2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

සුසාන්ත් රාජ්පුත් මැරුණාද? මරාගත්තද?

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

ඉන්දියාවේ උතුරු දෙසින් ප‍්‍රාන්තයක් පිහිටලා තියෙනවා. මෙන්න මේ ප‍්‍රාන්තයට කියන්නේ බිහාර් කියලා. මේ බිහාර් කියන ප‍්‍රාන්තය හංගේරියාවට වැඩිය විශාල වුණත් දකුණු කොරියාවට වැඩිය කුඩා භූමි භාගයකින් සැදුම්ලත් භූමි ප‍්‍රදේශයක්. බිහාර් ප‍්‍රාන්තයේ අග නගරය පට්නා වුණත් වෙළෙඳ නගරය වෙන්නේ භගල්පූර්. බිහාර් ප‍්‍රාන්තයේ බටහිර මායිම උත්තර් ප‍්‍රදේශ්වලටත්, දකුණු මායිම ජාර්කණ්ඩ් ප‍්‍රාන්තයටත්, නැගෙනහිරින් බටහිර බෙංගාලයත් උතුරින් නේපාලයත් පිහිටලා තියෙනවා. බිහාර් ප‍්‍රාන්තයේ බිහාරී භාෂාව වගේම භෝජ්පුරි වගේ භෂාවලින් සන්නිවේදනය කරනවා. දිස්ත‍්‍රික්ක 38කින් සමන්විත වන අතර වර්ග කිලෝමීටර් 99200කින් සමන්විත වෙනවා‍.

බිහාර් ප‍්‍රාන්තය ගැන මෙච්චර දේවල් කිව්වේ ඔබට 1986 ජනවාරි 21 වැනිදා මෙන්න මේ කියන බිහාර් ප‍්‍රාන්තයේ සිදුවුණු සුන්දර කතාවක් ගැන කියන්නයි. ඔය කිව්ව දවසේ බිහාර් පාන්තයේ පට්නාවල ක‍්‍රිෂ්ණා කුමාර් සිං සහ ඌෂා සිංට ගොඩාක් සතුටු දවසක්. දුවලා පුතාලා පස් දෙනකුගෙන් පස්සේ ඔය කිව්ව දවසේ ක‍්‍රිෂ්ණා කුමාර් සිංගේ පවුලට තවත් පුතෙක් ජන්ම ලබනවා. පවුලේ බාලයා වූ මේ චූටි හාදයට ගෙදර හැමෝම ආදරයෙන් ගුල්ෂාන් කියලා අමතන්න පටන් ගත්තේ කුඩා සන්ධියේ ඉඳලමයි. ගුල්ෂාන්ගේ සහෝදරියන් හතර දෙනාගෙන් එක්කෙනෙක් ප‍්‍රාන්ත මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් බවට පත් වෙනවා. ඇයගේ නම මිතූ සිං. දවසින් දවස ලොකු මහත්වෙන ගුල්ෂාන් අධ්‍යාපනය ලබන්න පට්නාවල ශාන්ත කැරන්ස් උසස් පාසලට ඇතුළත් වෙනවා. කාලය ගතවෙලා 2002 වසර ලබනවා. ගුල්ෂාන්ට 2002 කියන්නේ දුක්බර වසරක්. මොකද 2002දී ගුල්ෂාන්ගේ මව ජීවිතයෙන් සමුගන්නවා.

2002දී ගුල්ෂාන්ගේ මවගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ පවුලේ අය දිල්ලියේ පදිංචි වෙනවා. ගුල්ෂාන් දිල්ලිවලදී කුලාචි හන්ස් රාජ් පාසලෙන් අධ්‍යාපනය අවසන් කරනවා. ගුල්ෂාන් තාරකා විද්‍යාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා තියෙන අතර ඔහු ජාතික ඔලිම්පියාඩ් සම්මානයකුත් ඒ සඳහා දිනාගෙන තියෙනවා. යාන්ත‍්‍රික විද්‍යාව පිළිබඳව උපාධියක් හැදෑරීම සඳහා දිල්ලි ඉංජිනේරු විද්‍යාලයට ඇතුළු වෙනවා. ගුල්ෂාන්ට එයට කැමැත්තක් නොතිබුණු අතර ඔහුට අවශ්‍ය වුණේ ගගනගාමියෙක් වීමටයි. ටික කලකින්ම ඔහුට ගුවන් නියමුවෙක් වෙන්න අවශ්‍ය වෙනවා. ඒත් බොලිවුඩයේ කිංග් ඛාන් ශාරුක් ඛාන්ට පෙම් බඳින ඔහුගේ රසිකයෙක් වූ ගුල්ශාන් එහෙම නැත්නම් ඔබ අප සුශාන්ත් සිං රාජ්පුත් කියන නම ඇසූ සැණින් දන්නා ආදරය කරන ඔහු බොලිවුඩයේ නළුවෙක් වගේම නර්තන ශිල්පියෙක් විදිහටත් නමක් ඇති කරගන්නවා. 2005 වසරේදී පසුතල නර්තන ශිල්පියෙක් විදියට තමන්ගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළ සුශාන්ත් සිං රාජ්පුත් 2020 ජූනි 14 වැනිදා සියදිවි හානි කරගත්තේයැයි කියන දවස එනතාක් මෙන්න මේ විදිහට තමයි ඔහුගේ වෘත්තියේ ජීවිතයේ පියවර තියලා තියෙන්නේ.

2008දී දේශ් මේහෙ මේරා දිල් සේ කියන ටෙලි නාට්‍ය මාලාවේ පෙනී සිටි ඔහුට 2009 වසරේදී පවිත‍්‍රා රිෂ්ටා කියන ටෙලි නාට්‍ය මාලාවට තෝරා ගන්නවා. ඉන් අනතුරුව 2010දී සරා නාච්කේ දිඛා 02 කියන රූපවාහීනී වැඩසටහනින් ඔහුට ආදරය කරන රසිකයන් අතරට ආව සුශාන්ත් 2010දී ජලක් දිඛ්ලා ජා 04 රූපවාහීනි වැඩසටහන සමඟ සම්බන්ධ වෙනවා. 2013දී ප‍්‍රථම සිනමාපටය විදහයට ඔහු පෙනී ඉන්නේ කයි පෝ චේ කියන සිනමාපටයේ. මේ සිනමාපටය තැනුණේ චේතන් භගත් කියන ඉන්දියාවේ ජනප‍්‍රිය ලේඛකයගේ පොතක් ඇසුරෙන්. 2013 වසරේදීම ශුද් දේෂී රොමෑන්ස් කියන සිනමාපටයේ සුශාන්ත් පරිනීතී චොප්රා සහ වානී කපූර් එක්ක පෙනී ඉන්නවා. ඊට අමතරව සුශාන්ත් පීකේ, එම්. එස්. දෝනි, රාබ්තා, කෙදර්නාත්, සොන්චරියා, චිච්චෝර්, ඩ‍්‍රයිව් කියන සිනමාපටවලින් ඔහුගේ රසිකයන් අතරට ආවා. ඔහු පණ පෙවූ දිල් බේචාරා හින්දි සිනමාපටය තමයි ඔහුගේ රංගනයෙන් දායක වූ අවසන් සිනමාපටය. සුශාන්ත් සිං රාජ්පුත් මියයන විට ජීවත් වුණේ මුම්බයිවල බාන්ද්‍රාවල කෝටි 20කට වැඩි වටිනාකමක් තියෙන නිවෙසකයි. ඒ වගේම ඔහුට කෝටි ගණන් වටින නවීන මෝටර් රථ කිහිපයක් වගේම ලක්ෂ 26ක් වටිනා බී.එම්.ඩබ්ලිව්. ජේ 1300 ආර්. යතුරු පැදියක් ද තිබුණා. ඒ ඔහුට මෝටර් රථ කිහිපයකුත් තිබුණා. එක චිත්‍රපටයක රංගනය වෙනුවෙන් ඔහු කෝටි 05-07ත් අතර ප‍්‍රමාණයක් අය කරලා තියෙනවා.

සුශාන්ත් සිං රාජ්පුත් කියන සිනමා තාරකාවගේ මරණය මේ වනවිටත් සමස්ත ඉන්දියාවම කතාබහ කරන එක අභිරහස් මරණයක් වෙලා අවසන්. ජූනි 14 වැනිදා සුශාන්ත්ගේ මරණයට කලින් ඔහුගේ කළමනාකාරිණිය සියදිවි හානිකරගෙන තියෙනවා.
සුශාන්ත්ගේ මරණය සියදිවි හානි කර ගැනීමක් නොවන බව මේ අතරේ කියැවෙන්න ගන්නවා. එයට ඔහුගේ පෙම්වතිය රියාගේ සම්බන්ධයක් ඇති බවත් ඇය මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටි බවත් සුශාන්ත් ද මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැභි වී ඇති බවත් සමහර මාධ්‍ය වාර්තා කොට තියෙනවා. ඒත් සුශාන්ත්ගේ හදිසි මරණය ගැන පරීක්ෂණයේ සාක්ෂී ලබාදුන් ඔහුගේ රියැදුරා කියා සිටියේ සුශාන්ත් මත්ද්‍රව්‍ය භාවිත කරනවා කිසි විටෙකත් තමන් නොදුටු බවයි. සුශාන්ත් සර් හරිම සතුටින් හිටිය බවත් මත්ද්‍රව්‍ය කවදාවත් පානය නොකළ බවත්, දුම්වැටිනම් පාවිච්චි කළ බවත් පරීක්ෂණ කරන නිලධාරීන් හමුවේ සුශාන්ත්ගේ රියැදුරා විසින් කියලා තියෙනවා. සුශාන්ත් තමන්ගේ සහෝදරියන්ට ඉතා සමීපව සිටි බවත් ඔහු පිහිනුම් ටෙනිස් සහ ක‍්‍රිකට් ක‍්‍රීඩාවල නිරත වුණු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ඔහු තමන්ගේ කාර්ය මණ්ඩලයට ආදරයෙන් සැලකුව බවත් රියැදුරු විසින් සාක්ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර තියෙනවා. සුශාන්ත් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට ඔහුගේ පෙම්වතිය වූ රියා කරන ලද ප‍්‍රකාශය අසත්‍යක් බවත් සුශාන්ත් ඔහුගේ ස්ථාවර තැන්පතුවලින් කෝටි 1ක 02ක ප‍්‍රමාණයක් ඉවත්කරගෙන ඇති බවත් එහි යම් විෂමතාවයක් පවතින බවත් ඔහුගේ මරණය පිළිබඳව සාක්ෂි විමසීම් කරන නිලධාරීන් මේ වනවිට හොයාගෙන තියෙනවා.

වයස අවුරුදු 34ක් වුණු ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් විභාගය කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට මධ්‍යම විමර්ශන කාර්යාංශයට එනම් එෆ් බී අයි එකට නියෝග කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. ඊට පෙර සුශාන්ත් ඉපදුණේ බිහාර් ප‍්‍රාන්තයේ නිසා එම ප‍්‍රාන්තයෙන් පරීක්ෂණ කටයුතු කරනවාද නැත්නම් ඔහු ජීවත් වුණු මුම්බායි නගරය අයත් මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙන්  පරීක්ෂණ කටයුතු සිදු කරනවාද කියා මත ගැටුමක්ද ගොඩ නැගෙනවා. සුශාන්ත්ගේ මෘත දේහය ඔහු ජීවත් වුණු බන්ද්‍රාවල මහල් නිවාසයේ තිබී පසුගිය ජූනි 14 වැනිදා සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ප‍්‍රකාශ කළේ එය සියදිවි හානිකර ගැනීමකින් සිදුවී ඇති මරණයක් බවයි. බොහෝ මාධ්‍යවල එවෙලේ පටන් සුශාන්ත්ගේ මානසික සෞඛ්‍ය, සිනමා ජීවිතය මෙන්ම මූල්‍ය තත්ත්වය ගැන ප‍්‍රධාන සිරස්තල බවට පත්වුණා. ඒ වගේම සුශාන්ත් සිං රාජ්පුත්ට සියදිවි හානිකර ගැනීමට සහාය දුන් බව පවසමින් ඔහුගේ පෙම්වතිය රියා චක‍්‍රබෝර්තිට එරෙහිව සුශාන්ත්ගේ පවුලේ උදවිය විසින් නඩුවක් ගොනුකොට තිබෙනවා. මුම්බායි නගරයෙන් පිටත එම නඩුව විභාග කරන ලෙසයි සුශාන්ත්ගේ පවුලේ උදවියගේ ඉල්ලීම. සමාජ මාධ්‍යවල රියා ගැන මුදල් සූරා කන්නියක් ලෙසින් බොහෝ පිරිසක් සඳහන් කර ඇති අතර රියා එම විවේචන සියල්ලක්ම ප‍්‍රතික්ෂේපකොට තමන්ගේ ප්‍රේමවන්තයා වූ සුශාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉන්දීය ස්වදේශීය කටයුතු භාර අමාත්‍ය අමිත් ශාගෙන් ඉල්ලීමක් සිදුකොට තිබුණා. එම නඩු විභාගය මුම්බායිවලදී වීභාග කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානි කරගත් බව ටිකෙන් ටික ඔප්පුවෙමින් පැවතුණත් ඔහු සියදිවි හානි කරගත්තේ ඇයි? මානසික අවපීඩනය එයට හේතුවක් වන්නට ඇත. ගෘහස්ථ ආතතිය, වෘත්තිය ආතතිය, අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට නොහැකි වීම, ආදර ජීවිතයේ විවිධ කැළඹීම්, මූල්‍ය ප‍්‍රශ්න නිසා ඇතිවෙන ආතතිය හෝ සමහරවිට බොරු කටකතා හෝ නොමිනිසුන්ගේ කුමන්ත‍්‍රණ එයට හේතුවක් වන්නට ඇත. ඒවා සසඳන කළ නොකළ බොහෝ දේ ඔහු ගැන සාමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර එයද ඔහුගේ මානසික පීඩනය වැඩි කිරීමට හේතුවක් වන්නට ඇත. සුශාන්තට ප‍්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරයා ඔහුට සමීපතම හැමෝම එක්ක සාකච්ඡා කොට ප‍්‍රතිකාර කර තිබූ බවද සඳහන්.

සුශාන්ත්ගේ මරණය සිදු වී මාසයකට පමණ පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ ගැන ජනප‍්‍රිය සිනමා නිළි කංගනා රනවුට් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කර තියෙනවා. ඔහු ගෙල සිරකරගෙන සියදිවි හානි කරගත්තේ නැහැ. ඔහුව මරා ගත්තා. ඇය එහෙම කියලා නිහඬව ඉන්නේ නැහැ. ඇය හින්දී සිනමා කර්මාන්තයේ පවුල්වාදය ගැන එළිපිටම පතුරු ගහනවා. සුශාන්ත් බොලිවුඩ් සිනමාවට තමන් මෙන්ම පිටස්තරයෙක් වූ බවත් ඔහුගේ පවුලේ කිසිවෙක් සිනමා කර්මාන්තයේ නියෝජනයක් නොවූ බවත් ඇය සඳහන් කරනවා. ඒ වගේම හින්දී සිනමා කර්මාන්තයට එන පිටස්තරයන්ට විඳින්නට සිදුවෙන වද හිංසා ගැනද බොහෝ දෙනෙක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ කරන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මහා ධනස්කන්ධයක් ආයෝජනය කරන සිනමාපට සහ රූපවාහීනී නාට්‍ය මාලා සඳහා ද සුශාන්ත්ව ප‍්‍රතික්ෂේප වූ බව සඳහන් වෙනවා. එයට හේතුවක් වී ඇත්තේ පවුල්වාදය බවයි සඳහන් වෙන්නේ. සුශාන්ත්ට සිනමාපට ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අය අතර සජිද් නදියාද්වාලා, වයි. ආර්. එෆ්, ටී සීරීස්, සල්මාන් ඛාන් ප‍්‍රඩක්ශන්, දිනේෂ් - විජන්, බාලාජී ප‍්‍රඩක්ශන් ප‍්‍රමුඛව ඉන්නවා. ඒ වගේම කරන් ජෝහාර් සහ සංජය ලීලායි බංසාලිත් ඒ ගොඩටම අයත් වෙන බව ඉන්දීය මාධ්‍ය වර්තා කරලා තියෙනවා.
එමෙන්ම සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් බොලිවුඩයේ ප‍්‍රමුඛ පෙළේ සිනමාකරුවන් හය දෙනකුට එරෙහිව බිහාර්වල මුසෆ්ෆර්ෆූර්හි අධිකරණයේ නඩුවක් ගොනුකොට තියෙනවා. ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙක් වන සුධීර් කුමාර් ඔජා විසිනුයි මෙම නඩුව ගොනුකොට තිබෙන්නේ. මේ නඩුවේ සඳහන් කර ඇති නිෂ්පාදකයන් අතර කරන් ජෝහාර්, ආදිත්‍ය චොප්රා, සංජය ලීලා බංසාලී, සජිද් නදියාද්වලා සහ ජනප‍්‍රිය සිනමා නළුවෙක් වන සල්මාන් ඛාන් සහ ඒක්තා කපූර් ද වෙනවා. 306 කියන සියදිවි හානිකරගැනීමේ වගන්ති ප‍්‍රාකාරව 109 සහ 504 කියන වගන්ති ප‍්‍රාකාරව හිතාමතාම අපහාස කිරීම සහ 506 වගන්තියට අනුව බිය ගැන්වීම කියන වගන්ති යටතේ මෙම නඩු පැවරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම බොලිවුඩයේ ජනප‍්‍රිය නිළියක් වන කංගනා රනවුට් සහ තවත් කිහිප දෙනෙක් මේ නඩුවේ සාක්ෂිකරැවන් ලෙස පෙනී ඉන්නත් නියමිතව තියෙනවා. සුශාන්ත් සිං රාජ්පුත් කිසිදු හේතුවක් නොමැතිව ඔහු භාරගත් සිනමාපට 07කින් ඉවත් කර ඇති බවත් මේ නඩුවට අදාළව සඳහන් කර තියෙනවා. කංගනාට අමතරව ජනප‍්‍රිය අධ්‍යක්ෂකවරයකු වන අනුරාග් කාෂ්‍යප්ද බොලිවුඩයේ ඒකාධිකාරය පවත්වාගෙන යන සිනමා පවුල් ප‍්‍රතික්ෂේප කරමින් තමන්ගේ අදහස් දක්වා තිබෙනවා. මේ ලිපිය ලියන මොහොත වනවිටත් සුශාන්ත් සිං රාජ්පුත් නම් ඒ දක්ෂ සිනමා තාරකාවගේ මරණය පිළිබඳව ඉන්දියාව පුරා පමණක් නොව ලොව බොහෝ රටවල ඔහුට ආදරය කළ ඔහුගේ සිනමා රසිකයන් තමන්ට හැකි පමණින් ඔහුට සාධාරණයක් කරන්නට කටයුතු කරමින් සිටිනවා.

I චන්දන වරාවිට