2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

විස්ස මැති සබයට: කාගේ පැත්ත මාරු වෙයිද?

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පසුගිය සතියේ අඟහරුවාදා දින (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසිනි. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් එක් හැරවුමක ආරම්භ ඒ සමඟින් සටහන් විය.

කෙසේ නමුත් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂය ඒ සඳහා සිය විරෝධය පළ කළේය. සමගි ජනබලවේගයේ විරෝධය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ "අද දිනය ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දිනයක්" බවය. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ, විරෝධතා පුවරු ද රැගෙන සභාගැබ මැදට පැමිණ ‘’20 එපා’’ කියමින් උද්ඝෝෂණය කරන්නට වූහ. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද සභාගැබ මැදට පැමිණ ‘’19 එපා’’ කියමින් විරෝධය පළ කළහ.

කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් සිය අසුන් වෙත ගොස් වාඩිවන ලෙස ඉල්ලා සිටියද ඔවුහු දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරත වූහ. මෙම විරෝධය අතරේම බන්දුල ගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කබීර් හෂීම් යන මන්ත්‍රීවරු සිය කතා පැවැත්වූහ. විරෝධය කොතරම් තදින් පැවැත්වුණද, වෙනදා තරම්ම පෞද්ගලික ආවේග නොතිබිණි. විරෝධතා මැදම ආණ්ඩු පක්ෂ විපක්ෂ ඇතැමෙක් සභාගැබ මැද සුහද කතාවල නිරත වූහ. එහෙත් ගැටුම්කාරී අවස්ථාව නොවුණාම නොවේ.

සජිත් ප්‍රේමදාස මහතා රීති ප්‍රශ්නයක් යැයි කියමින් විස්ස විවේචනය කරන්නට දැරූ උත්සාහය කතානායකවරයා වැළැක්වීය. ප්‍රේමදාස මහතා තමන් වෙතට කැමරාව ඉල්ලා සිටියේය. එවිට කතානායකවරයා කැමරාව රීති ප්‍රශ්නය ද යනුවෙන් ප්‍රශ්න කළේය. විපක්ෂ නායකවරයාගේ කතාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරැ දීමට දැරෑ  උත්සාහයට බාධා එල්ල විය. බන්දුල ගුණවර්ධන මහතා සිය කතාව අතරමැද නතර කරන්නට යන විට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරැ ඔහුට කතාව ඉදිරියට කරගෙන යන ලෙස පැවසූහ.

මෙම අරගලය අගමැතිවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් යැයි විපක්ෂ මන්ත්‍රීවරු කියන්නට වූහ. එය තරමක් වෙනස් සටන් පාඨයක් විය. පසුව විවාදයේදී විපක්ෂය අගමැතිවරයා පිළිබඳව කියූ දෑ ගැන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවේචන එල්ල කළේය. කාගේ බලය අඩු වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ බලය අඩු නොවන බව හෙතෙම කියා සිටියේය. එසේම මහින්ද රාජපක්ෂ මහතාට ඔය තරම් ආදරේ නම් යහපාලන ආණ්ඩුවේ සිටියදී රාජපක්ෂ මහතාට නඩු දැම්මේ ඇයිදැයි ඔහු ඇසීය.

විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයටත් ආණ්ඩු පක්ෂයේ අය විපක්ෂය දෙසටත් සභාගැබ හරහා ගොස් කතා බහ කළහ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව නම් මෙලෙස ගමන් කිරීම පැති මාරැවක් ලෙස පිළිගැනෙයි. ඒ කෙසේවෙතත් මෙදින ඒ කිසිවක් සැලකිල්ලට ගත් බවක් සභාවේ නොපෙනුණි. එහෙත් සමගි ජනබලවේගයේ පිරිසක් කතානායක අසුන දෙසට යාමට දැරෑ උත්සාහයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වැළැක්වූහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කරන විට විපක්ෂ කණ්ඩායම් තරමක් සන්සුන් වූහ.

සජිත් ප්‍රේමදාස මහතා ගොනු කළ විරෝධයේ කැපීපෙනෙන කරුණු කිහිපයක් විය.

“විසි වැනි සංශෝධනය හරහා විගණකාධිපති ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. අප හඬක් නගන්නේ ඊට විරුද්ධවයි. ප්‍රසම්පාදනානුකූල ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම හකුලා දමා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට මෙයින් මරුපහරක් එල්ල වෙනවා. විසි වැනි සංශෝධනය අරමුණ රූකඩ පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අප ප්‍රචණ්ඩත්වය දුටුවේ නැහැ. 19 යටතේ සිදුවූ කිසිදු මැතිවරණයක මනුෂ්‍ය ඝාතන දුටුවේ නැහැ. නමුත් විසි වැනි සංශෝධනය යටතේ ඒවා නැවත ඇතිවීමේ අවදානමක් තියෙනවා. විසි වැනි සංශෝධනය යටතේ සිදුවන්නේ තනි පුද්ගලයකුගේ තීන්දු ක්‍රියාත්මක වීමයි.’’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ උත්සාහය වූයේ විරෝධතාව මැද සභාව කල් දමා ගැනීමය. එහෙත් උද්ඝෝෂණය පැවතියද ආණ්ඩුව සභාව කල් නොදමා සිටියේ එසේ  වුවහොත් විපක්ෂයට මෙම අරගලයේ ජය හිමිවන බැවිනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ මන්ත්‍රීවරැන් සමඟ සුහද කතාබහක නිරත වන අයුරුද දැකගන්නට ලැබුණි. කෙසේ නමුත් විරෝධතාව අවසානයේ පැවැති විවාදය උණුසුම් මුහුණුවරක් ගත් අතර තරමක් සැර කතා කිහිපයක්ම පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයෙන් හුවමාරු විය.

කෙසේවෙතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැමැත්ත පළවූයේ පසුගිය සඳුදා දිනයේය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය ඊට හිමි විය. කෙසේ නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ ද 20 වැනි සංශෝධනය පිළිබඳ විවිධ මතභේද ඇති බව කියැවේ. එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම තමාගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ නිසා මතභේදවලින් තොරව විස්ස සම්මත කර දෙන ලෙසය. එසේම 19 අහෝසි කිරීම අයවැයට පෙර සිදුකළ යුතු බවත් එසේ නොකළොත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

දැන් 20 වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්ය. ඒ අනුව ඕනෑම පුරවැසියකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනුකිරීමේ අවස්ථාව හිමි වී ඇත. මෙහි අරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සංශෝධනයේ  ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කිරීමය. එලෙස කිසිවකු අභියෝග නොකරන්නේ නම් විසි වැනි සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියැවීමේ විවාදයට ගත හැකිය.

පසුගිය බ්‍රහස්පතින්දා (25) දින වන විට පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබුණි. සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් යන මහත්වරැන් ඇතුළු පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙලෙස පෙත්සම් ගොනු කර තිබේ. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති රැසක් ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බවට නියෝග කරන්නැයි පෙත්සම්කරැවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඒ අනුව අධිකරණයේ තීරණය දෙස බලා සිටීමට දැන් සියල්ලන්ටම සිදුව තිබේ. පෙත්සම් ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. කෙසේවෙතත් මෙම තීන්දුව අවසානයේ සංශෝධනය පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත. එහිදී විසි වැනි සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය.

අනතුරුව එළඹෙන්නේ කාරක සභා අවස්ථාවය. එහිදී විස්ස සම්බන්ධව සංශෝධන ඇතොත් ඒවා එක්කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී කෙටුම්පත සංශෝධනය කිරීමට ඉඩ දෙන බවට විස්ස සම්බන්ධව වෙනත් මත දරන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී ඇති බව කියැවේ. ඒ අනුව මෙම අවස්ථාව උණුසුම් වීමට ඉඩ තිබේ.

පසුව තුන්වැනි වර කියැවීමේ විවාදය අවසානයේ ද ඡන්ද විමසීමක් සිදු කරන අතර  තුනෙන් දෙකක බහුතරයෙන් විස්ස සම්මත විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150ක් නිශ්චිතවම මීට කැමැත්ත පළ කළ යුතුය. ඒ අනුව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ  කතානායකවරයාගේ අත්සනින් මෙම පනත් කෙටුම්පත පනතක් බවට පවත්වීමත් සමඟය.

 චමිඳු නිසල් ද සිල්වා