්දුවක් ඇති වී නැති බව ඔහු පෙන්වා දෙයි. කටුනායක ගුවන් තොටුපොළට ඔහුද දායක වී ඩෙන්මාර්ක් රටෙන් රොබෝ ක්‍රියාකාරී නිස්සාරක යන්ත්‍ර 03ක් ලබා දී ඇත. පසුව ඒ සඳහා පර් යේෂණ කට්ටල 4000ක් ද ලබා දී ඇත. එම කට්ටල අවසන් වූ පසු දැන් ඒ යන්ත්‍ර බලෙන් විශ්‍රාම යවා හමාරය. ලංකාවේ පීසීආර් ප්‍රමාණය වැඩි කිරීම මගින් ජනතාව රැක ගැනීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් බලධාරීන්ට කළ යුතුව ඇත්තේ මේ යන්ත්‍ර 03ට අවශ්‍ය පර් යේෂණ කට්ටල ගෙන්වා ගැනීම පමණි. එමගින් සාමාන්‍ය ක්‍රමවේදය තුළදී පැය 04ක් හෝ 06ක් ගතවන නිස්සාරණයක් මිනිත්තු 70කින් සිදුකිරීමේ වාසියක් අත්කර ගත හැකි අතර එය බලධාරීන්ට නොපෙනී යාම විමතියකි.

කොවිඩ් 19 චීනයේ සැරිසරන මුල් කාලයේ සිටම ඒ වනවිටත් භාවිතයේ පැවති ඖෂධ අතරින් එය වළක්වන්නට සමත් බෙහෙතක් සොයන්නට උත්සුක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මේ පිළිබඳව අදහස් දක්වමින් තහවුරු කළේ පීසීආර් මුලික මට්ටමේදී වෛරස ප්‍රවේණික ද්‍රව්‍ය වන ආර්.එන්.ඒ වෙන්කර නිස්සාරණය සඳහා වඩාත් ඉක්මන් අලුත් තාක්ෂණ ක්‍රමවේද දැන් ලෝකයේ බහුලව ඇති බවය. එසේ වුවද ඉතිරි පීසීආර් පර් යේෂණ කටයුතු සඳහා යන කාලය සාපේක්ෂව වෙනස් නොවන බවය. නමුත් මේ රෝගය හඳුනාගැනීමේ කටයුතු සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේද යොදා ගැනීම සුදුසු බව ඔහුගේද අදහසයි.

සමාජය තුළ මේ වනවිට පැතිර ගොස් ඇති කතාබහක් වන්නේ නව ආසාදිතයන් තුළින් හමුවන වෛරස මාදිලිය වෙනස් බවය. මේ වෛරස මාදිලිය ආසාදිත අය බොහෝවිට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති බවය. ඒ නිසාම වෛරස ශරීර ගතවූවන් සමාජ ගතවීමෙන් එහි පැතිරීම පුළුල් වන බවය. ආචාර්ය සංජය සමාජ ගතව ඇති තවත් එවන් අදහසක් තහවුරු කරමින් පෙන්වා දෙන්නේ මේ වෛරසය ඉන්දියාවේ පුළුල්ව පැතිර ගිය වෛරස මාදිලිය හෝ එබඳු විකෘතියකට ලක්වූ සමාන ප්‍රභේදයක් විය හැකි බවයි.

මිනුවන්ගොඩ රෝගියා වාර්තා වූ ආයතනයට ඉන්දියාවේ සිටි පිරිසක් ගෙන්වාගෙන ඇති බවට ප්‍රබල ප්‍රවාදයක් පැතිර ගියේ මෙයට සමගාමීවය. එසේ ආ තැනැත්තෙකු මගින් මෙරටට ආසාදනය වූ ඉන්දීය වෛරසය මේ අලුත් පොකුර තනන්නට ඇතැයි රාවයක් නැගිණි. මෙයට සාක්කි ලෙස සමාජ ජාල ඔස්සේ අදාළ ආයතනය ඉන්දියාවෙන්  පිරිසක් ගෙන්වූ බව තහවුරු කෙරෙන ලිපියක් ද සංසරණය වී තිබුණි. 

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විමසූ අපට ඔහු මේ කතා ගැන දුන්නේ මෙබඳු පිළිතුරකි. මේ වසංගතය මුල සිටම රෝගීන් ගණනාවක් සමඟ ගනුදෙනු කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම රෝග ලක්ෂණ කැපීපෙනෙන පිරිස කොහොමටත් අඩු බව කීය. කලින් වතාවල වුවද පරීක්ෂණ මගින් ආසාදිත බව තහවුරු කළද රෝග ලක්ෂණ ප්‍රකට කළේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් බව තමන්ගේ නීරික්ෂණය බව ඔහු පෙන්වා දෙයි. ඊළඟ කාරණය වන මේ වෛරසය ඉන්දියානු  සම්භවයක් සහිත වුවක්ද පවතින වෛරසවල විකෘතියක්ද යන්න තීරණය කිරීම සඳහා මේ වනවිට ඒ සඳහා සිටින විශේෂඥවරියක වන මහාචාර්ය නිලීකා මලවිගේ පරික්ෂණ අරඹා ඇති බවත් වෛරසයේ හැටි සොබාව හොඳින්ම පැහැදිලි කරගත හැක්කේ එම ප්‍රතිඵල අනුව බවත් ඔහු කියයි. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අවධාරණය කළ විශේෂිතම කාරණාව වන්නේ මේවර ආසාදනය රට වටා පැතිරයන ආකාරයක් පෙන්වන නිසා තත්ත්වය භයානක බවය. විශේෂයෙන් අවදානම් කණ්ඩායම්වල තැනැත්තන් මහළු උදවිය, නිදන්ගත රෝග සහිත අය මේ අවස්ථාවේ හොඳින් ආරක්ෂාව සලසා ගතයුතු බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  කියයි. මේ කාලයේ සංවෘත ස්ථානවල ගැවසීමට ඇති අවස්ථා හැකි සැම විටම මග හැරීම සුදුසු බව ඔහුගේ අදහසයි.

වෛරසයේ පැටිකිරිය ගැන අසන්නට වෛරස පර්යේෂණ සම්බන්ධයෙන් අපට ඇති විශිෂ්ටතම පර් යේෂණාගාරය ඇති  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ  ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ ඇමතූ අපට අසන්නට ලැබුණේ චක්‍රලේඛ - පූජිත නිලධාරී වාදය නිසා රටේ සුබසිද්ධියට ඇප කැප වන විශිෂ්ටයන් අධෛර්යට පත්කරන ආකාරය ගැන ප්‍රසිද්ධ කතාවමය.

ඇය මුලින්ම අපට කීවේ මේ අලුත් රෝගී පොකුරේ වෛරස සාන්ද්‍රණය වැඩිවීම පිළිබඳවය. සාමාන්‍යයෙන් වෛරසයක් මුල් අවස්ථාවේ ශරීරගත වූ කල එය පුළුල්ව ගුණනය වී සංඛ්‍යාව වැඩිකර ගැනීම ස්වභාවික බව ඇය කියයි. මේ වෛරසය නව ප්‍රභේදයක් ද යන්න ගැන සෙවීමට නම් එය වෙන්ව ගෙන පරීක්ෂා කළ යුතුව ඇති බව ඇය පෙන්වා දෙයි. ලංකාව තුළ ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දීර්ඝ පර්යේෂණ හා විශ්ලේෂණ කටයුතුවල යෙදුණු ඇය සහ ජ'පුර කණ්ඩායම මෙරටින් වෙනස්කම් සහිත වෛරස ප්‍රභේද 12ක් පමණ හඳුනාගෙන සිතියම්ගත කර ඇත. මේ සෑම වෙනසක්ම මේ රට තුළදී සිදුවූ ඒවාය. ඒ වෛරස මාදිලි පිළිබඳව දත්ත ජාත්‍යන්තර වෛරස තොරතුරු එකතුවට ලබාදීමෙන් පසු ඔවුන්ගේ පිළිගැනීමට ලක්ව එහි ප්‍රකාශනයේ පළ කර තිබේ. 

මේ තොරතුරු එකතුව වෛරස 52000ක පමණ තොරතුරු ඇතුළත් ඩිජිටල් ගොනුවකි. මේ විශ්ලේෂණවලදී ඔවුන්ට හමුවූ එක් වෛරස මාදිලියක ලක්ෂණ හා සැසඳීමේදී බොහෝ දුරට ඒවා ඉන්දියානු නිරිතදිග ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරසයට සමාන වූ බව ඇය කියයි. මේ වෛරස කන්දකාඩු පොකුරට අයත්ව ලබාගත් ඒවාය. දැන් ඇය ඇතුළු පිරිස මේ මිනුවන්ගොඩ නව පොකුරට අයත් වෛරසයේ පැටිකිරිය සොයන්නට සූදානම්ව සිටියත් ඒ කටයුතු තවත් මඳ කලකට ප්‍රමාද කරන්නට සිදුව තිබේ. ඒ එක් රසායනික-කාරකයක අඩුව නිසාය. ඉතින් කාන්දකාඩු පර් යේෂණයේදී වැය වූ මේ කාරකය නැවත ගෙන්වාගන්නා තුරු අපට වෛරසයේ සැබෑ රුව  හඳුනාගන්නට බලා සිටිමට සිදුව ඇත. රසායනයක් ගෙන්වා ගැනීමට අනුමත කරවා ඒ සඳහා මුදල් වෙන්කර ගැනීම දීර්ඝ චක්‍රලේඛ-පූජිත ක්‍රියාවලියකි. අන්තිමේ රටේ මේ හදිසි අවස්ථාවේදී විශිෂ්ට ගණයේ පර්යේෂකයන්ට ද සිදුව ඇත්තේ පරීක්ෂණ නළ අතදරා ලිපිගොනු සැකසී රසායන ද්‍රව්‍ය එනතුරු කල් බලන්නටය. ඉතින්, මෙහෙව් රටේ 
පර්යේෂණ විද්‍යාඥයන් බේතකටවත් හොයන්නට නැති එක පුදුමයක්ද, නැත. ඔවුන් තවමත් මෙහි රැඳී සිටිමයි අරුමය.
  සුගත් පී.කුලතුංගආරච්චි

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00